ජනාධිපති රාජපක්ෂ දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහි දඩයම තීව්‍ර කරයි

සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව යටතේ සිදුවුවා යැයි කියනු ලබන “දේශපාලන පලිගැනීම්” පිලිබඳ සොයා බැලීමට විශ්‍රාමික  විනිසුරු උපාලි අබේරත්නගේ සභාපතිත්වයෙන් පසුගිය වසරේ පත්කරන ලද  ජනාධිපති කොමිසමේ නිර්දේශ මත දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව රුදුරු රාජ්‍ය දඩයමක් මුදාහැරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව තීන්දු කොට ඇත. 

එම කොමිසම් වාර්තාව ආන්ඩුව විසින් මෙතක් ප්‍රසිද්ධ කර නැති නමුත් මේ වන විට එය මාධ්‍යට කාන්දු වී ඇත. පිටු 2000 කින් සමන්විත වෙලුම් තුනකින් යුත් මෙම වාර්තාව මුලුමනින් ම රාජපක්ෂ පාලන තන්ත්‍රයට පක්ෂපාතී එකකි. එය සැකසී ඇත්තේ පදනම් විරහිත කරුනු, කටකතා, හුදු මාධ්‍ය වාර්තා සහ දේශපාලන පලිගැනීම් වලට ලක්වුයේ යයි කියනු ලබන පුද්ගලයන් විසින් ම කොමිසම ඉදිරියේ කරන ලද ප්‍රකාශ  සහ ඔවුන්ගේ ඥාතීන් හෝ රාජපක්ෂ පාලනයට පක්ෂපාති තැනැත්තන්ගේ සාක්ෂි මතය.

දේශපාලන පලිගැනීම්වල නිරතවූයේ යයි සලකනු ලබන විපක්ෂයේ දේශපාලනඥයන්ට, රාජ්‍ය, ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන්ට එරෙහිව නඩු පැවරීම සහ එකී දේශපාලනඥයන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම කොමිසම විසින් නිර්දේශ කර ඇත. එමෙන්ම, එකී දේශපාලන පලිගැනීම්වල වින්දිතයන්ට අධිකරනයෙන් පනවා ඇති දඬුවම් වලින් ඔවුන් නිදහස් කිරීම, ඇතැම් වින්දිතයන් සම්බන්ධයෙන්  තවමත් අධිකරනයේ විභාග වෙමින් පවතින නඩු වලින් ඔවුන් නිදොස් කොට නිදහස් කිරීම සහ පසු ගෙවීම් හා වන්දි  සහිත උසස්වීම්, විදේශ වැඩමුලු සහ ඔවුන්ගේ දරුවන් සඳහා “ජනප්‍රිය” පාසල් හෝ විශ්ව විද්‍යාල ලබාදීම කොමිසමේ නිර්දේශ අතර වෙයි.   

මෙම නිර්දේශ ක්‍රියාවට දැමීම පිලිබඳව විමර්ශනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා උපරිමාධිකරන විනිසුරු ධම්මික සමරකෝන්ගේ සභාපතිත්වයෙන් යුතු තවත් විශේෂ ජනාධිපති විමර්ශන කොමිසමක් ජනාධිපති රාජපක්ෂ විසින් ජනවාරි 31 වෙනිදා පත්  කරනු ලැබීය. 

යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පවත්නා ජාත්‍යන්තර සහ ජාතික විරෝධය හේතුවෙන්, පසුගිය ආන්ඩු සමයේ සීමිත කිහිප දෙනෙකුට නඩු පවරනු ලද නමුත් පසුව ඔවුන් නිදහස් කෙරුනි. මහින්ද රාජපක්ෂ තන්ත්‍රය යටතේ කෙරුනු යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වලට එම තන්ත්‍රයේ ප්‍රධාන ඇමතියෙකු වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද වගකිව යුත්තෙකි.  1983 වර්ගවාදී යුද්ධය මුදාහල එක්සත්  ජාතික පක්ෂයේ වර්තමාන නායක රනිල් වික්‍රමසිංහ සහ එහි මැති ඇමතිවරුද තිස්අවුරුදු යුද්ධය තුල සිදු වූ එම අපරාධ වලට වග කිවයුත්තෝය.

කෙසේ නමුත් මෙ“දේශපාලන පලිගැනීමට” ලක් වුයේයයි කියනු ලබන පුද්ගලයින් සියලු දෙනාම, ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුවට සම්බන්ධ දේශපාලනඥයින්, යුද අපරාධ චෝදනාවන්ට ලක් වූ ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන්,  දූෂන සහ වංචාවන්ට සම්බන්ධ ආන්ඩුවට හිතවත් ඉහල රාජ්‍ය නිලධාරීන් හා රාජපක්ෂ පවුලේ සාමාජිකයන්, ඥාතීන් සහ සමීප හිතවතුන්ය.

ඔවුන්ට එරෙහිව අල්ලස්  හෝ දූෂන විමර්ශන කොමිසන් සභාව, පොලිස් අපරාධ විමර්ශන අංශය, රාජ්‍ය බුද්ධි අංශ විසින් කරන ලද පරීක්ෂන වලින් අනතුරුව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ගොනු කරන ලද චෝදනා යටතේ සිදු කෙරුන අධිකරන ක්‍රියාවලියක් තුලින් ඇතැමුන්ට දඬුවම් නියම කෙරුන අතර සෙසුඅය සම්බන්ධයෙන් අධිකරන කටයුතු සිදුවෙමින් පවතී. 

විධායක බලය තමන් ට රිසිසේ යොදා ගනිමින් ජනාධිපති කොමිසමක් හරහා අධිකරන තීන්දු වෙනස් කිරීම සඳහා ජනාධිපති රාජපක්ෂගේ මැදිහත්වීම නීත්‍යානුකුල නොවන හා අත්තනෝමතික පියවරකි. එය නාමිකව පැවතුන ප්‍රජාතන්ත්‍රීය අයිතීන් පවා අතුගා දැමීමකි. එමගින් ප්‍රදර්ශනය කෙරෙන්නේ, ගැඹුරුවන ලෝක ධනේශ්වර අර්බුදය මධ්‍යයේ, අන් සියලු  රටවල මෙන්ම  ශ්‍රී ලංකාවේ ද වේගවත්වී ඇති ධනේශ්වර පාලනයේ පරිහානිය සහ කුනුවීමයි.  

ජනාධිපති රාජපක්ෂගේ මෙම අත්තනෝමතික පිලිවෙත මත දේශපාලන පලිගැනීම් පිලිබඳ සොයා බැලීමේ කොමිෂමේ නිර්දේශ ක්‍රියාවට දැමුවොත්  එය  දැවැන්ත අධිකරනමය අර්බුදයක් නිර්මානය කරනු ඇතැයි ඇතැම් ශාස්ත්‍රාලිකයන් අනතුරු අඟවයි. පේරාදෙනිය  විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිලිබඳ විශ්‍රාමික මහාචාර්ය එම්.ඕ .ඒ ද සොයිසා පෙබරවාරි 1 දා ඉකොනොමි නෙක්ස්ට්  අන්තර්ජාල පුවත්පතට දුන් සම්මුඛ  සාකච්ඡාවක මෙසේ  සඳහන් කරයි: “අධිකරනයේ ස්වාධීනත්වය සහ යුක්තිය පසිඳලීම සම්බන්ධයෙන් එහි ක්‍රියාකාරිත්වය කෙරෙහි එය බරපතල බලපෑමක් ඇති කරනු ”.

“මහින්ද රාජපක්ෂ පාලනය යටතේ සිදු වූ දුෂන  හා වංචා  විමර්ශනය කිරීම සඳහා” පිහිටුවන ලද “දූෂන විරෝධී කමිටුව” සම්බන්ධයෙන් සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ ජාතික විධායක කමිටුව (ජාවික) වගකිව යුතු යැයි දේශපාලන පලි ගැනීම් පිලිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම පවසයි. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, දෙමල ජාතික සංධානයේ නායක ආර්. සම්බන්ධන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් සහ ජනතා විමුක්ති පෙරමුනේ නායක අනුර කුමාර දිසානායක එම ජාවික ට ඇතුලත් විය. ඔවුන් ඇතුලු එම ආන්ඩුවේ මැති-ඇමතීන් ගනනාවකට, ඊට සහාය දුන් නීතිඥයන් සහ රාජ්‍ය නිලධාරීන් ට ද එරෙහිව,  එකී "දූෂන විරෝධී කමිටුව" සඳහා රාජ්‍ය දේපල හා මුදල්  අවභාවිතා කිරීම සහ සාවද්‍ය නඩු පැවරීම ඇතුලු චෝදනාවන් රැසක්, ජනාධිපති කොමිසම විසින් ඉදිරිපත් කර තිබේ. 

සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව විසින් දූෂන විරෝධී කමිටුව පත් කලේ දූෂිතයන්ට දඬුවම් කිරීමේ උවමනාව ඇතිව නොව, මහජනයාගේ ඇස්වලට වැලිගසා එම දූෂන සහ වංචාවන් සම්බන්ධව මහජනතාව අතර තිබු දැඩි කෝපය සහ අප්‍රසාදය යටපත් කිරීමට ය. 

ජාතික විධායක කමිටුව ව්‍යවස්ථා විරෝධී ය. එය ස්ථාපිත කෙරුනේ එක්සත් ජනපදයේ සහ මෙරට ව්‍යාජ වම්මුන්ගේ සහයෝගය ඇතිව මහින්ද රාජපක්ෂ පාලන තන්ත්‍රය බලයෙන් පහකොට 2015 පිහිටුවා ගැනුනු සිරිසේන- ආන්ඩුවේ  සමාජ පදනම් ශක්තිමත් කර ගැනීමේ එල්ලය ඇතිව මිස ඊනියා යහපාලනයක්  සඳහා නොවේ. කවර පක්ෂයක් නියෝජනය කල ද ධනේශ්වර පාලක පන්තියේ හැම කොටසක් ම, අතිශයින් ම දූෂිතය, යුද අපරාධ සහ මානව හිමිකම්  උල්ලංඝනය කිරීමට වගකිව යුතු ය.  

ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යූහයට පටහැනිව දූෂන විරෝධී කමිටුව සහ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය  පිහිටුවීම මගින් "ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර” ඇතැයි   ජාතික විධායක කමිටුවේ දේශපාලන නියෝජිතයන්ට කොමිසම  චෝදනා කරයි. 

නඩු මාලාවක්ම විභාග කිරීම අත්හිටුවා චුදිතයන් නිදොස් කොට නිදහස් කරන ලෙස  ද එම කොමිසම නිර්දේශ  කර ඇත. පහත නඩු ඒවා අතර වෙයි.

* වර්ෂ 2008-2009 අතර තුර නාවික හමුදා නිලධාරීන් කන්ඩායමක් විසින්  තරුනයන් 11 දෙනෙකු පැහැර  ගැනීම, වදදීම, කප්පම් ගැනීම සහ ඝාතනය කිරීමට කුමන්ත්‍රනය කිරීම සම්බන්ධයෙන් චුදිතයෙකු වන ශ්‍රී  ලංකා නාවික හමුදාවේ හිටපු  නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරනයේ  පවතින නඩුව 

* මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම සහ ඝාතනය කිරීමට කුමන්ත්‍රනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති මිලිටරි  බුද්ධි අංශයේ  ලුතිනන් කර්නල් ශම්මි කුමාරරත්න සහ තවත් 13 දෙනෙකුට එරෙහි නඩුව

* සන්ඩේ ලීඩර් පත්‍රයේ හිටපු කතෘ ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුව, මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යාමේ   සහ වදදීමේ නඩුව

* දෙමල ජාතික සංධානයේ මන්ත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ජෝශප් පරරාජසිහම් ඝාතන නඩුව  

පරරාජසිංහම් ඝාතනයට සම්බන්ධ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් ඇතුලු චුදිතයන් පස්දෙනා දැනටමත් නිදහස් කර තිබේ. දෙමල මහජන විමුක්ති කොටි (ටිඑම්වීපී) පක්ෂයේ නායකයා වන ඔහු ශ්‍රී  ලංකා පොදු පෙරමුනු ආන්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.

ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව යමෙකුගේ ප්‍රජා අයතිවාසිකම් අහිමි කිරීම තුනෙන් දෙකක බහුතර චන්දයකින් පාර්ලිමේන්තුවේ සම්මත විය යුතු ය. පාර්ලිමේන්තුවේ පවතින තුනෙන් දෙකේ බලය උපයෝගී කර ගනිමින් තම දේශපාලන විරුද්ධවාදීන්ගේ ප්‍රජා අයිතිවාසිකම් අහිමි කිරීමට රාජපක්ෂ ආන්ඩුව අපේක්ෂා කරයි. 

1980 දී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින්, හයෙන් පහේ පාර්ලිමේන්තු බලය යොදාගෙන, “බලය අයුතු ලෙස පාවිච්චි කිරීම” යන චෝදනාව යටතේ හිටපු අගමැති සිරිමාවෝ බන්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමෙන් පසු එබඳු ප්‍රජා අයිතිවාසිකම් අහෝසි කිරීමක් සිදුවන්නේ  ප්‍රථම වතාවට ය. ජයවර්ධන 1977 බලයට පත්වූයේ බන්ඩාරනායකගේ  සභාග ආන්ඩුවට විරුද්ධව  කම්කරු පන්තියේ සහ පීඩිත ජනතාවගේ බරපතල සමාජ පිපිරීම මධ්‍යයේ  ඇගේ ආන්ඩුව බිඳවැටුනු කොන්දේසි තුලය. 

1978 සම්මත කර ගැනුනු විධායක ජනාධිපති ව්‍යවස්ථාව යටතේ ජයවර්ධන විසින් ක්‍රියාවට දැමුනු එම ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ මර්දනකාරී ආඥාදායක පියවරවල මූලික එල්ලය වූයේ රැඩිකලීකරනය වෙමින් සිටි කම්කරු පන්තියේ අරගල මර්දනය කිරීමය. කෙසේ නමුත් පාර්ලිමේන්තුවට ඉහලින් සිට ගත්  බොනපාට් වර්ගයේ පාලන තන්ත්‍රයක් පවත්වාගෙන යාමට ඔහු සමත් වුව ද කම්කරු පන්තියේ බරපතල ප්‍රතිරෝධය සහ පන්ති අරගලයේ වර්ධනය ඉදිරියේ ඔහුගේ ආඥාදායක සැලසුම් අඩාල  කෙරුනි.  

එහෙත් ශ්‍රී ලංකාවේ ධනේශ්වර පන්ති පාලනයේ අර්බුදය අද වඩාත් ගැඹුරු වී ඇත. ගෝලීය පන්ති අරගලයේ කොටසක් ලෙස පුලුල් ව වැඩෙන සමාජ පිපිරීම් වලට රාජපක්ෂ පාලන තන්ත්‍රය මුහුන දී සිටී. එහෙයින්  ජනාධිපති රාජපක්ෂගේ ව්‍යවස්ථා විරෝධී හා අත්තනෝමතික පියවරවල එල්ලය වන්නේ  තම දේශපාලන විරුද්ධවාදීන් සහ පන්ති අරගල තලාගෙන මිලිටරිය මත පාදක වූ ජනාධිපති  ආඥාදායක පාලනයකට මාරුවීමය. 

එමෙන් ම, රාජපක්ෂගේ මෙම ආඥාදායක නැඹුරුව වනාහි ගෝලීය පන්ති අරගලයට ප්‍රතිචාර වශයෙන් ලෝක පරිමානව අධිරාජ්‍යවාදී සහ ධනේශ්වර පාලක පන්තීන්  ෆැසිස්ට් සහ මිලිටරි ආඥාදායක පාලන තන්ත්‍රයන් කරා මාරුවීමට දැරෙන ප්‍රයත්නයේ කොටසකි.

රාජ්‍ය පරිපාලනය මිලිටරීකරනය තුලින් සහ වරාය කම්කරුවන්ට එරෙහිව අත්‍යවශ්‍ය සේවා නියෝග පැනවීම තුලින්  ආඥාදායක පාලනයක් සඳහා ජනාධිපති රාජපක්ෂගේ හැරීම දැනටමත් පෙන්නුම් කර තිබේ. විසිවන ව්‍යවස්ථා සංශෝධනය මගින් අසීමිත බලතල ගොනුකර ගෙන සිටින ජනාධිපති රාජපක්ෂ මෙම වසර තුල කෙටුම්පත් කර සම්මත කිරීමට නියමිත නව ව්‍යවස්ථාව හරහා එම බලතල තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කරයි.

රාජපක්ෂ ආන්ඩුවේ ආඥාදායක සැලසුම් පරාජය කල හැක්කේ ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය මත පාදක වූ හා පීඩිත මහජනතාවන් හා තරුනයන් තමන් වටා රැලිකරගත්, කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් මගින්, රාජපක්ෂ ආන්ඩුව අහෝසි කොට කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමට සටන් වැදීමෙන් පමනි.

Loading