මහජන ආරක්ෂක ඇමති තරුනයන්ට අනිවාර්ය මිලිටරි පුහුනුව හඳුන්වා දීමට සැරසෙන්නේ ඇයි?

වයස අවුරුදු 18ට වැඩි තරුනයන්ට අනිවාර්ය මිලිටරි පුහුනුව ලබා දීම සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට තමා බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක ඇමති රියර් අද්මිරාල් සරත් වීරසේකර ජනවාරි 18 වැනි දා සිරස නිව්ස් ෆස්ට් වෙත ප්‍රකාශ කලේය. 

මහජන ආරක්ෂක ඇමති රියර් අද්මිරාල් සරත් වීරසේකර

“අවුරුදු 18න් ඉහල තරුන තරුනියන්ට හමුදා පුහුනුවක් තිබිය යුතුමයි. හමුදා පුහුනුවට කවුරුවත් බය වෙන්න ඕන නෑ. හමුදා පුහුනුවකින් තමයි ... නායකත්ව පෞරුෂත්ව ගුනාංග වර්ධනය වෙන්නෙ” යැයි ඔහු ප්‍රකාශ කලේ ය. “වාහන දෙකක් හැප්පුනත්, සංගීත සංදර්ශනයකට ගියත් මිනිස්සු ගැටුමක් ඇති කරගන්න පෙලඹෙනවා. ඒ විනයක් නැතිකම නිසා” යැයි ඔහු පවසා සිටියේ ය.

දැනට ආන්ඩුවට ඉදිරිපත් වූ යෝජනාවක් වන මෙය සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරනයකට එලඹිය යුතු බවත්, "ලෝකයේ තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල පවා" අනිවාර්ය හමුදා සේවය ක්‍රියාත්මක වන බවත් රජයේ කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල  සඳහන් කලේ යැයි එකොනොමි නෙක්ස්ට් වාර්තා කරයි. 

රඹුක්වැල්ලගේ ප්‍රකාශය ඉඟි කරන්නේ, රාජපක්ෂ ආන්ඩුව ඇතුලු ධනපති පන්තියේ කොටස් යෝජනාව සම්බන්ධයෙන්  බරපතල උත්සුකයක් දක්වන බවයි.

කෙසේ නමුත් වීරසේකරගේ පියවර හුදු පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් නොවේ. එය රාජපක්ෂ ආන්ඩුවේ ප්‍රතිවිප්ලවවාදී වැඩපිලිවෙලට ම පෑහෙන්නකි. වීරසේකර යනු ආන්ඩුවේ එම ක්‍රියාකලාපය තුල නිශ්චිත වැඩ කොටසක් ඉටු කරන පුද්ගලයෙකි. පසුගිය දෙසැම්බරයේ දී මහජන ආරක්ෂක අමාත්‍යාංශයක් නිර්මානය කර එය වීරසේකරට භාර දෙනු ලැබුනි. පොලිසිය ‘ප්‍රතිසංවිධානය කිරීම’ නැතහොත් කම්කරු පීඩිත මහජනතාවට එරෙහිව කඩා පැන්නවීමට තව තවත් රුදුරු කර පුහුනු කරවීම එහි මුඛ්‍ය අරමුනකි.

ජනාධිපති රාජපක්ෂගේ ජනාධිපතිවර උද්ඝෝෂන ව්‍යාපාරයේ පටන් ම පැවති ප්‍රධාන තේමාවක් වූයේ විනයගත සහ නීතිගරුක සමාජයක් ගොඩ නැංවීම සම්බන්ධයෙනි. මේ වසර ආරම්භයේ දී “'සෞභාග්‍යයේ දැක්ම' පෙරදැරි කරගත්, විනය ගරුක, නීති ගරුක, ගුන ගරුක සහ සෞඛ්‍ය සම්පන්න සමාජයක් බිහි කිරීමට” කැප වන බවට ප්‍රතිඥාවක් දීමට රජයේ සේවකයන්ට සිදු විය. එ මෙන් ම, රාජපක්ෂ පසුගිය ජූනි මාසයේ දී “විනයගත සමාජයක් ගොඩ නැගීමට” ආරක්ෂක ලේකම් කමල් ගුනරත්නගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීය. 

රාජපක්ෂ ආන්ඩුව මෙතරම් වද වෙන්නේ කවර ආකාරයේ විනයක් ස්ථාපිත කිරීම සඳහාද යන්න විමසිය හැක්කේ එය මුහුන දී සිටින ගැඹුරු ආර්ථික සහ දේශපාලන අර්බුදයේ සන්දර්භය තුලයි.

ලෝක ධනේශ්වර ක්‍රම‌යේ පද්ධතිගත අර්බුදය කොවිඩ්-19 වසංගතයෙන් වඩාත් උග්‍ර කෙරී ඇති පසුබිමක, රටක් රටක් පාසා පාලක පන්තීහු දැවැන්ත කප්පාදු හරහා එම අර්බුදයේ බර කම්කරු-පීඩිත මහජනතාව මත පටවමින් සිටිති. රාජපක්ෂ ආන්ඩුව මෙහි ව්‍යතිරේඛයක් නොවේ.

ලක්ෂ සංඛ්‍යාත මහජනතාවන්ගේ ජීවිත බිලි ගනිමින් ලොවපුරා පැතිරෙන වසංගතය ලංකාව තුල ද ඉමහත් ව්‍යසනයක් නිර්මානය කරමින් තිබියදී පවා, සෞඛ්‍යය සඳහා 2021 වර්ෂයට වෙන් කෙරෙන මුදල, 2020 ට සාපේක්ෂව රුපියල් බිලියන 28 කින් කපා හල ආන්ඩුව, අධ්‍යාපන ක්ෂේත්‍රයේ වියදම් ද රුපියල් බිලියන 40 කින් පහත දැමීය. එපමනක් නොව, පාරිභෝගික භාන්ඩ මත දැවැන්ත බදු මුදල් පනවමින් ඉසිලිය නොහැකි ජීවන වියදමක් මහජනතාව මත පැටවීය. මේ සියල්ල සිදුකලේ මහ ධනපතියන්ට සුවිසල් බදු අඩු කිරීම් ඇතුලු විවිධ සහන ලබා දෙමිනි.

වසංගතය දඩමීමා කර ගනිමින් මහා ව්‍යාපාරික සමාගම්, කම්කරුවන් දසදහස් ගනනින් රැකියා වලින් දොට්ට දමද්දී, සේවයේ යෙදෙන්නන්ගේ වැටුප් අඩකින්ම කපා දමද්දී සහ කොඳු කැඩෙන ආකාරයෙන් වැඩ වේගවත් කරද්දී ආන්ඩුව ඒ සියලු පියවර වලට රාජ්‍ය අනුමැතිය සහ අනුග්‍රහය ලබා දුන්නේය.

මේ සියල්ලටත් වඩා, වසංගතයෙන් මහජනතාව මුදා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන, ආසාදිතයන් හඳුනා ගැනීමේ දෛනික පරීක්ෂන සංඛ්‍යාව විශේෂඥ නිර්දේශයන්ට සරිලන පරිදි ඉහල දැමීම, අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන සහ පාසැල් වසා දමමින් සංචරනය උපරිම ලෙස සීමා කිරීම, වසා දමන කම්හල්වල සහ අනෙකුත් ආයතනවල කම්කරුවන්ට පූර්න වැටුප් ලබාදීම සහ ආදායම් අහිමි වන්නන්ට පූර්න වන්දි ලබාදීම ජනාධිපති රාජපක්ෂ සාපරාධී ලෙස නොතකා හැරීය.

මේ සියල්ල හේතුවෙන්, ආන්ඩුව කෙරෙහි කම්කරු-පීඩිත මහජනතාව තුල වැඩී ඇත්තේ, කවර හෝ මොහොතක සමාජමය වශයෙන් පුපුරා යා හැකි ඉමහත් කෝපයකි. ඉහත ප්‍රහාර වලින් වඩාත්ම බැටකන කොටසක් වන තරුන ජනයා අතර වැඩෙන සටන්කාමිත්වය සම්බන්ධයෙන් රාජපක්ෂ ආන්ඩුව වඩාත් උත්සුකය.

වතුකම්කරු වැටුප් අරගලයට සහාය දක්වා කොලඹ ගාලුමුවදොර පැවති වතුකම්කරු තරුනයින්ගේ උද්ඝෝෂනය-2018

ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහි ව, වරාය, සෞඛ්‍ය, ඇඟලුම් සහ වතු කම්කරුවන් අතර වැඩෙන තීරනාත්මක  අරගලවල තරුන කම්කරුවන් පෙරමුන ගෙන සිටින අතර, අධ්‍යාපන කප්පාදුවට එරෙහි ව රැඩිකලීකරනය වන විශ්ව විද්‍යාල සිසුහු නැවත නැවතත් අරගලයට ඇදෙමින් සිටිති. 2018 වසරේ ඔක්තෝබරයේ දී, සමාජ මාධ්‍ය හරහා සංවිධානය වූ, කොලඹ පිටකොටුව ආශ්‍රිත ව රැකියාවන්හි නිරත 5000 කට අධික තරුන පිරිසක් කොලඹ ගාලු මුවදොර පිටියට රැස්ව, වතු කම්කරුවන්ගේ වැටුප් අරගලයට සහාය දක්වන දැවැන්ත විරෝධතාවයක යෙදී ගත්හ.

මේ අර්ථයෙන් ගත්කල, තරුනයන් "විනයගත කිරීම" යනු, ධනපති ආන්ඩුවට, ධනපති ක්‍රමයට සහ ධනපති රාජ්‍යයට ඔවුන් මුලුමනින්ම අවනත කර ගනිමින් මෙම රැඩිකලීකරනය වලකා ලීමයි. 

මෙම මිලිටරි පුහුනුව, මහජනතාවට එරෙහි ආන්ඩුවේ පූර්ව භංග ප්‍රතිවිප්ලව සැලසුමේ කොටසකි. එහි අනිවාර්ය සහ ප්‍රධාන අංගය වනුයේ, ධනපති පන්ති පාලනයේ මතුපිට පවත්නා ප්‍රජාතන්ත්‍රවාදී රූපාකාරයන් විවෘත ව ම පසෙක ලා වඩ වඩාත් ආඥාදායක සහ මර්දනකාරී පාලන රූපයන්ට හැරී ගැනීමයි. 2019 නොවැම්බරයේ දී ජනාධිපති තනතුරට පත්වූ තැන් පටන් රාජපක්ෂ මිලිටරිය මත වාරු වූ ආඥාදායක පාලනයක් කරා තීරනාත්මක පියවර ගනනාවක් ගෙන ඇත.

පසුගිය වසර ආරම්භයේ දී "අන්ත දුගී" පවුල්වල තරුනයන්ට රැකියා දෙන මුවාවෙන් හමුදාව යටතේ ක්‍රියාත්මක වන “‍බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකායක්” පිහිටු වීමට රාජපක්ෂ ආන්ඩුව කටයුතු කලේ ය. සෞඛ්‍යයට සහ අධ්‍යාපනයට වෙන් කෙරෙන මුදල් කප්පාදු කෙරෙද්දී, 2021 වසර සඳහා මිලිටරියට සහ පොලිසියට වෙන් කෙරුනු මුදල් රුපියල් බිලියන 440ක් දක්වා ඉහල දැමුනි. මිලිටරියට නව බඳවා ගැනීම් ද නිවේදනය කෙරී ඇත. 

‘විනය ගත සමාජයක්’ ගොඩ නැගීමේ වැඩපිලිවෙල යටතේ ක්‍රියාත්මක පාතාලය සහ මත්ද්‍රව්‍ය මැඩලීමේ පියවර යටතේ දැනටමත් අධිකරනයෙන් බැහැර මරන දඬුවම් පැමිනවීමක් ක්‍රියාවට දැමී ඇත. 

ධනපති පන්තියේ සෙසු කොටස් ද තරුනයන් "විනයගත කිරීම" සම්බන්ධයෙන් මුලුමනින්ම එකඟ වන අතර, ඔවුන් අතර මතභේද ඇත්තේ එය සාක්ෂාත් කිරීමේ උපාය මාර්ගයන් සම්බන්ධයෙන් පමනකි.

අධිරාජ්‍යවාදයේ ඍජු නියෝජිතයෙකු වන සහ පාත්ෆයින්ඩර් නම් රාජ්‍ය නොවන සංවිධානය හරහා රාජපක්ෂ ආන්ඩුවේ උපදේශකයෙකු වශයෙන් ක්‍රියා කරන මිලින්ද මොරගොඩ 2019 වසරේ දී ධනපති අර්බුදයට විසඳුමක් වශයෙන් අනිවාර්ය හමුදා පුහුනුව යෝජනා කලේ ය. ඔහු දැන් රාජපක්ෂ ආන්ඩුවේ ඉන්දියානු තානාපති වශයෙන් පත් වීමට නියමිත ය.

මිලිටරි පුහුනුව වඩාත් විධිමත් ආකාරයකට ලබාදිය යුතුයැයි පාර්ලිමේන්තුවට යෝජනා කල හිටපු හමුදාපති සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රී සරත් ෆොන්සේකා කියා සිටියේ, “තෝරා ගත් පිරිසකට” පමනක් එම පුහුනුව ලබාදියයුතු බවයි. “මනා ව පුහුනු වූ සෙබලෙකු නිර්මානය කිරීමට රුපියල් ලක්ෂ 7.5ක් සහ මාස හයක පුහුනු කාලයක් අවශ්‍ය වන බව ඔහු සඳහන් කලේ ය.

ධනපති ජනතා විමුක්ති පෙරමුනේ තරුන සංවිධානය වන සමාජවාදී තරුන සංගමය, වීරසේකර ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් කැඳවූ මාධ්‍ය හමුවක දී එහි ජාතික සංවිධායක එරංග ගුනසේකර මෙසේ පැවසීය: “අපි මේ කතා කරන්නේ වෙඩි තියන්න පුහුනුව දෙනවද නැද්ද කියන එක නොවෙයි. … යුදමය පුහුනුවක් ලබපු විශාල පිරිසක් රාජ්‍ය ආයතනවලට යොදවලා ලැබිල තියෙන පිලිතුරු මොනවාද කියලයි ප්‍රශ්න කරන්නේ.” 

යුදමය පුහුනුවක් ලබා දුන්නද රාජ්‍ය සේවකයන් "විනයගතවී" නැතැයි යනුවෙන් වීරසේකර කරන ප්‍රකාශය, රාජ්‍ය සේවකයන්ට විනයක් නැතැයි යනුවෙන් ජනාධිපති රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව වපුරන අපවාදය පුනරුච්ඡාරනය කිරීමකි. 

“මිලිටරිකරනයෙන් මේ රට ගොඩනගන්න බැහැ කියන එකයි අපි කියන්නේ. ... ඒ ඒ උපකරන ඒ ඒ දේවල්වලට තියන්න. රට හදනවා කියන්නේ ජනතාව සම්බන්ධ කරගත් වෙනම කාර්යභාරයක්. රටේ තරුන පරපුරටත් ඒ වෙනුවෙන් විශාල කාර්යභාරයක් තියෙනවා” යැයි ගුනසේකර ප්‍රකාශ කලේ ය.

"ඒ ඒ උපකරන ඒ ඒ දේවල්වලට තියන්න" යනුවෙන් ජවිපෙ නායකයා පවසන විට එහි අර්ථය වන්නේ, ධනපති රාජ්‍ය යන්ත්‍රය යම් නිශ්චිත කාර්යයන් සඳහා නිමවා ඇති, මිලිටරිය, අධිකරනය සහ පාර්ලිමේන්තුව ආදී උපකරන එම අදාල කාර්යයන්ට පමනක් යොදා ගනිමින් "ශුද්ධ" වූ ධනපති රාජ්‍යයක් පවත්වා ගතයුතු බවයි. මිලිටරියට අයත් නිශ්චිත කාර්යයන් කවරේද යන්න, සිවිල් යුද සමයේ උතුරු-නැගෙනහිර තරුනයන්ට ද, 1971 දී සහ 1988-89 දී දකුනේ තරුනයන්ට ද ධනපති රාජ්‍යය පෙන්වා දුන්නේය.   

"රට" යන්න ධනපති පන්තිය විසින් ධනපති රාජ්‍යය වෙනුවට යොදන ආදේශ පදයකි. ඒ අනුව, තරුනයන්ට ඇති "විශාල කාර්යභාරය" වනුයේ, "රට රැක ගැනීම" වෙනුවෙන්, ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ විධානයන් මත ධනපති ආන්ඩු විසින් එල්ල කරන සියලු ප්‍රහාරයන් දරා  සිටීමයි. සිවිල් යුද්ධයේ අවසන් සමයේ, ජවිපෙ මෙවන් "රට රැක ගැනීමකට" මුලුමනින් ම ඇපකැප විය.  ජවිපෙ මෙ නයින් ආන්ඩුවේ ප්‍රතිවිප්ලවවාදී වැඩපිලිවෙල සමග මුලුමනින් ම පෙල ගැසී සිටී. 

ධනපති රාජ්‍යයේ සහ ධනපති ක්‍රමයේ ආරක්ෂකයන් බවට පත් කරන මෙම "විනයගත කිරීම" තරුනයන් සහ කම්කරුවන් මුලුමනින් ම ප්‍රතික්ෂේප කොට පරාජය කල යුතු ය. එය කල හැක්කේ, ධනපති පන්තියේ ප්‍රතිවිප්ලවවාදී වැඩපිලිවෙලට එරෙහි ව, ලෝක ධනපති ක්‍රමය සහ ධනපති රාජ්‍යයන් පෙරලා දමා ජාත්‍යන්තර සමාජවාදය සාක්ෂාත් කිරීමට සටන් වැදීමෙනි. එයට නායකත්වය දෙන සමාජවාදී සමානතා පක්ෂය සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ ව්‍යාපාරය ගොඩ නැගීමට පෙරට එන්න.

වෙනත් ලිපි:

Loading