කොරෝනා ආසාදිතයන් හා මරන ඉහල දැමීමට කොන්දේසි සකසමින් ආන්ඩුව නව වසරේ පාසල් විවෘත කරයි

රටපුරා කොවිඩ්-19 වසංගතය සීග්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් තිබිය දී රාජපක්ෂ ආන්ඩුව පසුගිය සඳුදා (11දා) සිට නව වසර සඳහා පාසල් ආරම්භ කලේ ය. ජාත්‍යන්තරව අත්දකින ආකාරයට මෙම සාපරාධී තීන්දුව, ලංකාවේ පාසල් දරුවන් හා ගුරුවරුන් ද රෝගයට ගොදුරු කරමින් රටපුරා ආසාදිතයන් ගනන හා මරන සංඛ්‍යාව සීඝ්‍ර ලෙස ඉහල නැංවීමට තුඩු දෙනු ඇත.  

පසුගිය වසරේ දී ආරම්භ නො කෙරුනු ප්‍රාථමික අංශයේ පාසල් ද සමග 2 වසරේ සිට 13 වසර දක්වා පාසල්, පෙර පාසල් හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන ද මේ සතියේ ආරම්භ කෙරුනි. වසංගත ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානය වන බස්නාහිර පලාතේ ද පාසල් ආරම්භ කිරීමේ අරමුනින් එකලොස්වන ශ්‍රේනියේ සිසුන් සඳහා ලබන 25 දා පාසල් විවෘත කිරීමට නියමිත ය. 

සංචාරකයන් සඳහා ගුවන් තොටුපලවල් විවෘත කර ඇති තත්වයක දී, බ්‍රිතාන්‍ය හා දකුනු අප්‍රිකාවෙන් සොයා ගැනුනු, සීග්‍ර ව්‍යාප්තියක් හා පාසල් දරුවන් වැනි තරුන ජනයාට වැඩි බලපෑමක් ඇති කොරෝනා නව වෛරස් ප්‍රභේදය සහිත රෝගියෙකු ඊයේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරීක්ෂකයන් විසින් සොයා ගැනුනි.

පාසැල් වාරය යලි ආරම්භ කිරීම- කුරුනෑගල-11 ජනවාරි 2021

පාසල් විවෘත කිරීම හා නව ප්‍රභේදයේ අන්තරාය ජාත්‍යන්තර අත්දැකීම් මගින් පෙන්නුම් කෙරෙමින් තිබේ. බ්‍රිතාන්‍ය, ජර්මනිය ඇතුලු යුරෝපා මහද්වීපය පුරා විශාල ලෙස මිනිසුන් මරනයට පත් කරමින් පැතිර යන මෙය පාලනය කිරීමට නම් සමස්ත යුරෝපය අලලා ගත් අගුලු දැමීමක් අත්‍යාවශ්‍යබව යුරෝපයේ වසංගත රෝග විද්‍යාඥයින් දහසකට වැඩි සංඛ්‍යාවක් දැඩිව අවධාරනය කරති.

මෙම නව වෛරස ප්‍රභේදය ලංකාවට ඇතුලු වී වේගයෙන් ව්‍යාප්තවීමේ ඉහල අවදානමක් ඇතිබව, ජනවාරි 12 වන දා මාධ්‍ය හමුවක් අමතමින්, ප්‍රධාන වසංගත රෝග විශේෂඥ සුදත් සමරවීර පැවසූ බව ඩේලිමිරර් පුවත්පත වාර්තා කලේය. දිනපතා සියගනනක් ආසාදිතයන් හඳුනා ගැනෙන තතු තුල, පාසල් සිසුන් අතර වෛරසය වේගයෙන් පැතිර යා හැකි බවද සමරවීර එහිදී තවදුරටත් පවසා ඇත. නමුත් පාසල් වසා දැමීම යෝජනා නොකරන ඔහු, ආන්ඩුවේ සාපරාධී පිලිවෙත අනුයමින්, දරුවන් අන්තරායෙන් මුදා ගැනීමේ වගකීම දෙමාපියන්ට සහ ගුරුවරුන්ට පවරා තිබේ. 

මනුෂ්‍ය ජීවිතවලට ඉහලින් මහ ධනපති ව්‍යාපාරිකයන්ගේ ලාභ අවශ්‍යතා පිහිටුවා ඇති ලොවපුරා ධනපති පාලකයෝ රෝගය මැඩපැවැත්වීම සඳහා අත්‍යාවශ්‍ය කෙරෙන, අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන සහ පාසල් වසා දැමීම වැනි අත්‍යවශ්‍ය හදිසි පියවර ගැනීම මුලුමනින්ම ප්‍රතික්ෂේප කර තිබේ. ඊට ප්‍රතිකූලව, ධනපති පාලකයෝ, මහ ව්‍යාපාරිකයන්ගේ ලාභ උත්පාදනය අඛන්ඩව ගෙනයෑම සඳහා, අනාරක්ෂිත කොන්දේසි යටතේ කම්කරුවන් වැඩපොලට ද, දරුවන් පාසලට ද දක්කමින් සිටිති.

පාසල් විවෘත කිරීම වනාහි, වසංගතය වේගයෙන් පැතිරෙද්දී සියලු ආර්ථික කටයුතු පවත්වාගෙනයාමේ මිනීමරු "නව සාමාන්‍යය"ට මහජනතාව අනුගත කිරීම සඳහා ආන්ඩුව ගත් දැනුවත් තීන්දුවකි. එය ජනවාරි 14 දා ලංකාදීප කතුවැකියෙන් ප්‍රකාශයට පත්වූයේ මෙසේය: "පාසලේ සීනුව රැව්දීම කුමන රටක කුමන ජාතියකට වුවද මහත් ප්‍රබෝධයක් දනවන්නකි. රටක් සජීවී ලෙස ක්‍රියාත්මක වන බව ජාතියේ හදගැස්ම නොනැවතී ක්‍රියාත්මක වන බව ලොවටම හඬ ගා කියන්නකි."

පසුගිය ඉරිදා රාත්‍රියේ පෞද්ගලික රූපවාහිනි නාලිකාවක පෙනීසිටි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කපිල පෙරේරා, පාසල් ප්‍රජාව “වගකිම් විරහිතව හැසිරුනොත් මට වගකියන්න බෑ” යයි නරුම ලෙස ප්‍රකාශ කර සිටියේ ය. තදබදයෙන් යුත් පොදු ප්‍රවාහන සේවා වලදී මෙන්ම පන්ති කාමරවල පවතින කොන්දේසි යටතේ පාසල් දරුවන්ට වසංගතයේ අවදානමෙන් බේරී සිටිය හැකි යයි තර්ක කල හැක්කේ දැනුවත් වංචනිකයෙකුට පමනි. කෙසේ නමුත්, පෙරේරාගේ ප්‍රකාශය තුලින් පෙන්නුම් කරන්නේ පාසල් දරුවන්, ගුරුවරු ඇතුලු මනුෂ්‍ය ජීවිත සම්බන්ධ රාජපක්ෂ ආන්ඩුවේ හා ලංකාවේ සමස්ත ධනේශ්වර සංස්ථාපිතයේ තුච්ඡ නොතැකීමයි. 

වසංගතය සමග ජීවත්වීම හැර වෙනත් විකල්පයක් නැතැයි යන ව්‍යාජය මහජනයාට ගිල්ලවීම සඳහා ආන්ඩුවේ මැති ඇමතියෝ, සෞඛ්‍ය බලධාරීහු හා මාධ්‍ය බිස්ස දිවා රෑ ක්‍රියාත්මක වෙමින් සිටිති. ඉහත ලංකාදීප කතුවැකිය පාසල් ඇරඹීමේ ආන්ඩුවේ තීන්දුව යුක්ති සහගත කරමින්, පසුගිය වසරේ පාසල් වසා දැමීම් හා ආර්ථිකය අගුලු දැමීම් “රෝගය පිලිබඳව තිබූ අල්ප දැනුම හා අනවබෝධය හේතුවෙන්“ ගනු ලැබූවක් යයි පවසයි.  

මෙලෙස අන්තරාය වසන් කෙරුනු වටපිටාවක් තුල, 11 දා යම් සිසුන් සංඛ්‍යාවක් පාසල් පැමිනි නමුත්, වැඩබිම්වල, වෙලඳ සැල්වල හා පාසල් තුලමත් රෝගීන් වාර්තාවීම හේතුවෙන් දෙමාපියන් සිසුන් පාසල් එවීම ප්‍රතික්ෂේප කිරීම් ද යලි වාර්තා වෙමින් තිබේ.  

මාධ්‍ය වාර්තාවලට අනුව, රෝග ව්‍යාප්තිය හේතුවෙන්, නැගෙනහිර පලාතේ කාන්තක්කුඩි, කල්මුනේ හා තිරික්කෝවිල් යන අධ්‍යාපන කලාපවල පාසල් 32 ක් මේවන විට වසා දමා තිබේ. පුත්තලම දිස්ත්‍රික්කයේ කල්ලඩිය විද්‍යාසාර විද්‍යාලයට කොවිඩ් ආසාදිත පවුල්වල දරුවන් පැමින ඇතිබව දැනගැනීමත් සමග දෙමාපියන් පාසලෙන් දරුවන් රැගෙන ගොස් තිබේ. රත්නපුර කලවාන වෙලඳසල ආශ්‍රිතව ආසාදිතයන් රැසක් වාර්තාවීමෙන් පසු කලවානේ පාසල් 09 ක් නැවත දැනුම් දෙන තුරු වසා දමා ඇත. 

අලුත්ගම, බේරුවල හා පයාගල යන ප්‍රදේශයන්හි පුද්ගලයන් 2703 ක් අහඹු පීසීආර් පරීක්ෂාවන්ට ලක් කිරීමෙන් පසු ඉන් 75 ක් ආසාදිතයන් බව සොයාගෙන ඇත. මෙය පාලනයකින් තොර රෝග ව්‍යාප්තිය පිලිබඳ පැහැදිලි දර්ශකයකි. මීට අමතරව පුත්තලම බස් ඩිපෝවෙන්, මාතර පෞද්ගලික රෝහලකින්, බලන්ගොඩ සහ කින්නියා යන ප්‍රදේශවලින් රෝගීන් වාර්තාවන බව මාධ්‍ය වාර්තා පල විය.  

සමාජවාදී සමානතා පක්ෂය මූලිකත්වය ගන්නා ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කමිටුව හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) රටපුරා ප්‍රදේශ කිහිපයකම ගුරුවරු, ශිෂ්‍යයන් හා දෙමාපියන් සමග සිදුකල සාකච්ඡාවන් මගින් හෙලිදරව් වූයේ ප්‍රධාන මාධ්‍ය තුල කිසිදු ප්‍රසිද්ධියක් ලබා නොදෙන බරපතල සිද්ධීන් කිහිපයක්ම ගෙවුනු දිනවල පාසල් ආශ්‍රිතව සිදු වී ඇති බවයි.  

පුත්තලම දිස්ත්‍රිකයේ කටුනේරිය ප්‍රදේශයේ එකම පවුලේ දරුවන් දෙදෙනෙකුට වෛරසය ආසාදිත වී ඇත. එම දරුවන් දෙදෙනා ප්‍රදේශයේ ජනප්‍රිය පාසල් දෙකක ඉගෙනුම ලබති. ඔවුන් සඳුදා දිනයේ පාසල් ගොස් ඇතත් වසා දමා ඇත්තේ දරුවන් ඉගෙන ගත් 8 ශ්‍රේනියේ හා 12 ශ්‍රේනියේ පන්ති පමනි. මෙම සිද්ධිය හේතුවෙන් ඊයේ දිනයේ බොහොමයක් දෙමාපියන් දරුවන් පාසල් නො එවූ බව ප්‍රදේශයේ ගුරුවරු හා දෙමාපියන් ලෝසවෙඅ ට ප්‍රකාශ කලහ. 

එම දිස්ත්‍රික්කයේම මාදම්පේ කරුක්කුව සුගතානන්ද විද්‍යාලයේ 5 ශ්‍රේනියේ දරුවකු හා එම පාසලේ ඉදිරිපිට වෙලඳසැලක සේවකයෙකු ආසාදනය වී තිබේ. මෙම සෑම සිදුවීමකදීම පරීක්ෂනයට යොමු කර ඇත්තේ ආසාදිතයන්ගේ පලමු ආශ්‍රිතයන් කිහිප දෙනෙකු පමනි.

රැකියාව සඳහා, බස්නාහිර පලාත තුල සිට වෙනත් පලාත්වලට දෛනිකව බොහෝ දුර ගමන් කරන ගුරුවරුන් සේවයට වාර්තා කිරීම අනවශ්‍යය යයි කපිල පෙරේරා ඉහත සාකච්ඡාවේදී ප්‍රකාශ කලත් එය නිශ්චිතව ක්‍රියාත්මක නොවන බව බස්නාහිර පලාතේ වයඹ පාලාතට මායිම්ව සිටින ගුරුවරු කිහිප දෙනෙක්ම ප්‍රකාශ කලහ. 

බස්නාහිර පලාතේ මීගමුවේ සිට පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජාතික පාසලකට කිලෝමීටර් 60 ක් පමන දුර ගෙවා පැමිනෙන තරුන ගුරුවරියක් මෙසේ පැවසුවාය: “මම දැන් විවාහකයි. මහත්තයාගේ ගෙදර ඉන්නේ. ඒ දෙමව්පියෝ දෙන්නම වයසයි. ඒ අය මගෙන් අහනවා දූවේ ඔයාට නිවාඩු ගන්න බැරි ද කියලා. ඒ දෙන්නම බෝ නොවන නිදන්ගත රෝගවලින් පෙලෙනවා. එයාලා ජීවිතය ගැන බියෙන් පසුවෙන්නේ.”

පාසලේ වැඩකටයුතු ගෙන යෑම සඳහා ගුරුවරු සියලු දෙනා පැමිනිය යුතු බව විදුහල්පතිවරයා විසින් නියෝග කල බව පැවසූ ඇය තම පවුල් අනාරක්ෂිත තත්වයකට ඇද දැමීම සම්බන්ධව ආන්ඩුවට චෝදනා කලා ය. 

බන්ඩාරවෙල කොට්ඨාසයේ අධ්‍යාපන නිලධාරීන් රැස්කල “කොවිඩ් කමිටුවකට” සම්බන්ධ වූ ගුරුවරයෙකු වන අසේල ප්‍රකාශ කලේ ආන්ඩුවේ තීන්දු කලාප අධ්‍යාපන බලධාරීන්ට ක්‍රියාවට නැගීමට බල කෙරී ඇති බවයි. “ගුරුවරු අතර විරුද්ධත්වයක් වර්ධනය වන තත්වයේ දී පසුගිය වසරේ කර ගැනීමට නො හැකි වූ ඇගයීම්, ව්‍යාපෘති වැනි බොරු වැඩ ගොඩක් පටවමින් යනවා. වෘත්තීය සමිති ආන්ඩුවේ මෙම ප්‍රහාරවලට සම්පූර්න සහයෝගය ලබා දීලා ඉන්නේ. ජීවිත හා අධ්‍යාපනය ආරක්ෂා කර ගන්න පුලුවන් වෙන්නේ, ගුරුවරු අවශේෂ මහජනයා සමග ඒකාබද්ධව සටන් වැදීමෙන් විතරය” යි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලේ ය.     

වසංගතය මැඩීමට අත්‍යවශ්‍ය වන පියවර සඳහා මුදල් වැය නොකරන අතරේ,  බිලියන ගනන් මුදල් මහ බැංකු හරහා ධනපතියන්ට ගලා යෑමට සලස්වමින් ලොවපුරා පාලක පන්තීන් ගෙන යන මාරාන්තික පිලිවෙතට එරෙහිව ජර්මනියේ, බ්‍රිතාන්‍යයේ, ඇමරිකා එක්සත් ජනපදයේ හා ජාත්‍යන්තරව ගුරුවරුන්ගේ හා දෙමාපියන්ගේ බලගතු විරෝධතා යලි පැන නංවා තිබේ. වසංගතයෙන් ජීවිත අවදානමට හෙලීමටත්, ජීවන තත්වයන් කාබාසිනියා කිරීමටත් එරෙහිව ලංකාවේ ද ගුරුවරුන් හා අවශේෂ කම්කරු පීඩිත ජනයා තුලින් ආන්ඩුවට එරෙහිව වර්ධනය වන විරුද්ධත්වය එම වර්ධනයේ කොටසකි. 

වසංගතය සමග ජීවත් වීම හැර අන් විකල්පයක් නැතැයි රාජපක්ෂ ආන්ඩුව කරන ප්‍රකාශ ගුරුවරුන්, සිසුන් හා අවශේෂ කම්කරුවන් මුලුමනින්ම ප්‍රතික්ෂේප කල යුතු ය. වසංගතයෙන් ආරක්ෂා විය හැකි එන්නතක් සොයාගෙන ඇති තතු තුල, එය සමස්ත මහජනතාවට වහා ලබා දීමට පියවර ගතයුතු අතර, එය ලබාදෙන තෙක් සියලු අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන, පාසල් සහ විශ්වවිද්‍යාල ඇතුලු අධ්‍යාපන ආයතන වසා දැමීම අනිවාර්ය ය. රැකියා සහ ආදායම් මාර්ග අහිමිවන සියලු දෙනාට වන්දි ලබාදීමේ වැඩපිලිවෙලක් ඒ සමගම ක්‍රියාත්මක කල යුතුය.

මෙම විකල්පය ක්‍රියාත්මක කලහැක්කේ ජාත්‍යන්තර සමාජවාදී ආර්ථිකයක් යටතේ වන අතර එය සාක්ෂාත් කෙරෙන කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙනඒම සඳහා සමාජවාදී සමානතා පක්ෂය සටන් වදින්නේ එබැවිනි.

Loading