කොරෝනා ආසාදිත සංඛ්‍යාව 50,000 ඉක්මවද් දී ආන්ඩුව "නව සාමාන්‍යය" පිලිවෙත දිගටම පවත්වාගෙන යයි

සෞඛ්‍ය අමාත්‍යංශයේ නිල සංඛ්‍යා ලේඛනවලට අනුව සිකුරාදා උදැසන වන විට ශ්‍රී ලංකාව තුල සමස්ත කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 50,899 දක්වා ද සක්‍රිය ආසාදිතයන් ගනන 6,901 දක්වා ද ඉහල ගොස් තිබුනි. මිය ගිය සංඛ්‍යාව 251කි. දෙසැම්බර් මාසයේ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 42,000 ක් හා මිය ගිය ගනන 199 කි. ජනවාරි මාසයේ මුල් දින 15 තුල පමනක් 9,000 ට ආසන්න ආසාදිතයන් ගනනක් වාර්තා වූ අතර මියගිය සංඛ්‍යාව 52 ක් විය.

ආන්ඩුව සැබෑ සංඛ්‍යා ලේඛන වසන් කරන බවට චෝදනා එල්ල වී ඇති හා පීසීආර් පරීක්ෂන ප්‍රමානවත් ලෙස නොකෙරෙන තතු තුල ආසාදිතයන් හා මිය ගිය සංඛ්‍යාව ඊට වඩා බෙහෙවින් වැඩි විය හැකිය.

මේ වන විට රෝහල්, කම්හල්, වෙනත් රාජ්‍ය සහ පුද්ගලික ආයතන හා වතුකරය තුල මෙන් ම සමස්තයක් ලෙස සමාජය තුල වසංගතය පැතිරෙමින් තිබේ. දිනකට වාර්තාවන ආසාදිතයින් ගනන 500 ට වැඩිය. වැඩි ම ආසාදිතයන් පිරිසක් වාර්තා වන්නේ බස්නාහිර පලාතේ කොලඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක වලනි.

මාස් කම්කරුවන් කිලිනොච්චි කම්හලක ආපනශාලාවේ තදබදවී සිටින ආකාරය [ඡායා රූපය: ලොසවෙඅ මාධ්‍ය අංශයෙනි]

අහඹු පරීක්ෂනවල දී දිනපතා ආසාදිතයින් හමු වීම පෙන්නුම් කරන්නේ වෛරසයේ සමාජ සම්ප්‍රේෂනය සිදුවෙමින් පවතින බවයි. බස්නාහිර පලාතේ සිට දකුනු පලාතට සංක්‍රමනය වන පිරිස් අතර සිදු කල අහඹු ඇන්ටිජන් පරීක්ෂා වලින් පසුගිය දිනවල නොකඩවා ආසාදිතයින් හමු විය. සමාජ සම්ප්‍රේෂනයක් පවතින බව ඇස් පනාපිට ම හෙලිවෙමින් පවතිද්දී, ආන්ඩුවේ මන්ත්‍රය ජප කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අසේල ගුනවර්ධන, කොරෝනා වෛරසයේ "සමාජ ව්‍යාප්තියක්" නැතැයි සඳහන් කල බව ජනවාරි 14 වැනි දා සිරස රූපවාහිනීය වාර්තා කලේය.

පීසීආර් පරීක්ෂන වලින් ආසාදිතයින් වාර්තා වීම සීයයට 5 ඉක්ම වුවහොත් පමනක් සමාජ පැතිරීමක් පවතින බවට සැලකිය හැකි යැයි ඔහු සඳහන් කලේ ය. දැනට "සිදු කරන පීසීආර් පරීක්ෂන වලින් සියට 3.5-4 ත් අතර ප්‍රතිශතයක් පමනක් ආසාදිතයින් ලෙස හඳුනා ගන්නා" හෙයින් වසංගතයේ සමාජ සම්ප්‍රේෂනයක් නොමැති බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කර ඇත.

ගුනවර්ධන ගේ නිර්වචනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ (ලෝසෞසං) නිර්වචනයට මුලුමනින් පටහැනිය. පසුගිය මාර්තු 13 වනදා පල කල ලෝසෞසං හි වාර්තාවකට අනුව, සම්ප්‍රේෂන දාමයන් හරහා විශාල සංඛ්‍යාවකට ආසාදනය පැතිරුනේ කෙසේද යන්න පැහැදිලි කිරීමට නොහැකිනම් හෝ දෛනිකව හඳුනා ගැනෙන ආසාදිතයන් ගනන වැඩි වන්නේනම් හෝ එය සමාජ සම්ප්‍රේෂන අවස්ථාවක් ලෙස ගුනාංගීකරනය කල හැක. ආන්ඩුවේ බලපෑම යටතේ සෞඛ්‍ය බලධාරීන් විසින් ඉදිරිපත් කරන මේ කුතර්ක වල අරමුන වසංගතය ව්‍යාප්තවීමේ සැබෑ තත්වය වසන් කර ආන්ඩුවේ ප්‍රතිගාමී පිලිවෙත් වලට මහජනතාව යටත් කිරීමය.

ලෝකයේ බොහෝ "බලවත් රටවල්" වලට වඩා ශ්‍රී ලංකාව කොවිඩ් වසංගතය “සාර්ථක” ලෙස පාලනය කිරීමට සමත් වී ඇති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ජනවාරි 10 වෙනිදා මාතලේ පැවති උත්සවයක දී සඳහන් කලේ ය: "රට තුල කොවිඩ් 19 රෝගීන් දවසකට 500 ක් පමන වාර්තා වෙනවා. නමුත් ලෝක තත්වය සැලකිල්ලට ගැනීමේ දී වසංගතය පාලනය කර ඇති බව දෙගිඩියාවකින් තොරව කිව හැකි" බව ඔහු එහි දී පැවසී ය. "ජනතාව කොරෝනා වසංගතය සමග ජීවත්වීමට උගත යුතු" බව ද ඔහු ඒ හුස්මට ම සඳහන් කලේ ය. එනම් වසංගතයේ ව්‍යසනය ජනතාව දරා ගත යුතු ය. ජීවිත පරදුවට තබමින් කම්කරුවන් වැඩට යා යුතු ය. අවදානම නොතකා දරුවන් පාසල් යැවිය යුතු ය. වසංගතයෙන් වැඩි කෙරෙන සමාජ අසමානතාවය, විරැකියාව, දරිද්‍රතාවය සහ මරනය පිලිගත යුතු ය.

ලොව පුරා සීඝ්‍රයෙන් පැතිර යන කෝවිඩ් 19 වෛරසයේ නව ප්‍රභේදය රට තුලට ඇතුලු වුවහොත් වසංගතයේ පැතිරීම පාලනය කිරීම අතිශයින්ම දුෂ්කර විය හැකි බව වසංගත රෝග පාලන ආයතනයේ ප්‍රධානියා වන වෛද්‍ය සුගත් සමරවීර ජනවාරි 12 වෙනි දා මාධ්‍යයට ප්‍රකාශ කලේ ය. එවන් තත්වයක් තුල පාසල් ලමුන් අතර වසංගතය ව්‍යාප්තවීමේ හැකියාව ඉතා වැඩි බව ද ඔහු වැඩිදුරටත් අවධාරනය කලේ ය.

මෙම නව ප්‍රභේදය දැනටමත් රටතුලට ඇතුලු වී ඇත. කොරෝනා වසංගතයට ගොදුරු වූ ලෝකයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මෙම සතියේ මිලියන 93 ට ආසන්න වී ඇති අතර මියගිය ගනන මිලියන දෙක ඉක්මවා ඇත.

එහෙත්, ලෝකයේ සියලුම රටවල ධනපති පාලන තන්ත්‍රයන් මෙන් ම, රාජපක්ෂ ආන්ඩුව වසංගතයේ මෙම සීඝ්‍ර පැතිරීම මුලුමනින් ම, නොතකා හරිමින් මාරක "නව සාමාන්‍යය" පිලිවෙත යටතේ ආර්ථිකය විවෘත කර පවත්වා ගෙන යන බවට සපථ කර ඇත. ඒ යටතේ කම්කරුවන් බලහත්කාරයෙන් වැඩට දැක්කීම, පාසල් විවෘත කිරීම සහ නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කිරීමකින් තොරව සංචාරකයන් සඳහා රට විවෘත කිරීම ඇතුලු කම්කරු-පීඩිත ජනයාට වින කටින පියවර ක්‍රියාවට දමා ඇත.

"නව සාමාන්‍යය " පිලිවෙත පාදක කෙරෙන්නේ "රංචු ප්‍රතිශක්තිකරනය" නමැති ප්‍රතිගාමී න්‍යාය මතය. එනම් වෛරසයට සමස්ත මහජනතාව නිරාවරනය කොට ප්‍රතිශක්තිය නිපදවා ගැනීමට නොහැකි අය මරනයට අත් හැරීම මගින්, යම් අවස්ථාවක ජනගහනයෙන් සියයට 70 ක් අවම වශයෙන් ප්‍රතිශක්තිය නිපදවා ගෙන ඇත්නම් ඉන් අනතුරුව වෛරසය පැතිරීම වලකිනු ඇතැයි යන න්‍යාය යි. ලොව පුරා සිදුවන මිලියන සංඛ්‍යාත මරන තුලින් මෙම න්‍යාය අනුයන ධනේශ්වර පාලක පන්තීන්ගේ දුෂ්ඨත්වය මැනවින් එලිදරව් කෙරී ඇත.

නිසි සෞඛ්‍ය ක්‍රමවේද හා පහසුකම් වලින් තොර ව කම්කරුවන් සේවයේ යෙදවීම නිසා නිදහස් වෙලඳ කලාප තුල මෙන් ම ඉන් පිටත පවතින ඇඟලුම් කම්හල් වසංගතය ව්‍යාප්තවීමේ කෙන්ද්‍රස්ථාන බවට පත් වී ඇත. මෙම දෙසතිය තුල පමනක් කොග්ගල නිදහස් වෙලඳ කලාපයේ කම්හල් හතරකින් ආසාදිතයන් 36 ක්, මදුරන්කුලියේ කම්හලකින් 15 ක් සහ මීගොඩ කම්හලකින් 55 ක් වාර්තා විය. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් පසු 1000 ට ආසන්න විශාලතම ආසාදිතයන් සංඛ්‍යාව මාස් හෝල්ඩින්ග්ස් ඇගලුම් කම්හල් ජාලයෙන් පසුගිය දිනවල වාර්තා විය.

ආන්ඩුව ජනවාරි 11 වන දා බස්නාහිර පලාත හැර සෙසු දිස්ත්‍රික්ක වල පාසල් විවෘත කලේ ය. අධ්‍යාපන වියදම් කප්පාදු කරන අතර දරුවන්ගේ අධ්‍යාපනය ආරක්ෂා කිරීමේ ව්‍යාජය යටතේ ආන්ඩුව පාසල් විවෘත කරන්නේ ධනපතියන්ගේ ලාභ ගැරීම සඳහා දෙමව්පියන් බාධාවකින් තොරව වැඩට කැඳවා ගැනීමට ය.

මෙම පිලිවෙතේ සාපරාධී බව යලි සනාථ කරමින්, පාසල් යලි විවෘත කල 11 වන දා පුත්තලම කල්අඩිය විද්‍යාසාගර විද්‍යාලයට පැමිනි දෙමාපියන් තම දරුවන් රැගෙන ගියේ, ආසාදිතයන් ගේ පවුල්වල දරුවන් පාසලට පැමින ඇති බව සැලවීමෙනි. හැටන් ප්‍රදේශයේ පාසලක සිසුවෙකුට වෛරසය ආසාදනය වී ඇති බව පීසීආර් පරීක්ෂන වලින් තහවුරු වී ඇතැයි හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ආර්.එස් මැදවෙල ජනවාරි 15 වෙනි දා මාධ්‍යයට පවසා තිබුනි.

වසංගතය ව්‍යාප්ත වීමට ආන්ඩුව වගකිව යුතු නමුත් වරද පටවන්නේ ජනතාව මතට ය. ආන්ඩුව සහ සෞඛ්‍ය බලධාරීන් පුන පුනා සඳහන් කරන්නේ මහජනයා "වගකීමෙන් හැසුරුනේ"නැතිනම් වසංගතය පාලනය කල නොහැකි බව ය.

වෛරසය පාලනයට වඩා ඵලදායි එන්නතක් ගෙන්වීම කල් දමමින් සිටින රාජපක්ෂ ආන්ඩුව වැඩෙන මහජන විරෝධය හේතුවෙන් ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා බවක් පෙන්වමින් සිටී. කෙසේ වෙතත්, එන්නතක් ගෙන්වුවද එය ගබඩා කර බෙදා හැරීමට අවශ්‍ය කරන මානව සහ භෞතික සම්පත් දශක ගනනාවක සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කප්පාදුව විසින් අඩපන කර ඇත.

මෙම සීමා සහිතකම් යටතේ, එන්නතක් ගෙන්වුවද එය වෛරසයේ පැතිරීම පාලනය කිරීමට සැලකිය යුතු කාලයක් ගතවනු ඇත. එන්නත පවා වඩා ඵලදායි ලෙස භාවිතා කල හැක්කේ වෛරසය පැතිරීම වැලැක්වීමේ පියවර ක්‍රියාවෙහි යෙදවුවහොත් පමනි. නමුත් රාජපක්ෂ ආන්ඩුව එය සාපරාධී ව නොතකා හැර ඇත.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය එක දිගට අවධාරනය කරන පරිදි වසංගත රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අවශ‍්‍ය සෞඛ්‍ය පහසුකම් වැඩිදියුනු කිරීම සහ ඒ යටතේ සෞඛ්‍ය සේවකයන්ට නිසි ආරක්ෂක උපකරන සහ විශේෂ දීමනා ලබා දිය යුතු ය. අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන සහ පාසල් වසා දැමීම, සියලු ම සිසුන්ට දුරස්ථ අධ්‍යාපනය සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම, සංචරන සීමා පැනවීම සහ ඉන් ආදායම් මාර්ග ඇනහිටින සුලු ව්‍යාපාරිකයන්, දුගීන් ඇතුලු ජන කොටස් වලට මුල්‍ය ආධාර සහිත අවශ්‍ය පහසුකම් සැපයීම, වසංගතය පාලනය කිරීමේ අත්‍යවශ්‍ය පියවර වෙයි. ඒ සමග ම, සමස්ත ජනතාවට ම නොමිලේ එන්නත් ලබාදීම සඳහා අවශ්‍ය මුදල් බිලියන ගනනින් ක්ෂනිකව සම්පාදනය කල යුතු ය.

එහෙත් මුල්‍ය සහ සංගත ප්‍රභුවේ ලාබ ආරක්ෂා කිරීමට කැප වී ඇති ධනවාදය තුල මේ කිසිවක් ක්‍රියාවට දැමෙන්නේ නැත. ඒ සඳහා පවතින එක ම විකල්පය වන්නේ ජාත්‍යන්තර සමාජවාදය සඳහා කරන අරගලයක් තුලින් ගෝලීය ධනවාදය සහ ලාබ පද්ධතිය අහෝසි කිරීම ය. එහි කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ රාජපක්ෂ පාලන තන්ත්‍රය කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවකින් විස්ථාපනය කිරීම ය.

Loading