ජනාධිපති රාජපක්ෂ දේශපාලන විරුද්ධවාදීන්ට ප්‍රභාකරන් ඝාතනය මතක්කර දෙයි

පසුගිය සෙනසුරාදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ජනවාරි 07 වැනි දින පාර්ලිමේන්තුවේ දී තමන්ගේ ක්‍රියාකලාපය විවේචනය කරමින් සිදු කල ප්‍රකාශයක් යොදා ගනිමින්, තම දේශපාලන විරුද්ධවාදීන්ට විවෘත අනතුරු ඇඟවීමක් කරමින් මෙසේ පැවසීය:

“මම නන්දසේන ගෝඨාභය. … හැබැයි නන්දසේන ගෝඨාභයට චරිත දෙකක් තියෙනවා. තාමත් සමහර වෙලාවට හාමුදුරුවරු මට කියනවා අපිට ඕන ජනාධිපති ගෝඨාභය නෙවෙයි, ආරක්ෂක ලේකම් ගෝඨාභය. ටිකක් සැරෙන් ඉන්න කියලා. ඒ ජාතියෙන් එනව නම් ඒ ජාතියෙන් කරන්නත් පුලුවන්. …පිත්තල හන්දියෙදි ප්‍රභාකරන් බෝම්බයක් දාලා වැඩ පටන් ගත්තා. මමත් ඒක ඉවර කලේ බල්ලෙක් වගේ හතර ගාතේ දාලා නන්දිකඩාල් කලපුවෙ උස්ස ගෙන ඇවිත්. ඒ තත්ත්වයට ගේන්නත් පුලුවන්. ඕන දේකට සූදානම් චරිතයක්.” 

ගෝඨාභය රාජපක්ෂ [අනුග්‍රහය: ඒපී ෆෝටෝ / එරංග ජයවර්ධන]

දේශපාලනය පදනම් කර නොගෙන “රට ගොඩ නැගීමට” වැඩ කරන තමන්ට එරෙහිව දේශපාලන විවේචන ඉදිරිපත් කිරීම “ජඩ දේශපාලනයක්” යැයි ඔහු හංවඩු ගැසී ය.

ප්‍රනාන්දුගේ විවේචනයට මූලික වූයේ රාජපක්ෂ සේවයේ නියුතු සහ විශ්‍රාමික මිලිටරි ප්‍රධානීන් ඇතුලු තම හිතවතුන් කීප දෙනෙකු අත බලය සංකේන්ද්‍රනය කර ගෙන තිබීම සහ පසුගිය සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ ප්‍රධානීන් ඉලක්ක කර ගෙන ඇරඹී ඇති දඩයම ය. ඔහු ආමන්ත්‍රනය කලේ, රාජපක්ෂගෙන් වෙනස්කම් සිදු වී ඇතැයි ඔහු සඳහන් කරන, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ මන්ත්‍රීන්ට ය. 

ජනාධිපති රාජපක්ෂ තම තර්ජනය සිදු කලේ පසුගිය සෙනසුරාදා අම්පාර ලාතුගල ප්‍රදේශයේ “ගම සමග පිලිසඳරක්” වැඩසටහනට සහභාගී වෙමිනි. රාජපක්ෂ තමන් ග්‍රාමීය ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවක් මවා පෙන්වීමට ගමින් ගමට යයි. 

“ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ” චරිතය යනුවෙන් ජනාධිපති රාජපක්ෂ විසින් සඳහන් කෙරෙන්නේ 2005 අග සිට 2015 ජනවාරි දක්වා තම සහෝදරයා වන එවක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ තම කුප්‍රකට ක්‍රියාකලාපය සම්බන්ධයෙනි. 

පිත්තල හන්දියේ  බෝම්බ දැමීම ලෙස ඔහු සඳහන් කරන්නේ 2006 දෙසැම්බර් මාසයේ, එල්ටීටීඊ යයි සැක කෙරෙන ස්වයං-නාශක බෝම්බකරුවෙකු විසින් රාජපක්ෂ ගමන් කරමින් සිටි රථ පෙල ඉලක්ක කර බෝම්බයක් පිපිරවීමයි. ඉන් රාජපක්ෂ බේරුනි. 2009 යුද්ධයේ අවසන් දිනවල මිලිටරිය විසින් ප්‍රභාකරන් ඝාතනය කෙරුනි. රාජපක්ෂ සිය විරුද්ධවාදීන්ට එරෙහිව මැර භාෂාවෙන් ඔජවඩන්නේ, අවි අතටගත් එම දේශපාලන විරුද්ධවාදියාගේ කුරිරු ඝාතනයයි.  

දෙමල විරෝධී වර්ගවාදී යුද්ධයේ අවසන් සටන්වල දී 40 000ක සිවිල් වැසියන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇත. ඔහු යටතේ හමුදාපති ධුරය දැරූ සරත් ෆොන්සේකා යටත් වූ එල්ටීටීඊ නායකයන් මරා දැමීමට ආරක්ෂක ලේකම් අන කල බවට පසුව සඳහන් කලේ ය. යුද්ධය සමයේ සහ ඉන් පසු රාජපක්ෂ තන්ත්‍රයේ විවේචකයන්ට ප්‍රහාර එල්ල කිරීමට රහසිගත මිලිටරි ඒකක පවත්වා ගත් බව ෆොන්සේකා 2017 දී පිලිගත්තේ ය

නාගරික සංවර්ධන අමාත්‍යාංශය ද ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගනිමින් ආයෝජකයන් ගෙන්වා ගැනීම සඳහා කොලඹ නගරයේ දුගී නිවාස කඩා දැමීම සිදු කෙරුනු අතර මේවාට විරුද්ධ වූවන් ද දේශපාලකයන්, මාධ්‍යවේදීන් ඇතුලු රාජපක්ෂ ආන්ඩුවේ සෙසු විවේචකයන් ද මෙම ප්‍රහාරක කන්ඩායම්වල ඉලක්ක විය.

2011, කටුනායක කාර්මික කලාපයේ කම්කරුවන්ගේ අර්ථසාධක අරමුදල රැක ගැනීමේ අරගලයට එල්ල කල එස්ටීඑෆ් ප්‍රහාරයෙන් එක් කම්කරුවෙකු මරා දැමීම, හලාවත ධීවර විරෝධතාවලදී එවැනිම ප්‍රහාරයකින් ධීවරයෙකු ඝාතනය සහ පිරිසිදු පානීය ජලය ඉල්ලමින් උද්ඝෝෂනය කල වැලිවේරිය ජනතාවට එරෙහි හමුදා මෙහෙයුමකින් තිදෙනෙකු මැරීම රාජපක්ෂ ආරක්ෂක ලේකම් සමයේ වාර්තාවලින් කිහිහිපයකි. 

2019 නොවැම්බරයේ රාජපක්ෂ බලයට ආවේ, සිරිසේන-වික්‍රමසිංහ පාලනයට එරෙහිව වැඩුනු පන්ති අරගල නිසා දේශපාලන අස්ථාවරත්වයක් නිර්මානය වෙමින් පැවති කොන්දේසි තුලය. රාජපක්ෂ, අන්තවාදී භික්ෂු හා සිංහල ස්වෝත්තමවාදී කන්ඩායම් මෙන්ම අන් සියල්ලටමත් වඩා මිලිටරිය තුල සම්බන්ධතා මෙහෙයවා ගනිමින් 'ස්ථාවර, ශක්තිමත් පාලනයක්' ධනපති පන්තියට පොරොන්දු වූයේය. බලයට පත්වූ තැන් පටන් ඔහු තම ප්‍රතිගාමී න්‍යාය පත්‍රය මත වැඩ කරමින් සිටි. 

ගෝලීය කොවිඩ්-19 වසංගතය සෑම රටකම ආර්ථික, සමාජ හා දේශපාලන අර්බුදය උග්‍ර කර තිබේ. මේ තත්වය තුල විප්ලවවාදී ගතිකයන් සහිත පන්ති අරගල නැගීමට ධනපති පන්තිවල හා ආන්ඩුවල ප්‍රතිචාරය වී ඇත්තේ ෆැසිස්ට් හා මිලිටරි පාලනයන් වෙත මාරුවීමේ ක්‍රියා සීඝ්‍ර කිරීමයි. ගිය සතියේ ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ෆැසිස්ට් කුමන්ත්‍රනයකට අර ඇන්දේය. ලංකාවේ ජනාධිපති මිලිටරිය මත පාදකවූ ඒකාධිපති පාලනයක් තහවුරුකිරීමේ පියවර ගනිමින් සිටී.

මේ වසරේ ආරම්භයත් සමග ම ඔහු තම මිලිටරීකරන වැඩපිලිවෙලේ තවත් පියවර ගනනාවක් තැබී ය. දෙසැම්බර් 31 වැනි දා, යුදහමුදාපති ශවේන්ද්‍ර සිල්වා සහ ආරක්ෂක ලේකම් කමල් ගුනරත්න තරු පහේ ජෙනරල් ධුරයන්ට උසස් කල ජනාධිපතිවරයා, ජනවාරි පලමු වැනි දා දිස්ත්‍රික්ක 25 තුල කොවිඩ් මර්දන කටයුතු සම්බන්ධිකරනයේ නමින් මිලිටරි නිලධාරීන් 25 දෙනෙකු පත් කලේ ය. [ජනාධිපති රාජපක්ෂ “කොවිඩ්-19 මැඬීමට” යැයි සියලු දිස්ත්‍රික්ක හමුදා ප්‍රධානීන් යටතට පත් කරයි]

ඔහුගේ “ගම සමග පිලිසඳර” ගැමි දුප්පතුන්ගේ ගැලවුම් කාරයෙකු ලෙස මවාපා ගනිමින් ඔවුන් තමන් වටා රැලිකර ගැනීමේ ප්‍රයත්නයකි. කම්කරු පන්තියෙන් නැගෙන අරගල තලා දැමීම සඳහා ක්‍රියාකිරීමේ දී මෙවන් සමාජ පදනමක් තනා ගැනීමට ධනපති පාලකයන් බොහෝවිට ක්‍රියා කර තිබේ.

ජනාධිපති රාජපක්ෂගේ මෙම වැඩසටහනට ජනමාධ්‍ය වල බකිම ලැබේ. ජනවාරි 11 ලංකාදීප කතුවැකිය “රාජ්‍ය නිලධාරීන් ගමේ ප්‍රශ්න සියැසින් දැකීම අවශ්‍යයි” යන මැයෙන් ජනාධිපති කල ප්‍රකාශ හුවා දැක්වූයේය. ජනවාරි 09 දිවයින කතු වැකිය “මහජන සුබ සිද්ධිය උදෙසා රාජ්‍ය සේවකයන්ට තම රාජකාරිය පහසුවෙන් කර ගැනීම සඳහා එවැනි නීතිරීති හා රෙගුලාසි ලිහිල් කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය යුතුය.

නමුත් එක් කතුවැකියක් හෝ රාජපක්ෂගේ ඉහත දැක්වූ තර්ජනාත්මක ප්‍රකාශය හෙලා දැකීමක් සිදු කිරීම තියා ඒ ගැන සඳහනක් හෝ කලේ  නැත. 

හරින් ප්‍රනාන්දුගේ විවේචනය ජනාධිපති රාජපක්ෂ වර්ධනය කරන මෙම කම්කරු පන්ති විරෝධී වැඩපිලිවෙලට එරෙහි ව එල්ල වූවක් නොවේ. ඔහු මෙසේ කියා ඇත: 'පලාත් සභාවක්වත් කරපු නැති මිනිහෙක් ජනාධිපති වෙලා පස් දෙනෙක් තමයි දැන් රට හසුරුවන්නේ. සිස්ටම් එක තේරෙන්නෙ නෑ සිස්ටම් එක චේන්ජ් කරන්න ආවට.”

රාජපක්ෂගේ වැඩපිලිවෙල පුද්ගලික නොතේරුම් කමක හෝ පුද්ගලික දුෂ්ට කමක ප්‍රතිපලයක් ලෙස හුවා දැක්වීම මහජනයා නොමග යැවීමක් හා සැබෑ අරමුනු වසන් කිරීමකි. සමගි ජන බලවේගයට රාජපක්ෂ ආන්ඩුව යටතේ සිදුවන මිලිටරීකරනය ගැන මූලික මතභේදයක් ඇත්තේ නැත.

සමගි ජන බලවේගය රාජපක්ෂගේ තර්ජනයට කනිපින්දම් කියමින් හැරී ඇත්තේ අධිරාජ්‍යවාදී බලවේගවලට ආයාචනා කිරීමටයි.  ප්‍රනාන්දු තමන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට පොලිස් ආරක්ෂාව වැඩි කරන්නැයි පොලිස්පතිට ලිපියක් යොමු කර ඇති අතර “ජනාධිපති රාජපක්ෂ සැලසුම් කර සිටිනවා යයි පෙනෙන සාපාරාධී ක්‍රියාකලාපයෙන් ඔහුව වැලැක්වීමේ අරමුනින්” ලිපිය කොලඹ තානාපති කාර්යාලවලටත් අධිකරන ක්‍රියාවලියෙන් බැහැර දඬුවම් පැමිනවීම් සහ භාෂනයේ නිදහස සඳහා වන එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයාට ද පිටපත් කරන බව සඳහන් කරයි.

කම්කරු පන්තිය රාජපක්ෂගේ තර්ජනයේ සැබෑ දේශපාලන තේරුම සැලකිල්ලට ගත යුතුය. අර්බුදයෙන් වියරු වී ඇති පාලක පන්තියේ සැබෑ ඉලක්කය කම්කරු පන්ති අරගල හා  සමාජවාදී විරුද්ධවාදීන් ය. 

Loading