සෞඛ්‍ය කම්කරු උද්ඝෝෂන අඛන්ඩව ඉදිරියට

ජනවාරි 6 වැනි දින, දිවයිනේ රෝහල් ගනනාවක සෞඛ්‍ය කම්කරුවෝ ඉල්ලීම් ගනනාවක් මුල් කර ගනිමින් විරෝධතා උද්ඝෝෂන පැවැත්වූහ. කොරෝනා වසංගතය සීඝ්‍රයෙන් පැතිර යන පසුබිමක් තුල සෞඛ්‍ය කම්කරුවන් මුහුනදී ඇති දැවැන්ත අනතුරුදායක තත්වයට එරෙහිව සටන් වැදීමට ඔවුන්ට පවතින දැවෙන වුවමනාව මෙම විරෝධතා උද්ඝෝෂනය තුලින් යලිත් ප්‍රකාශයට පත්වී තිබේ.

රෝහල් ඉදිරිපිට ජනාකීර්න ස්ථාන අසල රැස්වූ සේවක සේවිකාවෝ, සටන් පාඨ හඬ නගමින් පැයකට ආසන්න කාලයක් උද්ඝෝෂනයේ යෙදුනාහ. අවදානම් දීමනාවක් ලබා ගැනීම, නිසි නිවාඩු ලබා ගැනීම, ආදේශක කම්කරුවන්ගේ රැකියා ස්ථිර කර ගැනීම, නිල ඇඳුම් දීමනාව වැඩිකර ගැනීම, උත්සව අත්තිකාරම් ලබා ගැනීම ආශ්‍රිත සටන් පාඨ ඊට ඇතුලත් විය.

ඇල්පිටිය මූලික රෝහල- සේවකයින්ගේ උද්ඝෝෂනය- 2020 ජූනි 15

කොලඹ සහ මහනුවර ජාතික රෝහල්, කලුබෝවිල දකුනු කොලඹ ශික්ෂන රෝහල, රාගම උතුරු කොලඹ ශික්ෂන රෝහල, හෝමාගම කොව්ඩ් රෝගීන් සඳහා වෙන් කර ඇති රෝහල, කුලියාපිටිය රෝහල, කෑගල්ල රෝහල, කලුතර-නාගොඩ රෝහල, නුවරඑලිය රෝහල, වාලච්චේන රෝහල හා ලෙනදොර, හත්තොටඅමුනුව, ලග්ගල ආදී ප්‍රාදේශීය රෝහල් ගනනාවක් ඉදිරිපිටදී දහවල් කෑම විවේකයේදී පැවති මෙම උද්ඝෝෂන සඳහා විශේෂයෙන්ම කනිෂ්ඨ කාර්ය මන්ඩලයන්ට අයත් සේවක සේවිකාවෝ මෙන්ම ආදේශක කම්කරුවෝ ද සිය ගනනින් සහභාගී වූහ.

නොවැම්බර් 25 සහ 26 දින වලද, දෙසැම්බර් මාසය තුලද කිහිප වතාවක් පැවති සෞඛ්‍ය කම්කරුවන්ගේ උද්ඝෝෂන තුලින් එම ක්ෂේත්‍රය තුල සේවක සේවිකාවන්ට පැන නැගී ඇති තියුනු ප්‍රශ්න එලිමහනට පැමින තිබේ.

සෞඛ්‍ය කම්කරුවන්ගේ මෙම විරෝධතාවයන් වර්ධනය වෙමින් ඇත්තේ මහනුවර, රත්නපුර, බදුල්ල, පාදුක්ක, පේරාදෙනිය, ගම්පොල ආදී රෝහල් ගනනාවක සෞඛ්‍ය සේවකයින් සිය ගනනකට කොවිඩ් වසංගතය ආසාදනය වී තවත් කම්කරුවන් විශාල ගනනක් නිරෝධායනයට ලක්වී ඇති පසුබිමක ය. මෙම රෝහල් වල සමහර වාට්ටු වසා දමා තිබේ.

එසේ වුවද තවත් බොහෝ රෝහල් වල කොවිඩ් රෝගීන්හට සෞඛ්‍ය කම්කරුවන් නිරාවරනය වී තිබියදීත් රෝහල් පරිපාලනය ඒ් පිලිබඳ නොතකමින් රෝහල් පවත්වා ගෙන යන බව වාර්තාවේ. රෝහල් තුල රෝගීන්ට හා සෞඛ්‍ය සේවකයන් හට වසංගතය ආසාදනය වීම පිලිබඳ තොරතුරු පරිපාලනයන් විසින් අනාවරනය නොකරන පසුබිම තුල සෞඛ්‍ය කම්කරුවන් මුහුනදෙන අන්තරායකාරී බව තියුනු ලෙස ඉහල නැග තිබේ. රට තුල දැනට සෞඛ්‍ය කම්කරුවන් කොපමනක් වසංගතයෙන් ආසාදනය වී ඇත්දැයි සංඛ්‍යා ලේඛන ආන්ඩුව විසින් නිකුත් කර නැත.

හෝමාගම කොවිඩ්-19 රෝගීන් සඳහා රෝහලේ සුලුසේවකයින්ගේ උද්ඝෝෂනය

හෝමාගම කොවිඩ් රෝහල ඉදිරිපිට උද්ඝෝෂනයේ යෙදුනු කම්කරුවන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන්ට කියා සිටියේ තමන්ට කොවිඩ් රෝගය ආසාදනය වී ඇත්දැයි දැන ගැනීමට පීසීආර් පරීක්ෂනයක් කර ගැනීමට පවා ඉඩ ලබා නොදෙන බවයි.

“අපි සෑහෙන ජීවිත අවදානමක් අරන් වැඩකරන්නෙ. අපේ ඇඟේ මේ මොහොතේ කොරෝනා වෛරස් එක තියෙනවද කියන්න අපි දන්නෙ නැහැ. අපිට රෝගය වැලඳිලා කියල සැක නම් පරීක්ෂනයක් කරවගන්න විදියක් නැහැ. එහෙම ඉල්ලීම් කලාට කිසිම වැඩක් වෙලා නැහැ” යැයි කම්කරුවෙක් පැවසීය.

තමන් මුහුන දෙන අනාරක්ෂිත තත්වය පිලිබඳව තව දුරටත් කරුනු දැක්වූ කම්කරුවෙක් මෙසේ පැවසීය: “පීපීඊ නම් ඉතාම අඩුයි. ලොකු බයකින් සමහර වෙලාවට වැඩ කරන්නෙ. අපි රෝහල් වල සේවකයො වෙලත් මැරිල යනකල් දැනගන්න ලැබෙන්නෙ නැහැ අපිට කොරෝනා තිබුනොත්.”

විශේෂයෙන්ම උද්ඝෝෂනයේ යෙදුනු කනිෂ්ඨ කාර්ය මන්ඩල වලට අයත් ආදේශක හා උපස්ථායක සේවක සේවිකාවන් කියා සිටියේ, රෝගියෙකු රෝහලට පැමිනි අවස්ථාවේ සිටම ඉතා සමීපව ඔවුන්ට උපස්ථාන කිරීමට සිදුවෙන නමුත් තමන්ට වසංගතයෙන් ආරක්ෂාව ඇත්තේ අවම මට්ටමේ බව යි.

මෙම උද්ඝෝෂනය කැඳවා තිබූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයට (පෙසප) සම්බන්ධ ඒ්කාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය පසුගිය මාස ගනනාවක් තිස්සේ ක්‍රියා කරමින් සිටින්නේ, සෞඛ්‍ය ආමාත්‍යංශයේ ලේකම්ට හා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චිට ලියුම් පිට ලියුම් ලියමින් සහ මෙවන් උද්ඝෝෂන හරහා ආන්ඩුවට බලපෑම් දමා මෙම ඉල්ලීම් දිනා ගත හැකිය යන මිථ්‍යාව සෞඛ්‍ය කම්කරුවන් අතර වගා දිගා කිරීමටය.

සෞඛ්‍ය සුලු සේවකයිගේ රැකියා ස්ථිරකරගැනීම සඳහා විරෝධතාවය -මහනුවර රෝහල

මහනුවරදී උද්ඝෝෂනයේ යෙදුනු කම්කරුවෙකු ලෝසවෙඅ වාර්තාකරුවන්ට පැවසුවේ “ආන්ඩුව හැමදාම පොරොන්දු වෙනවා, ඒත් අපිට ලැබිච්ච දෙයක් නෑ,” යනුවෙනි. “අනතුරුදායක රැකියාවක් කරන්නේ කෝවිඩ් වසංගතයක් එක්ක, ලෙඩ්ඩු ගෙනියන්න ඕනෑ හරියට ආරක්ෂක උපකරන නැතිව. මාස්ක් (මුහුනු ආවරන) එක පවා ගන්නෙ අපේ සල්ලි වලින්. අපේ ජීවිත ගැන හිතාගන්නත් බෑ. දැන් අවුරුදු ගනනක් වෙලත් තවම ස්ථිර කලෙත් නැහැ” යනුවෙන් එක් කම්කරුවෙක් සිය අතෘප්තිය හා කෝපය ප්‍රකාශයට පත් කලේය.

මේ වතාවේ ඉල්ලීම් නොලැබුනොත් “දැඩි වෘත්තීය ක්‍රියා මාර්ග” වලට යන බවට පූච්චානම් දෙඩවූ ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද මෙම උද්ඝෝෂනයට පසුදිනම වන්නිආරච්චිට ලිපියක් ලියමින් සෞඛ්‍ය සේවක ඉල්ලීම් සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ඉල්ලා තිබේ. මේ අන්දමින් සෞඛ්‍ය කම්කරුවන් ගේ සටන්කාමීත්වය සිර කරමින් එම සටන් හුදකලා කිරීමට මෙම සමිතිය ක්‍රියා කරමින් සිටියි.

කොවිඩ්-19 වසංගතයෙන් උග්‍රකෙරී ඇති ලෝක ධනේශ්වර අර්බුදය හමුවේ, සෑම රටකම පාලක පංතීන් මෙතෙක් ගෙනගිය කප්පාදු වැඩපිලිවෙල වඩාත් වේගවත් කර ඇත. රාජපක්ෂ ආන්ඩුව මෙම වසරේ සෞඛ්‍ය වියදම, ගිය වසරට සාපේක්ෂව රුපියල් බිලියන 27 කින් කප්පාදු කොට ඇත්තේ වසංගතය මැඩීමට දැවැන්ත පරිමාන මුදල් ප්‍රතිපාදන අවශ්‍යව ඇති පසුබිමකයි.

සෞඛ්‍ය කම්කරුවන්ට තම අයිතීන් තහවුරු කරගත හැක්කේ රාජපක්ෂ ආන්ඩුවටත් සමස්ත ධනපති ක්‍රමයටත් එරෙහි ස්වාධීන දේශපාලන අරගලයක් තුලින් පමනකි. සෞඛ්‍ය කම්කරුවන්ගේ ශ්‍රේනි අතර පුලුල් ඒකාබද්ධතාවක් මත අනෙකුත් කම්කරු පන්ති කොටස්ද අරගලයට ඒකාග්‍ර කර ගනිමින්, සමාන ප්‍රශ්න වලට මුහුන දී සිටින ජාත්‍යන්තර කම්කරුවන් සමග එක්ව පීඩාකාරී ධනේශ්වර පද්ධතිය පෙරලා දැමීම ඉලක්ක කරගත් එම අරගලය සංවිධානය කිරීම දැවෙන අවශ්‍යතාවයයි.

ධනපති ක්‍රමයට එරෙහි එවන් පුලුල් අරගලයක් වර්ධනය වීමට ප්‍රතිපක්ෂව කම්කරුවන් ආන්ඩුවේ ඊනියා සාකච්ඡා මේසයට ගාල් කිරීමේ වඳ බලපෑම් දැමීමකට ලඝු කිරීමට ක්‍රියා කල ව්‍යාජ-වාම පෙසපයේ වෘත්තීය සමිති ඇතුලු අනෙකුත් සමිති, සෞඛ්‍ය කම්කරුවන් මුහුනදී සිටින මෙම නොවිසඳුනු ප්‍රශ්න වලට වගකිව යුතුය.

ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුවේ කොවිඩ් වැලැක්වීමේ ක්‍රියාවලිය පසසමින් “වෙනස්කම් තිබියදී” තමන්ගේ සහායද ආන්ඩුවට ලබාදීමට පවතින සූදානම පෙසප පසුගිය අප්‍රේල් මසදී එහි ලේකම් කුමාර් ගුනරත්නම් අගමැති මහින්ද රාජපක්ෂට ලිවූ ලිපි දෙකකින් ප්‍රකාශයට පත් කලේය.

සියලු ඊනියා විරුද්ධ පක්ෂ වල සහය ගොනු කර ගත් ආන්ඩුව මිලිටරීකරනය වේගවත් කරමින්, මහ ධනපතියන්ගේ ලාබ අවශ්‍යතා වෙනුවෙන් කම්කරුවන් වැඩට දැක්කුවේ වසංගත අවදානමට ඔවුන්ව ඇද දමමිනි.

සෞඛ්‍ය කම්කරුවන් මුහුන දෙන ප්‍රශ්න උග්‍ර වී ඇත්තේ, ආන්ඩුව පීසීආර් පරීක්ෂන අවම මට්ටමක පවත්වාගෙන යමින් වසංගතයේ අනතුර ආවරනය කොට “කොවිඩ් සමග ජීවත්වීමේ නව සාමාන්‍ය” කරා වැඩ කරන ජනයා ඇද දැමීම හේතුවෙන් වසංගතය වේගයෙන් පැතිරී රෝහල් පිරීතිරී යාමෙනි.

මිලිටරිය මත පදනම් වූ ආඥාදායකත්වයක් යටතේ, වැඩ කරන ජනයා තලා දමමින් රට මහ ධනපති ආයෝජකයන්ගේ ශ්‍රම සූරා කෑමේ පාරාදීසයක් බවට පත් කිරීමට ක්‍රියා කරමින් සිටින රාජපක්ෂ පාලනයේ ප්‍රහාරයන්ට එරෙහිව සටන් වැදිය හැක්කේ කම්කරු පන්තියේ ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියා මාර්ගය මත පදනම් වීමෙනි.

එම ක්‍රියා මාර්ගය මත සටන් වැදීමට, සමාජවාදී සමානතා පක්ෂය (සසප) සමඟ එක්ව, තම සේවා ස්ථාන වල ස්වාධින කම්කරු ක්‍රියාකාරී කමිටු තනා ගැනීමට ඉදිරියට පැමිනෙන ලෙස ද සසප විසින් ගොඩ නගා ඇති සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව සමඟ සාකච්ඡා අරඹන ලෙසද සියලු සෞඛ්‍ය සේවක සේවිකාවන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

Loading