මිලිටරිය මියන්මාරයේ බලය අල්ලා ගනී

[පහත පල  ‍කෙරෙන්නේ 2021 පෙබරවාරි 2  දින Military seizes power in Myanmar  යන මැයෙන් පල කෙරුනු ලිපියේ සිංහල පරිවර්තනයයි.]

තත්මාදව් ලෙසද හැඳින්වෙන මියන්මාරයේ හමුදාව ඊයේ (ජනවාරි 31) කුමන්ත්‍රනයකින් රටේ පාලනය පැහැරගත් අතර අවුන් සාන් සූ කී ඇතුලු පාලක, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයේ (NLD) ඉහල නායකයින් අත්අඩංගුවට ගත්හ. දුරදිග යන බලතල හමුදාවට භාර දෙමින් වසරක් තිස්සේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. හමුදා ආඥාපති, ජ්‍යෙෂ්ඨ ජෙනරාල් මින් අවුන්ග් හේලින්ග් බලය අල්ලා ගත්තේය.

හමුදාව, මාධ්‍ය සහ විදුලි සංදේශ ආයතන සියතට ගත්තේය. සමහර අන්තර්ජාල සේවාවන් මෙන්ම රටේ ටෙලිකොම් සමාගම් හතරක සේවාවන් ද කපා දමා ඇති බව යාන්ගෝන් සහ වෙනත් නගරවල වානිජ මධ්‍යස්ථාන වාර්තා පෙන්වා දෙයි. රූපවාහිනී විකාශනය හමුදාවේ මයාවඩි රූපවාහිනී නාලිකාවට පමනක් සීමා විය. භට පිරිස් සහ සන්නද්ධ වාහන ඒ වන විටත් වීදිවල සැරි සරයි.

මියන්මාරයේ නායක අවුන් සාන් සූ කී 2019 දෙසැම්බර් 11 වන බදාදා නෙදර්ලන්තයේ හේග් හි ජාත්‍යන්තර අධිකරනය අමතයි. (AP ඡායාරූප / පීටර් ඩෙජොං)

කුමන්ත්‍රනය සඳහා ව්‍යාජ හේතුව ලෙස, නොවැම්බර් 8 ජාතික මැතිවරනයේ අක්‍රමිකතා සිදු වූයේයැයි කියනු ලැබේ. එහිදී NLD ය සියයට 83 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවේ පහල හා ඉහල සභා වල ආසන 476 න් 396 ක් ලබා ගත්තේය. මිලිටරියේ පිටුබලය ලබන එක්සත් සහයෝගිතා සහ සංවර්ධන පක්ෂයට හිමිවූයේ ආසන 33 ක් පමනි. නව පාර්ලිමේන්තුව ඊයේ රැස්වීමට නියමිතව තිබුනි.

හමුදාව මැතිවරනයේ ප්‍රතිඵල පිලිගැනීම ප්‍රතික්ෂේප කල අතර, ජනවාරි මැද භාගයේදී කියා සිටියේ, මැතිවරන වංචා 90,000 කට වැඩි ප්‍රමානයක් සිදුව ඇති බවයි. කිසිදු සාක්ෂියක් ප්‍රසිද්ධ කර නොමැත. පසුගිය සතියේ මිලිටරි ප්‍රකාශක ජෙනරාල් සැව් මින් ටුන් චෝදනා වලට විසඳුම් නොලැබුනොත් කුමන්ත්‍රනයක් ගැන අනතුරු ඇඟවීය. ජාත්‍යන්තර නිරීක්ෂකයින් විසින් ද බොහෝ දුරට ප්‍රතික්ෂේප කල පරිදිම, පසුගිය බ්‍රහස්පතින්දා මැතිවරන කොමිසම ද අක්‍රමිකතා පිලිබඳ ප්‍රකාශ ප්‍රතික්ෂේප කලේ ය .

එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය ඇතුලු එහි එහි මිත්‍ර රටවල් පසුගිය සිකුරාදා , කුමන්ත්‍රනයකට එරෙහිව මියන්මාරයේ හමුදාවට අනතුරු අඟවමින් ප්‍රකාශයක් නිකුත් කලහ.  ඊට ප්‍රතිචාර දක්වමින් සෙනසුරාදා , ආඥාපති  මින් අවුන්ග් හේලින්ග් හමුදාව කුමන්ත්‍රනයක් සැලසුම් කරන බව ප්‍රතික්ෂේප නොකල අතර එවැන්නක් ව්‍යවස්ථාවට අනුකූල බව ප්‍රකාශ කලේය.

හමුදා ප්‍රකාශකයෙකු ඊයේ කියා සිටියේ, මැතිවරන ප්‍රතිඵලවල “විශාල විෂමතා” සහ “දරුනු වංචා” සිදුව ඇති බවත්, ඒවා විසඳීමට රටේ මැතිවරන කොමිසම “අපොහොසත් වී ඇති” බවත්ය. මිලිටරිය ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 417 වන වගන්තිය ක්‍රියාත්මක කල අතර එය “සංගමය විසුරුවා හැරීමට හෝ ජාතික සහයෝගීතාව බිඳ දැමීමට” තර්ජනය කරන කොන්දේසි යටතේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ඉඩ සලසයි. නව මැතිවරනයක් පවත්වන බව එය ප්‍රකාශ කර ඇති මුත් කාල නියමයක් නැත.

මීට පෙර පැවති මිලිටරි ජුන්ටාව 2008 ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කලේ, බලයේ ප්‍රධාන ලීවරයන් දිගටම තම අතෙහි තබා ගැනීම සඳහා ය. ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයක් අවහිර කල හැකි බව සහතික වන ආකාරයට පාර්ලිමේන්තු සභා දෙකේම ආසනවලින් හතරෙන් එකක් හමුදා නියෝජිතයින් සඳහා වෙන් කර ඇත. ආරක්ෂක හා ස්වදේශ කටයුතු ඇතුලු බලගතු අමාත්‍යාංශවල පාලනය ද හමුදාව සතු වන අතර එමඟින් එයට ඕනෑම සිවිල් අධීක්ෂනයකින් බැහැරව සිටිය හැක.

2010 දී නිවාස අඩස්සියේ සිට නිදහස් වූ සූ කී සහ ඇගේ NLD ය, මෙම ප්‍රජාතන්ත්‍රවාදී වංචාවට එකඟ වූ අතර, එය හමුදාව චීනයෙන් එක්සත් ජනපදය දෙසට මාරුවීමේ කොටසක් විය. හමුදා ආධිපත්‍යය ඔවුන්ගේ ව්‍යාපාරික අවශ්‍යතාවන්ට බාධකයක් ලෙස සලකන රටේ පාලක පන්තියේ කොටස් NLD ය නියෝජනය කරයි. ඔවුන් බටහිර දෙසට නැඹුරු වූයේ ආධාර සඳහා ය. ඔබාමා පරිපාලනය සඳහා, මියන්මාරය වොෂිංටන් දෙසට හැරීම චීනයට එරෙහි “ආසියාවට හැරීමේ” ගැටුමේ සාර්ථකත්වයන්ගෙන් එකක් ලෙස සැලකේ. වොෂින්ටනය මියන්මාරයේ නීච තත්වය අවසන් කර, ආර්ථික සම්බාධක අතහැර දමා එය “සංවර්ධනය වන ප්‍රජාතන්ත්‍රවාදයක්” ලෙස ප්‍රකාශයට පත් කලේය.

NLD ය 2016 මැතිවරනයෙන් ජයගෙන ආන්ඩුවක් පිහිටුවා ගත්තේය. “මුස්ලිම් රෝහින්ගියාවරුන්ට එරෙහිව මිනීමරු මෙහෙයුම් සිදුකරන විට, ප්‍රජාතන්ත්‍රවාදයේ සුරුවම” යැයි කියනු ලබන සූ කී, විදේශ ආයෝජන අපේක්ෂා කිරීම සහ අශික්ෂිත මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාවලට එරෙහිව මිලිටරිය ආරක්ෂා කිරීමට, මිලිටරි පිටුබලය ලත් තන්ත්‍රයක් වෙනුවෙන් සැරිසරන තානාපතිවරියක බවට පත්විය. මේ තත්වය මුස්ලිම් රෝහින්ගියා සුලුතර වැසියන් සිය දහස් ගනනක් රටින් පලා යෑමට හේතු විය.

එක්සත් ජනපදයට නොඅඩු ලෙස, කොවිඩ්-19 වසංගතය මගින් අවුලුවන ලද ධනවාදයේ ගැඹුරු වන අර්බුදය මධ්‍යයේ, රටේ පූර්න පාලනය නැවත ලබා ගැනීමට මිලිටරිය ගත් තීරනය, අන්තර්ජාතික වශයෙන් ආඥදායක හා ෆැසිස්ට් පාලන ක්‍රම වෙත නිසැක හැරීමකි. මැතිවරන වංචා සහ “සොරකම් කරන ලද මැතිවරනයක්” පිලිබඳ බොරු පදනම් කරගෙන ජනවාරි 6 වන දින මන්ත්‍රනසභා ශාලාව ප්‍රහාරයට ලක් කරමින් ෆැසිස්ට් කුමන්ත්‍රනයක් දියත් කිරීමට උත්සාහ කල ට්‍රම්ප්ගේ පිටපත මියන්මාරයේ හමුදාව අනුගමනය කර තිබීම විශේෂත්වයකි.

අගෝස්තු මැද භාගයේ සිට කොවිඩ්-19 ආසාදිතයින් වැඩිවීම හේතුවෙන් මියන්මාරය වඩාත් නරක අතට හැරෙන ආර්ථික හා සමාජ අර්බුදයකට මුහුන දී සිටී. මාර්තු අග සිට අගෝස්තු මුල දක්වා මියන්මාරයේ වාර්තා වී ඇත්තේ රෝගීන් 360 ක් සහ මරන 6 ක් පමනි. කෙසේ වෙතත් එම සංඛ්‍යා වර්තමානයේ, රෝගීන් 140,000 ක් හා මරන 3,000 කට වඩා වැඩි වී ඇති අතර, එය රටේ සීමිත සෞඛ්‍ය සේවා පද්ධතියට විශාල බලපෑමක් ඇති කර තිබේ. 2019-20 මුදල් වර්ෂය සඳහා (ඔක්තෝබර් 1 වනදා සිට) ආර්ථික වර්ධනය සියයට 3.2 ක් ලෙස ගනන් බලා ඇති අතර එය පෙර වසරේ පැවති සියයට 6.8 සිට තියුනු ලෙස පහත වැටීමකි. 2020–21 සඳහා වර්ධනය සියයට 0.5 ක් පමනක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

අගුලු දැමීම් ප්‍රධාන රැකියා අහිමිවීමට සහ දරිද්‍රතාවයේ නාටකාකාර ලෙස ඉහල යාමට හේතු වී තිබේ. පසුගිය සැප්තැම්බරයේ ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති පර්යේෂන ආයතනය විසින් කරන ලද සමාලෝචනයකට අනුව නාගරික යැන්ගොන් හි සමීක්ෂනයට ලක් වූ කුටුම්භ 1,000 න් සියයට 59 ක් සහ රටේ ග්‍රාමීය වියලි කලාපයේ සමීක්ෂනයට ලක් කල කුටුම්භ 1,000 න් සියයට 66 ක් අන්ත දුප්පත්කම සඳහා බහුලව භාවිතා වන මිනුම් ලකුනක් වන දිනකට ඇමරිකානු ඩොලර් 1.90 කට වඩා අඩු ආදායමක් උපයා ඇත. 2020 ජනවාරි මාසයේදී මෙවැනිම සමීක්ෂනයකට ප්‍රතිචාර දැක්වූවන්ගෙන්, දරිද්‍රතාවයේ පසුවූයේ සියයට 16 ක් පමනි.

“දරිද්‍රතාවයේ එම මට්ටම ආහාර අනාරක්‍ෂිතතාවේ හා මන්දපෝෂනයේ විශාල අවදානමක් ඇති කරයි”  අධ්‍යයනයේ ප්‍රධාන කතුවරයා වන ඩෙරෙක් හෙඩි පැවසීය. "වෛරසය පාලනය කිරීම සඳහා අවශ්‍ය වුවද, අගුලු දැමීමේ කාලපරිච්ඡේදයන් දරිද්‍රතාවයට විනාශකාරී බලපෑම් ඇති කර ඇති අතර, මියන්මාරයේ කොවිඩ්-19 හි දෙවන රැල්ලේ ආර්ථික විනාශය සාර්ථකව පාලනය කිරීමට නම් විශාල හා වඩා හොඳ ඉලක්කගත මුදල් හුවමාරුවක් අවශ්‍ය වේ."  එම සැප්තැම්බර් සමීක්ෂනයේ සිට නාගරික හා ග්‍රාමීය දුප්පතුන්ගේ දුක්ඛිත තත්වය නිසැකවම නරක අතට හැරී ඇති අතර එය තියුනු සමාජ ආතතීන්ට හේතුවී ඇත.

කුමන්ත්‍රනය පිලිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මියන්මාර ඉතිහාසඥ ටැන්ට් මයින්ට්-යූ මෙසේ අනතුරු ඇඟවීය. “දොරවල් විවෘත වූයේ වෙනස්, නිසැකවම අඳුරු අනාගතයකට ය. මියන්මාරය යනු, ආයුධවලින් පිරී ඉතිරී ගිය, තමන්ටම ආහාර සපයාගත නොහැකි මිලියන ගනනක් සිටින, ආගමික හා ජනවාර්ගික රේඛා ඔස්සේ ගැඹුරින් බෙදී ඇති  යුද්ධයක දැනටමත් නිරතව සිටින රටකි… ඊලඟට එන දේ පාලනය කිරීමට කිසිවෙකුට හැකි වේ යැයි මම විශ්වාස නොකරමි.”

නව බිඩෙන් පරිපාලනය මීට පෙර මියන්මාරයට සැරපරුෂ සංඥාවක් කර තිබුනි. ඔහුගේ කොන්ග්‍රස් තහවුරු කිරීමේ නඩු විභාගයේදී, ඊලඟට රාජ්‍ය ලේකම් ලෙස පත්වීමට නියමිත ඇන්ටනි බ්ලින්කන් කියා සිටියේ, රෝහින්ගියා වැසියන්ට එරෙහි මියන්මාරයේ හිංසාවන් ජන සංහාරයක්ද යන්න තීරනය කිරීම සඳහා අන්තර් නියෝජිත සමාලෝචන අධීක්ෂනයක් කරන බවයි. මින් අවුන්ග් හේලින්ග් ඇතුලු මියන්මාරයේ ඉහලම ජෙනරාල්වරුන්, ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පසුගිය වසරේ ආරම්භ වූ හේග් හි ජාත්‍යන්තර අධිකරනයේ නඩු විභාගවලට මුහුන දෙමින් සිටිති.

ඊයේ කුමන්ත්‍රනයට ප්‍රතිචාර වශයෙන් බයිඩන්, මියන්මාරයට නැවත සම්බාධක පැනවීම ගැන අනතුරු ඇඟවීය. “එක්සත් ජනපදය, ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රගතිය මත පදනම්ව පසුගිය දශකය තුල බුරුමයට පනවා තිබූ සම්බාධක ඉවත් කලේය.” මියන්මාරය එහි සාම්ප්‍රදායික නාමයෙන් හඳුන්වමින් ඔහු සඳහන් කලේය. “එම ප්‍රගතිය ආපසු හැරවීමට නම්, අපගේ සම්බාධක නීති සහ අධිකාරීත්වයන් වහාම සමාලෝචනය කල යුතු අතර පසුව සුදුසු ක්‍රියාමාර්ග ගනු ඇත.”

ඔබාමා මෙන්ම බයිඩන් ද මානව හිමිකම් ආරක්ෂා කිරීමට අව්‍යාජ උනන්දුවක් දක්වන්නේ නැත. ඒ වෙනුවට එක්සත් ජනපදය මෙහෙයවනු ලබන්නේ වැඩෙන චීන බලපෑම පිලිබඳ නව සැලකිල්ලකිනි. සැලකිය යුතු විදේශ ආයෝජන ආකර්ෂනය කර ගැනීමට මියන්මාරය අපොහොසත් වීමත්, රෝහින්ගියාවරුන්ට සැලකීම පිලිබඳ ජාත්‍යන්තර විවේචනත් සමඟ සූ කී ට, ඇගේ ආන්ඩුවට සහ හමුදාවට වැඩි වැඩියෙන් මූල්‍ය හා රාජ්‍ය තාන්ත්‍රික ආධාර සඳහා බීජිනය වෙත හැරීමට සිදුවිය.

කොවිඩ්-19 වසංගතයේ ව්‍යාප්තියත්  සමඟ, චීනයේ වර්ධනය කරන ලද එන්නත් නොමිලේ සැපයීම ඇතුලුව, මියන්මාරය බීජිනය මත යැපීම ගැඹුරු විය. චීන විදේශ ඇමති වැන්ග් යී පසුගිය මාසයේ මියන්මාරයට පැමිනි අතර, එහි බෙල්ට් ඇන්ඩ් රෝඩ් ඉනිශියේටිව් (Belt and Road Initiative) සමඟ සමීප සහයෝගීතාවයක් ඇති කර ගැනීම සඳහා  මියන්මාරය හරහා දකුනු චීනයට මූලෝපායික ප්‍රවාහන මාර්ග සහ නල මාර්ග පිලිබඳව සාකච්ඡා කලේය. වොෂිංටනය සමඟ ආතතීන් දිගින් දිගටම ඉහල යද්දී, බලශක්ති සහ අමුද්‍රව්‍ය සැපයීම සහතික කිරීමට බීජිනයට, මලක්කා සමුද්‍ර සන්ධිය හරහා එක්සත් ජනපදය පාලනය කරන මුහුදු මාර්ගයන් ට විකල්පයක් අත්‍යවශ්‍ය වේ.

කුමන්ත්‍රනයට චීනයේ ප්‍රතිචාරය නිහඬතාවයයි. විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් පැවසුවේ, “ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නෛතික රාමුව යටතේ මියන්මාරයේ සෑම පාර්ශ්වයකටම, තම වෙනස්කම් නිසි ලෙස හසුරුවා ගැනීමට සහ දේශපාලන හා සමාජ ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීමට හැකි වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.”

එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සහ එහි සහචරයින් විසින් යලිත් වරක් “මානව හිමිකම්” ප්‍රහාර හා ආර්ථික සම්බාධක පැනවීමේ අපේක්ෂාව, සූ කී සහ NLD හි විශ්වාසනීය නොවන උදව් මත විශ්වාසය තැබීමට වඩා, මියන්මාරයේ හමුදාව සෘජුවම බලය ලබා ගැනීමට පොලඹවන වැදගත් සාධකයක් විය හැකිය. සූ කී දැන් කුමන්ත්‍රනයට එරෙහිව විරෝධතා වෙනුවෙන් ඉල්ලීම් කර තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී සංකේතයක් ලෙස ඇයගේ බොහෝ අපකීර්තිමත් ප්‍රතිරූපය තිබියදීත්, ඇය නිසැකවම සහාය සඳහා වොෂිංටනය වෙත හැරෙනු ඇත.

Loading