නිවාඩු කැපීමට එරෙහිව පේරාදෙනිය රෝහලේ සේවකයෝ වැඩ වර්ජනයට එලැඹෙති

කොවිඩ් වසංගතයට ගොදුරු වීම අවම කර ගැනීම සඳහා කන්ඩායම් දෙකක් ලෙස සේවයට කැඳවීම නැවැත්වීමෙන් පසුව සෞඛ්‍ය සේවකයින්හට මසකට උපරිම දින 8ක විශේෂිත නිවාඩු ලබා දීමේ ක්‍රමයක් දෙසැම්බරයේ සිට ක්‍රියාත්මක විය. පේරාදෙනිය ශික්ෂන රෝහල් පරිපාලනය විසින් මෙම නිවාඩු කපා හැරීමට එරෙහිව එම රෝහලේ සියලුම ශ්‍රේනි වලට අයත් සෞඛ්‍ය සේවක සේවිකාවෝ පෙබරවාරි 01 දින උදෑසන සිට වැඩ වර්ජනය කරමින් රෝහලේ කාර්යයන්ගෙන් ඉවත් වූහ.

මෙම ඉල්ලීමට අමතරව, පුද්ගලික ආරක්ෂක උපකරන (පීපීඊ) සෑම ශ්‍රේනියකටම නිසි ලෙස ලබාදෙන ලෙස වර්ජිත සෞඛ්‍ය කම්කරුවෝ ඉල්ලා සිටියහ. විශේෂයෙන්ම පහල ශ්‍රේනි හා ගිලන්රථ කාර්ය මන්ඩල ආදියට මෙම උපකරන ලබා දීම අවම මට්ටමක පවතින බව කම්කරුවෝ සඳහන් කලහ.

පේරාදෙනිය ශික්ෂන රෝහලේ සෞඛ්‍ය සේවකයින්ගේ සටන

වැඩ වර්ජනයට පිවිසි කම්කරුවෝ සිය ඉල්ලීම් ලැබෙන තුරු අඛන්ඩ වැඩ වර්ජනයක යෙදීමටත් වර්ජනය ඉදිරියට යනවිට එතෙක් පවත්වාගෙන ගිය හදිසි ප්‍රතිකාර සේවාවන්ගෙන්ද ඉවත් වීමටත් තීන්දු කලහ. 

“පේරාදෙනිය ශික්ෂන රෝහලේ සෞඛ්‍ය කම්කරුවන්ගේ සටන ජයග්‍රහනය කරා මෙහෙයවමු!” නම් මාතෘකාවෙන් යුත් පත්‍රිකාව එම රෝහලේ සේවකයන් අතර මෙන්ම ඒ් අවට රෝහල් වල කම්කරුවන් අතරද අන්තර්ජාලය මගින් බෙදා හරිමින් පේරාදෙනිය ශික්ෂන රෝහලේ සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුවේ සාමාජිකයෝ මෙම සටන ඉදිරියට ගෙන යාම සඳහා ක්‍රියාත්මක වූහ.

වැඩ වර්ජනය  ජයග්‍රහනය කරා ගෙන යාමට වෛද්‍යවරුන් ද ඇතුලු පේරාදෙනිය රෝහලේ සියලු ශ්‍රේනිවල සෞඛ්‍ය කම්කරුවන්ගේ සහය ලබා ගන්නා අතරම මහනුවර දිස්ත්‍රික්කය තුල මෙන්ම රට පුරා අනෙකුත් රෝහල් හා සෞඛ්‍ය මධ්‍යස්ථානවල සේවක සේවිකාවන්ද, මෙම සටන හා ඒ්කාබද්ධ කර ගැනීම සඳහා එම පත්‍රිකාවෙන් කැඳවුම් කෙරිනි.

පත්‍රිකාවේ මෙසේ සඳහන් විය: “කොවිඩ් වසංගතය තුරන් කිරීමේ විද්‍යාත්මක ක්‍රමවේදයක් දියත් කරනු වෙනුවට මහා ව්‍යාපාරික ලාබ ගැරීම අඛන්ඩව ගෙන යාමට ආන්ඩුව විසින් රුදුරු ‘ආර්ථිකය විවෘත කිරීමේ’ පිලිවෙතක් දියත් කර ඇත. එමගින් කොවිඩ් සඳහා වෙන්වුනු රෝහල් වල දැඩි සත්කාර ඒ්කක වල ඇති කර තිබෙන තදබදය නිසා සෞඛ්‍ය සේවකයින් වන අප හට වුවද කොවිඩ් රෝගය වැලඳී  උත්සන්න වුවහොත් සිදුවන්නේ ප්‍රතිකාර හරිහැටි නොලබාම මියයාමටයි.”

“වසංගතය මධ්‍යයේ පාසැල් විවෘත කොට සිසු-ගුරු-දෙමාපිය ජීවිත අනතුරේ හෙලීමට එරෙහිව ගුරුවරුන් අතර වැඩෙමින් පවතින විරෝධතා, වතු කම්කරුවන්ගේ වැටුප් අරගලය සහ පුද්ගලීකරනයට එරෙහි වරාය කම්කරුවන්ගේ අරගලය ඇතුලු අනෙකුත් කම්කරු අරගල සමඟ අපේ සටනද ඒ්කාබද්ධ කරගනිමින් ඉදිරියට යාම අවශ්‍ය බව අපි අවධාරනය කරමු.”

“ඒ් අනුව, අනෙක් රටවල සෞඛ්‍ය කම්කරුවන්ගේ සහායද ගොනු කර ගනිමින් ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනයක් මත එම සටන ශක්තිමත්ව ගොඩ නගා ගැනීමට වහාම ඒ්කරාශී වන ලෙස අපි ඉල්ලමු.”

මේ වන විට රෝහල් පද්ධතිය පුරා සෞඛ්‍ය සේවක සේවිකාවන් සිය ගනනකට කොරෝනා රෝගය වැලඳී ඇති අතර ජනවාරි 8දා එම රෝගයෙන් මිය ගිය රත්නපුර රෝහලේ සේවක ශාන්ත ස්ටීවන්ගේ පවුලට වන්දියක් හෝ දීමනාවක් ලබා නොදී අන්ත අසරන බවට ඇද දමා තිබේ. 

පෙබරවාරි 2 දා වාර්තාවූ පරිදි රාගම රෝහලේ වෛද්‍ය ගයාන් දන්තනාරායන කොවිඩ් රෝගයෙන් මියයාම, ආන්ඩුව විසින් සෞඛ්‍ය සේවකයන් ඇද දමා ඇති ජීවිතයත් මරනයත් අතර තත්වය ඉස්මතුකර පෙන්වයි. දැනට ලංකාවේ වෛද්‍යවරුන් 100 කට වැඩි ප්‍රමානයක් සහ අනෙකුත් සෞඛ්‍ය සේවකයින් 1000 කට අධික සංඛ්‍යාවක්  කොවිඩ් රෝගයට බිලිව ඇති බව වාර්තාවේ. 

වර්ජිත කම්කරුවන් සමඟ ක්‍රියාකාරී කමිටු සාමාජිකයන් කල සාකච්ඡාවන්වලදී කම්කරුවන් ශ්‍රේනි ලෙස පමනක් නොව ශ්‍රේනි තුලම ද බෙදමින් සමිති විසින් කරගෙන යන ක්‍රියා කලාපයේ ප්‍රතිගාමීත්වය පිලිබඳව බොහෝ සේවක සේවිකාවෝ පිලිකුලෙන් යුතුව කතා කලහ.

මෙදිනම මධ්‍යාහ්නයේ රෝහලේ පාලනාධිකාරය කම්කරු නියෝජිතයින්ගේ රැස්වීමක් කැඳවූ අතර රෝහලේ වෘත්තීය සමිති ශාඛාවල නායකයෝ ඊට සහභාගී වූහ. එම සාකච්ඡාව තුලදී පෙබරවාරි මසට පමනක් නිවාඩු අටක් ලබා දෙන බවට පාලනාධිකාරය පොරොන්දුවීමත්  සමඟ සමිතිවල ඉල්ලීම මත කම්කරුවෝ සිය සේවා ස්ථාන වලට යාමට තීන්දු කලහ.

තවත් මසකට පමනක් එම නිවාඩු ලබාදීම, වසංගතයේ අන්තරායකාරී තත්වය ඉක්මනින්ම පහව යන බවට ආන්ඩුව විසින් පතුරුවන දුර්මතය සමඟ බැඳී තිබේ.

සෞඛ්‍ය කම්කරුවන්ගේ හා පුලුල් මහජනයාගේ නැගී ඒන විරෝධය යටපත් කිරීම සඳහා ඉන්දියාවෙන් ආධාරයක් ලෙස සැපයුනු ඇස්ට්රාසෙනිකා කොවිඩ්ශීල්ඩ් එන්නත් ලක්ෂ පහක් දැන් ඉදිරි පෙල සේවකයන්ට එන්නත් කරමින් තිබේ. ප්‍රතිශක්තිය සඳහා එන්නත් මාත්‍රා දෙකක් විදිය යුතු අතර මෙම එන්නත් සංඛ්‍යාව රටෙහි ජනගහනය සමග සසඳන කල සොච්චමකි. 

එන්නත ලැබූ අය ද රෝග වාහකයන් වන බැවින්, එන්නත ලැබී නැති පවුලේ සාමාජිකයන්ට හා රෝගීන් ඇතුලු ආශ්‍රිතයින් හට සෞඛ්‍ය සේවකයින් හරහා රෝගය වැලඳීමේ හැකියාව පවතී. 

ආන්ඩුව විසින් ගෙනයන “කොරෝනා සමඟ ජීවත් වීම” හෙවත් “නව සාමාන්‍යය” පිලිවෙත තුල වසංගතය රට තුල වේගයෙන් පැතිරේ. මේ අනුව, එලැඹෙන දිනවල රෝහල්තුල පවතින අධික කාර්යබහුල තත්වය වඩාත් ඉහල යනු ඇත. එම පසුබිම තුල විශේෂ නිවාඩු ලබා දීම මේ මසට පමනක් සීමා කිරීම, සෞඛ්‍ය සේවකයින් ඇතුලු සමස්ත කම්කරු පන්තිය මත අධික බර පැටවීම සඳහා ආන්ඩුව ගෙනයන වැඩපිලිවෙලේ කොටසකි.

මෙලෙස බර පැටවෙන්නේ ආන්ඩුව විසින් වසංගතය මධ්‍යයේ ඉදිරිපත් කල එහි අයවැයෙන් සෞඛ්‍යය සඳහා ප්‍රතිපාදන පෙර වසරට සාපේක්ෂව රුපියල් බිලියන 28ක් කපා හැර ඇති පසුබිමකය. මෙම කප්පාදු නිසා කොරොනා වසංගතයට මුහුන දීම සඳහා අවශ්‍ය රෝහල් ඉදිකිරීම හා උපකරන සපයා ගැනීම කෙසේවෙතත්, පවතින රෝහල්වල අඩුපාඩු සපුරා ගැනීමද සිදු නොකෙරේ. 

පීසීආර් පරීක්ෂාවන්ගෙන් තොරව රෝගීන් වාට්ටු වලට ඇතුලු කිරීම, වසංගතයෙන් ආසාදිත වූවිට හෝ නිරෝධායනයට ලක්වීමේදී නිශ්චිත ක්‍රමවේදයක් හෝ සුබසාධක වැඩ පිලිවෙලක් නොමැති වීම, අධිකතර වැඩ පැටවීම, අවදානම් දීමනා නොමැති වීම, ආදේශක සේවකයින්ට රැකියා සුරක්ෂිතතාවය නොමැති වීම ආදී ගැටලු වලින් සෞඛ්‍ය කම්කරුවෝ මිරිකී සිටිති.

සෞඛ්‍ය කම්කරුවන් මුහුන දෙමින් සිටි අතිශය දුෂ්කර ගැටලු වසංගතයෙන් වඩාත් උග්‍ර කෙරී ඇත. ඔවුන් අතරින් පසුගිය දිනවල පැන නැගී ඇති අරගල රැල්ලට හේතුවී ඇත්තේ මෙම තත්වයයි. වෘත්තීය සමිති විසින් මෙම අරගල ඒ් ඒ් තැන්වල හා ඒ් ඒ් ශ්‍රේනි තුල තම සාමාජිකයන් කට්ටිවාදී ලෙස කොටු කර තිබේ. සටන් සංවිධානය කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස කම්කරුවන්ගේ අදහස් විමසීමේ රැස්වීම් හා සාකච්ඡා සමිති විසින් කැඳවනු නොලබයි. 

කම්කරු ඉල්ලීම් දිනාගැනීම රඳා පවතින්නේ, ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාවන් හරහා තීන්දු තීරන ගන්නා සහ ධනපති රාජ්‍යයට කිසිම හුය පටකින් නොබැඳුනු ක්‍රියාකාරී කමිටු තම සේවා ස්ථානයන්හි ගොඩනගා ගනිමින් හා ලංකාවේ හා අනෙකුත් රටවල කම්කරු පන්තිය ඒකාග්‍ර කර ගනිමින් ජාත්‍යන්තර සමාජවාදී වැඩ පිලිවෙල මත සම්මුති විරහිත සටනක් දියත් කිරීම මතය. 

Loading