ඉදිරිදර්ශන

බයිඩන්ගේ සමාරම්භක දේශනය: නිසරු බව සහ යථාර්ථය වසං කිරීමේ හිස් වියුක්තය

[මෙම ලිපිය 2021 ජනවාරි 21 වැනි දින ඉංග්‍රීසි බසින් පල විය.]

ජනාධිපති ජෝශප් බයිඩන් ඊයේ පැවැත්වූ සමාරම්භක දේශනය, සියල්ලටම වඩා එහි නිසරුකම නිසා වැදගත් ය. සමස්ත ධනේශ්වර පර්යායම වෙලාගත්, පෙර නොදුටු පරිමානයේ දේශපාලන, සමාජ හා ආර්ථික අර්බුදයක් හමුවේ බයිඩන් විසින් හනමිටි, අපැහැදිලිවූ අනනුකූල සහ හිස්ම හිස් වියුක්තයන්ගෙන් පිරි කථාවක් පවත්වනු ලැබීය.

ඇත්ත වශයෙන්ම, බයිඩන් සමාජවාදී කතාවක් කරනු ඇතැයි කිසිවෙකු අපේක්ෂා නොකලේය. ඔහු බලවත්ම අධිරාජ්‍යවාදී රටේ “සේනාධිනායකයා” ලෙස කටයුතු කරන ධනේශ්වර දේශපාලනඥයෙකි. කෙසේ වෙතත් ඇමරිකානු දේශපාලනයේ සම්ප්‍රදායට අනුව, නව ජනාධිපතිගේ සමාරම්භක දේශනය, දේශපාලන තත්වය සහ එලඹෙන පරිපාලනයේ ප්‍රතිපත්තියට යම් ආකාරයකින් ඇමතීමේ අවස්ථාවක් ලෙස යොදා ගැනේ.

වොෂිංටන් හි එක්සත් ජනපදකොන්ග්‍රස් සභාවවනකැපිටල් හි 2021 ජනවාරි 20 වනබදාදා පැවැත්වූ 59 වනජනාධිපති සමාරම්භකඋලෙලේදී ජිල් බයිඩන් බයිබලය ඔසවාගෙන සිටියදී, ජෝ බයිඩන් අගවිනිසුරු ජෝන් රොබට්ස් ඉදිරියේ එක්සත් ජනපදයේ 46 වනජනාධිපති ලෙසදිවුරුම් දෙයි. (APඡායාරූපය / ඇන්ඩෘහාර්නික්)

පසුගිය අඩ සියවස තුල, මෙම චාරිත්‍රයේ අන්තර්ගතය වඩ වඩාත් බොල් වී ඇත. බයිඩන් ඊයේ මෙම ප්‍රවනතාව නව මට්ටමකට හෝ නව ගැඹුරකට ගෙන ගියේය.

අනුපිලිවෙලින් සමහර ඡේද සලකා බලමු:

අද අපි ජයග්‍රහනය සමරන්නේ, අපේක්ෂකයෙකුගේ නොව කාරනයක එනම් ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ කාරනය (මුල්කරගෙනය). ජනතාව, ජනතාවගේ කැමැත්තට ඇහුම්කන්දී ඇති අතර ජනතාවගේ කැමැත්ත සැලකිල්ලට ගෙන ඇත. ප්‍රජාතන්ත්‍රවාදය අනර්ග බව අපි නැවත ඉගෙන ගෙන සිටිමු. ප්‍රජාතන්ත්‍රවාදය බිඳෙන සුළුය. මගේ මිත්‍රවරුනි: මේ මොහොතේ, ප්‍රජාතන්ත්‍රවාදය සුරැකී ඇත! දින කිහිපයකට පෙර ප්‍රචන්ඬත්වය කැපිටල් හි අත්තිවාරමම සොලවන්නට උත්සාහ කල මේ ශුද්ධ භූමියේ, සියවස් දෙකකට වැඩි කාලයක් අප සතුව ඇති පරිදි සාමකාමීව බලය පැවරීම සිදු කිරීම සඳහා, දෙවියන් යටතේ, වෙන් නොකල හැකි, එක් ජාතියක් ලෙස අපි එක්ව සිටිමු.

එක්සත් ජනපදයේ සමස්ත දේශපාලන ක්‍රමයම සති දෙකකට පෙර පෙරලා දැමීමට ආසන්න වූ බව බයිඩන් මෙහිදී හැකි ඉහලම වක්‍රෝත්තියෙන් වුවත් පිලිගෙන ඇත. බයිඩන්ගේ මුලු කතාවේම එක් වරක් හෝ සඳහන් නොකල ට්‍රම්ප්, මැතිවරන ප්‍රතිපල ප්‍රතික්ෂේප කිරීම සහ ව්‍යවස්ථාව පෙරලා දැමීම සඳහා ක්‍රමානුකූල ව්‍යාපාරයක නිරතව සිටියේය. මෙය අවසන් වුනේ, මැතිවරන විද්‍යාලයේ බයිඩන්ගේ ජයග්‍රහනය සහතික කිරීම අවහිර කිරීම අරමුනු කර ගනිමින් ජනාධිපති විසින් උසිගැන්වූ ෆැසිස්ට්වාදීන් පිරිසක් එක්සත් ජනපද මන්ත්‍රන සභා ගොඩනැගිල්ලට කඩා වැදීමෙනි.

මෙම කැරැල්ලට වගකිව යුත්තේ කවුරුන්ද, එහි අරමුනු මොනවාද, උගත යුතු පාඩම් මොනවාද? බයිඩන් මෙම ප්‍රශ්නවලට පිලිතුරු දුන්නේ නැතුවා පමනක් නොව ඒ වෙනුවෙන් පෙනී සිටියේ හෝ නැත.

බයිඩන්, කුමන්ත්‍රන උත්සාහය, “ප්‍රචන්ඩත්වයේ” විසිරුනු සහ වියුක්ත මෙහෙයුමක් බවට වරනැගීය. බයිඩන්ට අනුව කොන්ග්‍රස් සභාවට කඩාවැදුනේ, “ප්‍රචන්ඩත්වය” යි. එහෙත් “ප්‍රචන්ඩත්වය” මන්ත්‍රන සභාවට පහර දුන්නේ නැත, මිනිසුන් එසේ කල අතර ඔවුන්ට වෙනත් පුද්ගලයින්ගේ දේශපාලන සහයෝගය තිබුනි.

ඇත්ත වශයෙන්ම, සමාරම්භක උලෙලට “එකට පැමිනි” බොහෝ දෙනෙක්, ට්‍රම්ප් යටතේ සෙනෙට් බහුතර නායකයා වූ සෙනෙට් සභික මිච් මැක්කොනෙල් සහ රිපබ්ලිකන් පක්ෂයේ අනෙකුත් ඉහල පෙලේ නායකයින් ද, කුමන්ත්‍රන ව්‍යයාමය දේශපාලනිකව සාධාරනීකරනය කරමින් මැතිවරන ප්‍රතිපලය සැක සහිත ය, එය කල්තියා සූදානම් කල එකකැයි යන බොරුව පවා ප්‍රවර්ධනය කල අයයි. බයිඩන්ගේ “රිපබ්ලිකන් සගයන්” වන මෙම පුද්ගලයින් ඔහුගේ ගෞරවනීය අමුත්තන් අතරට ඇතුලත් විය.

අපේ ජාතියේ ඉතිහාසයෙහි ඉතා සුලු පිරිසක් අප දැන් සිටින කාලයට වඩා අභියෝගාත්මක හෝ වඩා අභියෝගයට ලක්ව ඇති දුෂ්කර කාලයන්ට මුහුනදී ඇත. කලාතුරකින් පැමිනෙන, නිහඬව ගොදුරු සොයමින් රට පුරා පැතිරෙන වෛරසය, දෙවන ලෝක සංග්‍රාමයේදී ඇමරිකාවට අහිමි වූවාට වඩා ජීවිත සංඛ්‍යාවක් වසරක් තුල බිලිගෙන ඇත. රැකියා මිලියන ගනනක් අහිමි වී ඇත, ව්‍යාපාර සිය ලක්ෂ ගනනක් වසා දමා ඇත.

ඒ ආකාරයටම බයිඩන්, මුළුමනින්ම වසංගතය ඉදිරිපත් කරන්නේ “නිහඬව” රට තුල පැතිර යන වෛරසයක් ලෙස ය. කෙසේ වෙතත්, එක්සත් ජනපදය එහි ව්‍යාප්තිය නැවැත්වීමට සහ ජීවිත බේරා ගැනීමට මෙතරම් විනාශකාරී ලෙස අසමත් වී ඇත්තේ කෙසේද? රෝගය පාලනය කිරීම වැලැක්වූ ප්‍රතිපත්ති මොනවාද? ඒවා ක්‍රියාත්මක කිරීමට වගකිව යුත්තේ කවුරුන්ද? මෙම ප්‍රශ්නවලට පිලිතුරු දීමට උත්සාහ කරනවා වෙනුවට බයිඩන්, කඩිමුඩියේ යොදාගත් ලෙස පෙනෙන නිහඬතා කාලයකට වැඩි යමක් වෙන්කලේ නැත.

පුලුල් සමාජ බලවේගයන් කෙසේ වෙතත්, මීට පෙර පැවති පරිපාලනය ව්‍යසනය සම්බන්ධයෙන් කිසිදු වගකීමක් දරනු ඇතැයි බයිඩන් යෝජනා කලේ නැත. මැතිවරනය පෙරලා දැමීම සඳහා බලමුලු ගැන්වූ ෆැසිස්ට්වාදීන්ගේ මූලික ඉල්ලීම, රෝගය පැතිරීම වලක්වන ඕනෑම පියවරක් ප්‍රතික්ෂේප කිරීම බව ඔහු සඳහන් කලේ නැත. මූල්‍ය කතිපයාධිකාරයේ කන්ඩායම් විසින් මුදල් දී ධෛර්යමත් කරන ලද මෙම බලවේග, සීමිත අගුලු දැමීමේ පියවරයන් ගැනීම නිසා මිචිගන් සහ අනෙකුත් ප්‍රාන්තවල ඩිමොක්‍රටික් ආන්ඩුකාරවරුන් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට උත්සාහ කිරීම ගැන ඔහු අවධානය යොමු කලේ නැත.

මෙම අභියෝග ජය ගැනීමට, ආත්මය යථා තත්වයට පත් කිරීම සහ ඇමරිකාවේ අනාගතය සුරක්ෂිත කිරීම පිලිබඳ වචනවලට වඩා බොහෝ දේ අවශ්‍ය වේ. සියල්ලටත් වඩා එයට ප්‍රජාතන්ත්‍රවාදයේ සෑම දෙයකින්ම වඩාත් වැදගත් මූලධර්මය ඇතුලත් විය යුතුය: එනම් එක්සත් භාවයයි. ඔව් එක්සත්භාවයයි. තවත් ජනවාරියක, 1863 අලුත් අවුරුදු දිනයේදී, ඒබ්‍රහම් ලින්කන් විමුක්ති ප්‍රකාශයට අත්සන් තැබීය. ඔහු පෑන කඩදාසිය මත තැබූ විටම ජනාධිපති පැවසූ දේ මම උපුටා දක්වමි, "මගේ නම කවදා හෝ ඉතිහාසයට ඇතුල් වුනොත්, ඒ මෙම ක්‍රියාව සඳහා වනු ඇත. මගේ මුළු ආත්මයම එහි ඇත."

දැන් අපි බයිඩන්ගේ සම්පූර්න කතාව තුලම කේද්‍රගතව ඇති හිස් වියුක්තයට පැමිනෙමු. එක්සත් වන්නේ කවුද? කුමන පදනම හා ප්‍රතිපත්තිය මතද? වසංගතය ඇතුළුව “මෙම අභියෝග ජය ගැනීම සඳහා” පසුගිය වසර පුරා ක්‍රියාත්මක කර ඇති ප්‍රතිපත්තියට වඩා වෙනස් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම තර්කානුකූලව අවශ්‍ය වේ. මේ සඳහා අවශ්‍ය වන්නේ “එක්සත්කම” නොව ගැටුමයි. ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු අයට විරුද්ධ විය යුතු අතර පරාජය කල යුතුව ඇත.

ලින්කන් ගැන සඳහන් කිරීමේදී එය විකාරයකි. ලින්කන් විමුක්ති ප්‍රකාශයට අත්සන් තැබුවේ දකුනේ වහල්භාවයේ බලය ආයුධ බලයෙන් පරාජය කිරීමේ දැවැන්ත අරගලයක කොටසක් ලෙස ය. වහල්භාවය අහෝසි කිරීම සාක්ෂාත් කරගනු ලැබුවේ එක්සත්කම හරහා නොව ලේවැකි සිවිල් යුද්ධයක් මගිනි.

අද, මේ ජනවාරි දිනයේ, මගේ මුළු ආත්මයම මෙහි ඇත: එනම් ඇමරිකාව එක්සත් කිරීම, අපේ ජනතාව එක්සත් කිරීම, අපේ ජාතිය එක්සත් කිරීමයි. මම සෑම ඇමරිකානුවෙකුගෙන්ම ඉල්ලා සිටින්නේ මේ සඳහා මා හා එක්වන ලෙසයි. ඒ අප මුහුන දෙන සතුරන්ට- එනම් කෝපය, අමනාපය සහ වෛරය, අන්තවාදය, අවනීතිය, ප්‍රචන්ඩත්වය, රෝග, රැකියා විරහිතකම සහ බලාපොරොත්තු රහිතකම-එරෙහිව සටන් කිරීමටයි.

“ප්‍රචන්ඬ” ලෙස කොන්ග්‍රස් සභාවට කඩාවැදීමේ කාරනයේදී සේම බයිඩන් මෙහිදී, සියලුම ගැටලු සමාජ අන්තර්ගතයෙන් තොර සංකල්පවලට සිඳුවයි. සියල්ල එකට කලවම් වී ඇත. “වෛරය” යනු ආත්මීය චිත්තවේගයක් වන අතර, “රැකියා විරහිතකම”, සමාජ ආර්ථික තත්වයක් සහ “රෝග” විශේෂිත ජීව විද්‍යාත්මක සංසිද්ධියකි. මෙම “සතුරන්” කිසිවෙකු කිසිදු පුද්ගලයෙකුට හෝ සමාජ ආර්ථික ප්‍රවර්ග හා අවශ්‍යතාවන්ට සම්බන්ධ නොවේ. “අන්තවාදය” පැමිනෙන්නේ කොහෙන්ද? මිනිසුන් කෝප වන්නේ ඇයි? රැකියා විරහිතභාවයට වගකිව යුත්තේ කවුරුන් ද සහ කුමක් ද?

සිතන පරිදි සෑම දෙයක්ම සිදුවන්නේ ආත්මයේ ය, විසුරුවන ලද බලවේගයන්ගේ චලනය තුල ය. කිසිවෙකු වගකිව යුතු නැති නිසා, “සතුරන්ට” සමාජ අන්තර්ගතයක් නොමැති නිසා, ඒවාට එරෙහි අරගලයක දී සෑම කෙනෙකුටම එක්සත් විය හැකිය. ගැටළු වියුක්ත හා අන්තර්ගතයකින් තොර බැවින්, විසඳුමට ප්‍රතිපත්තියේ වෙනසක් අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ “එකමුතුකම” පමනි.

ඉතිහාසය, ඇදහිල්ල සහ හේතු තර්කය මාර්ගය, එනම් එක්සත්කමේ මාර්ගය පෙන්වයි. අපට එකිනෙකා දැකිය හැක්කේ විරුද්ධවාදීන් ලෙස නොව අසල්වැසියන් ලෙස ය. අපට එකිනෙකාට ගෞරවයෙන් හා ගරුත්වයෙන් සැලකිය හැකිය. අපට අත්වැල් බැඳගත හැකිය, කෑගැසීම නැවැත්විය හැකිය, ඇවිලෙන ගිනි නිවා දැමිය හැකිය.

“එක්සත්කමේ මාර්ගය” සෙවීමේ ඔහුගේ ප්‍රයත්නයේ දී බයිඩන්, ලෝකයට පරස්පර විරෝධී ප්‍රවේශයන් දෙකක් වන ඇදහිල්ල සහ හේතුව අතර සමමිතියක් ඇති කිරීමට පවා සමත් වේ. පලමුවැන්න පදනම් වී ඇත්තේ සැකයෙන් තොරව පිලිගන්නා අධානග්‍රාහය මත වන අතර දෙවැන්න විද්‍යාත්මක විමර්ශනය මත ය. එසේ වුවද, ඒවායේ සහාය ඇතිව “ඉතිහාසය” සමඟ ප්‍රකෝටිපතියන් හා දුප්පතුන්, වෝල් වීදියේ සමපේක්ෂකයින් සහ රැකියා විරහිතයන්, සැමට සාමයෙන් හා සමගියෙන් ජීවත් වීමට හැකි වනු ඇත.

මේ වන විට නිව්යෝර්ක් නගරයේ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, වලවල් සෑරීමේ නියුතු හන්ට්ස් පොයින්ට් ගබඩාවේ කම්කරුවන් 1,400 ක්, පැයකට ඩොලර් 1 ක වැටුප් වැඩි කිරීමක් සඳහා වූ ඔවුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කල සමාගමට එරෙහිව නැගී සිට තිබේ. ඒ ඔවුන් පැතිරෙන වසංගතය මධ්‍යයේ වැඩට දක්කා ඇති තතු තුලය. මෙම සාධකය බයිඩන්ගේ “එක්සත්කමට” බලපාන්නේ කෙසේද?

මෙයින් සහ කතාවේ වෙනත් ඡේදවලින් මතුවන්නේ, බයිඩන්ගේ ප්‍රකාශ ඇමරිකානු ජනතාවට ආමන්ත්‍රනය නොකරන බවයි. ඔහු කතා කරන්නේ උත්සවයේ තමා සමඟ සිටි අය සමඟ, විශේෂයෙන් රිපබ්ලිකන් පක්ෂය සහ එහි නායකයන් සමඟ ය. සෙනෙට් සභාවේ පනස් වසරක ප්‍රවීනයෙක් මේ විශ්වයේ ජීවත් වේ. ඔහුට අවශ්‍ය “සමගිය” යනු, පාලක පන්ති නියෝජිතයින්ගේ රාජ්‍යයේ එකමුතුවකි, එය විනාශකාරී ගැටලු රැසකට මුහුන දී සිටින අතර, ඒවායින් සියල්ලටත් වඩා ඉහලින් ඇත්තේ, සමාජ කෝපයේ වර්ධනය හා පහල සිට නැඟෙන විරුද්ධත්වයයි..

අන්තිමමේදී බයිඩන් සිය ප්‍රකාශය මෙසේ අවසන් කරයි:

මා මිත්‍ර ඇමරිකානුවනි, මම දෙවියන් වහන්සේ සහ ඔබ සියලු දෙනා ඉදිරියේ පරිශුද්ධ දිවුරුමකින් මා මගේ ආරම්භ කල දිනය හමාර කරමි. මම සැමවිටම ඔබට මගේ වචනය දෙන්නෙමි, මම සෑම විටම ඔබ සමඟ සම සමව සිටින්නෙමි. මම ව්‍යවස්ථාව ආරක්ෂා කරමි. මම අපේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නෙමි. මම ඇමරිකාව ආරක්ෂා කරන්නෙමි. මම ඔබ සියල්ලන්ගේ සේවය වෙනුවෙන් සියල්ල කැප කරන්නෙමි. බලය ගැන නොව හැකියාවන් ගැන, පුද්ගලික තුවාල නොව මහජන යහපත ගැන සිතන්නෙමි. අපට බිය පිලිබඳව නොව බලාපොරොත්තුවේ ඇමරිකානු කතාවක් ලිවිය හැකිය. එක්සත්කම මිස බෙදීම නොවේ. ආලෝකයෙන් මිස අන්ධකාරයෙන් නොවේ. විනීතභාවය හා ගෞරවය, ආදරය හා සුවය, ශ්‍රේෂ්ඨත්වය සහ යහපත්කම පිලිබඳ කතාවකි ඒ.

කතාවේ අවසානය [සියලු දේ යහපතට හෝ නපුරට බෙදීයැතැයි කියන පුරාතන දහමක් වූ] මනචියන් ආගමික අරගලයක ඝට්ටනයකට ප්‍රස්තුතයන් වන බයිඩන්ගේ හිස් වියුක්තයන් සියල්ලම මහා අවසානයකට ගෙන එයි. “බලාපොරොත්තුව,” “ආලෝකය” සහ සියල්ලටම වඩා “එකමුතුකම” තුලින් නපුර පරාජය වන අතර යහපත්කම හා ප්‍රේමය ජය ගනු ඇත.

බයිඩන්ගේ ප්‍රකාශයේ දරිද්‍රතාවය, බුද්ධිමය අසාර්ථකත්වයක් පමනක් නොවේ. ප්‍රතිපත්තියේ සැලකිය යුතු වෙනසක් පිලිබඳ ඉඟියක් හෝ ලබාදීම වෙලඳපල කොටස් තුල විකුනා දැමීමකට තුඩු දෙන බව ඔහු හොඳින් දනී. සිදුවිය යුතු පරිදිම ඔහුගේ කතාව අතරතුර කොටස් වෙලඳපොලවල් ඉහල ගියේය. දේශපාලන සංස්ථාපිතයේ සහ මාධ්‍යයේ මනස් තුල, ඔහුගේ කථාව විශාල සාර්ථකත්වයක් ලබා ඇති බව නිගමනය කිරීමේ ප්‍රධාන සාධකය මෙයයි. ඔවුහු සියල්ලෝම එය පටන්ගන්නකොට සිටියාට වඩා අවසානයේදී තරමක් ධනවත් වූහ.

තව ද,ඇමරිකාව තුල ෆැසිස්ට්වාදයේ නැගීම පිටුපස ඇති දේශපාලන හා සමාජ බලවේග සහ වසංගතයේ ව්‍යසනකාරී ව්‍යාප්තිය නිර්මානය කල ද්විපක්ෂ හවුල් ප්‍රතිපත්ති නමැති යථාර්තය පිලිබඳව කරන ඕනෑම බැරෑරුම් පිරික්සුමක්, සමස්ත ධනේශ්වර පර්යායටම තර්ජනයක් වන සමාජ හා දේශපාලන පිපිරීමක අවදානම ගෙනෙන බව පාලක පන්තියේ දේශපාලන නියෝජිතයින්, විශේෂයෙන් ඩිමොක්‍රටික් පක්ෂය හොඳින් දනී.

“එක්සත්කම” සඳහා බයිඩන් කල ආයාචනය අවසාන විග්‍රහයේදී, දැවැන්ත සමාජ ආගාධයක් ආවරනය කිරීමේ මංමුලා සහගත උත්සාහයකි. මෙම ආගාධය, ඔවුන් අතර කුමන වෙනස්කම් තිබුනත් දෙපක්ෂයම එකම කතිපයාධිකාරය නියෝජනය කරන, ඩිමොක්‍රටිකයින් සහ රිපබ්ලිකානුවන් එකිනෙකාගෙන් වෙන් නොකරයි. එක් අතකින් ධනේශ්වර පාලක ප්‍රභූව සහ අනෙක් පැත්තෙන් කම්කරු පන්තිය අතර ඇති නොබිඳිය හැකි බෙදීම එම ආගාධයයි. මෙම ගැටුම විවෘතව පුපුරා යාමේ බිය නිසා බයිඩන් ඔහුගේ වියුක්තය කරා තල්ලු වෙයි.

Loading