කටුනායක ඔකායා ලංකා කම්කරුවන් දඩයම් කිරීමක් පටන් ගනියි

කටුනායක නිදහස් වෙලඳ කලාපයේ (කනිවෙක) පිහිටි ඔකායා ලංකා කම්හලේ පාලකයන් කම්කරුවන් දඩයම් කිරීමක් අරඹා ඇත. වැටුප් රහිත නිවාඩු ලබාගෙන ඇතැයි යන්න ආසන්න හේතුව කර ගෙන දැනට මෙම කම්හලේ කම්කරුවන් 8ක් පමන සේවයෙන් පහකර ඇත.

ඔකායා ලංකා කම්කරුවන් ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) පැහැදිලි කලේ මෙම දඩයමට සැබෑ හේතුව තම වාර්ෂික වැටුප් වර්ධකය කප්පාදු කිරීමට එරෙහි ව නොවැම්බර් 18 ආරම්භ කරන ලද වර්ජනය සහ උද්ඝෝෂනය බවයි. කම්කරුවන් 600ක් පමන සහභාගි වූ මෙම අරගලය සමාගමේ පාලකයන්ගේ සහ ආන්ඩුවේ තර්ජන නොතකා දින 10 ක් අඛන්ඩ ව පැවතුනි.

ඔකායා ලංකා කම්කරුවන්ගේ නොවැම්බර් ස්ට්‍රයික් සටන - කම්කරුවෝ වසා දැමු නිදහස් වෙලඳ කලාප පිවිසුම අසල විරෝධය දක්වමින්

ලොසවෙඅ වෙත ලැබී ඇති තොරතුරු අනුව දඩයමට ඉලක්ක කර ඇති කම්කරුවන් බොහෝ දෙනා පසුගිය උද්ඝෝෂනයේ ක්‍රියාකාරීන් ලෙස ඉදිරියෙන් සිටි අයයි.

මෙම උද්ඝෝෂනය මතුවුයේ කොරෝනා වසංගතය නිසා ආයතනය පාඩු ලබන බව පවසා, වාර්ෂික වැටුප් වර්ධකය රුපියල් 700 දක්වා පාලකයන් විසින් කප්පාදු කරනු ලැබීමට එරෙහි ව ය. කම්කරුවන්ගේ අරගලය කඩාකප්පල් කිරීම සඳහා පාලකයන් සමග පොලීසිය, කම්කරු දෙපාර්තමේන්තුවේ හා ආයෝජන මන්ඩලය බලවත් උත්සාහයක යෙදුනි.

කෙසේ වෙතත්, නොවැම්බර් 28 දා කම්කරුවන් සේවයට යලි වාර්තා කලේ, මූලිකව රුපියල් 1000 ක් සහ සේවා කාලයට අනුව වසරකට රුපියල් 100 බැගින් එකතුවන පරිදි වාර්ෂික වැටුප් වර්ධක ලබාදීමට පාලකයන් පොරොන්දු වූ බැවිනි.

ඔකායා ලංකා කම්කරුවන්ගේ නොවැම්බර් ස්ට්‍රයික් සටන - වසා දැමූ කම්හලේ රථගාල අසල විරෝධතාවයේ යෙදෙන කම්කරුවෝ

අපනයනය සඳහා ට්‍රාන්ස්ෆෝමර් නිපදවන, ජපන් හාම්පුතෙකුට හිමි මෙම ඔකායා ලංකා කම්හලේ කොයිල් අංශය සහ කැපෑසිටර් අංශය යනුවෙන් අංශ දෙකක් පවතී.

කොයිල් අංශයේ කම්කරුවෙක් ලොසවෙඅට පැවසුවේ තමන් වැඩ කරන අංශයේ කම්කරුවන් තිදෙනෙකු සහ කැපසිටර් අංශයේ පස් දෙනෙකුද සේවයෙන් ඉවත් කර ඇති බවයි.

දෙසැම්බර් 31 වනදා තම අංශයේ කම්කරුවන් තිදෙනා මානව සම්පත් අංශයට කැඳවා අස්කිරීමේ ලිපි භාර දී ඇති බව ඔහු සඳහන් කලේය. හේතුව ලෙස දක්වා ඇත්තේ ඔවුන් වැටුප් රහිත නිවාඩු යාමයි.

මින් එක් අයෙකු පොලොන්නරුවේ සිට පැමින සේවයේ යෙදෙන අතර අනෙක් කම්කරුවා ආනමඩුවේ පදිංචි කරුවෙකි. ඔවුන් දෙ දෙනා ම වසර දෙකක් පමන මිනිස්බල කම්කරුවන් ලෙස මෙම කම්හලේ වැඩ කර ඇත. තවත් වසරක් පරිවාස සේවයේ සිටි ඔවුහු මෙම වසර මුල සිට සේවය ස්ථිර කිරීමට නියමිත ව සිටියහ.

පරිවාස කාලය යටතේ නිවාඩු අහිමි බැවින් කලින් දැනුම් දීමක් කලොත් පමනක් වැටුප් රහිත ව නිල වශයෙන් නිවාඩුවක් අනුමත කෙරේ.

දුර බැහැර සිට සේවයට පැමින සිටින කම්කරුවන්ට, අසනීප වූ විටදීත් ඔවුන්ට ගමට යාම සඳහා වැඩි කාලයක් ගත වන නිසාත් ඇතැම්විට නිසි පරිදි දැනුම්දීම කල නොහැකි නිසා වැටුප් රහිත නිවාඩු යාමට බල කෙරී ඇත. පසුගිය වසරේ අගුලු දැමීමෙන් පසුව කලාපයේ කම්හල් යලි විවෘත කල ද ගමනාගමන පහසුකම් නොමැති නිසා නිසි වේලාවට වැඩට පැමිනීමට නොහැකි ව බොහෝ කම්කරුවන්ට වැටුප් රහිත නිවාඩු යාමට යාමට සිදු විය.

තම මිතුරන් ඉතාමත් කාර්යක්ෂම ව වැඩකල අතර, වැටුප් රහිත නිවාඩු ගිය ද ඔවුන්ට එරෙහි ව කිසිදු අවවාද කිරීමේ ලිපියක් පාලනය විසින් ලබා දී නැති බව පැවසූ කම්කරුවෙක් ඔවුන් හදිසියේ සේවයෙන් නෙරපනු ලැබීම ගැන සහෝදර සේවකයන් මවිතයට පත් වූ බව කීවේ ය.

මෙම දඩයමට එක ම හේතුව විය හැක්කේ ඔවූන් පසුගිය උද්ඝෝෂනයේ දී ඉදිරියෙන් සිටීමයි. වැටුප් රහිත නිවාඩු ගත්තේයැයි සඳහන් කිරීම දඩයම් කිරීම සඳහා හුදු ව්‍යාජ හේතු දැක්වීමක් බව කී තවත් සේවකයෙක් මෙම දඩයම අනෙකුත් කම්කරුවන්ට තර්ජනයක් සහ අනතුරු ඇඟවීමක් බවත් සඳහන් කලේ ය.

නොසන්සුන්ව සිටින කම්කරුවෝ අනාගතයේදී ද මෙවැනි අසාධාරන හේතු ඉදිරිපත් කරමින් ඕනෑ ම අයෙකු සේවයෙන් ඉවත් කල හැකි බව සාකච්ඡා කරමින් සිටිති.

'යම් වරදක්' සිදු කර ඇතිබවක් හෝ අත්වැරදීමක් සිදුවී ඇතැයි පාලකයන් තීන්දු කලවිට විනයානුකුල ක්‍රියා ගැනීමට පෙර අවවාද ලිපි තුනක්වත් අනතුරු ඇඟවීමක් ලෙස ලබා දීම මෙතෙක්කල් අනුගමනය කෙරුනු සාමාන්‍ය පටිපාටියයි.

පසුගිය මාසවල අරගල පැවති කනිවෙක අනෙකුත් කම්හල්වලින් ද කම්කරුවන් දඩයම් කිරීම වාර්තා වී ඇත.

ස්ටාර් ගාමන්ට් ඇඟලුම් කම්හල ඉන් එකකි. එහි සේවක අයිතීන් වෙනුවෙන් කතා කිරීම හේතුවෙන් ස්ථීර සේවකයින්ද ඇතුලුව 10ක් පමන පසුගිය වසරේ සුලු වන්දියක් දී සේවයෙන් නෙරපා හැර ඇත. තවත් සේවක කප්පාදුවක් සිදුවිය හැකි බව එක් කම්කරුවකු ලොසවෙඅ වෙත පැවසී ය.

ඔහු වැඩකරන ප්ලාන්ට් අංක 1 කම්හලේ යන්ත්‍ර ගලවා සමාගමට ම අයිත් එස්ඩීඅයි කම්හලේ සවි කිරීමට සහ ඒ සමගම සේවකයින් ගනනාවක් ඉවත් කිරීමට සැලසුම් කර ඇත. මේ පිලිබඳ ව කම්කරුවන් පසුගිය මස අග ෆැක්ටරි කලමනාකරුගෙන් විමසූ විට මෙහි සත්‍යයක් ඇති බව ඔහු පිලිගෙන ඇත.

කනිවෙකයේම පිහිටි නෙක්ස්ට් මැනුෆැක්චරින් ඇඟලුම් කම්හලේ 2,000 ක් පමන කම්කරුවන්, තමන්ට හිමි දෙසැම්බර් බෝනස් දීමනාව කපා දැමීමට එරෙහි ව දෙසැම්බර් 16 වැඩ වර්ජනයක් ආරම්භ කලහ. මෙය කඩාකප්පල් කිරීමට පොලීසිය ද කැඳ වුනු අතර කොලඹ කම්කරු කාර්යාලය පාලකයින් සමග කුමන්ත්‍රනයකට එක්විය.

පසු ව, දීමනාවෙන් අඩක් ගෙවන බවට පාලකයෝ පැවසුව ද කම්කරුවෝ මෙය ප්‍රතික්ෂේප කල බැවින් කම්කරු කාර්යාලය මැදිහත්වී ජනවාරි මස 8 වැනි දා නැවත සාකච්ඡා කිරීමේ පොරොන්දුව මත වර්ජනය නවත්වන ලෙස උපදෙස් දීමෙන් අනතුරුව කම්කරුවෝ වර්ජනය තාවකාලික ව අත්හැරියහ.

ඕකයා ලංකා කම්හලේ සේවක දඩයම කනිවෙක සහ අනෙකුත් කම්හල්වල කම්කරුවන්ට ද බරපතල අනතුරු ඇඟවීමකි.

කොරෝනාවෛරසය පැතිරීම මධ්‍යයේ කම්කරුවන් වැඩකිරීම ධනපති සමාගම් විසින් අනිවාර්ය කරනු ලැබ ඇත. වෛරසයේ මාරාන්තික කොන්දේසි යටතේ ජීවත්වීම 'නව සාමාන්‍යය' ලෙස පිලිගත යුතු යයි නියම කර තිබෙන ආන්ඩුවේ ආශිර්වාදය සමාගම්වලට මුලුමනින්ම ලැබේ.

ධනපති පන්තියේ හා විදේශ ආයෝජකයින්ගේ ලාභ රැක දීමට සපුරා ම කැප වී සිටින ආන්ඩුව ගෝලීය වසංගතය නිසා අර්බුදයට ගොස් ඇති සමාගම් වලට කම්කරුවන්ගේ වැටුප්, රැකියා හා සේවා කොන්දේසි උදුරා ගැනීමට වරපත්‍රයක් දී ඇත.

'ත්‍රෛ පාර්ශවික සන්ධානයක්' ලෙස වෘත්තීය සමිති ආන්ඩුව හා හාම්පුතුන් සමග ගාල්වී මෙම ප්‍රහාරය සමග එක්ව සිටිති. ඇන්ටන් මාර්කස් නායකත්වය දෙන නිදහස් වෙලඳ කලාප පොදු සේවක සංගමය සහ ලංකා වෙලඳ කාර්මික හා පොදු කම්කරු සංගමය, එක්සත් කම්කරු සමිති සම්මේලනය හා ජනතා විමුක්ති පෙරමුන විසින් මෙහෙයවනු ලබන අන්තර් සමාගම් සේවක සංගමය මෙම සමිති අතර වෙති.

ලොසවෙඅ හා සමාජවාදී සමානතා පක්ෂය (සසප) යෝජනා කර ඇති පරිදි, කම්කරුවන් සමිතිවලින් ස්වාධීනව කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු සෑම වැඩපොලකම හා කම්කරු නිවහන් පෙදෙස් වල ගොඩනගා කම්කරු දඩයමට එරෙහිව සහ සිය අයිතීන් රැක ගැනීමට සංවිධානය වීම නොපමාව ම සිදුකල යුත්තකි.

ඔකයා කම්කරු දඩයමට එරෙහිවෙමින් මෙම මුලිකත්වය ගනිමින් සමාජවාදී වැඩපිලිවෙලට සටන් කිරීමට සසප හා එක්වන්න.

Loading