කොග්ගල නිදහස් වෙලඳ කලාපය තුල වසංගතය වේගයෙන් පැතිරෙද්දී කම්හල් දිගටම විවෘතව තැබේ

කොරෝනා වසංගතය සමාජගත වී නැතැයි ආන්ඩුව සහ සෞඛ්‍ය බලධාරීන් එක දිගට කියා සිටියදී මේ වනවීට ආසාදිත සංඛ්‍යාව 60,000 ඉක්මවා ඇති අතර මරන සංඛ්‍යාව 300 ට ලඟා වෙමින් පවති. ආසාදිතයන් හඳුනා ගැනීමේ දෛනික පරීක්ෂන සංඛ්‍යාව නිසි පරිදි වැඩි කරන්නේ නම් ඉහත අගයන් වඩාත් ඉහල යනු නිසැකය. 

මේ වනවිට භූගෝලීය පරිමානව ආසාදිත සංඛ්‍යාව මිලියන 100 ට ආසන්න වී ඇති අතර, මරන සංඛ්‍යාව මිලියන 2 ඉක්මවා ගොස් ඇත. මානව සංහතිය මුහුනපා ඇති මෙම ඛේදවාචකය හමුවේ මිනිස් ජීවිත ආරක්ෂා කිරීමේ වගකීම හමුවේ සෑම රටකම පාලක පන්තීන් දැඩි නොතැකීමක් පවත්වාගෙන යන අතර මූලික අවධානය යොමු කර ඇත්තේ අතලොස්සක් ධනපති ව්‍යාපාරිකයන්ගේ ලාභ තහවුරු කිරීම කෙරෙහිය.

කොග්ගල නිදහස් වෙලඳ කලාපය -පිවිසුම් දොර- 2020 අප්‍රේල්

ගෝඨාභය රාජපක්ෂ පාලන තන්ත්‍රය ආරම්භයේ සිටම යොමුව ඇත්තේ කම්කරුවන්ගේ සහ අවශේෂ පිඩිතයන්ගේ ජිවිත ආරක්ෂාව නොතකා ධනපති ව්‍යාපාරිකයන්ගේ ලාභ ආරක්ෂා කිරීම සඳහා කම්කරුවන් වැඩට දැක්කීම ට අවශ්‍ය විධිවිධාන යෙදීමටයි. 2020 අගභාගයේ  මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවෙන් යලි මතුවූ කොරෝනා වසංගතය, මේ වනවිට කටුනායක, බියගම, කොග්ගල යන නිදහස් වෙලඳ කලාප තුලත්, ඊට අමතරව ඉංගිරිය, අවිස්සාවේල්ල වැනි තවත් ප්‍රදේශ කිහිපයකත්, කම්හල් ගනනාවක කම්කරුවන් ආසාදිතයන් බවට පත්කර ඇත.         

මහජන ජීවිත වලට ඉහලින් ලාභය පිහිටුවීමේ සාපරාධී ධනපති පිලිවෙත කෙතරම් නරුම ලෙස ක්‍රියාත්මක වන්නේද යන්න පිලිබඳව  කොග්ගල නිදහස් වෙලඳ කලාපය බලගතු උදාහරනයකි. පසුගිය 10 වනදා සිට එයිට්කන් ස්පෙන්ස් ගාමන්ට්හි වෛරස ආසාදිත රෝගීන් පිලිබඳව අනාවරනයවීමත් සමග මේ වනවිට කම්හල් 6 කට වැඩි ගනනාවක රෝගීන් සොයාගෙන ඇත. එසේ වතුදු ආන්ඩුව සහ කම්හල්  කලමනාකරනයන්, කම්හල් වසා රෝග ව්‍යාප්තිය වැලක්වීමට පියවර ගන්නවා වෙනුවට, උත්සුකවී ඇත්තේ කම්හල් වසා  නොතබා ලාභෝත්පාදනය අඛන්ඩව පවත්වාගෙන යාම සම්බන්ධයෙනි.             

මෙම තත්වය තුල කම්හල් වසා තැබීමට කටයුතු කරනවාද? යනුවෙන් මාධ්‍යවේදියෙකු ඇසූ පැනයට ප්‍රතිචාර දක්වමින් ලංකා ආයෝජන මන්ඩලයේ ප්‍රධාන නිලධාරියෙකු මෙසේ පවසා ඇත. “මේ කලාපයේ ෆැක්ටරි 23ක් තිබෙනවා. ඒවායේ කම්කරුවන් 12,500 ක් වැඩ කරනවා. රෝගින් 50 ක් 60 ක් සිටියා කියා ෆැක්ටරි වහන්න අවශ්‍ය නැහැ. විදේශ ඇනවුම් විශාල වශයෙන් ලැබෙමින් පවතිනවා. මේ මගින් රටට ආදායම් ලැබෙනවා. ඒ නිසා ෆැක්ටරි පවත්වා ගෙන යන්න ඕන. සෞඛ්‍ය පිලිවෙත් අනුගමනය කිරීමෙන් රෝගය පාලනය කරන්න පුලුවන්.”

එයිට්කන් ස්පෙන්ස් ගාමන්ට්හි සේවයේ නියුතු ආසාදිත කම්කරු‌වෙකු මෙම  “සෞඛ්‍ය පිලිවෙත් අනුගමනය කිරීමේ” යතා ස්වභාවය ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන්ට පැහැදිලි කලේ මෙසේය: “අපට සමාගමෙන් ප්‍රවාහන පහසුකම් ලබාදී තිබෙනවා. නමුත් බස්රථ තුල දුරස්ථභාවය පවත්වා ගැනීමක් සිදුවන්නේ නැහැ. වසංගතයේ ආරම්භක වකවානුවේ ෆැක්ටරියේ මුහුනු ආවරන නිෂ්පාදනය කලා. එක් සේවකයෙකුට මුහුනු ආවරන දෙක බැගින් දුන්නා. නමුත් දැන් එය දෙන්නේ නැහැ. අපිට මුහුනු ආවරන මුදලට ගෙන පලඳින්න වෙලා තිබෙනවා. කර්මාන්ත ශාලාවේ සේවකයො 1100 ත් 1200 ත් අතර ප්‍රමානයක් සේවය කරනවා. කෑම සඳහා ලැබෙන සුලු වේලාවේදි විශාල පිරිසක් කැම ශාලාවට එනවා පොර කකා තමයි කෑම ටික ලබා ගන්න වෙලා තිබෙන්නේ. නැත්නම් කෑම කා අවසන් කර නියමිත වේලාවට වැඩට යන්න බැරිවෙනවා.”

තමා ආසාදිතයෙක් බවට පත්වීමේදි මුහුන දුන් තත්වය ඔහු මෙසේ පැහැදිලි කලේය: “පසුගිය 10 වන සඳුදා උදෑසන මඳ උන ගතියක් දැනුන නිසා වැඩට ගියේ නැහැ. අඟහරුවාදාත් වැඩට නොගොස් බදාදා උදේ ෆැක්ටරියට ගියා. ඒ වනවිට ෆැක්ටරියේ  ආසාදිතයන් දෙදෙනෙකු සිටි බවට ආරංචි පැතිර තිබුනා. කාර්යාලයේ නිලධාරියෙක් අප සිටින ස්ථානයට පැමින වැටුප් රහිත නිවාඩු සටහන් කර අපට ගෙදර යන ලෙස කියා සිටියා. අපව  පීසීආර් පරීක්ෂනයට ලක්කරන ලෙස ඉල්ලා සිටියත් ඔහු එය ප්‍රතික්ෂේප කලා. අප පරීක්ෂනයට ලක්කරන ලෙස තදින්ම ඉල්ලා සිටීමෙන් පසුවයි පරීක්ෂනය කලේ. එවිට මාත්  තවත් අයෙකුත් ආසාදිතයන් බව තහවුරු වුනා.       

වෛරසය වේගයෙන් පැතිරයමින් තිබියදී කම්හල් පාලකයන් සහ ආන්ඩුව පැක්ටරි විවෘතව තැබීම සම්බන්ධයෙන් තමාගේ අදහස කුමක්දැයි  ලෝසවෙඅ වාර්තාකරුවන් මෙම කම්කරුවාගෙන් විමසූවිට ඔහු මෙසේ පිලිතුරු දුනි:

“ෆැක්ටරි හිමියන්ගේ එකම ඕනෑකම ලාභයයි. ඔවුනට කම්කරුවාගේ ජීවිතයවත් ඔහුගේ පවුලේ ආරක්ෂාව සම්බන්ධයෙන්වත් කිසිදු තැකීමක් ඇත්තේ නැහැ. මම වසර කිහිපයක් මෙහි සේවය කරනවා. ඒ කාලය තුල සේවකයන්ගේ යහපත සඳහා ගත් ක්‍රියා මාර්ගයක් මගේ මතකයේ නැහැ. සේවකයෝ ටික කලකට පෙර වෘත්තිය සමිතියක් හදන්න උත්සාහයක් ගත්තා. පාලකයෝ ඒකට ඉඩ දුන්නේ නැහැ. කොහොම වුනත් වෘත්තිය සමිති තිබෙන ෆැක්ටරි වලත් වෛරස ව්‍යාප්තියෙන් පසු සේවක පිරිස් අඩු කිරීම වැටුප් කැපීම වැනි දේවල් වලට විසඳුමක් ලබාගන්න පුලුවන් වුනා කියලා දැනගන්න ලැබිලත් නැහැ.”               

මෙම කම්හල්, කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ පවතින්නේ නම්, අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන ක්ෂනිකව වසා දමා එම කම්කරුවන්ට පූර්න වැටුප් සහ දීමනා ලබාදෙන අතරේ, අත්‍යවශ්‍ය නිෂ්පාදනයන්හි යෙදෙන කම්කරුවන්ට පූර්න සෞඛ්‍ය ආරක්ෂාව සැපයිය හැකිබව වාර්තාකරුවන් පෙන්වා දුන්විට, “සැබැවින්ම එය කලයුත්තක්” බව පැවසූ ඔහු, එවන් තත්වයක් ඇතිකර ගන්නේ කෙසේදැයි විමසීය.

ඒ සඳහා, කම්හල් ඇතුලු නිෂ්පාදන මාධ්‍යයන් කම්කරු පන්ති පාලනය යටතේ ජනසතු කොට, ලාභය අරමුනු කරගත් ධනපති නිෂ්පාදනය වෙනුවට මානව අවශ්‍යතාව පදනම් කරගත් නිෂ්පාදන ආර්ථික ක්‍රමයක් ජාත්‍යන්තර පරිමානව ස්ථාපිත කලයුතුබව වාර්තාකරුවෝ පෙන්වා දුන්හ.  

එවැන්නක් ජාත්‍යන්තර පරිමානව සාක්ෂාත් කර ගැනීමේ හැකියාවක් පවතීදැ යි කම්කරුවා විමසීය. වාර්තාකරුවෙක් මෙසේ පැහැදිලි කලේය:  

“ධනපති සමාජ ක්‍රමය ඉතිහාසයේ මුහුන දෙන විශාලතම ආර්ථික බිඳවැටීමකට මුහුන දෙන තතු යටතේ, එක් අතකින් කම්කරුවන්ගේ රැකියා, වැටුප් සහ දීමනා දැවැන්ත පරිමානව කප්පාදු කරමින් වැඩවේගවත් කරනවා. අනෙක් පැත්තෙන් සෞඛ්‍යය සහ අධ්‍යාපනය ආදී ක්ෂේත්‍රයන්හි රාජ්‍ය වියදම් බරපතල කප්පාදුවකට ලක් කෙරෙනවා. මේ සියල්ල සිද්ධ වෙන්නේ ධනපති පාලකයන් විසින් මිලියන සංඛ්‍යාත මහජනතාව වසංගතය හමුවේ මරනයට ඇද දමා තිබියදී.”  

“පාලක පන්තියේ මෙම ප්‍රහාර කම්කරු පන්තිය දිගටම විඳ දරාගෙන ඉන්නෙ නෑ. ලංකාව ද ඇතුලු ලොවපුරා කම්කරුවන් සහ අවශේෂ පිඩිතයන් තම පන්ති අවශ්‍යතා වෙනුවෙන් පෙරලිකාරී වෙමින් සිටිනවා. ගෝඨාභය රාජපක්ෂ පාලන තන්ත්‍රය ඇතුලු රටක් රටක් පාසා ආන්ඩු ආඥාදායකත්වයන් කරා වේගයෙන් ගමන් කරන්නෙ මෙම පෙරලිකාරීත්වය තලා දමන්න. කම්කරු පන්තිය තමාගේම ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් හරහා ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන් කලහොත් මෙම ප්‍රහාර නිසැකවම පරාජය කරන්න පුලුවන්.”

ධනපති දේශපාලන සංස්ථාපිතයේ වීරුද්ධ පක්ෂයයි කියා ගන්නා කන්ඩායම් මෙන්ම වෘත්තිය සමිති හා ව්‍යාජ වාම සංවිධානද මෙම වැඩපිලිවෙලට එරෙහිව සිටින අයුරුද එහිදී පැහැදිලි කෙරුනි. කම්කරු පන්තිය, මෙම සියලු ධනපති පක්ෂ හා ඒවාට මුක්කු ගසන හැම සංවිධානයකින්ම ස්වාධීනව, තම කම්හල් සහ නිවස්නා ප්‍රදේශ ආශ්‍රිතව කම්කරු ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගනිමින්, ධනපති ලාභ පද්ධතිය ජාත්‍යන්තර පරිමානව අහෝසි කිරීමේ සටන තම අතට ගැනීම තීරනාත්මක බව වාර්තාකරුවෝ පෙන්වා දුන්හ.           

මෙම පැහැදිලි කිරීම ඉතා වැදගත් බවත්, ඉදිරියේදි තම කම්කරු සගයන් සමග මෙම අදහස් බෙදාහදා ගැනීමට අදහස් කරන බවත් පැවසූ ඔහු, නිරෝධායන කඳවුරෙන් පිටවූ සැනින් ලෝසවෙඅ වාර්තාකරුවන් මුනගැසෙන බව පැවසීය.

Loading