කොවිඩ් වසංගතයෙන් ලංකාව තුල පලමු සෞඛ්‍ය සේවකයා මිය යයි; සෞඛ්‍ය සේවකයින් වසංගතයට ගොදුරු කිරීම වහා නවතනු!

කොවිඩ් රෝගය වැලඳී ඇති බවට තහවුරු වූ රත්නපුර රෝහලේ කාර්ය මන්ඩලයේ ආදේශක සෞඛ්‍ය කම්කරුවකු හෝමාගම කොවිඩ් රෝගීන් සඳහා වූ රෝහලට ඇතුලු කල පසුව දැඩි සත්කාර ඒ්කකයේදී ජනවාරි 8 දින මිය ගියේය. මෙම මරනය ලංකාවේ සෞඛ්‍ය සේවක‌යෙකු කොරෝනා වසංගතයෙන් මිය ගිය පලමු මරනය ලෙස වාර්තාවේ.

කොරෝනා වසංගතයෙන් මරනයට පත් වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම සෞඛ්‍ය සේවකයා- රත්නපුර රෝහලේ කාර්ය මන්ඩලයේ ආදේශක සෞඛ්‍ය කම්කරුවකු වන සෝපාන ක්‍රියාකරු ශාන්ත ස්ටීවන්

ශාන්ත ස්ටීවන් නමැති මෙම සෞඛ්‍ය සේවකයා වැඩ බලන විදුලි සෝපාන ක්‍රියාකරුවකු ලෙස සේවයේ යොදවා තිබිනි. ඔහු පලමුව රෝහලට ඇතුලු කර ඇත්තේ හිසට සිදුවූ තුවාලයක් නිසා බවත් කොවිඩ් රෝගියෙකු බවට අනාවරනය වූයේ ඉන් පසුව බවත් වාර්තාවේ. 

මේ වන විට රත්නපුර රෝහලේ වෛද්‍යවරයෙක් හෙදියන් 5ක් හා හෙද සහායකයන් 4ක්  කොරෝනා වෛරසයෙන් ආසාදිත වී රෝගාතුර වී ඇති අතර වාට්ටු 5ක් වසා දමා තිබේ.

රත්නපුර ශික්ෂන රෝහල තුල පීසීආර් පරීක්ෂන කිරීමේ පහසුකම් වසංගතය මතුවූ ජනවාරි මාසයේ සිටම නොතිබුනි.  ජනවාරි  4 දා පීසීආර් යන්ත්‍රයක් එම රෝහලට ලබා ගෙන ඇත්තේ එම ප්‍රදේශයේ වෛද්‍යවරු, අධ්‍යාපන ආයතන, විදුහල්පතීන් හා ගුරුවරුන්ගෙන්ද ආධාර එකතු කර ගැනීමෙනි. 

රත්නපුර හා කෑගල්ල වැනි රෝහල් පීසීආර් පරීක්ෂන සඳහා සබරගමුව විශ්ව විද්‍යාලයේ හා තේ පර්යේෂන ආයතනයේ උදව් ලබා ගැනීමට මෙහෙයවමින් කොවිඩ් රෝගයට ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් අතිශය දුෂ්කර කොන්දේසි වලට ඇද දමා තිබෙන බව වාර්තා විය.  

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පීසීආර් යන්ත්‍රය බාර දීමේ රැස්වීම තුල සෞඛ්‍ය සේවකයන්ගේ සේවය පිලිබඳ පුහු ගුන ගායනා අතරම වන්නිආරච්චි ප්‍රකාශ කලේ කොවිඩ් වසංගතය සමඟ ජීවත් වෙමින් එය පැතිරීම සීමා කර ගත යුතු බවයි. ආන්ඩුව රට වසන්නට අදහස් නොකරන බවද ඇය පැවසුවාය.

ඇය මෙසේ සඳහන් කරන්නේ රට තුල කොවිඩ් ආසාදිතයින් දිනකට 500ක පමන ගනනකින් ඉහල යමින් ඇති තතු තුලය. දැනට රට තුල කෙරෙන පීසීආර් පරීක්ෂන සංඛ්‍යාව ලොව රටවල් අතුරින් අතිශයින්ම පහල මට්ටමක පවතියි. එබැවින් ආන්ඩුවේ සංඛ්‍යාලේඛනවලින් රටෙහි වසංගතය පැතිරීමේ සත්‍ය තත්වය එලිදරව් නොවේ.

සෞඛ්‍ය බලධාරීන් නිකුත් කරන දත්ත අනුව මේ වන විට රට තුල වාර්තා වන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 50,000ට ආසන්න වෙමින් තිබේ; මරන සංඛ්‍යාව 240කි. රෝහල් වල ඇති තදබදය හා ජනයා රෝහල් වලට ඒමට දක්වන බිය නිසා බොහෝ කොවිඩ් රෝගීන් නිවෙස් තුලම මිය යන බව වාර්තා වන අතර රෝහල් ගතව ප්‍රතිකාර ගන්නා කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 6,000 සිට 7,000 පමන වේ. කොවිඩ් රෝගයෙන් රෝහල් පිරී ඉතිරී යාම නිසා අනෙකුත් රෝගීන්හට කෙරෙන ප්‍රතිකාර සීමාසහිත වී තිබේ. 

ආන්ඩුව විසින් ක්‍රියාත්මක කරමින් සිටින්නේ “රංචු ප්‍රතිශක්තියේ” පිලිවෙතයි. ඉන් අදහස් කෙරෙන්නේ, හැකිතරම් රෝගය බෝවීමට ඉඩහැර ශරීර තුල ප්‍රතිශක්තිය ජනනය කිරීමයි. එය ජනයා රෝගයට මෙන්ම මරනයට හෙලීමේ පිලිවෙතකි. මෙය 'නව සාමාන්‍යය' ලෙස පිලිගන්නා මෙන් මහජනයාට ඇනවීමක් සහ මහා ව්‍යාපාරවලට ලාභ මිරිකා ගැනීමට හැකිවන සේ වැඩපොලවල්  විවෘත කරදීමේ පිලිවෙතකි. 

පාසැල් විවෘත කරමින් හා සංචාරක ව්‍යාපාරය දියත්කරමින් වසංගතය පැතිරීමට තව දුරටත් ඉඩ සලසමින් ඇති අතර රෝගය වලක්වන එන්නතක් මහ ජනයාට ලබා දීම පිලිබඳ නිශ්චිත සැලසුමක් ප්‍රකාශයට පත්වී නැත.

ආන්ඩුව විසින් ගෙන යනු ලබන මෙම දැනුවත් ජන ඝාතක වැඩ පිලිවෙලේ ඍජු ගොදුරු බවට පත්වන්නේ වසංගතය සමඟ ඉදිරි පෙල මුහුනට මුහුනලා ගැටෙන සෞඛ්‍ය සේවක සේවිකාවන් වන අප ය.

නිසි පරිදි රෝගයෙන් ආරක්ෂා වීමේ උපකරන (පීපීඊ) සෞඛ්‍ය සේවකයන්හට ලබා නොදෙනවා පමනක් නොව ඔවුන් කොවිඩ් රෝගියෙකුට නිරාවරනය වුවහොත් පීසීආර් පරීක්ෂනයක් කර ගැනීමට පවා ඉඩ නොලැබේ. රෝහල් වල සේවක පුරප්පාඩු ගොඩ ගැසී ඇති බැවින්, දරා ගත නොහැකි ප්‍රමානයට වැඩ අධිකවී ඇති බැවින් සහ නිවාඩු ලබා ගැනීම දුෂ්කර වී ඇති බැවින් කොවිඩ් රෝගය වැලඳීමේ ඉඩකඩ ඉහල යන බව අපි දනිමු.   

මරනයට පත්වූ ස්ටීවන් සමඟ සේවය කල රත්නපුර රෝහලේ සෞඛ්‍ය සේවකයකු සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුවට ප්‍රකාශ කලේ රත්නපුර රෝහලේ අත් වැසුම් හා සැනිටයිසර් (විෂබීජ නාශක දියර) ආදිය පවා තමන්ට ප්‍රමානවත් ලෙසින් නොසැපයෙන අතර කොවිඩ් වසංගතයට මුහුන දීමේ සැලසුමක් නොදකින බවයි. 

සෞඛ්‍යය හා අධ්‍යාපනය ඇතුලු ක්ෂේත්‍රයන්හි වැඩ කරන ජනයාට අවශ්‍ය සේවාවන් කප්පාදු කරමින් හා රාජ්‍ය ආයතන පුද්ගලීකරනය කිරීමට ක්‍රියා කරමින් සිටින ආන්ඩුව සෞඛ්‍ය කම්කරුවන් වන අප ඇද දමා ඇත්තේ වසංගතයේ හා මරනයේ මාවතටයි. මෙවර අයවැයෙන් සෞඛ්‍යයට වෙන්කර ඇත්තේ 2019 ට ද වඩා රුපියල් බිලියන තිහක් පමන කපා දමමින් රුපියල් බිලියන 159කි. එයද හුදු ඇස්තමේන්තුවක් පමනි.

ලොව පුරා මෙලෙස ක්‍රියා කරන රටවල් 44 ක ආන්ඩු විසින් පසුගිය වසරේ ඔක්තෝබර් වන විටත් සෞඛ්‍ය සේවකයින් 20,000ට වඩා මරනයට පත් කර ඇති බව ජාත්‍යන්තර හෙද කවුන්සිලයේ (ICN) විශ්ලේෂනයකින් හෙලි කෙරිනි. පසුගිය අගෝස්තු මස වන විට ලොව පුරා ආසාදිත සෞඛ්‍ය සේවක සංඛ්‍යාව 300,000ක් පමන වූ බව ෆෝබ්ස් සඟරාව වාර්තා කලේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව සෞඛ්‍ය සේවකයින් ජනගහනයෙන් සියයට 3 කටත් වඩා අඩු සංඛ්‍යාවක් වුවද, කොවිඩ් රෝගීන්ගෙන් සියයට 14 ක් පමන වාර්තා වන්නේ සෞඛ්‍ය සේවකයින්  අතරිනි. ජන ඝාතක රංචු ප්‍රතිශක්ති පිලිවෙත ඉහලින්ම ක්‍රියාවට දමමින් සිටින ලොව ධනවත්ම රට ලෙස සැලකෙන ඇමරිකාවේ දෙසැම්බර් අග වන විට සෞඛ්‍ය සේවකයින් 3,000ට ආසන්න සංඛ්‍යාවක් වසංගතයෙන් මිය ගොස් ඇත.

ලංකාවේ රෝහල් වල සෞඛ්‍ය සේවකයින්හට සිදුවන කොවිඩ් ආසාදනයන් රෝහලේ අනෙකුත් සේවකයන්ගෙන් වසන් කර තැබීම ඒ් ඒ් රෝහල්වල බොහෝ බලධාරීන් විසින් කරගෙන යනු ලබයි. කොවිඩ් රෝගයට ගොදුරුවූවන් පිලිබඳව දැනගත් පසුව ඔවුන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනයට ලක් නොකිරීම, එම රෝගීන් වැඩකල වාට්ටු හා ගැවසුනු තැන් විෂබීජහරනය නොකිරීම  සෞඛ්‍ය වියදම් කපා දැමීමේ ආන්ඩුවේ පිලිවෙත්වල  ප්‍රතිඵලයකි. 

බොහෝ රෝහල් වල සෞඛ්‍ය කම්කරුවන්හට සිය රෝහලේ සහෝදර කම්කරුවන් මඟින් ආරංචි මාත්‍ර ලෙස ආසාදනය වීම් දැන ගන්නට ලැබුනු විට පමනක් තම ආරක්ෂාව සලසා ගැනීමට පියවර ගැනීමට සිදුව තිබේ. රට පුරා කොවිඩ් ආසාදනයට ලක්ව ඇති සෞඛ්‍ය කම්කරුවන් සංඛ්‍යාව පිලිබඳ තොරතුරු ප්‍රසිද්ධ නොකිරීම සංඛ්‍යා ලේඛන අඩු මට්ටමකින් පෙන්වීමේ උපාමාරු අනුව සිදුවේ.  

වරින් වර මාධ්‍යයන් මගින් පල කරන වාර්තා සැලකූ කල මේ වන විට සිය ගනනක් සෞඛ්‍ය කම්කරුවන් කොවිඩ් රෝගයෙන් බැට කන බවත් තවත් සිය ගනනක් නිරෝධායනයට ලක්ව ඇති බවත් පැහැදිලිය. කොලඹ හා මහනුවර ජාතික රෝහල් ඇතුලුව රත්නපුර, බදුල්ල, පාදුක්ක, පේරාදෙනිය, ගම්පොල, කෑගල්ල රෝහල් හා ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල් කිහිපයක සෞඛ්‍ය සේවකයන් විශාල ප්‍රමානයක් කොවිඩ් රෝගයට ගොදුරු වී සිටින බව එම වාර්තා සැසඳීමෙන් යන්තම් සිතාගත හැක. 

නිවෙස්වල නිරෝධායනය වීමේ ඉඩ පහසුව නොමැති සෞඛ්‍ය සේවකයින්ට එම පහසුකම් සැලසීමක් ආන්ඩුවෙන් සිදු නොවේ.  එබැවින් පවුලේ අය වසංගතයෙන් මුදා ගැනීම සේවකයා මුහුන දෙන දුෂ්කර කාර්යයකි.

මේ අතරින් දෛනික වැටුප් හිමි ආදේශක සෞඛ්‍ය කම්කරුවන් හට සේවයට වාර්තා නොකරන දින වලට වැටුප් නොලැබෙන අතර මෙම කම්කරුවන් ස්ථිර සේවයට බඳවා ගැනීමට අවශ්‍ය සියලු වුවමනාවන් සපුරා කලක් ගතවී ඇතත් ආන්ඩුව එය නොතකා ඔවුන්ව දෛනික වැටුප් ලබන කම්කරුවන් ලෙස කොවිඩ් වසංගතය හමුවේ අන්තරායකාරී ලෙස සේවයේ යොදවමින් සිටියි.

පසුගිය සමයේ දිගින් දිගටම පැවති සෞඛ්‍ය කම්කරු උද්ඝෝෂනයන් තුලදී මෙම ඉල්ලීම ලබා ගැනිමට මෙන්ම සියලු සෞඛ්‍ය කම්කරුවන්ට අවදානම් දීමනාවක් ලබා ගැනීම සඳහා ද සෞඛ්‍ය කම්කරුවෝ සටනට එලැඹ සිටිති. පසුගිය 6දා පැවති සෞඛ්‍ය කම්කරු උද්ඝෝෂනයේදී එක් සෞඛ්‍ය කම්කරුවෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට සඳහන් කලේ “ආන්ඩුව හැමදාම පොරොන්දු වෙනවා, ඒත් අපිට ලැබිච්ච දෙයක් නෑ,” යනුවෙනි.   

සෞඛ්‍ය සේවක සේවිකාවන් මරනයට ගොදුරු වෙමින් ඇති මෙම තත්වය වලක්වා ගනිමින් තම ජීවිත හා රෝගීන්ගේ ජීවිත ගලවා ගැනීම සඳහාත් සෞඛ්‍ය කම්කරු ඉල්ලීම් දිනා ගැනීම සඳහාත් සෞඛ්‍ය කම්කරුවන් විසින් රෝහල් තුල ක්‍රියාකාරී කමිටු ලෙස ශ්‍රේනි භේදයකින් තොරව ස්වාධීනව හා ඒ්කාබද්ධව සංවිධානය වීම දැවෙන අවශ්‍යතාවයක් බවට පත්වී තිබේ. 

ඒ් සඳහා වැඩි දුර සාකච්ඡා කිරීමට පහත සඳහන් විස්තර ලබාදී සෞඛ්‍ය සේවක අවශ්‍යතාවන් දිනා ගැනීමේ සටනට එක්වන ලෙස සියලු සෞඛ්‍ය සේවක සේවිකාවන්ගෙන් සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව ඉල්ලා සිටියි.  

 

Loading