දෛනිකව හඳුනා ගැනෙන කොරෝනා රෝගීන් සංඛ්‍යාව වේගයෙන් ඉහල යාමෙන් රෝහල්වල ඉඩකඩ සීමා වෙයි

ලංකාවෙන් දෛනිකව වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාවේ සීඝ්‍ර නැග්මක් පෙන්නුම් කරන අතර පසුගිය දින කීපයේ එහි සාමාන්‍යය 800 ඉක්මවා ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස රෝහල් සහ නිරෝධායන මධ්‍යස්ථාන තුල රෝගීන්ට ඇති ඉඩකඩ සීමා වෙමින් පවතී. මෙම අර්බුදය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශය 27 වනදා කොවිඩ් ආසාදිතයින්ට නව නිරෝධායන නීති මාලාවක් නිකුත් කලේය. එයට අනුව ආසාදිතයා ප්‍රගතියක් පෙන්නුම් කරන්නේනම් දින දහයකින් පසු නිරෝධායන මධ්‍යස්‍ථානයේ සිට නිවෙස් කරා යොමු කරන බව සඳහන් වේ. ඔවුන් තවත් දින හතරක් නිවෙස් තුල නිරෝධායනය විය යුතුය.

කුරුනෑගල මහ රෝහලේ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට වෙන්කර ඇති වාට්ටු හයම ආසාදිතයින්ගෙන් පිරී යාම නිසා රෝහලට ඇතුල් කරන රෝගීන් වෙනත් රෝහල් කරා යැවීමට සිදුව ඇති බව වාර්තා විය. අනෙක් රෝහල් වල තත්වය ද මීට සමානය.

ලංකාදීප පුවත්පත වාර්තා කලේ ගම්පහ දිස්ත්‍රික්කයේ 18 වනදායින් පසුව වාර්තා වූ දෙසීයයකට ආසන්න කොවිඩ් රෝගීන් පිරිසක් 27 වනදා පස්වරුව වන තෙක් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර නොතිබූ බවයි. මෙයටද ප්‍රධාන හේතුව වී ඇත්තේ රෝගීන් යොමු කිරීමට මධ්‍යස්ථාන වල පහසුකම් නොතිබීමයි.

කුරුනෑගල කොවිඩ්-19 නිරෝධායන සඳහා ඉදිකෙරුනු විශේෂ රෝහල් සංකීර්නයක්

අද උදෑසන වන විට දිවයිනේ මුලු ආසාදිත සංඛ්‍යාව 64,157 කි. මරන සංඛ්‍යාව 316 දක්වා ඉහල ගොස් ඇත. දත්ත මගින් පෙන්වා දෙන ආකාරයට, මෙපමන ඉහල ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ දෛනික පීසීආර් පරීක්ෂන සංඛ්‍යාව 15,000 කට ආසන්න ඉතා පහල සාමාන්‍ය අගයක පවතින තතු යටතේය. දෛනික පීසීආර් පරීක්ෂන වලින් රෝගීන් හඳුනාගන්නා ප්‍රතිශතය මේ වන විට සියයට 5.5 වැනි ඉහල අගයක් දක්වා වැඩිවී ඇත. මේ වන විට සම්බන්ධතාවය හඳුනා ගත නොහැකි පොකුරු පවා ව්‍යාප්ත වෙමින් පවතින බව වෛද්‍ය විද්‍යාඥයෝ අවධාරනය කරති.

සමාජ පැතිරීමක් දක්වා වසංගතය ව්‍යාප්ත වී නැතැයි ආන්ඩුව යලියලිත් ප්‍රකාශ කල ද, වර්ධනය වන තත්වය පෙන්නුම් කරන්නේ එහි ප්‍රතිවිරුද්ධය යි. මෙම තත්වය, රාජපක්ෂ ආන්ඩුව විසින් ආර්ථිකය සම්පූර්නයෙන් විවෘත කර "නව සාමාන්‍යය" යටතේ රට පවත්වාගෙන යාමේ සෘජු ප්‍රතිඵලයකි. 

ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය වැනි රටවල පැතිරෙන B.1.258 කොවිඩ් නව ප්‍රභේදයට සමාන වෛරසයක් ලංකාවේ නිරෝධායන මධ්‍යස්ථානයකින් ලැබුනු සාම්පල තුලින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අනුක විද්‍යා අධ්‍යයන අංශය විසින් සොයාගනු ලැබීම මගින් තත්වයේ අන්තරායකාරී බව වඩාත් ඉස්මතුකර පෙන්වයි.

ඒ සම්බන්ධයෙන් කටයුතු කරන අසාත්මිකතා, ප්‍රතිශක්ක්ති විද්‍යාව හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර ලෝක සමාජවාදී වෙබ් අඩවියට සඳහන් කලේ මෙම ප්‍රභේදය "වේගයෙන් සම්ප්‍රේෂනය වන" බවයි. සැමවිටම "වෛරසය ව්‍යාප්ත වීම විකෘති ඇති වීමේ හැකියාව" ඉහල නංවන බව ඔහු අවධාරනය කලේය. ගුවන් තොටුපල හරහා මෙම ප්‍රභේද ලංකාවට පැමිනීම සීමා නොකලහොත් ඒවා පැතිරීමේ අන්තරායක් පවතින බව ද ඔහු පැවසීය.

මෙම නව ප්‍රභේද ඇති වීමට මූලිකම හේතුවක් වී ඇත්තේ ලංකාවේ මෙන්ම ලෝකය පුරා ආන්ඩු ආර්ථිකය මුලුමනින්ම විවෘත කරමින් සමූහ ප්‍රතිශක්ති පිලිවෙත මගින් වෛරසයට නිදහසේ පැතිරීමට අවශ්‍ය කරන කොන්දේසි සකසා තිබීමයි.

ලංකාව තුල ද කොවිඩ් එන්නත ලබා දීම සීමිත වශයෙන් ආරම්භ කර තිබුනද වෛරසයේ ඇතිවන නව ප්‍රභේද එන්නත් වල ප්‍රතිශක්තිය සීමා කරමින් පැවතීම බරපතල ප්‍රශ්නයකි. නොවාවැක්ස් එන්නතේ ඵලදායිතාවය බ්‍රිතාන්‍ය තුල සියයට 90 ක් වන නමුදු, දකුනු අප්‍රිකාවේ පැතිර යන ප්‍රභේදය සම්බන්ධයෙන් එහි ඵලදායිතාව සියයට 49 ක් වැනි පහත් අගයකි.

එවන් තත්වයකට තාර්කික ප්‍රතිචාරය වෛරසය පැතිරීම සහ නව ප්‍රභේද ඇතිවීම වැලැක්වීමට අත්‍යාවශ්‍ය නොවන කම්හල් සහ අධ්‍යාපන ආයතන වසා දමමින් සංචරනය සීමා කිරීමකි. රාජපක්ෂ ආන්ඩුව කම්හල් හරහා ධනපතියන්ට ලාභ ගැරීමට ඉඩ සලසමින් සිදු කරමින් සිටින්නේ එහි ප්‍රතිවිරුද්ධයයි.

නව ප්‍රභේද සමාජය තුල පැතිරේද යන්න සොයා ගැනීම, සහ ඒවාට එන්නතෙහි ප්‍රතිශක්තිය බලපාන ආකාරය පිලිබඳ අවශ්‍ය තරම් පරීක්ෂන සිදු කිරීම එහි වැදගත් කොටසකි. නමුත් දශක ගනනාවක සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ කප්පාදුව එවන් පරීක්ෂන වලට පහසුකම් සීමා කොට ඇත.

අනෙක් අතට, රෝගීන් සංඛ්‍යාවේ ක්ෂනික ඉහලයාම ඉදිරි පෙල සෞඛ්‍ය සේවකයන් මත ඉමහත් පීඩනයක් ඇති කරමින් පවතී. ඔවුන්ට නිසි ආරක්ෂන උපකරන නොමැතිව රෝගීන් සමග ගනුදෙනු කිරීමට සිදුව ඇත්තේ රෝහල් පිරී ඉතිරී යන තත්වයක් තුලය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔක්තෝබර් මාසයෙන් පසු වෛද්‍යවරුන් සියයකට පමන වෛරසය ආසාදනය වී ඇත. එක් වෛද්‍යවරයෙකු මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

මෙම තත්වයට මූලිකම හේතුව වී ඇත්තේ, රාජපක්ෂ ආන්ඩුව විසින් මුල සිටම වසංගතයට මුහුන දීමට හැකි වන පරිදි රෝහල්, ඇඳන් ඇතුලු සෞඛ්‍ය යටිතල පහසුකම් වර්ධනයට මුදල් සම්පාදනය කිරීම ප්‍රතික්ෂේප කිරීමයි. රෝගීන් සංඛ්‍යාව රෝහල් පද්ධතිය ඉක්මවා යන ලකුනු පෙන්වූ සෑම අවස්ථාවකම ආන්ඩුව කටයුතු කලේ එම අඩු පහසුකම් වලට ගැලපෙන ලෙසට කොවිඩ් මර්දන වැඩපිලිවෙල කප්පාදු කිරීමයි.

පාසල් සහ අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන විවෘතව තැබීම වසංගතය ව්‍යාප්තවීමේ මූලික හේතුවයි. හැටන් හි බොස්කෝ විද්‍යාලයේ සිසුවෙකු ආසාදිත බව හඳුනා ගැනීමෙන් පසුව කෙරුනු පරීක්ෂන වලින් සිසුන් නමදෙනෙක් සහ ගුරුවරුන් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ බව 27 වනදා වාර්තා විය.

මීට අමතරව විවිධ ප්‍රදේශයන්හි පාසල් වලින් කොවිඩ් ආසාදිතයින් නිතිපතා වාර්තා වෙයි. ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය වසංගත රෝග වෛද්‍යවරයා මාධ්‍යයට ප්‍රකාශ කලේ ජනවාරී 13 වනදා සිට ජනවාරි 26 දක්වා කාලය තුල නිරෝධායනය වෙමින් සිටි සිසුන් 38 කට වෛරසය ආසාදනය වී ඇති බවයි.

තත්වය මෙසේ පැවතියදීත් මහජනතාව වෛරසයට ගොදුරු කිරීමේ මිනීමරු සමූහ ප්‍රතිශක්ති පිලිවෙත ආන්ඩුව ඉදිරියට ගෙන යමින් පවතී. පාසල් කිහිපයක නිරීක්ෂන චාරිකාවක නිරත වෙමින් අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් 29 වනදා පැවසුවේ වසංගතය වේගයෙන් පැතිරෙන බස්නාහිර පලාතේ පෙබරවාරි 15 වනදාට පෙර පාසල් සම්පූර්නයෙන්ම විවෘත කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි.

ආන්ඩුවේ මෙම පිලිවෙත් අනිවාර්යයෙන්ම රෝගීන් සහ මරන වාර්තා වීම තවත් වේගවත් කරනු ඇත.

ආන්ඩුව මහජනතාවගේ විරෝධය හේතුවෙන් ඇස්ට්‍රාසෙනිකා කොවිඩ්ශීල්ඩ් එන්නත් ලක්ෂ පහක් ගෙන්වා ඉදිරි පෙල සේවකයන්ට එන්නත් කරමින් සිටී. එක් පුද්ගලයෙකුට එන්නත් මාත්‍රා දෙකක් විදිය යුතුය. ඒ අනුව මෙම ගනන මිලියන විසි එකකට ආසන්න ලංකාවේ ජනගහනය සමග සැසඳූ කල සොච්චමකි. එය වසංගතයේ පැතිරීම කිසිසේත්ම අඩු කිරීමට ප්‍රමානවත් නොවේ.

එන්නත පිලිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී ලලිත් වීරතුංග සඳහන් කලේ කැමති අයට පමනක් එන්නත ලබා දෙන බවයි. මෙය ආන්ඩුව එන්නත් ලබාදීම සීමා කරමින් සිටින බව පෙන්වන කාරනාවකි.

වසංගතය මර්දනයට විශාල පරිමානයෙන් මුදල් වෙන් කල යුතුය. නමුත් රාජපක්ෂ ආන්ඩුව 2021 සෞඛ්‍යයට වෙන් කල මුදල පසුගිය වසරට සාපේක්ෂව රුපියල් බිලියන 28 කින් කප්පාදු කලේය. නව ප්‍රභේද ඇතිවීම සහ එන්නත් ලබා දෙන තෙක් සිදුවන මරන වැලැක්වීමට වසංගතයේ පැතිරීම සීමා කල යුතුය.

එන්නත් ගෙන්වීමට සහ සෞඛ්‍ය සේවය වැඩි දියුනු කිරීමට බිලියන ගනනින් මුදල් වෙන් කිරීම, අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන සහ අධ්‍යාපන ආයතන වසා දැමීම, වසා දමන ආයතනයන්හි සේවකයන්ට පූර්න වැටුප් ලබාදීම සහ ආදායම් අහිමිවන්නන්ට වන්දි ලබාදීම හදිසි සහ අත්‍යාවශ්‍ය පියවර වෙයි.

නමුත් එය කල හැක්කේ බැංකු, මහා පරිමාන කම්හල් සහ දැවැන්ත වතු ඇතුලු නිෂ්පාදන මාධ්‍ය කම්කරු පන්ති පාලනය යටතේ ජනසතු කරමින්, ලාභය වෙනුවට මානව අවශ්‍යතා සඳහා නිෂ්පාදන ආර්ථිකය ප්‍රතිසංවිධානය කිරීමෙන් පමනකි.

Loading