ධනපති ලාභ පොදි තර කර දෙන “නීති ලිහිල් කිරීමකට” රාජපක්ෂ ආන්ඩුව සැරසේ

ආර්ථික හා පරිපාලන අංශ වල පවතින නීති හා රෙගුලාසි ලිහිල් කල හැකි ක්‍රම සොයා බැලීම සඳහා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 18 දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත් කර ඇත. හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා මුල් පෙලේ ධනපති සංගතයක් වන ජෝන් කීල්ස් සමාගමේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍රගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති කමිටුවට, පුද්ගලික හා රාජ්‍ය අංශ වල ප්‍රමුඛ නියෝජිතයින් ගනනාවක්ද පත් කර ඇත.

කමිටුවට පැවරී ඇති ප්‍රධාන කර්තව්‍යන් පහත පරිදිය:

1) රාජ්‍ය මූල්‍ය පරිපාලනය, බලපත්‍ර නිකුත් කිරීම, හා ආයෝජන ආදියට බලපාන සියලු නීති, රෙගුලාසි හා චක්‍ර ලේඛයන් සමාලෝචනය කිරීම හා ඒවා ගෙන ඒමට හා විකාශනය වීමට හේතුපාදක වූ කරුනු විශ්ලේෂනය. 

2) යම් රෙගුලාසියක් හෝ චක්‍රලේඛයක්, ඒවා පදනම් වූ මුල් නීති වලින් අපගමනය වෙමින් “පමන ඉක්මවූ” සීමා හෝ නියාමන පැනවීමට හේතු වී ඇත්දැයි සොයා අධ්‍යනය කිරීම. 

3) පවතින නීති හා රෙගුලාසි වර්තමාන ජාත්‍යන්තර සම්මුති හා වර්තමාන තත්වයන්ට කොතරම් අදාල දැයි අධ්‍යනය කොට ඒවා නුතන නියාමන පද්ධතියක් බවට පරිවර්තනය කර ගැනීමේ ශක්‍යතාව අධ්‍යනය කිරීම.  

4) “පමන ඉක්මවූ නියාමනයන්” නිසා රජයට දැරීමට සිදුවී ඇති පිරිවැය, ජනතාවට සිදුවන පාඩුව හා එමගින් දුෂන හා වංචා දිරිමත් වීමේ ඉඩ කඩ සොයා බැලීම.

5) එසේ “සරල හා තාත්වික” කල හැකි, පවතින රෙගුලාසි හා චක්‍රලේඛ අඳුනා ගෙන, ඒවා සම්පූර්නයෙන් අහෝසි කිරීම හෝ වෙනස් කිරීමට අවශ්‍ය නිර්දේශ ලබා දීම.

6) ජාතික, පලාත් හෝ ප්‍රාදේශීය මට්ටම් බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදයන්ගේ යම් පුනරාවර්තයන් ඇත්දැයි සොයා බලා ඒවා නිසි පරිදි සංශෝධනය කිරීමට අවශ්‍ය පියවර ගැනීම. 

“ජනතාවගේ පහසුව” සඳහා යන ප්‍රෝඩාවට මුවාවී පිහිටුවා ඇතත්, කමිටුවේ සැබෑ අරමුන පුද්ගලික ව්‍යාපාර වලට හා විශේෂයෙන්ම විදේශ ආයෝජකයන්ට නිර්බාධිතව ලංකාවේ කම්කරුවන් හා  ගොවින් සූරාකෑමටත් ස්වාභාවික සම්පත් කොල්ලකෑමටත් ඇති ඕනෑම නීතිමය සීමාවක් ඉවත් කර දීම බව සමාලෝචනයට හා නව නිර්දේශ කිරීමට යෝජිත රෙගුලාසි වලින්ම පෙන්නුම් කෙරේ.

ඉහත  කර්තව්‍යන් සපුරාලීමට කමිටුවට ලබා දී ඇති දින 90ක කෙටි කාලයෙන් පෙන්නුම් කෙරෙන්නේ, හැකි ඉක්මනින් මේ බාධා ඉවත් කර දීමට රාජපක්ෂට ඇති තදියමයි.

කමිටුව මෙහයවීමට පත් කර ඇති ලලිත් වීරතුංග, ඉහලපෙලේ රාජ්‍ය නිලධරයෙක් ලෙස හිටපු ජනාධිපති හා වත්මන් අගමැති මහින්ද රාජපක්ෂගේ අත්තනෝමතික පාලනයට හවුල්ව දැන් ජනාධිපතිගේ උපදේශකයෙකු ලෙස පත්කර ඇත. 

කමිටුවේ සම-ප්‍රධානි, ක්‍රිෂාන් බලේන්ද්‍රගේ ජෝන් කීල්ස් සමුහ ව්‍යාපාරය ලංකාවේ පාරිභෝගික වෙලඳාම, වැවිලි කර්මාන්තය හා සංචාරක කර්මාන්තය ආදිය තුල අතිශය රුදුරු කොන්දේසි යටතේ කම්කරුවන් සූරාකන සමාගමකි. පසුගිය දශක දෙකක කාලය තුල එය මහා පරිමාන දේපල වෙලඳාම ව්‍යාපෘති හා මුල්‍ය සමපේක්ෂනය මගින් ද දැවැන්ත ලාභ ගරාගෙන ඇත. 

කීල්ස් සමූහය අධිරාජ්‍යවාදී රටවල මහා සංගත වල දේශීය ඒජන්තයෙකු ලෙසද ක්‍රියා කරයි. කොලඹ වරායේ පලමුවෙන්ම පුද්ගලීකරය කල පර්යන්තය වන “සවුත් අසියා ගේට් වේ ටර්මිනල්” (South Asia Gateway Terminal ) පර්යන්තයේ ප්‍රධාන කොටස්කරුවා වන කීල්ස් සමාගම, වර්තමානයේ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීමට ආන්ඩුව ගෙනයන ක්‍රියාවලියේද ප්‍රධාන තැරවූකරුවෙක් බවට කරුනු හෙලි වී තිබේ. 

ලංකාවේ වඩාත්ම නිර්දය ලෙස සේවක අයිතිවාසිකම් කප්පාදුව සිදු කර ඇති වැවිලි හා ඉදකිරීම් ක්ෂේත්‍ර වල නියුතු විශාලතම පුද්ගලික සමාගම් දෙකක් වන සන්කෙන් ලංකා ඉදිකිරීම් සමාගමේ ප්‍රධානි රන්ජිත් ගුනතිලක හා ම්ලේස්නා තේ සමාගමේ හිමිකරු අන්ස්ලම් පෙරේරාත්, ලංකාවේ ප්‍රධාන මූල්‍ය සමාගම් හා බැංකු ගනනාවක සභාපතිත්වය හා අධ්‍යක්ෂක ධුර දරා ඇති ජනාධිපති නීතිඥ හර්ෂ කබ්රාල්ද කමිටුවේ සෙසු සමාජිකයින් අතර සිටිති. 

යල් පැනගිය නීති හා රෙගුලාසි වලින් “මහජනතාවට සිදුවන අපහසුතා”  අවම කිරීමට යයි කියා ඒවා සංශෝධනය කිරීම මෙවැන්නවුන්ට භාරදීමේ අරමුන ධනපති ව්‍යාපාරිකයන්ට සුදුසු පරිදි නීති හා රෙගුලාසි සකස් කරගැනීම බව කීමට අටුවා අවශ්‍ය නැත.  කමිටුවට පවරා ඇති කර්තව්‍යයන්ගේ ප්‍රධාන අරමුන වන්නේ, බලපත්‍ර නිකුත් කිරීම, ව්‍යාපෘති වලට අවසර ලබාදීම, බදු නියාමනය ආදී ව්‍යාපාරික හා කර්මාන්ත කටයුතු වලට පැනවෙන නීතිමය හා පරිපාලන සීමා ඉවත් කර ගැනීමයි.

මෙලෙස ආන්ඩුව සතු ඉලක්ක කිහිපයකි: වනාන්තර හා ස්වභාවික සම්පත් ආරක්ෂාව සඳහා ඇති දැව බලපත්‍ර හා කැනීම් බලපත්‍ර ආදිය හා ඉදිකිරීම් කටයුතු නියාමනය සඳහා ඇති පරිසර ආරක්ෂන බලපත්‍රය ආදි රෙගුලාසි අහෝසිකර දැමීම; ආදායම් බදු රෙගුලාසි සංශෝධනය තුලින් ධනපතීන්ට බදු සහන ලබාගැනීම.  

අන් සියල්ලටමත් වඩා, ලංකාවේ පාලකයන් හා විදේශ මූල්‍ය ආයතන බලකරන අයුරු කම්කරු නීති ප්‍රතිශෝධනය කර අබාධිත සූරාකෑම තහවුරු කිරීම මෙම නීති රෙගුලාසි ලිහිල් කිරීමට ඇතුලත්වනු ඇත. රිසිසේ කම්කරුවන් බඳවා ගැනීම සහ දොට්ට් දැමීම කලහැකි ස්ථාවර රැකියා ක්‍රමය අහෝසිකර තාවකාලික හා කොන්ත්‍රාත් ක්‍රමය ඇතිකිරීම ධනපති ව්‍යාපාරිකයන් කලක සිට ඉල්ලා සිටී. වසංගතයෙන් අර්බුදය උග්‍ර කෙරී ඇති තත්වයේදී ඔවුන්ට එය තවදුරටත් කල්දැමිය නොහැක.  

මේ වැඩපිලිවෙලේම තවත් එක පියවරක් ලෙස, දේශීය ව්‍යාපාර හා විදේශීය බහුජාතික සමාගම් වලට, මහා පරිමාන කෘෂි කාර්මික ව්‍යාපාර සඳහා, වනාන්තර ඉඩම් ලබාදීමේ ව්‍යාපෘතියක් ආන්ඩුව ආරම්භ කර ඇත. මේ සඳහා යොදා ගැනෙන්නේ, “අවශේෂ වනාන්තර” ලෙස හඳුන්වමින්, පසුගිය වසරේ ජූලි මාසයේදී වැවිලි කර්මාන්ත හා සංවර්ධන කටයුතු සඳහා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් වරුන්ට අනුයුක්ත කල වනාන්තර බිම්ය. මෙයට පරිසරවේදින්ගේ, දැඩි විවේචන හා විරෝධය එල්ල විය.

මේ යටතේ ගොවි ජනතාවට ඉඩම් ලබා දීමට යයි කියමින් වනාන්තර බිම් අක්කර මිලියන දෙකක්, පුද්ගලික අයිතියට පැවරීමට අවශ්‍ය වන අයුරින් ඉඩම් සම්බන්ධ පනත් හා ආඥාපනත් සංශෝධනය කිරීමට ආන්ඩුව මාන බලන බව සන්ඩේ ටයිම්ස් ජනවාරි 10 දා පලකල වාර්තාවකින් හෙලිවේ. මින් ඉඩම් අක්කර මිලියන 1.2ක් ගොවි පවුල් වලට මුලින් බෙදා හැර, ඉතිරි අක්කර 800,000 මහා පරිමාන කෘෂි ව්‍යාපාර සඳහා පුද්ගලික ආයෝජකයන්ට ලබාදීමට සැලසුම් කර තිබේ.

එම ආයෝජකයන්ට වසර 10ක කාලයක් සඳහා බදු සහන ඇතුලු, සහන ලබා දීමටත් නියමිතය. අවශ්‍ය පරිදි ඉඩම් ලේඛන ගත කිරීමට, ඉඩම් සංවර්ධන ආඥා පනත සංශෝධනය කර ශ්‍රී ලංකාවට “ඉඩම් දත්ත සැකසුම් යටිතල ව්‍යුහයක්” (Land Data Infrastructure-LDI) සහ ඉඩම් තොරතුරු සේවා පද්ධතියක් (Land Information Service System -LISS) පිහිටුවිමට, දකුනු  කොරියානු රජයේ ආධාර සහිත ව්‍යාපෘතියක්ද දියත් කර ඇත.

රාජපක්ෂ ආන්ඩුව සැරසෙන්නේ, ධනපති කොල්ලයට එරෙහිව වැඩුනු මහජන විරෝධයන් මධ්‍යයේ නීති රාමුව තුල අතිශයින් සිමාසහිතව හෝ ස්වභාවික සම්පත් වල ආරක්ෂාව වෙනුවෙන් පනවා තිබූ නීති හා රෙගුලාසි අතලොස්සද අහෝසි කර දමා, විදේශ මහා සංගත වල හා දේශීය ධනපතීන්ගේ සූරාකෑමට සම්පත් විවෘත කරදීමයි. 

මාරාන්තික කොරෝනා වසංගතය මගින් තවත් තීව්‍රකර ඇති ලෝක ධනවාදයේ අර්බුදය මගින් ධනපති ලාභ උන්මාදය පෙර නොවූ විරු මට්ටමකට උත්සන්න කර ඇත. වසන්ගතයෙන් අවුලවා ඇති සමාජ ආර්ථික ගැටලු වලට විසඳුම් දෙන මුවාවෙන් අධිරාජ්‍යවාදී රටවල මහබැංකු මගින්, 2020 වසර තුල ඩොලර් ට්‍රිලියන ගනන් මුදල් නිකුත් කරමින් ඒවා මුල්‍ය වෙලඳ පොලට හා මහා සංගත තුලට පොම්ප කලේය. 

හුදෙක් නාමික වටිනාකමක් පමනක් ඇති එම මුදල්, හැකි ඉක්මනින් භාන්ඩ හෝ දේපල වෙලඳපල වල හෝ වඩාත්ම ඉහල ලාභ ගැරිය හැකි කර්මාන්ත තුල ආයෝජනය කර “සැබෑ වටිනාකම්” බවට පත්කර ගැනීමේ තදියමක් බහුජාතික සමාගම් වලට ඇත. රාජපක්ෂ තන්ත්‍රය වැනි පසුගාමී රටවල පාලකයන් ඒවාට ඉඩසලසන අතර ලංකාවේ තැරැව්කාර ධනපතියන්ගේ අවශ්‍යතා ඉටුකර දීමට ක්‍රියා කරයි. 

වසංගතයට මුවාවී ලොව පුරා පසුගාමී රටවල ආන්ඩු මෙවැනිම “රෙගුලාසි ලිහිල්” කිරීමේ ක්‍රියාවලින් දියත් කර ඇත. දස ලක්ෂ ගනනක් ගොවීන්ගේ සටන්කාමි විරෝධය මත තාවකාලිකව හකුලාගෙන ඇති ඉන්දියාවේ මෝදි ආන්ඩුවේ “කෘෂිකර්ම පනත්” තුනත්, පසුගිය වසරේ ඔක්තෝබරයේදී දැඩි කම්කරු විරෝධය මධ්‍යයේ ඉන්දුනීසියාවේ ජෝකෝ විදෝදෝ ආන්ඩුව මගින් සම්මත කල, පැරනි පනත් හා රෙගුලාසි 70ක් සංශෝධනය කෙරෙන “රැකියා ප්‍රවර්ධනය සඳහා වූ ඒකාබද්ධ පනත”(Omnibus Bill for Job Creation) මීට උදාහරන වේ. 

රාජපක්ෂ ආන්ඩුවේ මේ රෙගුලාසි ලිහිල් කිරීමේ ප්‍රයත්නය, වසංගතයෙන් ඇතිකෙරුනු අර්බුදය යොදා ගනිමින්  කම්කරු පන්තිය සූරාකෑම  නව ඉහලකට ගෙනයාම සඳහා ධනපති ආර්ථිකයන් ප්‍රතිව්‍යුහගත කිරීමට  සෑම රටකම පාලන තන්ත්‍ර දියත් කර ඇති වැඩපිලිවෙලක කොටසකි. මීට පටහැනිව, වැඩකරන ජනතාවගේ අයිතීන් රැකගත හැක්කේ, අතලොස්සකගේ පුද්ගලික ලාභය පදනම් කරගත් ධනපති පද්ධතිය පෙරලා දමා සමාජවාදී ආකාරයට ආර්ථිකයන් ප්‍රතිසංවිධානය කිරීමෙන් පමනකි. 

Loading