රාජපක්ෂ ආන්ඩුව කොරෝනා ආසාදිතයන්ගේ හා මරනවල සීඝ්‍ර වැඩිවීමකට කොන්දේසි සකසයි

අනාරක්ෂිත කොන්දේසි යටතේ අඛන්ඩව කම්කරුවන් වැඩට තල්ලු කිරීම හා විශේෂයෙන් ම, නොවැම්බර් මාසයේ සිට පාසල් විවෘත කිරීම හේතුකොට ගෙන දෙසැම්බර් මාසයේ සිට ලංකාවේ කොවිඩ්-19 රෝග ව්‍යාප්තියේ හා මරනවල තියුනු වැඩිවීමක් පෙන්නුම් කරයි. 

මේ හේතුවෙන් ඉදිරි සති හා මාසවල රටපුරා ආසාදිතයන් හා මරන පිම්මේ ඉහල යනු ඇත. සෞඛ්‍යය අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛනවලට අනුව අද උදෑසන වනවිට සක්‍රිය ආසාදිතයන් ගනන 8463 කි. ආසාදිත වූ සමස්ත සංඛ්‍යාව 58,430 ක් වේ. දෙසැම්බර් 01 දා එම අගය පැවතියේ 24,529 ක් වශයෙනි. ඒ අනුව දින 56 වැනි කෙටි කාල සීමාවක් තුල 34,000 ට ආසන්න සංඛ්‍යාවක් ආසාදිත වී ඇත. 

ජනවාරි මාසයේ මෙතෙක් වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 15,000 අධික වන අතර, එය 20,000 ක් පමන වූ දෙසැම්බර් මාසයේ ආසාදිත සංඛ්‍යාව ඉක්මවා යෑමට නියමිත ය. දැනට 283 ක් වන මරන සංඛ්‍යාවේද එවැනිම වැඩිවීමක් පෙන්නුම් කරයි. 

මේ වන විට රෝහල්, කම්හල්, වතු, රජයේ හා පෞද්ගලික ආයතන, පාසල් ආශ්‍රිතව හා සමස්තයක් ලෙස රටපුරා රෝගීන් වාර්තා වෙමින් තිබේ. දිනකට සොයා ගැනෙන ආසාදිතයන් සංඛ්‍යාව 500 ට අධික වේ. පසුගිය සතියේ දින තුනක් එය 700 සීමාව ඉක්මවා ගියේ ය.   

වසංගතය සමග ජීවත්වීමේ "නව සාමාන්‍යයට" හුරුවන්නැයි ප්‍රකාශ කරන ආන්ඩුව රෝගීන් හඳුනා ගැනීම සඳහා කරන පිසීආර් පරීක්ෂන හැකි තරම් සීමා කොට තිබේ. ආන්ඩුව සැබෑ සංඛ්‍යා ලේඛන වසන් කරන බවට චෝදනා එල්ල වී ඇති අතර, දෛනික පීසීආර් පරීක්ෂන සංඛ්‍යාව ප්‍රමානවත් නොවන බව විශේෂඥයෝ පෙන්වා දෙති. මෙම තතු තුල ආසාදිතයන් හා මිය ගිය සංඛ්‍යාව නිල වාර්තාවලට වඩා බෙහෙවින් වැඩි විය හැකිය. ඉඳහිට සිදු කරන අහඹු පරීක්ෂනවලින් හමුවන රෝගීන් සංඛ්‍යාව ඉහල යාම මගින් පෙන්නුම් කරන්නේ, රටපුරා පරීක්ෂන ඉහල දැමුවහොත් වාර්තාවන රෝගීන් සංඛ්‍යාව ඉහල යනු ඇත යන්න යි. 

පාසැල් විවෘත කිරීම -2021 ජනවාර් 11

අරනායක සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ 23 දා සිදු කල අහඹු පරීක්ෂනයකින් රෝගීන් 9 දෙනෙකු වාර්තා වී තිබේ. එම කොට්ඨාසයේ මුලු ආසාදිත සංඛ්‍යාව 119 කි. පුත්තලම වෙන්නප්පුව විවිධ සේවා සමූපකාර සමිතියේ සේවකයන් 78 න් 40 ක් ම ආසාදිත බව දින දෙකකට පෙර තහවුරු වුනි. පස්සර ජාතික පාසලේ එලඹෙන “නිදහස් උලෙලට” සහභාගීවීමට සිටි සිසුන් අතර සිදු කල අහඹු පරික්ෂනවලින්, සිසුන් 80 ක් අතරින් 10 දෙනෙකු ආසාදිත බව සොයා ගෙන තිබේ. 

වසංගතය රටතුල සමාජගත වීමක් සිදුව නැතැයි ආන්ඩුවේ මැති ඇමතියන් හා එහි සෞඛ්‍යය බලධාරීන් කරන ප්‍රකාශවලට මහජනතාව අතර කිසිදු විශ්වාසනීයත්වක් ඇත්තේ නැත. ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී නියෝජ්‍ය සෞඛ්‍යය අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය හේමන්ත හේරත්, “අපි මෙලෙස රටපුරා රෝගීන් වාර්තාවීම බලාපොරොත්තු වෙච්ච දෙයක්. නමුත් මේක පාලනයකින් ගිලිහිලා කියලා කව්රු හරි කියනවා නම් අපි ඒක ප්‍රතික්ෂේප කරන්න ඕන” යයි වංචනික ලෙස ප්‍රකාශ කර සිටියේ ය. 

ලෝක සෞඛ්‍යය සංවිධානයට අනුව රෝගයේ සමාජගත වීමක් ලෙස ගුනාංගීකරන කරන්නේ, සම්ප්‍රේෂන දාමයන් හරහා විශාල සංඛ්‍යාවකට ආසාදනය පැතිරුනේ කෙසේද යන්න පැහැදිලි කිරීමට නොහැකි වීම හා දෛනිකව හඳුනා ගැනෙන රෝගීන් සංඛ්‍යාවේ වැඩිවීම යන කරුනු මුල් කොට ගෙනයි. ආන්ඩුවේ බලපෑම යටතේ සෞඛ්‍යය බලධාරීන් විසින් ඉදිරිපත් කරන මේ කුතර්ක වල අරමුන වසංගතය ව්‍යාප්තවීමේ සැබෑ තත්වය වසන් කර ආන්ඩුවේ ප්‍රතිගාමී පිලිවෙත් වලට මහජනතාව යටත් කිරීමය.

ලොවපුරා සහචර පාලක පන්තීන් මෙන්ම රාජපක්ෂ ආන්ඩුව ද ධනපති අතලොස්සකගේ ලාභ අවශ්‍යතා මහජන ජීවිතවලට ඉහලින් පිහිටුවා තිබේ. ධනපති පන්තියේ ලාභ උත්පාදන ක්‍රියාවලිය අඛන්ඩව ගෙන යෑම සඳහා කම්කරුවන් වැඩට කැඳවා ඇති අතර ඒ ක්‍රියාවලිය පහසු කරවීම සඳහා දරුවන් පාසල් තුලට ගොනු කරමින් තිබේ. 

අත්‍යාවශ්‍ය නොවන නිෂ්පාදන හා පාසල් වසා දමා, කම්කරුවන්ට පූර්න වැටුප්, ආදායම් අහිමිවන්නන්ට වන්දි සහ සියලු ලමුන්ට ඔන් ලයින් අධ්‍යාපන පහසුකම් සලසා, ජාත්‍යන්තර සහයෝගය යටතේ වසංගතය හැකි ඉක්මනින් මැඩීමට ධනපති ලාභ පද්ධතිය මුලුමනින්ම අසමර්ථය. ඒ වෙනුවට එය මරනයේ දේශපාලන පිලිවෙත් ක්‍රියාවට දමා තිබේ.  

විද්‍යාත්මක තහවුරු කෙරුනු එන්නත් පැවතිය ද ලොවපුරා එන්නත් කිරීම සිදු වන්නේ අවශ්‍ය වේගයට බෙහෙවින් අඩු වේගයකිනි. දිනපතා දහස් ගනනින් රෝගයෙන් මිය යන තත්වයේ දී එන්නත් කිරීමටත් වඩා හදිසි අවශ්‍යතාවයක් ලෙස ජාත්‍යන්තර වෛද්‍ය විශේෂඥයින් ඉල්ලා සිටින්නේ අත්‍යාවශ්‍ය නොවන නිෂ්පාදන නවතා දැමීමයි. 

ආන්ඩුවේ පන්දම්කාර වෘත්තීය සමිතියක් වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හරිත අලුත්ගේ ආන්ඩුවට ඍජුව චෝදනා නො කරන අතරේ, "රටක් විදිහට බස්නාහිර පලාත තුල රෝගය පාලනය කර ගැනීමට අසමර්ථ වීම නිසා රෝගය රටපුරා දැන් ව්‍යාප්ත වෙමින් තිබෙනවා" යයි පවසයි. ජාත්‍යන්තරව අත්දකින ආකාරයේ භයානක ලෙස රෝගීන්ගේ හා ජීවිත හානියකට ලංකාවට මුහුන දීමට සිදුවන බවත් එවැනි තත්වයකට පවතින සෞඛ්‍යය පහසුකම් ප්‍රමානවත් නොවන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටී.  

ඔක්තෝබර් මාසයෙන් පසුව පමනක් ආසාදිත වූ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 100 ක් බවත් ඉන් 40 ක් පමන දැනට ප්‍රතිකාර ලබමින් සිටන බවත් අලුත්ගේ සඳහන් කරයි. හෙදියන් ඇතුලු ආසාදිත වූ සමස්ත සෞඛ්‍යය කාර්ය මන්ඩල සේවකයන් සංඛ්‍යාව පිලිබඳ නිශ්චිත තොරතුරු නැතත් එය කිහිප සියයක් වනු නියත ය. එක් සෞඛ්‍යය කාර්ය මන්ඩල සේවකයෙකු ආසාදිත වුවහොත් තවත් සේවකයන් කීප දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමට සිදුවන තත්වයක දී රෝහල් කටයුතු පවත්වා ගැනීම බරපතල ප්‍රශ්නයක් ලෙස මතුව තිබේ. 

එසේම රටපුරා රෝගීන් සංඛ්‍යාව ඉහල යෑම මගින් ලංකාවේ ගරා වැටෙන සෞඛ්‍යය සේවයේ ගැටලු බරපතල ලෙස ඉස්මත්තට ගෙනවිත් තිබේ. කොලඹ පිහිටි කෝවිඩ් ප්‍රතිකාර රෝහලක වෛද්‍යවරියක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) ප්‍රකාශ කලේ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඇඳන් ප්‍රමානවත් නොවන බවයි. “ඇමරිකාවේ හා වෙනත් රටවල්වල සිදුවන ආකාරයට රෝගීන් වැඩි වෙන කොට අපිට කුමන රෝගියාව ඒ සඳහා තෝරා ගන්නවාද කියන අසීරු තැනකට දැන් අපි පත් වෙලා ඉන්නේ” යයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කලා ය. 

මේ වන විට කොවිඩ් ආසාදනය වී අසාධ්‍ය මට්ටමේ රෝගීන් 25 ක් සිටින බව වාර්තා වේ. වසංගත තත්වයේ දී පවා ආන්ඩුව මේ වසරේ සෞඛ්‍යය වියදම්, පසුගිය වසරට සාපේක්ෂව රුපියල් බිලියන 29 කින් කපා දමා ඇති තත්වය තුල රෝහල්වල අනෙකුත් ප්‍රතිකාර සේවා, සායන තවදුරටත් කප්පාදු කෙරෙමින් පවතින අතර රටේ සමස්ත මරන අනුපාතය ඉහල යෑමට කොන්දේසි සැකසෙමින් තිබේ.  

ව්‍යාප්තිය හා මරන අතින් ප්‍රබල වසංගතයේ නව ප්‍රභේදයේ අන්තරාය තිබියදීම ආන්ඩුව මේ සතියේ ලංකාවේ ගුවන් තොටුපලවල් ද විවෘත කලේ ය. ඒ කිසිදු ලෙසකින් රටට පැමිනෙන විදේශ සංචාරකයන්ගේ හෝ ලංකාවේ සංචාරක කර්මාන්තය ආශ්‍රිතව සේවය කරන දහස් සංඛ්‍යාත කම්කරුවන්ගේ සුභ සිද්ධිය පතා නොවේ. ඉන් පිලිබිඹු වන්නේ වසංගතය මගින් ගැඹුරු කෙරෙන ගෝලීය ධනේශ්වර ක්‍රමයේ අර්බූදයේ ඍජු බලපෑම යටතේ ලංකාවේ උග්‍ර වන නය අර්බූදයට පිලියම් ලෙස විදේශ විනිමය කැඳවා ගැනීමේ ආන්ඩුවේ මංමුලා සහගත ධාවනයයි.  

ඊට ප්‍රතිකූල ලෙස මැද පෙරදිග ඇතුලු විදෙස් රටවල වසංගත අවදානමට මුහුන දී සිටින විදේශගත කම්කරුවන් ගෙන්වා ගැනීම ආන්ඩුව මුලුමනින්ම නො සලකා හැර ඇත. දැනටමත් විදෙස් ශ්‍රමිකයන් සියයකට ආසන්න සංඛ්‍යාවක් ඒ ඒ රටවල මරනයට පත්ව තිබේ.  

අනෙක් අතින් ජාත්‍යන්තරව වෛද්‍ය විද්‍යාඥයින් විසින් නව වෛරස ප්‍රභේදය දරුවන්ට සිදු කරන විනාශය ගැන අනතුරු අඟවා තිබිය දී ආන්ඩුව මේ වසරේ පාසල්, පෙර පාසල් හා දිවාසුරැකුම් මධ්‍යස්ථාන ද සමග, පසුගිය 11 දා ආරම්භ කලේ ය. බස්නාහිර පලාත තුල ද, අපොස (සාමාන්‍ය පෙල) විභාගයට පෙනී සිටින සිසුන් සඳහා අද සිට පාසැල් විවෘත කෙරේ. 

නව ව‍ෛරසය ආසාදිත අයෙක් සති දෙකකට පෙර ලංකාවේ දී හඳුනා ගැනුනු අතර සංචාරක කර්මාන්තයේ ආරම්භයත් සමග එම වෛරස ව්‍යාප්තියේ අවදානම විශාල ලෙස ඉහල ගොස් තිබේ. කෙසේ නමුත් දැනටමත් පාසල් ගනනාවකින් ලමුන් හා ගුරුවරුන් ආසාදිත වීම් වාර්තා වී තිබේ. පාසල් තුල රෝගීන් වාර්තා වුවත් අදාල පාසල හෝ වසා දැමීම ආන්ඩුව හා අධ්‍යාපන බලධාරීන් ප්‍රතික්ෂේප කරන අතර, තොරතුරු යට ගැසීමේ උත්සාහයක ද නිරත වී සිටී. 

උදාහරනයක් ලෙස, පුත්තලම දිස්ත්‍රික්කයේ වෙන්නප්පුව හා මාදම්පේ ප්‍රදේශවල ආසාදිත ලමුන් පාසල් තුනකින් වාර්තා වී ඇතැත් වසා දැමුනේ අදාල සිසුන් ඉගෙනුම ලැබූ ශ්‍රේනිය පමනක් හා පරීක්ෂනයට ලක් කෙරුනේ අතිශය සීමිත පිරිසකි. පස්සර ජාතික පාසලේ සිසුන් 10 දෙනෙකු ආසාදිතයන් ලෙස අහඹු ලෙස හඳුනා ගැනීම පාසල් දරුවන් හා ගුරුවරුන් ඇතුලු සමාජය වසංගතයට ගොදුරු කිරීම පිලිබඳ අනතුරු ඇඟවීමකි. 

නිසි සෞඛ්‍යය ක්‍රමවේද හා පහසුකම් වලින් තොරව කම්කරුවන් සේවයේ යෙදවීම හේතුවෙන්, නිදහස් වෙලඳ කලාප තුල මෙන් ම ඉන් පිටත පවතින ඇඟලුම් කම්හල් වසංගතය ව්‍යාප්තවීමේ කේන්ද්‍රස්ථාන බවට පත් වී ඇත. කොග්ගල නිදහස් වෙලඳ කලාපයේ කොරෝනා ආසාදිත ඇඟලුම් කම්හල් සේවක සංඛ්‍යාව 21 දා වන විට 101 දක්වා ඉහල ගොස් ඇති බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පවසයි. පසුගිය මාස කිහිපයේ කටුනායක හා අවිස්සාවේල්ල සීතාවක පුර අපනයන ප්‍රවර්ධන කලාපවලින් රෝගීන් දුසිම් ගනනින් වාර්තා විය. 

දැවෙන හදිසිභාවයකින් මතුව ඇත්තේ, වසංගතයෙන් ජීවිත බේරා ගැනීමටත්, වසංගතය මගින් ගැඹුරු කෙරෙන ආර්ථික අර්බූදයේ බර මහජනයා මත පැටවීමේ ආන්ඩුවේ ප්‍රහාර පරාජය කිරීමටත්, කම්කරු පන්තිය, ගම්බද ගොවි ජනයා තමන් වටා රැලි කර ගනිමින් ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලට සටන් වැදීමේ අවශ්‍යතාවයයි. 

Loading