සසප ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කමිටුවේ විවෘත සාකච්ඡාවක්: "අනාරක්ෂිත කොන්දේසි යටතේ පාසල් විවෘත කිරීමට එරෙහිව සටන් වදින්නේ කෙසේ ද?"

රට තුලත් ජාත්‍යන්තරවත් කෝවිඩ්-19 වසංගතය පාලනයකින් තොරව ව්‍යාප්ත වෙමින් පවතිද්දී 2021 වර්ෂය සඳහා සමස්ත පාසල් පද්ධතියම ජනවාරි මස 11 දා විවෘත කරන බව රාජපක්ෂ ආන්ඩුව නිවේදනය කර ඇත.

කම්හල් විවෘත කිරීම හා සමානවම, පාසල් විවෘත කිරීම වසංගත ව්‍යාප්තියේ ප්‍රමුඛතම සාධයක් වී ඇති බවත්, දරුවන් වැඩිහිටියන් සේම රෝගයේ ජීවිත අවදානමට මෙන්ම දීර්ඝකාලීන ප්‍රතිවිපාකවලට ලක්විය හැකි බවත්, ජාත්‍යන්තර පරිමානව වෛද්‍ය විශේෂඥයින් විසින් පෙන්වා දී ඇත.

2020 වර්ෂයේ අවසන් පාසල් වාරය සඳහා බස්නාහිර පලාත හැර සෙසු සියලු පලාත්වල පාසල් ඔක්තෝබර් මස 23 දා සිට විවෘතව පැවති මාසය තුල ආසාදිතයන් සංඛ්‍යාව සීග්‍ර ලෙස ඉහල ගොස් ඇති බව සීමිතව සිදු කෙරෙන පීසීආර් පරීක්ෂනවලින් පවා හෙලිදරව් වී තිබේ.

පෙර පාසල්, දිවා සුරැකුම් මධ්‍යස්ථාන හා ප්‍රාථමික අංශයේ පාසල් සමග ජනවාරි 11 දා පාසල් විවෘත වන්නේ ඔක්තෝබර් මස පැවතියාටත් වඩා අන්තරායකාරී කොන්දේසි යටතේ ය. පැතිරීමේ විශාල සීග්‍රතාවයක් ඇති බ්‍රිතාන්‍ය තුලින් මතු වූ වයිරසයේ නව ප්‍රභේදය දැන් යුරෝපා මහද්වීපය හා ලොව පුරා තවත් රටවල් ගනනාවක් කරා ව්‍යාප්ත වී තිබේ. එය ලංකාව තුලටත් ඇතුලු විය හැකි බවට වසංගත රෝග විද්‍යාඥයින් දැනටමත් අනතුරු අඟවා තිබේ.

නමුත් මනුෂ්‍ය ජීවිතවලට ඉහලින් ධනපති අතලොස්සකගේ ලාභ අවශ්‍යතා පිහිටුවා ඇති ලොව පුරා ධනපති ආන්ඩු මෙම විද්‍යාත්මක සත්‍යයන් මුලුමනින්ම ඉවත දමා ඇත. අනාරක්ෂිත කොන්දේසි යටතේ කම්හල් විවෘත කර කම්කරුවන් වැඩට කැඳවා ඇති ආන්ඩුව දෙසැම්බර් 29 දා සංචාරකයන් සඳහා ගුවන් තොටුපලවල් විවෘත කලේ ය.

එවන් පසුබිමක් තුල පාසල් විවෘත කිරිම යනු ගුරුවරුන් හා ශිෂ්‍යයන් ඇවිලෙන ගින්නකට තල්ලු කිරීමක් හා සමානය. මෙවන් විනාශයකට මහජනයා ගොදුරු කරමින් ඇත්තේ විද්‍යාත්මකව තහවුරු කෙරුනු එන්නත් සොයා ගෙන පැවතිය දී ය.

රාජපක්ෂ ආන්ඩුවේ මෙම සාපරාධි පිලිවෙතට එරෙහිව ජීවිත රැක ගැනීම සහ අධ්‍යාපන අයිතිය තහවුරු කර ගැනීම පිලිබඳව කම්කරු-පීඩිත මහජනතාව අතර බැරෑරුම් සාකච්ඡාවක් වර්ධනය කරමින් අවශ්‍ය හදිසි ක්‍රියාමාර්ග ගැනීමේ අරමුනෙන්, ජනවාරි 07 වන බ්‍රහස්පතින්දා සවස 7.00 ට අන්තර්ජාලය ඔසසේ පැවැත්වෙන සාකච්ඡාවට සම්බන්ධ වන්නැයි අපි සියලු ගුරුවරුන්ට, දෙමාපියන්ට, විශ්වවිද්‍යාල හා උසස් පෙල ශිෂ්‍යයන්ට කැඳවුම් කර සිටිමු.

මෙම රැස්වීමට සහභාගී වීමට මෙම සබැඳිය ඔස්සේ පෙර ලියාපදිංචි වන්න.

Loading