ජනාධිපති රාජපක්ෂගේ "නිදහස් දින" කතාව: ආඥාදායකත්වයකට කැසකවන්නෙකු "ජාතියේ ගැලවුම්කරු" ලෙස වෙස්පෑමක්

පෙබරවාරි 04 වන දා ශ්‍රී ලංකාවේ 'නිදහස' සමරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කල කතාව, බේගල් වලින් පිරී ඉතිරුනු සහ යතාර්ථයට කවර හෝ සම්බන්ධයක් නොමැති ආන්තික කුහකත්වයේ ප්‍රකාශනයකි. ගෝලීය වසංගතයට සංවිධිත විද්‍යාත්මක ප්‍රතිචාරයක් දැනවීම ආරම්භයේ සිට සාපරාධී ලෙස ප්‍රතික්ෂේප කොට, මහජනයා ඉමහත් ව්‍යසනයකට සහ ඉසිලිය නොහැකි ජීවන කොන්දේසි වලට ඇද දමා ඇති රාජපක්ෂ 'ජාතියේ ගැලවුම්කරු' ලෙස පෙනී සිටීමේ වංචනික ප්‍රයත්නයක නියැලී ගත්තේය.

පාලක ප්‍රභූවේ කොටස්, විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයන්, රාජ්‍ය නිලධාරීන් සහ ආගමික නායකයන් පිරිවරාගත් රාජපක්ෂ, මිලිටරි සංදර්ශන මධ්‍යයේ ඉතා උත්කර්ෂයෙන් “නිදහස් දිනය' සැමරුව ද, පොදු මහජනතාව අතර ඒ පිලිබඳව කවර හෝ උනන්දුවක් නොතිබුනි. සෑම නිවෙසකම ජාතික ධජය ඔසවන ලෙස ආන්ඩුව කල ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔවුහු, 'නිදහසේ' ව්‍යාජභාවයට උචිත ප්‍රතිචාරය දැක්වූහ.

රාජපක්ෂ තම කතාව කලේ, ලංකාවේ පාලක පංතිය තම වසර 73 ක ඉතිහාසයේ කවර කලෙක හෝ අත් නොදුටු බරපතලම දේශපාලන සහ ආර්ථික අර්බුදයකට මුහුන දී සිටින තතු යටතේ ය.

බ්‍රිතාන්‍ය විජිත පාලනයෙන් නිදහස ලැබීමේ සංවත්සර උත්සවයකට සහභාගි වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ (2020) (ස්තුතිය: ඒපී ඡායාරූප/ එරංග ජයවර්ධන)

එක් අතකින්, චීනය වටලෑමේ මූලෝපායික වැඩකටයුතු වලට කොලඹ පාලනය පොලඹවා ගැනීම සඳහා ඇමරිකාවත්, එහි කලාපීය සගයා වන ඉන්දියාවත් එක්ව, රාජපක්ෂට යොදන භූ-දේශපාලනික පීඩනය උග්‍රම මට්ටම් කරා නැගී ඇත. අනෙක් අතින්, ඉදිරි සිවු වසර තුල වසරකට ඩොලර් බිලියන 4.5 බැගින් වූ දැවැන්ත විදේශ නය වාරික ගෙවීමට රජයට සිදුව ඇති අතර, මෙම එක් වාරිකයක් රටෙහි දල දේශීය නිෂ්පාදිතය ඉක්මවා යයි.

ඒ සියල්ලටත් වඩා, කොරෝනා වසංගතයෙන් වඩාත් ගැඹුරු කෙරුනු ආර්ථික අර්බුදයේ බර, රාජ්‍ය ආයතන පුද්ගලීකරනය, සමාජ සුබසාධන කපා දැමීම සහ ඉහල බදු පැනවීම් හරහා කම්කරු-පීඩිත මහජනතාව මත පැටවීමට එරෙහිව වැඩෙන පංති අරගල මාලාවකට ඔහු මුහුන දී සිටී. එම අරගල තලා දැමීමේ එල්ලයෙන්, මිලිටරිය මත පාදක වූ ජනාධිපති ආඥාදායකත්වයක් කරා වේගයෙන් පිය නගන රාජපක්ෂ දැනටමත් එහි බොහෝදුර ගොස් ඇත.

2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වහා ඩැහැගත් රාජපක්ෂ, අන්ත දක්ෂිනාංශික සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී නඩ තමා පිටුපස පෙලගස්වා ගනිමින් ඔහුගේ ජනාධිපතිවරන උද්ඝෝෂනය තුච්ඡම ගනයේ මුස්ලිම්-විරෝධයක් තුල ගිල්වා දැමුවේය. එම උද්ඝෝෂනයේ තේමා පාඨයන් වූ 'ජාතික ආරක්ෂාව තහවුරු කිරීම', 'අන්තවාදයට නැවත මේ රට තුල හිස එසවීමට නොදීම' සහ 'විනය ගරුක සමාජයක් ස්ථාපිත කිරීම' ආදිය ඔහුගේ 'නිදහස් දින කතාව' තුල ප්‍ර‍තිරාවය විය.

සිරිසේන-වික්‍ර‍මසිංහ තන්ත්‍ර‍යට එරෙහිව වැඩුනු දැවැන්ත මහජන විරෝධය ගසා කම්න් බලයට පැමිනි රාජපක්ෂ ඉහත පාඨයන් යොදාගනු ලබන්නේ ඔහු විසින් වේගවත් කර ඇති මිලිටරීකරනයේ වහන්තරාවන් ලෙසිනි.

පාස්කු බෝම්බ ප්‍රහාරය සිහි ගැන්වූ මෙම ස්වයං-ප්‍ර‍කාශිත 'ජාතියේ ගැලවුම්කරුවා' මෙසේ පැවසීය: 'මේ රටේ හැටනව ලක්ෂයකට අධික ජනතාව ජනාධිපතිවරයා වශයෙන් මා පත්කර ගත්තේ දුර්වලව පැවති ජාතික ආරක්ෂාව යළි තහවුරු කොට මව්බිම මුහුන දී තිබුනු අභියෝගයන් ජයගැනීම සඳහා නායකත්වය දෙන්නයි.'

ඔහුගේ කතාවේ සුවිසල් පදාසයක් වෙන්වූයේ ද මෙම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙනි. ඔහු මෙසේ පැවසීය: 'මේ මහා අපරාධය සැලසුම් කල හා එයට අනුබල දුන් වගකිවයුත්තන්ට නීතියට මුහුන නොදී ගැලවී යන්නට අපි ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම අන්තවාදයට නැවත මේ රට තුල හිස ඔසවන්නටත් අපි ඉඩ දෙන්නේ නැහැ.'

කෙසේ නමුත්, මෙම ප්‍රහාරය පිලිබඳව එවක පැවති ආන්ඩුවේ ජනාධිපති, අගමැති සහ අනෙකුත් මැති ඇමතිවරු මෙන්ම විපක්ෂයේ සිටි මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ 'ප්‍රභූවරුන්' කල්තියා දැනසිටි බව සනාථ වී ඇති කරුනකි. ව්‍යසනය සිදුවීමට ඉඩහැර, එය ගසාකමින්, 'ජාතික ආරක්ෂාවේ' කඩතුරාව යටතේ මිලිටරීකරනය ඉස්මත්තට ගැනීමට සැලසුම් කල බවට සෑම සැකයක්ම පවතී. එම තතු තුල රාජපක්ෂ කරන ඉහත ප්‍රකාශ මුලුමනින්ම කුහක ය.

චීනයට එරෙහි මූලෝපායික වැඩකටයුතු වලට ශ්‍රී ලංකාව ඒකාග්‍ර කර ගැනීමේ අරමුනෙන්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හරහා වොෂින්ටනය රාජපක්ෂට යොදන පීඩනය සහ තම වරප්‍රසාද තහවුරු කරගනුවස් දෙමල ධනපති පක්ෂ එයට දෙන සහයෝගය සම්බන්ධයෙන් රාජපක්ෂ වක්‍රව සඳහන් කලේය: 'රටේ ස්වෛරීත්වය සුරකින ජාතික නායකත්වයකට එරෙහිව ජාතිද්‍රෝහී බලවේග එක්වී කඳවුරු බැඳගැනීමත්, තම අරමුනු ඉටුකර ගැනීම සඳහා දේශීය මෙන්ම විදේශීය බලවේග වල සහාය පැතීමත් හැමවිටම සිදුවෙනවා. මේ අය ඉතා සූක්ෂම ලෙස විවිධ බොරු ප්‍රචාර හරහා ජනතාව නොමග යවන්නට කටයුතු කරනවා.'

එම 'බාධක' පැවතියදී රටෙහි 'ස්වෛරීත්වය' ආරක්ෂා කරන බවට රාජ්‍ය නායකයා වශයෙන් දුන් 'ප්‍රතිඥාව' හැමවිටම 'සුරකින' බවට ඔහු තවත් පූච්චානමක් ඇද බෑවේය.

කෙසේ නමුත්, 'නිදහසින්' පසු ගතවූ දශක හතකටත් වැඩි කාලය තුල මෙරට ධනපති පාලක පංතිය පෙන්වා ඇත්තේ, එයට කවර විටෙකවත් රටෙහි 'ස්වෛරීත්වය' ආරක්ෂා කිරීමට නොහැකි බව යි. ලියොන් ට්‍රොට්ස්කි තම 'නොනවතින විප්ලව න්‍යාය' මගින් පැහැදිලි කල පරිදි, ධනේශ්වර විප්ලවය කල් පමාවූ ලංකාව වැනි රටවල පාලක පංතීහු 'දහසක් හුයපට වලින් අධිරාජ්‍යවාදයට ගැට ගැසී සිටින' බැවින්, අධිරාජ්‍යවාදයට එරෙහිව කවර හෝ 'ස්වාධීන' ආස්ථානයක් ගැනීමේ නොහැකියාවෙන් උපතේ සිට පෙලෙති.

භූ මූලෝපායික වශයෙන් ඉතා වැදගත් මෙම ඉන්දියන් සාගර දිවයින, චීනයට එරෙහි එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ යුද සැලසුම්වල කේන්ද්‍රයටම ඇද ගනිමින් පවතිද්දී, පෙර පැවති සෑම ආන්ඩුවකට මෙන්ම, රාජපක්ෂ ආන්ඩුවට ද එයට එරෙහි වීමට නොහැකිව ඇත්තේ මෙම ඓතිහාසික බෙලහීනතාව හේතුවෙනි. ‌'ජාතියේ ගැලවුම්කරුවා“ ලෙස පෙනී සිටීමට යත්න දරන ගෝඨාභය රාජපක්ෂ සම්මාදම් වෙමින් සිටින්නේ, ශ්‍රී ලංකාවේ මිලියන 23 ක ජනතාව පමනක් නොව, කලාපයේ කෝටි සංඛ්‍යාත මහජනයා න්‍යෂ්ටික යුධ ගිනිමැලයකට ඇද දැමීමට යි.

කොලඹ වරාය තුල තම පයගසා ගැනීමට ඉන්දියාවට අවශ්‍ය වන්නේ වොෂින්ටනයේ ඉහත යුද සැලසුම්වල කොටසක් ලෙසිනි. පැන නැගුනු මහජන විරෝධය හමුවේ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියානු සමාගමකට පවරාදීම නතර කෙරුනු නමුදු, බටහිර පර්යන්තය එකී ඉන්දියානු සමාගමට ලබා දීමට රාජපක්ෂ යෝජනා කර ඇත.

ඔහුගේ වැඩිමහල් සොහොයුරු, අගමැති මහින්ද රාජපක්ෂ පසුගිය අගෝස්තු මාසයේ වරාය වෘත්තීය සමිති නායකයන්ට ප්‍රකාශ කල අයුරු, ඉන්දියාව සහ ඇමරිකාව විරසක කරගෙන කොලඹ ආන්ඩුවකට පැවතීමට නොහැකිබව ජනාධිපති රාජපක්ෂ දනී. මහින්ද රාජපක්ෂ චීනයට වඩාත් සමීපවීම සම්බන්ධයෙන් උරන වූ එක්සත් ජනපදය, ඉන්දියාවේ ද සහයෝගය ලද මෙහෙයුමකින් 2015 ජනාධිපතිවරනයේදී ඔහු ඉවත්කොට සිරිසේන-වික්‍රමසිංහ තන්ත්‍රය බලයට ගෙන ආවේය.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කිරීම සම්බන්ධයෙන් ලංකාවේ ධනපති පාලක පංතියේ බෙලහීනතාවය ඊට වෙනස් නොවේ.

ධනපති පාලනයකට එරෙහිව අනිවාර්යයෙන් එල්ලවීමට නියමිතවූ කම්කරු පන්තියේ ඒකාබද්ධ ප්‍රහාරය අඩපන කිරීම සඳහා ඔවුන්ගේ පන්ති එකමුතුව බිඳීමට දෙමල විරෝධී වර්ගවාදය දැනුවත්ව භාවිතා කිරීමට පාලකයෝ ආරම්භයේ සිටම අධිෂ්ඨාන කොට සිටිය හ. ලක්ෂයකට අධික දෙමල, සිංහල ජනයා සංහාරය කෙරනුු, තිස් වසරකට එහා ඇදී ගිය ජනඝාතක වර්ගවාදී යුද්ධයෙන් මෙම වර්ගභේදවාදී දේශපාලනය කුලු ගැන්වුනි.

2009 දී යුද්ධය අවසන් කෙරුන ද, ගැඹුරුවන ධනේශ්වර ආර්ථික අර්බුදය හමුවේ අනුප්‍රාප්තික ආන්ඩු මගින් කම්කරු-පීඩිත මහජනතාවට එල්ල කෙරෙන රුදුරු ප්‍රහාර වලට එරෙහිව වැඩෙන පංති අරගල දුබලකොට විසුරුවා හැරීම සඳහා මෙම වර්ගභේදවාදී දේශපාලනය වඩාත් ඉස්මත්තට ගැනින. දෙමල විරෝධයට අමතරව මුස්ලිම් විරෝධය ද ඇවිලවීමට කොලඹ පාලක පංතිය පියවර ගත්හ. තම සොහොයුරු මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ ආරක්ෂක ලේකම් තනතුර දැරූ ගෝඨාභය රාජපක්ෂ ජනඝාතක යුද්ධය මෙහෙයවමින් කල සැහැසි ක්‍රියා සහ මුස්ලිම්-විරෝධී ප්‍රකෝපකරනයන් ඇවිලවීම සම්බන්ධයෙන් කුප්‍රකට ය.

රාජපක්ෂගේ 'නිදහස් දින කතාව' තුලින් මෙම වාර්ගික නොපනත්කම සහ ප්‍රකෝපකරනය රුදුරුම ආකාරයෙන් ඉදිරියට ගෙනයාමේ සූදානම පැහැදිලිව ප්‍රකාශයට පත්විය. ඔහු මෙසේ පැවසීය: ' මම සිංහල බෞද්ධ නායකයෙක්. එය ප්‍රකාශ කරන්නට මම කිසිවිටක මැලි වන්නේ නැහැ. මම මේ රට පාලනය කරන්නේ බෞද්ධ ඉගැන්වීම් වලට අනුවයි. සෑම ආගමකටම, සෑම ජාතියකටම නිසි ගරුත්වය ලබා දෙන අවිහිංසාවාදී සාමකාමී බෞද්ධ දර්ශනය තුල අපේ රටේ සෑම ආගමිකයෙකුටම, සෑම ජාතිකයෙකුටම, රටේ පවතින නීති රාමුව තුල එක හා සමානව නිදහස භුක්ති විඳීමේ අයිතිය තිබෙනවා.'

පලමුකොටම, බුද්ධාගම රාජ්‍ය ආගම බවට ව්‍යවස්ථාවෙන් ම ස්ථාපිත කෙරී ඇති රටක සෑම ආගමිකයෙකුටම, 'එක හා සමානව නිදහස භුක්ති විඳීමේ අයිතිය' ඇතැයි යන්න අමූලික බොරුවකි. දෙවනුව, 'බෞද්ධ ඉගැන්වීම් වලට අනුව' රට පාලනය කරන 'බෞද්ධ නායකයෙකු' සියලු ආගමිකයන්ට එක සමානව සලකතැයි යන්න අභූතයකි.

'රටේ පවතින නීති රාමුව' යනු, 1948 දී දෙමල සහ මුස්ලිම් ඇතුලු සුලු ජනවාර්ගිකයන්ට එරෙහිව අටවන ලද ඊනියා ඒකීය රාජ්‍යයේ ව්‍යවස්ථාමය රාමුවයි. මෙම 'ඒකීය රාජ්‍යය' ඇටවුනේ ඉහත ජනවාර්ගික කොටස් ඒකාබද්ධ කර දියත් කෙරුනු පුලුල් 'ජාතික සටනක' ප්‍රතිඵලයක් ලෙස නොවේ. 'නිදහස' ලද වහාම, එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව ගෙන ආ විසකුරු පුරවැසි පනත මගින් දෙමල කතා කරන වතුකම්කරුවන් අති බහුතරයකට පුරවැසියන් ලෙස පැවති මූලික අයිතිවාසිකම් අහිමි කිරීම මගින්, මෙම රාජ්‍යය තුල, 'සෑම ජාතිකයෙකුටම එක හා සමානව නිදහස භුක්ති විඳීමේ අයිතිය' කෙතරම් ද යන්න මැනවින් පැහැදිලි විය.

එවකට හතරවන ජාත්‍යන්තරයේ ඉන්දියානු උපමහාද්වීපීය ශාඛාව වූ බොල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂයේ (බීඑල්පීඅයි) නායක කොල්වින් ආර් ද සිල්වා, 1948 අගෝස්තු මාසයේ කල කතාවක, දෙමල වතු කම්කරුවන්ට එරෙහිව ගත් මෙම ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවරට විරෝධය පාමින් නිරවද්‍යව කියා සිටියේ, 'රාජ්‍යය ජාතිය සමග ද ජාතිය වර්ගය සමග ද සමසීමිත විය යුතු ය' යන්න 'යල්පිනූ අදහසක් සහ බිඳ වැටුනු දර්ශනයක්' බවයි.

ද සිල්වා මෙසේ ද පැවසීය: 'මෙම ආන්ඩුව ප්‍රශ්නයට ප්‍රවිෂ්ට වන්නේ ධනපති පන්තියේ දෘෂ්ටි කෝනයෙන් නම් අප පක්ෂය -හතරවන ජාත්‍යන්තරයේ අප- මෙම ප්‍රශ්නයට ප්‍රවිෂ්ට වන්නේ නිර්ධන පන්තියේ එනම් කම්කරු පන්තියේ දෘෂ්ටි කෝනයෙනි. එහි තේරුම නම් මෙම ප්‍රශ්නයට පන්ති දෘෂ්ටි කෝනයකින්, වාර්ගික ප්‍රශ්න වලින් ස්වාධීන හා වාර්ගික ප්‍රශ්න වලට ඉහලින් පිහිටි දෘෂ්ටි කෝනයකින් අප පිවිසෙන බවයි. මේ රටේ වැඩ කරන ජනතාව අතර ඔවුන්ගේ වාර්ගික උපත මත පදනම්ව එක් මිනිසෙකු සහ අනෙක් මිනිසෙකු අතර වෙනසක් තහවුරු කිරීමට අප සූදානම් නැත. අප කියන්නේ කම්කරුවෙක් ප්‍රථමයෙන් සහ ප්‍රමුඛව කම්කරුවෙක් කියාය.'

වසර 73 කට පසු රාජපක්ෂගේ 'නිදහස්' දින කතාව මගින් යලිත් තහවුරු කරන්නේ එම 'යල්පිනූ අදහස' සහ 'බිඳ වැටුනු දර්ශනය' හැර ධනපති පාලකයන්ට වෙනත් මාවතක් නොමැති බවයි. ඊට විපරීතව කම්කරු පංතියේ විකල්පය වන්නේ, ‌සිංහල සහ දෙමල කතා කරන කම්කරු පංතියේ ජාත්‍යන්තරවාදී එකමුතුව මත, මෙම වර්ග පීඩක ධනපති රාජ්‍යය පෙරලා දමා, දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තර සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස, ශ්‍රී ලංකා ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක රූපයෙන් කම්කරුවන්ගේ සහ ගොවියන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමට සටන් වැදීමයි.

වැඩිදුර කියවන්න

Loading