පේරාදෙනිය රෝහලේ සෞඛ්‍ය සේවකයින් වෛරසයට ගොදුරු කිරීම වහා නවතනු!

කොවිඩ්-19 වසංගතය වේගයෙන් පැතිර යද්දී වෛරසයෙන් ආසාදනය වන සෞඛ්‍ය සේවක සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහල යමින් පවතී. අගෝස්තු මස අග වන විට ලොව පුරා ආසාදිත සෞඛ්‍ය සේවක සංඛ්‍යාව 300,000ක් පමන වූ බව ෆෝබ්ස් සඟරාව වාර්තා කලේය. ජාත්‍යන්තර හෙද කවුන්සිලයේ (ICN) විශ්ලේෂනයකට අනුව, ඔක්තෝබර් අග වන විට සෞඛ්‍ය සේවකයින් 20,000ට වඩා මරනයට පත්ව ඇත. ශ්‍රී ලංකාවේ පලමු සෞඛ්‍ය සේවක මරනය වාර්තා කරමින්, ජනවාරි 08 දා, රත්නපුර රෝහලේ සේවකයෙක් හෝමාගම කොවිඩ් රෝහලේදී මිය ගියේය. 

නිසි ආරක්ෂක උපකරන සහ ක්‍රමවේද නොමැතිව සේවයේ යෙදීමට සිදුවීම මෙම ආසාදනයන්ට සහ මරනයන්ට මූලික හේතුව වෙයි. මෙම තත්වයට සෞඛ්‍ය සේවකයන් මුහුන දෙන ලංකාවේ රෝහල් අතරින් පේරාදෙනිය ශික්ෂන රෝහල ප්‍රමුඛ එකකි.

පහත දැක්වෙන්නේ, පේරාදෙනිය රෝහලේ සේවකයන් එවන් අන්තරායකාරී තත්වයන්ට මුහුනදුන් අවස්ථාවන් කීපයකි: 

  • වෛරසය ආසාදිත බවට සැක කෙරී පීසීආර් පරීක්ෂාවට ලක් කෙරුනු බාහිර ප්‍රතිකාර අංශයේ රෝගියෙකු, කායික රෝගී වාට්ටුවක් වන වාට්ටු අංක 12 ට, ජනවාරි 03 දා ඇතුලත් කෙරුනි. ජනවාරි 05 දා ලැබුනු පරික්ෂන වාර්තාවෙන් ඔහු ආසාදිතයෙකු බව තහවුරු විය. මේ අනුව වාට්ටුව වසා දමා, එහි සමස්ත කාර්ය මන්ඩලය ම, එනම් වෛද්‍යවරුන් 4 දෙනෙකු, හෙද නිලධාරීන් 16 දෙනෙකු සහ කනිෂ්ඨ කාර්ය මන්ඩලයේ 12 දෙනෙකු නිරෝධායනයට යොමු කෙරුනි.
  • හදිසියේ ම ගෘහස්ථ නිරෝධායනයට ලක් කල සේවකයන්ට තම නිවෙස් බලා යෑමට ප්‍රවාහන පහසුකම් ලබා දුන්නේ පැය ගනනාවක් ගතවූ පසු ඔවුන් කල දැඩි ඉල්ලීමෙන් අනතුරුවයි. තවද සමහර සේවකයන් නිවෙස් බලා පිටත් වූයේ පෞද්ගලික වාහන ගෙන්වා ගැනීමෙන් පසු ය. 
  • මෙය ලියන අවස්ථාව දක්වා මෙම කොවිඩ් රෝගියාට සමීපව වැඩ කල කිසිම සේවකයෙකු පීසීආර් පරීක්ෂනයකට ලක් කර නැත. පසුව මෙම රෝගියා තෙල්දෙනිය කෝවිඩ් රෝහලට මාරු කර යැවුනි. නමුත් ඔහුගේ ඇඳට යාබද ඇඳේ සිටි රෝගීයා හදිසියේ මිය ගොස් ඇති අතර ඔහුගේ පීසීආර් ප්‍රතිඵල මෙතෙක් ලැබී නැත.  කෙසේ නමුත් ඔහුගේ දේහය වාට්ටුවෙන් ඉවත් කර ඇත්තේ කොවිඩ් රෝගියෙකුගේ දේහයක් ලෙස සලකා ය. 

12 වාට්ටුවේ සේවකයන් පවසන්නේ එම වාට්ටුවට නිතර නිතර කොවිඩ් සැක සහිත රෝගීන් ඇතුලත් කරන අතර ප්‍රමිතිගත සෞඛ්‍ය ආරක්ෂක ඇඳුම් කට්ටල ලබාදී නොමැති බවයි. ලබාදී ඇති අනාරක්ෂිත ඇදුම් කට්ටල පවා නැවත භාවිතයට බල කෙරී ඇති අතර ආසන්න දිනයකදී කාර්ය මන්ඩලයට ලබාදී තිබූ සෞඛ්‍ය ආරක්ෂිත ගවුම් පවා රෝහල් බලධාරීන් ගේ නියෝගය මත නැවත එකතු කරගෙන තිබේ. 

ප්‍රමිතිගත මුඛ ආවරන හා මුහුනු ආවරන තම මුදලින් මිලදී ගැනීමට සිදුව ඇත්තේ ඒවා ආන්ඩුවෙන් ලබා නොදෙන බැවිනි. එලෙසම නිල ඇඳුම වෙනුවට ආරක්ෂිත ඇඳුමක් ලබාදෙන ලෙස හෙද හෙදියන් කල ඉල්ලීම ද ආන්ඩුව ප්‍රතික්ෂේප කර ඇත.

 කොරෝනා වසංගතය දෙවන වරට උත්සන්න වීමත් සමඟ කාර්ය මන්ඩලයේ ප්‍රබල ඉල්ලීම මත කාර්ය මන්ඩලය දෙකට බෙදා කොටස් වශයෙන් සේවයට වාර්තා කිරීමේ ආරක්ෂිත ක්‍රමයට අවසර හිමිව තිබූ මුත්, පසුව ආන්ඩුවේ උපදෙස් මත බලධාරීන් එය ප්‍රතික්ෂේප කල අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සමස්ත කාර්ය මන්ඩලයටම නිරෝධායනය වීමට සිදුවිය.

 එසේම මේ අවස්ථාවේදී ඉහත වාට්ටුව වසා දැමීමකින් තොරව දිගටම පවත්වාගෙන යෑමට ගත් උත්සාහයේ දී අප සහෝදර සේවකයන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් වාට්ටුව වැසීමට සිදුවිය. 

 තවත් වාට්ටුවක සේවකයෙකු පැවසුවේ, නිරෝධායනය වීමට සිදු වුවහොත් ඒ සඳහා තම නිවෙස් වල වෙනම කාමර සහ වැසිකිලි පහසුකම් නොමැති බවයි.

 මෙම අන්තරායකාරී තත්වය පැන නැග ඇත්තේ, මහා ව්‍යාපාරිකයන්ගේ ලාබ අවශ්‍යතා වෙනුවෙන්, අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන සහ සේවාවන් පවා විවෘතව තබා ගනිමින් කම්කරුවන් වැඩට දැක්කීමේ, නැතහොත් “වසංගතය සමඟ ජීවත් වීම” නමින් ආන්ඩුව ගෙනයන සාපරාධී පිලිවෙත නිසා බව පේරාදෙනිය ශික්ෂන රෝහලේ සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව අවධාරනය කරයි.

  • රෝහලේ දැඩි සත්කාර ඒකකයේ  අග්න්‍යාශයික ප්‍රදාහය (pancreatitis) රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබමින් සිටි 43 හැවිරිදි රෝගියෙකු ජනවාරි 10 වන දින මිය ගොස් ඇත. එම රෝගියාගේ පීසීආර් පරීක්ෂනයේ ප්‍රතිඵලය ලැබී ඇත්තේ මිය ගිය දිනයේ ම වන අතර, එයින් ඔහු ආසාදිතයෙකු බව තහවුරු කෙරී තිබුනි. ඒ සමග දැඩි සත්කාර ඒකකයේ ‍වෛද්‍යවරුන්  6 දෙනෙකු සහ හෙදියන් 31දෙනෙකු මේ වන විට නිරෝධායනයට ලක්කර ඇති අතර එම ඒකකය වසා දැමීම ගැන මේ වන විට සාකච්ඡා කරමින් පවතී.
  • එලෙස ම මෙම සතියේ රෝහලේ නොමේරූ ලදරු ඒකකයේ හෙදියක් වසංගතයට ගොදුරු වී ඇති අතර ඇය හා සමීප ව සේවයේ යෙදුනු දාහතර දෙනකු නිරෝධායනයට යොමු කර ඇති නමුත් එම ඒකකය වසා දැමීමට හෝ අනෙකුත් සෙවකයන් සඳහා පීසීආර් කිරීමට හෝ මෙතෙක් ක්‍රියා කර නොමැති තත්ත්වයක් තුල එහි ප්‍රතිකාර කරන නොමේරූ ලදරුවෝ සහ සේවකයෝ දැවැන්ත අනතුරකට මුහුන දී සිටිති.
  •  පේරාදෙනිය වාට්ටු අංක 18 හි හෙදියක් ද වසංගතයට ගොදුරු වී ඇති බව සොයා ගෙන ඇත. එසේ වුව ද එම වාට්ටුව තවමත් විවෘත ව පවතී. 
  •  තවද පේරාදෙනිය රෝහලේ පැවති උත්සවයකට පැමිනි මහනුවර රෝහලේ වෛද්‍යවරයෙකු ආසාදිත බව පසුව සොයා ගැනීමත් සමග, එම උත්සවයට සහභාගි වූ දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ කාර්ය මන්ඩලය නිරෝධායනයට යොමු කර එම ඒකකය වසා දමා ඇත.
  •  මීට සති දෙකකට පමන පෙර රෝහලේ උපකරන අලුත්වැඩියා කරන ඒකකයේ (Bio medical unit) සේවකයෙකු  වෛරසයට නිරාවරනය වීම නිසා එම ඒකකය සම්පූර්නයෙන් වසා දැමීමට සිදු වූ අතර එය රෝහල් කාර්ය මන්ඩලයට පවා වසන්කර පැවතිනි.
  •  එලෙසම දෙසැම්බර් 08 දා විකිරන අංශයේ සේවය කල සේවිකාවක් කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති  බව හඳුනාගැනීමත් සමඟ, හතලිහක් පමන සේවය කරන එම අංශයේ දහ දෙනෙක් පමනක් නිරෝධායනය කල අතර එම ඒකකය වසා දැමීමක් හෝ විෂබීජහරනය හෝ සිදු නොකරන ලදී.

 මෙම සිදුවීම් පිලිබඳව මානසික රෝගී අංශයේ සහෝදර හෙදියක් කලකිරීමෙන් හා කෝපයෙන් මෙසේ අදහස් දැක්වූවාය: 'අප සේවය කරන මානසික රෝගී අංශය කොල හෙවත් අවදානමින් අඩු කලාපයක් ලෙස සාවද්‍ය ලෙස නම් කර අපට වෛරසයෙන් බේරීමට ප්‍රමානවත් පහසුකම් ලබා දීම රෝහල් බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.” 

විවිධ ප්‍රදේශවලින් පැමිනෙන මානසික රෝගීන් කිසිදු වර්ගීකරනයක් හෝ විධිමත් පරීක්ෂා කිරීමකින් තොරව සෘජුවම වාට්ටුවලට යොමු කරන බවත්, මානසිකව ව්‍යාකූල තත්ත්වයක සිටින ඔවුන්ගෙන් කොරෝනා රෝගය සම්බන්ධ සැබෑ තොරතුරු ලබා ගැනීම අතිශයින් දුෂ්කර කටයුත්තක් බවත් ඇය පැවසුවාය. එබැවින් මානසික වෛද්‍ය ඒකකය අඩු අවදානම් කලාපයක් ලෙස නම් කිරීමෙන් සහ පහසුකම් ලබා නොදීමෙන් එහි සමස්ත කාර්ය මන්ඩලයම දැඩි අවදානමකට හෙලා ඇති බව ඇය වැඩිදුරටත් සඳහන් කලාය. 

මෙම තත්වයන් යටතේ පේරාදෙනිය ශික්ෂන රෝහලේ සමස්ත කාර්යය මන්ඩලයම දැඩි පීඩනයකට හා දුෂ්කරතාවයකට මුහුන දී සිටී. නමුත් මේ පිලිබඳව වගේවගක් නොමැතිව සිටින වෘත්තීය සමිති ආන්ඩුවේ ප්‍රහාර සෞඛ්‍ය කම්කරුවන් මත පැටවීමට ක්‍රියා කරමින් සිටිති. මෑත ඉතිහාසයේ සෞඛ්‍ය සේවකයින්ගේ අයිතීන් සඳහා පැවති සටන්, ව්‍යාජ පොරොන්දු හා බොරු ගිවිසුම්වලට යටකර පාවා දුන් මෙම වෘත්තීය සමිතිවලින් ඊට වැඩි යමක් ඉදිරියේ නොලැබෙනුු ඇති බවට අපි සියලුම සහෝදර කම්කරුවන්ට අවධාරනය කරන්නෙමු.

 සමන් රත්නප්‍රිය වැනි ධනේශ්වර ගැති වෘත්තීය සමිති නායකයින් මාධ්‍යයට විත් පවසන්නේ මොන තරම් අඩුපාඩු දුෂ්කරතා තිබුනත් හෙද සේවයේ අඛන්ඩතාවය බිඳවැටීමට ඔහු ඉඩ නොතබන බව යි. තම ආරක්ෂාව වෙනුවෙන් ආන්ඩුවට එරෙහි කවර හෝ කාර්මික ක්‍රියාවකින් නැගී සිටීමට සෞඛ්‍ය කම්කරුවන්ට ඉඩ නොතබන බව එහි අර්ථය යි. 

රාජපක්ෂ ආන්ඩුවේ ඉත්තෙක් ලෙස ක්‍රියා කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනිය, 'එන්නතට වඩා වැදගත් කාර්යය වන්නේ පරිස්සමින් ජීවත් වීම' යැයි පවසමින්, එන්නත හැකි ඉක්මනින් ලබා දී මහජන ජීවිත ආරක්ෂා කිරීමේ වගකීමෙන් ආන්ඩුව මුදාහැර එම වගකීම මහජනතාව මත පැටවීමේ ප්‍රතිගාමී කාර්යයෙහි එලිපිටම නියැලෙයි.   

වෘත්තීය සමිති කම්කරුවන්ගේ සංවිධාන නොවන බවත් ඒවා ආන්ඩුවේ හා ධනපති රාජ්‍යයේ උපකරන බවත් ඒවා කම්කරුවන් ආන්ඩුවට හීලෑ කර දෙන තෝන් ලනු බවත්, අපි දැඩිව අවධාරනය කරන්නෙමු. 

එබැවින් සෞඛ්‍ය සේවකයින් ඇතුලු සියලු කම්කරුවන්ගෙන් අප ඉල්ලා සිටින්නේ, වෘත්තීය සමිති වල ඇති සියලු ශ්‍රේනි භේද හා නිලධාරිවාදි විධික්‍රම වලට එරෙහිව, අදහස් ප්‍රකාශ කිරීමේ සහ තීන්දු තීරන ගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් මත පාදක වූ සහ වෘත්තීය සමිති වලින් ස්වාධීනවූ, ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනයක් මත ධනපති ප්‍රහාරයන්ට එරෙහිව සටන් කරන කම්කරු ක්‍රියාකාරී කමිටු තම සේවා ස්ථානයන්හි ගොඩනැගීමට වහා පෙරට එන ලෙසයි. 

එහි කොටසක් ලෙස, පේරාදෙනිය ශික්ෂන රෝහල ආශ්‍රිතව අප ගොඩනගා ඇති සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව වටා රොක් වී මෙම ධනපති ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහිව සටන් වැදීමට එක්වන ලෙස පේරාදෙනිය රෝහලේ සියලුම කම්කරුවන්ගෙන්  අපි ඉල්ලා සිටිමු.

Loading