ඉදිරිදර්ශන

සුපර් බෝල් සුපිරි පැතිරීම සහ ඇමරිකානු සමාජය කැඩපතකින් බැලීම

[පහත පල  ‍කෙරෙන්නේ 2021 පෙබරවාරි 5 වැනි දින The Super Bowl super-spreader යන මැයෙන් පල කෙරුනු ඉදිරිදර්ශනයේ සිංහල පරිවර්තනයයි.]

එක්සත් ජනපදය තුල කොවිඩ්-19 වසංගතයෙන් මියගිය සංඛ්‍යාව මිලියන භාගයක් කරා ලඟා වෙත්ම, මෙම ඉරිදා (පසුගිය 07වෙනිදා) ටම්පා බේ බුකනියර්ස් සහ කැන්සාස් සිටි චීෆ්ස් අතර ජාතික පාපන්දු මන්ඩලයේ (එන්එෆ්එල්) සුපර් බෝල් ශූරතා තරඟය පැවැත්වීම සහ ඒ සම්බන්ධයෙන් නිර්මානය කර ඇති “උත්සවාකාරී” වාතාවරනය විකාර සහගත මෙන්ම නුසුදුසු ය.

කල් ඇතිව සූදානම් කර ඇති “සුපර් බෝල් අත්දැකීම” සහ මෙම අවස්ථාව සංවිධානය කිරීමේදී ප්‍රදර්ශනයවන මුග්ධත්වය සහිතව එහි සංවිධායකයින්ගේ නරුම නොතැකීම අතිශයෝක්තියට නැංවීමට යමෙකුට අපහසු වනු ඇත. එන්එෆ්එල් වෙබ් අඩවිය යෝජනා කරන්නේ, “මේ වසරේ තත්වය ටිකක් වෙනස් ආකාරයට පෙනුනද, හැකි උපරිම ආරක්ෂාව මධ්‍යයේ විනෝද වීමට අවස්ථාවක් ලබා දීමට අපි කැපවී සිටිමු.”

2021 පෙබරවාරි 4 වන දින ෆ්ලොරිඩා හි ටැම්පා හි එන්එෆ්එල් තරඟ අත්දැකීමේ ප්‍රදර්ශනයක් සඳහා ජනතාව පෙල ගැසී සිටිති [ස්තුතිය: ඒපී ඡායාරූපය / චාලි රීඩෙල්]

ජනතාවට, දේවල් හුදෙක් “මඳක් වෙනස්” ය යන මවාපෑමත්, රටෙහි පූර්වාදර්ශයක් නොමැති තරම්වූ සමාජ ඛේදවාචකයක් මධ්‍යයේ එය අමතක කරනු ඇති බවට පෙනෙන බලාපොරොත්තුවත් සමඟ අන් සියල්ලටම වඩා එන්එෆ්එල් හිමිකරුවන්ගේ සහ සංස්ථාපිත ඇමරිකාවේ ස්වභාවය ගැන තවත් යමක් කියා දෙයි.

මහජන සෞඛ්‍යය සැලකිල්ලට ගන්නා ඕනෑම තාර්කික ප්‍රමිතියකට අනුව, ක්‍රීඩාව කිසිසේත් පැවැත්විය නොහැකි ය. සාමාන්‍යයෙන් ප්‍රේක්ෂකයින් 65,000 කට අසුන්ගත හැකි ටම්පා බේ හි රේමන්ඩ් ජේම්ස් ක්‍රීඩාංගනය තුල තවත් 25,000 ක පිරිසකට සිටගෙන සිටිය හැක. එන්එෆ්එල් විසින් නොමිලේ ටිකට් පත් ලබා දෙනු ලැබූ එන්නත් කරන ලද සෞඛ්‍ය සේවකයින් 7,500 ක් පමන ඉරිදා රැස්වෙනු ඇත. ටිකට් පත් ස්තුති තෑග්ගක් ලෙස අදහස් කෙරේ. එවැනි කම්කරුවන්ට තෑග්ගක් දියහැකි හොඳම ක්‍රමය වනුයේ අනවශ්‍ය හා අනතුරුදායක සිදුවීම අවලංගු කිරීමයි.

හාවඩ් විශ්ව විද්‍යාලයේ වසංගත රෝග විශේෂඥවරියක් වන ස්ටීවන් කිස්ලර්, සීඑන්බීසී වෙත කියා සිටියේ 'මගේ ලොකුම කනස්සල්ල ක්‍රීඩාංගනය තුල ජනතාව තමන්ගේ ආසන වල හිඳගෙන සිටින විට කොවිඩ්-19 පැතිර යා හැකියැයි කියා නොව… එය ඇත්ත වශයෙන්ම සිදුවනු ඇත්තේ ඔවුන් ක්‍රීඩාංගනයේ වෙනත් ප්‍රදේශවල මිශ්‍ර වන විටය.”

මාරාන්තික වෛරසය වැඳීමේ අවදානම ඇත්තේ ක්‍රීඩකයින්, පුහුනුකරුවන්, කාර්ය මන්ඩලය, ක්‍රීඩාංගනයේ සේවකයින් සහ ඔවුන්ගේ සංචාර වලදී ඔවුන් සම්බන්ධ කර ගන්නා සියලු දෙනා සමඟ 25,000 ක් වන රසිකයින් පමනක් නොව, මෙම අවස්ථාවේ රට පුරා දහස් ගනනක් ප්‍රීති සාද පැවැත්වෙනු ඇත (ඇත්ත වශයෙන්ම, ජාත්‍යන්තරව). එය තවදුරටත් රෝගාබාධ හා කාලකන්නිභාවයට තුඩු දෙනු ඇති බවට සැකයක් නැත. වසංගතය තුල මෙතෙක් පැමින ඇති සෑම ප්‍රධාන නිවාඩු දිනයකම හෝ විශේෂ සිදුවීමකම ප්‍රතිඵලය මෙයයි.

ඇමරිකානු පාලක ප්‍රභූවට ක්‍රීඩාව ඉදිරියට ගෙන යාමට ප්‍රබල හේතු තිබේ. සුපර් බෝල් නිල ඇමරිකානු සමාජ දින දර්ශනයේ කොටසක් බවට පත්ව ඇත. සෑම වසරකම මිලියන සංඛ්‍යාත ජනතාවක් මෙම ජාතික එකමුතුවක් යැයි සැලකෙන අංගයට සහභාගී වන ලෙස ඉල්ලා සිටින අතර, සියල්ලන්ම සහ ඔහුගේ හෝ ඇයගේ රූපවාහිනියට හෝ වෙනත් මාධ්‍යයකට ඇලී සිටිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නිසැකවම, මෙම සිදුවීම වටා නිර්ලජ්ජිත දේශපේ‍්‍රමී සහ මිලිටරි වර්න ගැන්වීමක් ඇත. කොවිඩ්-19 වෛරසයට ගොදුරු වූවන් හඳුනා ගැනීම සඳහා මේ වසරේදී පැමිනෙන සහ නරඹන ජනතාව (කෙටියෙන්) කැඳවනු ඇති බවට සැකයක් නැත. මලවුන්ට කල හැකි ලොකුම උපහාරය වනුයේ “ජීවිතය සමඟ ඉදිරියට යාම” බව ඔවුහු තදින්ම කියා සිටිති.

එපමනක් නොව, නව පරිපාලනයේ අස්ථාවර වූ පලමු දිනවල සන්දර්භය තුල, මාධ්‍යය තුල ඇතැම් කොටස් අනුව, ඉරිදා සවස ක්‍රීඩා උත්සවය අවම වශයෙන් එක්සත් ජනපදයට නව ආරම්භයක් ලෙස සංකේතවත් කරනු ඇත, අලුත් වීමේ මොහොතක්, ඇත්ත වශයෙන්ම, සමස්තයක් ලෙස ව්‍යාපාර සහ පාසල් සඳහා මිනීමැරු නැවත විවෘත කිරීමට සුබ මොහොතක් වනු ඇත.

අමු අමුවේ කෙරෙන, “අසික්කිත මුදල් ඉපැයීමේ” මට්ටමක දී, ඩොලර් මිලියන සිය ගනනක් සුපර් බෝල් සංවිධානය කිරීම සඳහා යොදවනු ලැබේ. තරඟවාර අතරමැද සංදර්ශන, වෙලඳ දැන්වීම් (තත්පර 30 ක් සඳහා ආසන්න වශයෙන් ඩොලර් මිලියන 5.5 ක් වැය වේ), විනෝද ක්‍රීඩා ආදී සෑම දෙයක්ම යොමු කර ඇත්තේ එන්එෆ්එල්, එහි විවිධ කන්ඩායම් හිමිකාරීත්වය සහ සත්කාරක නගරයේ ආයතනික අනුග්‍රාහකයින් සහ ව්‍යාපාර සඳහා ලාභ උත්පාදනය කිරීම සඳහා ය.

බොහෝ විට මිල අධික නව ක්‍රීඩාංගන ඉදිකිරීම දිරිගැන්වීමේ මාධ්‍යයක් ලෙස ලීගය සහ එහි ප්‍රචාරකයෝ කියා සිටින්නේ මෙම උත්සවාංකය සඳහා ඩොලර් 300 සිට 500 දක්වා වටිනාකමක් ඇති බවයි. විචාරකයින් කියා සිටින්නේ සුපර් බෝල් එම මුදල් ප්‍රමානය ගෙන එන්නේ කොහින්දැයි නොදන්නා බවත්, බදු ගෙවන්නන් ඊට කරගසන බවත්ය.

කොරෝනා වෛරසයේ කේන්ද්‍රස්ථානයක් වන ෆ්ලොරිඩාවේ මේ වසරේ සුපර් බෝල් ක්‍රීඩා උත්සවය පැවැත්වීම වේදනාකාරී මෙන්ම දෛවයේ සරදමකි. රෝගයෙන්, මෙම ප්‍රාන්තයේ වැඩි පිරිසක් මියගොස් ඇති අතර, එය ඉරිදා වේදිකාවේ අසුන් ගන්නා සංඛ්‍යාවට වඩා විශාල ප්‍රමානයක්, එනම් 28,000 කට ආසන්න ප්‍රමානයක් (නිව්යෝර්ක්, කැලිෆෝනියා සහ ටෙක්සාස් වලින් පසු සිව්වන විශාලතම මරන සංඛ්‍යාව) වේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දුෂ්ට සගයෙකු වන ෆ්ලොරිඩාවේ ආන්ඩුකාර රොන් ඩෙසන්ටිස්, ජනගහනයේ සෞඛ්‍යය නොසලකා හැර සංගත අවශ්‍යතා වෙනුවෙන් සේවය කිරීමේ නිර්දය ප්‍රතිපත්තියක් අනුගමනය කර තිබේ.

උදාහරනයක් ලෙස, දෙසැම්බර් මාසයේදී වොෂිංටන් පෝස්ට්හි ඩෙසන්ටිස්ගේ ප්‍රතිපත්ති “ව්‍යසනයක්” ලෙස හැඳින්වීය. වසංගතයේ ආරම්භයේ සිටම, ආන්ඩුකාරවරයා - පෝස්ට් නිරීක්ෂනය කල පරිදි, “මෙහි පොදු ජීවිතයෙන් පහසුවෙන්ම, ඉතා පාපිෂ්ඨ ලෙස පවා කොවිඩ් -19 හි සැබෑ තත්වය සඟවා තැබීය. ප්‍රතිඵලය: මුළු කෝවිඩ් -19 රෝගීන් මිලියන 1.2 ක්, මුළු රෝහල් ගතවීම් 61,000 කට ආසන්න ප්‍රමානයක් සහ දින හතක නව-රෝගීන් අනුපාතය සියයට 9.7 ක්. ෆ්ලොරිඩා ප්‍රාන්ත ආන්ඩුව ගුරුවරුන්ට තර්ජනය කිරීමේ හා පාසල් පද්ධතිය නැවත විවෘත කිරීමේ වඩාත් ආක්‍රමනශීලී එකක් වූ අතර එහි ප්‍රතිඵලය වූයේ ගුරුවරුන් දුසිම් ගනනක් මිය යාමයි.

ඇමරිකානු පාලක පන්තිය ක්‍රියාත්මක වන කුරිරු හා ඉඳුරාම සාපරාධී ආකාරය පුදුමයට කරුනක් නොවේ. කෙසේ වෙතත්, සුපර් බෝල් වැනි සිදුවීම් වලට මහජන ප්‍රතිචාරය සහ සහභාගීත්වය පිලිබඳ කාරනයක් ද පවතින අතර මෙහි දී යමෙකුට ඇතැම් කටුක සත්‍යයන් කථා කිරීමට සිදු වේ.

වසරක් පුරා නිරෝධායනය හෝ අර්ධ නිරෝධායනය තුල මිලියන ගනනක් සිරවී ඇති අතර ජීවිතය දුෂ්කර, චිත්තවේගීය වශයෙන් පවා මංමුලා සහගත බවට සැකයක් නැත. සිර අඩස්සියෙන් මිදීමට ස්වාභාවික ආශාවක් ඇත. විද්‍යාව, තර්කනය සහ අතිමූලික සාමාන්‍ය බුද්ධිය පවා, දිගු කාලීන යහපත සහ තමාගේ සහ අන් අයගේ භෞතික ආරක්ෂාව ගැන සිතාබලන ජීවිතයට වඩා සැලකිලිමත් ප්‍රවේශයක් නියම කරයි.

ඇමරිකානු ජීවිතය, සංස්කෘතිය හා ඉතිහාසය යන අංශ එවැනි දුරදක්නාභාවයට එරෙහිව ක්‍රියා කරයි. එහි ප්‍රතිවිපාක ගැන නොසිතා ක්ෂනික වාසි ලබා ගැනීම අවධාරනය කිරීම, න්‍යායාත්මක හා සංකේන්ද්‍රිත චින්තනයට එරෙහි තත්කාර්යවාදී නැඹුරුව, ඉතිහාසය පිලිබඳ සැක සහිත බව (හෙන්රි ෆෝඩ්ගේ කුප්‍රකට වාක්‍ය ඛන්ඩය) “අඩු හෝ වැඩි වශයෙන් ප්‍රලාපයක්” විය හැකිය යන සැකය, යන මේ කිසිවක් වර්තමාන අර්බුදකාරී තත්වයන් තුල ජනගහනයට උපකාරී නොවේ.

වඩාත් සංක්ෂිප්තව කිවහොත්, බොහෝ කලකට පෙර කම්කරු ව්‍යාපාරයේ ව්‍යාකූලත්වය හා උදාසීනත්වය, එය ස්ථාපිත කොමියුනිස්ට් විරෝධය නමැති ආගම පිලිගැනීම, ජනවාරි 6 කුමන්ත්‍රනය ඇතුළු ධනවාදය විසින් සකස් කරන ලද වසංගත හා වෙනත් ව්‍යසන සඳහා ඇමරිකානු ජනතාව ගේ සම්පූර්න නුසූදානම කෙරෙහි දායක වී තිබේ.

කොවිඩ්-19 ඛේදවාචකය සම්බන්ධයෙන් ඒඑෆ්එල්-සීඅයිඕ ප්‍රතිපත්තිය ගැන විමසීමට කිසිවෙකු සිතන්නේද? උචිත ලෙසම, වෘත්තීය සමිති සම්මේලනයේ වෙබ් අඩවිය, වසංගතය පිලිබඳ ෆෙඩරල් රජයේ ආයතනවල සත්‍ය හෝ අසත්‍ය තොරතුරු පිලිගැනීම හැර වෙන කිසිවක් නොකරයි. ඒ සෑම ප්‍රවෘත්තියකටම අනුව කම්කරුවන් සේවයේ රැඳී සිටිය යුතුය.

මාරාන්තික කර්මාන්තශාලා, රෝහල්, පාසල්, විශාල වෙලඳසැල් සහ කාර්යාල වෙත මානව වර්ගයා ගාල් කරන සහ ඒ වෙනුවෙන් හොඳින් වන්දි ලබා ගන්නා ගව පට්ටි පාලකයන්ට වඩා වැඩි දෙයක් වෘත්තීය සමිති නිලධාරීන් කර නැත. පලමුවන ලෝක සංග්‍රාමයේ ජර්මානු වෘත්තීය සමිතිවල කාර්යභාරය ගැන රෝසා ලක්සම්බර්ග් නිරීක්ෂනය කල පරිදි, ඔවුන් මේ නිසා පමනක් “දස ගුනයකින් විනාශ වීමට සුදුසු ය.”

සෞඛ්‍ය සම්පන්න වීමට සහ දේශපාලන, සමාජීය සහ සදාචාරාත්මක ප්‍රපංච කෙරෙහි සමාජය තුල නේන්ද්‍රගතව පවතින රික්තයට වඩා ක්‍රීඩාව සඳහා ඇමරිකානු ජීවිතයේ වැඩි ඉඩක් හා කාලයක් වෙන් කර තිබේ. දේශපාලන ජීවිතයෙන් හා විවාදයෙන් ස්වාධීන බලවේගයක් ලෙස කම්කරු පන්තිය සංවිධානය වීම මුළුමනින්ම බැහැර කර ඇති රටක සුපර් බෝල් වැනි සිදුවීම් පිලිබඳ උද්යෝගයක් වර්ධනය වීමට වැඩි ඉඩක් ඇත.

පාපන්දු තරඟයේ “පාන් සහ සර්කස්” (ජනතාව සතුටින් හා කීකරුව තබා ගැනීමට භාවිතා කරන විනෝදාස්වාදය හෝ දේශපාලන ප්‍රතිපත්ති) ලක්ෂනය සහ ඒ හා සමාන සිදුවීම් නොසලකා හැරිය යුතු නොවේ. නින්දා අපහාස කිරීම, විදේශීය යුද්ධ සහ කුටුම්භ දෘෂ්ඨිය හරහා මහජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීමේ අවශ්‍යතාවය ඉතා සැබෑ ය. වඩාත් නරක අතට හැරෙන හා නපුරු දේ ලැබෙන තරමට, එවැනි මාධ්‍යයන් වෙත හැරෙන උත්සුකයන් වැඩි වේ.

සමහර විට වඩාත්ම ද්‍රෝහී ලෙස පාලක පන්තිය ජනගහනය රෝගාබාධ හා මරනයට පොලඹවන නිශ්චිත ක්‍රියාමාර්ගයක් ගෙන තිබේ. කොවිඩ්-19 වලින් දිනකට 3,000 කට වැඩි පිරිසක් මිය යති. ජනමාධ්‍ය විශාල වශයෙන් එවැනි සංඛ්‍යා ගැන සඳහන් නොකරයි. ඉරාක හා ඇෆ්ගනිස්ථාන යුද්ධ වලදී මෙන්. මියගිය අයගේ පවුල්වල පෞද්ගලිකත්වයට ගරු කිරීමේ නාමයෙන් මලවුන්ගේ පින්තූර මුලුමනින්ම දක්නට නොලැබේ. සමහර ව්‍යාකූල විද්‍යා ප්‍රබන්ධ නපුරු සිහිනයන්හි මෙන් ඇමරිකානු ජනතාවගෙන් සහ අනෙකුත් ජනයාගෙන් සැලකිය යුතු කොටසක් විචක්ෂනශීලීව බැහැර කරනු ලැබේ. භයානක යථාර්ථය පිලිබඳ තොරතුරු මකා දමා හෝ මහජන දෘෂ්ටියෙන් හා සාකච්ඡාවෙන් බැහැර කර, ඇතැම්විට “සාමාන්‍යකරනය” පවා කර ඇත.

දශක ගනනාවක් පුරා පැවත ආ සංස්කෘතික ක්‍රියාවලීන් මේ සඳහා හේතු වී තිබේ. 1980 ගනන්වල වෝල් වීදිය හා ලෝභකම වන්දනාමාන කිරීම ඉහ මධ්‍යම පංතියේ සැලකිය යුතු කොටස් සැබවින්ම අල්ලා ගත්තේය. “ධනවත් හා ප්‍රසිද්ධ අයගේ ජීවන රටාවන්” සහ ඒ සමඟ ගිය සෑම දෙයක් ගැනම පිලිකුල් කටයුතු වහල් භක්තියකින් යුක්ත විය. ඇමරිකානු ජනමාධ්‍ය වඩ වඩාත් ධනවතුන්, කීර්තිමත් පුද්ගලයන් හා ආකර්ෂනීය තරුනයින් වෙත නැඹුරු විය. සමස්ත කර්මාන්ත වසා දැමීම හා යහපත් වැටුප් සහිත රැකියා අහිමිවීම, ජීවන තත්ත්වය පහත වැටීම, නිවාස නැතිකම සහ දරිද්‍රතාවයට මුහුන දුන් මිලියන සංඛ්‍යාත ජනතාවක් ඇමරිකාවේ “ගනන් නොගන්නා අය” ගනයට වැටී ඇත.

ඔවුන්ගේ මරන හේතුවෙන් ආන්ඩුවේ වැඩසටහන් සහ ආයතනික විශ්‍රාම වැටුප් සැලසුම් සඳහා සැලකිය යුතු ඉතිරියක් සිදු වෙද්දී වසංගතයට ගොදුරු වූ සිය දහස් ගනන් වයස්ගත හා දුප්පත් පිරිමින් සහ කාන්තාවන් වෙනුවෙන් කතිපයාධිකාරීන්, ආයතනික ප්‍රධාන විධායක නිලධාරීන්, ව්‍යාපාරික පුවත්පත් කඳුලු හෙලියයුත්තේ කුමකටද?

අවසානයේදී “අර්ධ-මනුෂ්‍යයන්” අතහැර දැමීම සඳහා ගාල් කඳවුරු ඉදිකිරීම නීත්‍යානුකූල කරන අමානුෂික ක්‍රියාවන්ට - කම්කරු පන්තිය එවැනි කුරිරුකම් කෙරෙහි අතිශයින්ම සංවේදී විය යුතුය.

මෙවැනි සිදුවීම්, අවසාන විග්‍රහයේදී, සිදුවෙමින් පවතින ව්‍යසනයෙන් මිනිසුන් උමතු කරනු ඇතැයි සිතන්නේ නම් බලවතුන්, ඔවුන්වම රවටා ගනී. දශලක්ෂ ගනනක් තවමත් එය නැරඹිය හැකි නමුත් සුපර් බෝල් යනු ඇමරිකානු ජනතාවගේ ප්‍රතිචාරය නොවේ, එය ඔවුන්ගේ අවුල්සහගත බවක් හෝ අපකීර්තිමත් භාවයක් නොවේ. මෙය ඉහල තට්ටුවේ පුද්ගලයන්ට අයති දෙයකි. මිලියන භාගයක් මියගිය අයගේ යථාර්ථය මකා දැමීමට දරන උත්සාහය ඇමරිකාවේ පාලකයින්ගේ පසුගාමීත්වය, සාපරාධීත්වය සහ අන්ධභාවය යන සියලු අංගයන්ගේ කාර්යයයි.

ගොදුරු වූවන්ගේ සොහොන් මත පවත්වන සුපර් බෝල් සාද සහ “තරගවාර අතර සැනකෙලි” ගැන වැඩ කරන ජනගහනය තුල වැඩි වැඩියෙන් ආධිපත්‍යය දරන්නේ කෝපය හා පිලිකුල පිලිබඳ මනෝභාවයකි, මෙම සමාජයේ යම් දෙයක් දරුනු ලෙස වැරදී ඇති බවට වැඩෙන පිලිගැනීමක් ඇත. ඇමරිකානු සමාජය, එහි අත්තිවාරම් දක්වාම බිඳ වැටෙමින් පවතින අතර එය අලුත්වැඩියා කල නොහැකි බව පුළුල් ස්ථරවල හැඟීමයි. ධනවාදය මහා පරිමානයෙන් ප්‍රතික්ෂේප කිරීම සඳහා මාර්ගය හෙලි පෙහෙලි වෙමින් පවතී.

Loading