ජනාධිපති රාජපක්ෂ “කොවිඩ්-19 මැඬීමට” යැයි සියලු දිස්ත්‍රික්ක හමුදා ප්‍රධානීන් යටතට පත් කරයි

රාජපක්ෂ ආන්ඩුව හමුදාවට වාරු වූ ඒකාධිපති තන්ත්‍රයක් ගොඩ නගා ගැනීමේ තවත් ඉදිරි පියවරක් තබමින් “කොවිඩ් වසංගතය පාලනයට” යැයි කියමින් රටේ දිස්ත්‍රික්ක 25ට ජනවාරි පලමු වැනි දා සිට වලංගු වන පරිදි හමුදා නිලධාරීන් පත් කර ඇත. මෙය කම්කරු පන්තියට එරෙහි මිලිටරීකරනයේ තවත් එක් නිශ්චිත පියවරක් බව අපි අනතුරු අඟවමු.

දෙසැම්බර් 31 වැනි දා, හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සහ ආරක්ෂක ලේකම් කමල් ගුනරත්න ජනාධිපති ලේකම් කාර්යාලයේ දී තරුපහේ ජෙනරාල් ධූරයන්ට උසස් කෙරුනි. ඉන් අනතුරු ව හමුදාපති සිල්වා ජනාධිපති ලේකම් කාර්යාලය හරහා මුලින් කී පත් වීම් නිවේදනය කල බව හමුදා නිල වෙබ් අඩවිය සඳහන් කරයි.

හමුදා නිල වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට මෙම පත් කිරීම්වල අරමුන “සම්බන්ධීකරන හමුදා නිලධාරීන්, අවශ්‍ය වෙතොත්, දිස්ත්‍රික් මට්ටමේ නිරෝධායන මධ්‍යස්ථාන, නිරෝධායනය සහ ප්රතිකාර සඳහා පුද්ගලයන් ප්‍රවාහනය, බේත්, උපකරන, වියලි ආහාර සහ සෙසු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ සියලු තාක්ෂනික අවශ්‍යතාවන් සඳහා පහසුකම් සම්පාදනය කරනු ඇත,” යයි දක්වා ඇත.

ජූනියේ දී අනාරක්ෂිත කොන්දේසි යටතේ කම්කරුවන් වැඩට කැඳවුනේ මිලිටරි නිරීක්ෂනය යටතේයි. [credit: wsws]

වසංගතයෙන් මහජනයා ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් රාජපක්ෂ ආන්ඩුව දක්වන නොතැකීම සලකන කල, නව අවුරුද්දට සුදානම් වීම් වශයන් ජනාධිපති රාජපක්ෂ මුලු රටේම දිස්ත්‍රික්ක අලලා හමුදා සම්බන්ධීකරන නිලධාරීන් පත්කිරීම ඉහත දක්වා ඇති අරමුනු වලට එහා යයි.

පලමුවෙන්ම, කෝවිඩ්-19 ලංකාව තුලද තවත් වේගවත්ව පැතිරේ යයි ගනන් බලන ආන්ඩුව මහජනයා අතරින් පැනනැගිය හැකි බරපතල විරෝධයන් මැඩීමට ලක ලැහැස්ති වේ.

දෙවනුව, ගෝලීය වසංගතයෙන් ගැඹුරුවී ඇති අර්බුදය පටවමින් රැකියා, වැටුප්, සේවා කොන්දේසි කපා හැරීමට විරුද්ධව නැගී එන පන්ති අරගල ද දුගී ජනයාගේ පෙරලිකාරිත්වය ද තවත් උත්සන්න වනු ඇති බව දන්නා ආන්ඩුව මිලිටරිය සීරුවෙන් තැබීමට තීන්දු කර ඇත.

සිරිසේන-වික්‍රමසිංහ පාලනය ගිය වසරේ පාස්කු ප්‍රහාරයට මුවාවී රටපුරා සෑම දිස්ත්‍රික්කයකම මිලිටරි සම්බන්ධීකරන නිලධාරින් යටතේ හමුදාව සීරුවෙන් තැබීම ඇරඹුවේය. එය දිගටම ගෙනයාන රාජපක්ෂ ඊට සමගාමීව අලුත් පියවර ප්‍රකාශයට පත්කර ඇත.

නව වසරේ දී, බ්‍රිගේඩියර්ලා පස් දෙනෙකු මේජර් ජෙනරාල් ධූරයට උසස් කෙරුනු අතර, තවත් 560ක නිලධාරියෝ ඊලඟ ශ්‍රේනියට උසස් කරනු ලැබූහ. ඩේලිමිරර් සඳහන් කරන ආකාරයට මෙ වැන්නක් ශ්‍රී ලංකා හමුදා ඉතිහාසයේ පෙර නූවූ විරූවකි.

මෙයට සමගාමී ව සිවිල් ජන ජීවිතය තව තවත් මිලිටරීකරනය කෙරෙන පියවර කීපයක් ඉකුත් සතියේ ක්‍රියාවට දැමුනි.

ඒ අනුව, ජනාධිපති රාජපක්ෂගේ නියමය අනුව ජනවාරි 2 වැනි දා සිට රියදුරු බලපත් නිකුත් කිරීම මිලිටරිය යටතට ගෙන ඇත. තව ද, ,ලංකා සතොස නව සභාපති ලෙස රියර් අද්මිරාල් ආනන්ද පීරිස් පත් කරනු ලැබ ඇත.

ජනාධිපති රාජපක්ෂ ආන්ඩුවේ මෙම තීන්දු පසුගිය නොවැම්බර් මාසයේ ඔහු බලයට පත්වූ තැන් පටන් ආරක්ෂක ලේකම් ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් [දැන් ඔහු ජෙනරාල් වරයෙකි] ගුනරත්න පත්කිරීමෙන් මිලිටරීකරනය පටන් ගත්තේය. ආන්ඩුවේ හා පරිපාලනයේ ප්‍රධාන තැන්වලට බොහෝ විශ්‍රාමික හා සේවයේ නියුතු සන්නද්ධ හමුදාවල නිලධාරින් පත්කරමින් මේ මෙම ධාවනය බරපතල ලෙස පුලුල් කර ඇත.

රාජපක්ෂ ආන්ඩුව “වසංගතය සමග ජීවත් වීමේ” තම “නව සාමාන්‍ය” ප්‍රතිපත්තිය අනුව වසංගතය පාලනය කිරීමේ සියලු ම උත්සහයන් අත් හැර දමා ඇත යන්න පසුගිය උත්සව සමයේ සංචරන සීමා පැනවීම ප්‍රතික්ෂේප කිරීමෙන් තවත් පැහැදිලි වූවකි. ලෝකයේ සෙසු රටවල ද මෙම ප්‍රතිපත්ති විසින් නිර්මානය කර ඇත්තේ සමාජ ඛේදවාචකයකි.

ලංකාවේ මරන සංඛ්යාව 200 ඉක්මවා ගොස් ඇති අතර වාර්තාගත සමස්ත ආසාදිතයන් ගනන 45,000ට කිට්ටු කරමින් පවතින්නේ 10 000කට ආසන්න සීමිත පරීක්ෂන යටතේ පවා දෛනික ව 500ක් පමන නව ආසාදිතයන් වාර්තා වෙමිනි.

දශක ගනනාවක කප්පාදූන්ගේ බැට කනු ලැබ ඇති සෞඛ්ය සේවය ලෝකයේ සෙසු රටවල මෙන් ධාරිතාවන් ඉක්ම යාමේ අර්බුදයට පත් ව ඇති අතර දැනටමත් කොවිඩ්-19 සේවාවන් පවත්වා ගන්නේ වෙනත් සායනයන් අකර්මන්‍ය වීමේ තතු යටතේ ය. මෙම සමාජ ව්යසනයන් තමන්ට එරෙහි ව මහජන කෝපය අවුලුවාලනු ඇති බව රාජපක්ෂ ඇතුලු ධනපති පන්තිය දනී.

වතු කම්කරුවෝ හා සෞඛ්ය කම්කරුවෝ වැඩ වේගවත් කිරීමට එරෙහි ව සහ වැටුප් වෙනුවෙන් නැවතත් අරගලයට පිවිසෙමින් සිටිති. ඔකායා, නෙක්ස්ට්, ස්ටාර්, ස්මාර්ට් මාස් ආදි කම්හල්වල සේවකයන් අනාරක්ෂිත කොන්දේසි යටතේ වැඩ කිරීමට විරුද්ධත්වය පලකල අතර තම වැටුප් හා බෝනස් දිනා ගැනීමට ඔකායා, නෙක්ස්ට්, ස්ටාර් කම්කරුවෝ ස්ට්‍රයික් සටන් දියත් කලහ.

පසු ගිය වසරේ දෙ වැනි අර්ධයේ දී ශ්රී ලංකාවේ දල ජාතික නිෂ්පාදිතය සියයට 16.3කින් කඩා වැටුනේ ය. ලංකාව විදේශ නය පැහැර හැරීමකට යාම සම්බන්ධයෙන් ජාත්‍යන්තර උත්සුකය තවත් වර්ධනය වී ඇති පසුබිමක මේ අර්බුදය පියවා ගැනීමට රාජපක්ෂ වසංගතය පැතිර යන කම්හල් වල කම්කරුවන්ගේ ජීවිත පරදුවට තබා ඔවුන් වැඩෙහි යොදවා ඇත. දෙසැම්බර් පලමු වැනි දා වානිජ මන්ඩලයේ සමුලුවක් අමතමින් ජනාධිපති රාජපක්ෂ මහ ව්‍යාපාරිකයට පවසා සිටියේ වසංගතයෙන් ප්‍රතිලාභ උපයා ගත හැකි අංශ හඳුනාගෙන ක්‍රියා කරන ලෙසයි.

මේ අතර ම, රාජපක්ෂ ආන්ඩුව මෙම වසරේ සෞඛ්‍ය වියදම් රුපියල් බිලියන 27කින් කැපී පෙනෙන කපා දැමීමක් කලේ ය. නව කොරෝනා වෛරසයට එන්නත් කීපයක් අත්හදා බැලෙමින් පවතින පසුබිමක එවැනි එන්නතක් ගෙන්වා ගැනීමට අවශ්‍ය කෙරෙන භෞතික සහ වෙනත් පහසුකම් වර්ධනය කිරීමට මොන යම් ම හෝ තැකීමක් නැති ආන්ඩුව ව්‍යාජ ප්‍රතිකර්ම පූර්න රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදු කරමින් සිටී.

වසංගත රෝගයෙන් ආරක්ෂා වීමට තමන් ම නිරෝධායනය වැනි අවශ්‍ය පියවරයන්ට යොමු වන කම්කරුවන් බලාත්කාරයෙන් වැඩට දක්කන රාජපක්ෂ ආන්ඩුව නිරෝධායන නීති කඩකරන්නන් සෙවීමට යැයි කියමින ඩ්‍රෝන රෙජිමේන්තුවක් ස්ථාපිත කලේ ය.

වසංගතය සම්බන්ධයෙන් තීරන ගත හැකි මට්ටමේ සංඛ්‍යානමය තොරතුරු ප්‍රසිද්ධ නොකරන බවට ආන්ඩුවේ ම පන්දම්කාර වෘත්තීය සමිතියක් වන රජයේ වෛද්ය නිලධාරී සංගමය පවා චෝදනා එල්ල කරයි. මෙම තොරතුරු එලිදරවු නොකිරීම සෞඛ්‍ය බලධාරීන්ගේ ගැටලුවක් නොව වසංගතය සම්බන්ධයෙන් යථා තත්ත්වය වසන් කිරීමට ආන්ඩුව ගෙන යන දැනුවත් ප්‍රතිපත්තියේ එක් අංගයකි.

වසංගතය පැතිරෙමින් පැවතිය දී තම සෞඛ්‍යාරක්ෂාව ගැන සැලකිලිමත් වී සේවයට වාර්තා නොකර සිටි වරාය කම්කරුවන් බලාත්කාරයෙන් වැඩට ගෙන්වා ගැනීමට අවශ්‍ය වන නිතීමය පසුබිම් සකසා ගනිමින්, ආන්ඩුව නොවැම්බර් 27 වැනි දා හදිසි සේවා නියෝගයක් නිකුත් කලේ ය. එය මාස්පතා දීර්ඝ කිරීම අරඹා ඇත. වෘත්තීය සමිතිවල සහයෝගයෙන් මෙම මර්දන නීති පැනවීම ආන්ඩුව කම්කරුවන් මතට කඩා පැනීමේ රුදුරු සුදානම කල්තියා ප්‍රදර්ශනය කර ඇත.

මහජනතාව වසංගතයෙන් බේරා ගැනීමට සෞඛ්ය අංශයට වැය කල යුතු මුදල් කප්පාදු කරමින් ඒවා හරහා යවා ඇත්තේ මේ අරමුනු වෙනුවෙන් මිලිටරිය තර කර ගැනීමටයි. මේ වසරේ මිලිටරි වියදම් රුපියල් බිලියන 47කින් රුපියල් බිලියන 440ක් දක්වා ඉහල නංවා ගෙන ඇති අතර හමුදාවට නව බඳවා ගැනීම් නිවේදනය කර ඇත. ආන්ඩුව මෙම වැඩපිලිවෙලට වහන්තරාවක් සපයා ගැනීමට උත්සහ දරන්නේ මත්ද්‍රව්‍ය සහ පාතාලය මැඬීමත් ජාතික ආරක්ෂාවත් ය.

ධනපති ජනමාධ්‍ය මේවා වාර්තා කරන්නේ සාමාන්‍ය සිදුවීම් ලෙසය. සියලුම විරුද්ධ පක්ෂ-- සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුන හා දෙමල ජාතික සන්ධානය-- මිලිටරීකරනයට පක්ෂය. පාලක පන්තියේ සෑම කොටසක්ම තැති ගැනී සිටින්නේ කැකෑරෙන අර්බුදය මධ්‍යයේ කම්කරුවන්ගේ අරගල පුපුරා ඒය යන්න ගැනයි.

රාජපක්ෂ ආන්ඩුව මිලිටරිය අතට බොහෝ බලතල හා පාලන අංශ පවරමින් ගෙන යන පියවර ගැන බරපතල අවධානය යොමුකරන ලෙස ද අවශ්‍ය විප්ලවවාදී නිගමන උපුටා ගන්නා ලෙසද කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් සමාජවාදී සමානතා පක්ෂය ඉල්ලා සිටී. අන් සෑම රටක ම මෙන්ම ලංකාවේ කම්කරු පන්තියට ධනපති ක්‍රමය පෙරලා දමා සමාජවාදය ස්ථාපිත කිරීම සඳහා සටන් කිරීමෙන් මෙපිට තම සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කර ගත නොහැකි ය.

Loading