ඉදිරිදර්ශන

ජනවාරි 6 පහරදීම පිලිබඳ නව තොරතුරු පූර්න පරිමානයේ විමර්ශනයක අවශ්‍යතාව පෙන්වා දෙයි

ජනවාරි 6වන දින ට්‍රම්ප්ගේ ෆැසිස්ට් කැරැල්ලට රිපබ්ලිකන් පක්ෂයේ සහ පොලිස් හා මිලිටරි බුද්ධි අංශවල බලගතු කන්ඩායම් අතර ඉහල මට්ටමේ සහයෝගය තිබූ බව මාධ්‍ය වාර්තාවල නව තොරතුරු වලින් පෙනී යයි. මෙම හෙලිදරව් කිරීම්  මගින් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ඊට සම්බන්ධ සියලු දෙනා විනාස කර දැමීමේ කුමන්ත්‍රනය පිලිබඳව පූර්න පරිමානයේ විමර්ශනයක අවශ්‍යතාව මතු කරයි.

ට්‍රම්ප්ගේ ආධාරකරුවෝ 2021 ජනවාරි 6 වන බදාදා වොෂිංටන්හි මන්ත්‍රන සභා ගොඩනැගිල්ලට පහර දෙති. (AP ඡායාරූපය / ජෝන් මින්චිලෝ)

කැරැල්ලට පෙර දිනවල දී, කොන්ග්‍රස් කාර්ය මන්ඩලය මැතිවරන විද්‍යාලයේ සහතික කිරීම සඳහා නියමිත දිනයේදි වැඩි ආරක්ෂාවක් ඉල්ලා සිටිමින්, කුමන්ත්‍රන ප්‍රයත්නයක් සූදානම් කෙරෙමින් තිබෙන බවට ඇති පැහැදිලි සංඥා  බැරෑරුම් ලෙස සලකා බලන ලෙස එක්සත් ජනපද කැපිටල් (මන්ත්‍රන සභා ගොඩනැගිල්ලේ) පොලීසියට අයැද සිටි බව වොෂින්ටන් පෝස්ට් පත්‍රය ඊයේ වාර්තා කලේ ය. කාර්ය මන්ඩලය “තොරතුරු ඉල්ලමින් සිටි” අතර ප්‍රචන්ඩත්වයේ තර්ජනය පිලිබඳ තොරතුරු ලබා ගැනීමට දැඩි උත්සුකය දැක්වු නමුත්, කැපිටල් පොලිසිය සැලකිය යුතු ප්‍රතිචාරයක් දැක්වීම ප්‍රතික්ෂේප කල බව පෝස්ට් පත්‍රය වාර්තා කලේ ය.

[ප්‍රචන්ඩකාරින්] පොලිස් බාධක ඉක්මවා යාම අත් වැරැද්දක් හෝ තොරතුරු නොමැතිකම නිසා සිදු නො වූ බව එන්බීසී [නාලිකාවේ] වාර්තාවක් ද තහවුරු කලේ ය. එෆ්බීඅයි සහ නිව් යෝක් නගර පොලිස් දෙපාර්තමේන්තුව කැපිටල් පොලිසියට, “ජනවාරි 6 උද්ඝෙෝෂනය අතරතුර ප්‍රචන්ඩත්වයට ඇති හැකියාව පිලිබඳ ව ප්‍රමානවත් තොරතුරු ලබා දී ඇත” යි  ජ්‍යේෂ්ට පොලිස් නිලධාරියෙකු උපුටා දක්වමින්, එන්බීසී වාර්තා කරයි. එන්බීසී සඳහන් කලේ, “මීට පෙර වාර්තා නො කෙරුනු තොරතුරු මගින් මේ සතියේ එෆ්බීඅයි හි ඉහල නිලධාරියෙකු විසින් ප්‍රචණ්ඩත්වක් ඇති විය හැකි බවට කිසිදු සාක්ෂියක් නොමැති වු බවට කරන ලද ප්‍රකාශය අවලංගු කෙරෙන අතර, කැපිටල් ගොඩනැගිල්ලේ කැරල්ලට පෙර බුද්ධි අංශ බලධාරීන් සමාලෝචනය කර තිබුනේ කුමක් ද යන ප්‍රශ්න වැඩි කෙරෙන” බව යි.

පහරදීම අතරතුර, නිලධාරීන් හා කාර්ය මන්ඩලය මැර පිරිසෙන් සැඟ වී, කාර්යාලවල තෙරපී සිටින විට, කැපිටල් පොලිස් නායකත්වය කොංග්‍රස් සභා පරිපාලන කමිටුවේ සභාපතිනිය ලෙස එදිනෙදා අධීක්ෂන කටයුතු බාර,  කොන්ග්‍රස් සභික සෝ ලොෆ්ග්‍රෙන්ගේ දුරකථන ඇමතුම් ලබා ගැනීම ප්‍රතික්ෂේප කල අතර, ජාතික ආරක්ෂක භටයන් යෙදවීම ගැන ඇයට බොරු කියා, පසු ව කොන්ග්‍රස් සභිකාවක වන මැක්සීන් වෝටර්ස් උදව් ඉල්ලා සිටි විට දුරකථනය පසෙක තැබූ බව අතිරේක වාර්තා පෙන්වා දෙයි.

පෙන්ටගනය තුලින් ද කුමන්ත්‍රන ප්‍රයත්නයට තීරනාත්මත සහයෝගය ලැබුනි,  නොවැම්බර් 3 මැතිවරනයෙන් පසුව ට්‍රම්ප් එය තම පාක්ෂිකයන්ගෙන් පිරවී ය .

වටලෑම අතරතුර දී, ඩිමොක්‍රටික් නායකයෝ තම බංකරයේ සිට  මේරිලන්ඩ් ආන්ඩුකාර ලැරී හෝගන්ට කතා කර ජාතික ආරක්ෂක භටයින්ගේ සහාය අයැද සිටියහ. ඔවුන් ඉවත් කර ගැනීමට තම ප්‍රාන්ත ආරක්ෂක භටයින් යෙදවීමට සූදානම් ව සිටි නමුත්, තමන්ට දිස්ත්‍රික්කයට ඇතුළුවීමට අවසර දෙන ලෙස කෙරුනු  බොහෝ ඉල්ලීම් පෙන්ටගනය විසින් ප්‍රතික්ෂේප කල බව හෝගන් පැවසී ය. ඉරිදා සීඑන්එන් සම්මුඛ සාකච්ඡාවක දී හෝගන් මෙසේ පැවසී ය: “මම දන්නා එකම දේ නම් අපි පිලිතුරු ලබා ගැනීමට උත්සාහ කල නමුත් අපිට පිලිතුරු නොලැබීමයි.”

මීට අමතර ව, වර්ජිනියා ආන්ඩුකාර රැල්ෆ් නෝර්තම් ඊයේ හෙලි කලේ කොංග්‍රස්  කථානායිකා නැන්සි පෙලෝසි ද බදාදා තමා අමතා උදව් ඉල්ලා සිටි බව යි. නෝර්තම් පෙලෝසිගේ වචන උපුටා දැක්වීය: “රැල්ෆ්, මා වටේ වීදුරු බිඳිලා. මට වෙඩි හුවමාරුවක් ඇහුනා.  මේ මොහොතේ අපි ඉන්නෙ හරිම තැතිගැන්මෙන්.”

මේවා පෙන්ටගනයේ කන්ඩායම්වල සම්බන්ධකම් පිලිබඳ එක ම සංඥා පමනක්  නො වේ. ජනවාරි 6වැනි දිනට පෙර දිනවල පෙන්ටගනය වොෂිංටන් ඩී. සී. ජාතික ආරක්ෂක හමුදාව නිරායුධ කර තිබූූ අතර, තමන් ආයුධ සන්නද්ධ කර සූදානම් කරන ලෙස වොෂිංටන් ඩී. සී. නගරාධිපති මියුරියෙල් බවුසර් කල ඉල්ලීම්  ප්‍රතික්ෂේප කලේ ය. ජනවාරි 6වැනි දින සිදුවීම්වලට මග පෑදූ සිදුවීම් සමාලෝචනය කිරීමේ නිල පෙන්ටගන ලේඛනයක්, කැරැල්ල “2021 ජනවාරි 6, වොෂිංටන් ඩීසී හි පලමු සංශෝධනය පිලිබද විරෝධතා” ලෙස සඳහන් කර යි.

මේරිලන්ඩ්හි  ඇන්ඩෘස් ඒකාබද්ධ ආරක්ශක කඳවුරේ ස්ථානගත කෙරුනු, නිශ්චිතව ම මෙවැනි තත්වයක් සඳහා සුදානමේ තබා ඇති, “ඉක්මන් ප්‍රතික්‍රියා බලකායක්” යෙදවීම ද පෙන්ටගනය අවහිර කලේ ය. ප්‍රමානවත් තරම් සැලසුම් නො කිරීම හේතුවෙන් ඒකකය යෙදවුයේ නැති බව පෙන්ටගනය කියා සිටීම අමූලික බොරුවකි.

වොෂිංටන් පෝස්ට් වාර්තාවට අනුව, සෙනෙට් සභාවෙ බහුතර නායක මිච් මැක්කොනෙල්ගේ සහායකයෙක් - පැහදිලිව ම තම සේවායෝජකයාගේ අවසරය නො මැතිව හා නිල ක්‍රම වේද මග හරිමින් - එෆ්බීඅයි හි සේවය කල තම පුද්ගලික මිතුරෙකු අමතා තත්වය ඔහුට දැනුම් දුන්නේ ය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, මිතුරා “එක්සත් ජනපද සෙනෙට් සභිකයින්ගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සහ ඔවුන්ට හැකි සෑම ආධාරයක් ලබා දීම සඳහා එෆ්බීඅයි වොෂිංටන් ක්ෂේත්‍ර කාර්යාලයන් එක් කන්ඩායමක්ද ඇතුළු ව උපක්‍රමික කන්ඩායම් තුනේ පලමුවැන්න යවා ඇත.”

විශ්‍රාමික බ්‍රිගේඩියර් ජනරාල් තෝමස් කොල්ඩිට්ස් හමුදාව තුල පවතින අන්තරාය ගැන ෆෝචූන් සඟරාවට කතා කලේ ය. යේල් විශ්ව විද්‍යාලයේ චින්තන පර්ෂදයකට නායකත්වය දෙන, වෙස්ට් පොයින්ට් මිලිටරි ඇකඩමියේ මහාචාර්යවරයකු වන කොල්ඩිට්ස්, ජනවාරි 6 “හොඳ දෙයක්” යැයි විශ්වාස කල හමුදා නිලධාරීන්ට මෙසේ සඳහන් කලේ ය.

අපි කතා කරන්නේ දුසිම් භාගයක මිනිසුන් ගැන නොවෙයි. පෙනෙන විදියට අපි කතා කරන්නේ ආරක්ෂක දෙපාර්තමේන්තුව පුරා සිටින දහස් ගනනක් ගැන. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් දැනටමත් බොහොම කතා කර, සමාජ මාධ්‍යවල කාරනා පල කරන්න ඇති. නමුත් මෙය කැරැල්ලක්. මොනම කාරනයක් සඳහා වත්, මිලිටරියේ පුද්ගලයන්, කැරල්ලක් හොඳ අදහසක් නැනත්ම් යුක්තිසහගත යැයි නො සිතීමට වග බලා ගැනීම ආරක්ෂක නායකත්වයේ රාජකාරීමය බැඳීමක්. 

මීට අමතරව, කොන්ග්‍රසයේ රිපබ්ලිකානු සාමාජිකයින් සහ ඔවුන්ගේ කාර්ය මන්ඩලය කුමන්ත්‍රන ප්‍රයත්නයට සම්බන්ධ බවට වඩ වඩා සාක්ෂි තිබේ. කොලරාඩෝ ප්‍රාන්ත රිපබ්ලිකානු කොන්ග්‍රස් සභිකාවක වන ලෝරන් බොබට්, කැපිටල් ගොඩනැගිල්ල වෙත කඩාපැනීම අතරතුර පෙලෝසි කායික ව සිටින තැන මැර පිරිසට සජීවීව ට්වීට් කරමින් සිටියා ය.ෆැසිස්ට් QAnon ආධාරකාරියක වන බොබට්, “අද දින 1776” යනුවෙන් උදේ 7: 30 ට ට්වීට් පනිවුඩයක් යැව්වා ය. ප.ව. 2:18ට පෙලෝසි ඉවත් කෙරෙමින් සිටිය දී,  “කතානායිකාව සභා ශාලාවෙන් ඉවත් කලා”  යැයි ඇය ට්වීට් කලා ය. 

කොන්ග්‍රස් සභාවේ (පහල මන්ත්‍රි මන්ඩලයේ) ඩිමොක්‍රටික් බහුතර සංවිධායක ජේම්ස් ක්ලිබර්න් ඊයේ සීබීඑස් වෙත පැවසුවේ රිපබ්ලිකානුවන් විසින් මැර පිරිසට කොන්ග්‍රසයේ සිතියම් ලබා දී, කැරලි කරුවන්ට ගොඩනැගිල්ලට ඇතුළුවීමට ඉඩ දී ඇති බව යි.

“යම් දෙයක් සිදුවෙමින් පවතින බව මම විශ්වාස කරනවා. යා යුතු තැන ඔවුන් දැන ගෙන හිටියා. පැති දොරවල් හරහා මිනිසුන්ට ගොඩනැගිල්ලට ඇතුළුවීමට ඉඩ දී ඇති බව දුටු බව තමන්ගේ කාර්ය මන්ඩලය පවසා ඇත යි කොංග්‍රසයේ සමහර අය මට කියලා තියෙනවා. මේ විරෝධතාකරුවන්ට නැත්නම් මම කිය විදියට මෙම මැරයන්ට,  චුම්බකමාන (magnetometers) තියෙන ප්‍රධාන දොරටුව නැතිව පැති දොරවල් හරහා ගොඩනැගිල්ලට එන්න  පැති දොරවල් විවෘත කලේ කවුද? ඔව්, ගොඩනැගිලි ඇතුලෙන් කවුරුහරි මේකට හවුල් වනා.”

ට්‍රම්ප්ගේ කුමන්ත්‍රනය පිටුපස ඇති බලවේග පිලිබඳ ව විමර්ශනය කිරීමේ අවශ්‍යතාව මෙම කරුනු වලින් පැහැදිලි වේ. නමුත්, කුමන්ත්‍රනයට රිපබ්ලිකන් පක්ෂය සහ මිලිටරි බුද්ධි අංශ සම්බන්ධ වී ඇති බවට සාක්ෂි වැඩි වත් ම, ඩිමොක්‍රටික් පක්ෂය ඕනෑ ම සැබෑ විමර්ශනයකට විරුද්ධ වන අතර වඩ වඩාත් තදියමකින් රිපබ්ලිකන් කුමන්ත්‍රනකරුවන් සමඟ “එක්සත්කම” ඉල්ලා සිටී.

ජනවාරි 8 වන දින, තේරී පත්ව සිටින ජනාධිපති ජෝ බයිඩෙන්, රිපබ්ලිකානු කුමන්ත්‍රනකරුවන් කොන්ග්‍රසයෙන් නෙරපා හැරීමට තම විරුද්ධත්වය ප්‍රකාශ කල අතර ඒ වෙනුවට තම “රිපබ්ලිකන් සගයන්” සමඟ වැඩ කිරීමට සහ “ශක්තිමත්” රිපබ්ලිකන් පක්ෂයක් සහතික කිරීමට ඇති කැමැත්ත සපථ කලේ ය.

පරීක්ෂනයක් පැවැත්වීම වෙනුවට දෝෂාභියෝග ක්‍රියාමාර්ග ආරම්භ කරන බව ඩිමොක්‍රටිකයින් ප්‍රකාශ කර ඇත. මෙය තනිකර ම සංකේතාත්මක පියවරක් වන අතර ට්‍රම්ප්ගේ ධුර කාලය ජනවාරි 20 වනදායින් අවසන් වීමට පෙර එහි ප්‍රතිඵලයක් නො තිබෙනු ඇත.සති අන්තයේ ඉහල ඩිමොක්‍රටිකයන්  ඇඟවුම් කලේ  දෝෂාභියෝගය සඳහා කොංග්‍රසය මේ සතියේ ඡන්දය ප්‍රකාශ කලත්, බයිඩෙන් පරිපාලනයට අඩු වසයෙන් දින 100ක් යන තෙක් සෙනෙට් සභාව වෙත චෝදනා භාර නො දෙනු ඇති බව යි. එය රිපබ්ලිකන් කුමන්ත්‍රනකරුවන්ට දේශපාලන ආවරනයක් සැපයීමේ සහ ජනවාරි 6 කුමන්ත්‍රන ප්‍රයත්නයේ දේශපාලන ඇඟවුම් හිතාමතා සැඟවීමේ උත්සාහයකි.

අනතුරු ඇඟවිය යුතු ය: මිචිගන් ප්‍රාන්ත ආන්ඩුකාර ග්‍රෙට්චන් විට්මර් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ ඔක්තෝබර් කුමන්ත්‍රනය විමර්ශනය කිරීමට අපොහොසත් වීම  ජනවාරි 6 කුමන්ත්‍රනයට මග පෑදූවා සේ ම, මෙම උත්සාහය විමර්ශනය කිරීමට අපොහොසත් වීම අනාගත කුමන්ත්‍රන සඳහා පහසුකම් සපැයීම පමනක් වනු ඇත. ෆැසිස්ට් ව්‍යාපාරයන් තමන්ගේ පලමු උත්සාහයන් වරද්ද ගන්නේ ටික කලකට පසු බලයට පත්වීමට පමනක් ය යන උදාහරනවලින් ඉතිහාසය පිරී ඇත.

ඩිමොක්‍රටික් පක්ෂය ඉක්මනින් කොන්ග්‍රසයේ සභා දෙකම පාලනය කරනු ඇත. එහි කාරක සභාවලට සිතාසි නිකුත් කිරීමේ බලය ඇත. එයට කුමන්ත්‍රනයට සම්බන්ධ වූවන්ට සාක්ෂි දීමට කැඳවිය හැකි අතර ඔවුන් තමන්ගේ ලිපි, ඊමේල්, කෙටි පනිවුඩ සහ වෙනත් ආකාරයේ ලිපි හුවමාරු කර ගැනීම් මහජනයාට ප්‍රකාශ කල යුතු යැයි ඉල්ලා සිටිය හැක.

කොන්ග්‍රසය ව්‍යවස්ථානුකූල ව ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හා ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් කඩාකප්පල් කිරීම සඳහා වන කුමන්ත්‍රන විමර්ශනය කර  හෙලිදරව් කිරීම අවශ්‍ය වේ. එබැවින් විමර්ශනය කිරීමට අපොහොසත් වීම එහි පලමු වගන්තියේ වගකීම් නීති විරෝධී ලෙස උල්ලංඝනය කිරීම සහ රාජ්‍ය බලසංස්තාවන් අතර තුලනය අහෝසි කිරීමක් වනු ඇත.

කුමන්ත්‍රනකරුවන්ගේ අවසාන අරමුන තවමත් අනාවරනය වී නොමැත. එයට සම්බන්ධ බොහෝ දෙනාගේ ප්‍රකාශ හා සෙනෙට් සභා පරිශ්‍රයේ ගාංචු පටි (යමක්/යමෙකු බැඳීමට ගන්නා) ඇති ව මිලීෂියා සාමාජිකයින් සිටීම මගින් පෙනී යන්නේ, කුමන්ත්‍රනයට සම්බන්ධ අය කොන්ග්‍රස් සාමාජිකයින් පැහැර ගැනීමට සැලසුම් කල බව යි. සමාරම්භක උත්සවයේ ප්‍රමාදය සහතික කිරීම සඳහා හෝ වෙනත් සහන දිනා ගැනීම සඳහා කේවල් කිරීමේ බලපෑම ලෙස පැහැර ගැනුනු කොන්ග්‍රස්  සාමාජිකයින්ගේ ජීවිත (සමහර විට කථානායක පෙලෝසි ද ඇතුළුව) භාවිතා කිරීම මෙම සැලැස්මට සම්බන්ධ විය හැකි ය.

මෙම කුමන්ත්‍රනයට සම්බන්ධ අයගේ දේශපාලන අරමුනු, සම්බන්ධතා හා  සංවිධාන අනාවරනය කර ගැනීම දැන් අවශ්‍ය වේ. මෙය කල හැක්කේ කුමන්ත්‍රන අධ්‍යක්ෂවරුන් හා ඔවුන්ගේ රිපබ්ලිකානු හවුල්කරුවන් පිලිබඳ පූර්න පරිමානයේ මහජන පරීක්ෂනයක් මගින් පමනකි. එවැනි පරීක්ෂනයක් සිවිල් අයිතිවාසිකම් සංවිධානවලට සහ මහජන නියෝජිතයින්ට ප්‍රශ්න ඇසීමට සහ සිදුවූ දේ පැහැදිලි කිරීමට සාක්ෂිකරුවන් කැඳවීමට අවස්ථාව ලබා දිය යුතුය. කුමන්ත්‍රනය පිලිබඳ සත්‍ය හෙලි කිරීමට හා එහි අන්තර්ගතය ලෝක ජනගහනයට නිරාවරනය  කිරීමට මෙය අවශ්‍ය වේ.

[මෙම ඉදිරිදර්ශනය ජාත්‍යන්තර සංස්කරනයේ ජනවාරි 11 දින පලවිය.] 

Loading