බංග්ලාදේශ ආන්ඩුව රෝහින්ගියා සරනාගතයින් බලහත්කාරයෙන් ඉවත් කිරීම අරඹයි

[පහත පල  ‍කෙරෙන්නේ 2021 පෙබරවාරි 3 වැනි දින Bangladesh government begins to forcibly remove Rohingya refugees  යන මැයෙන් පල කෙරුනු ලිපියේ සිංහල පරිවර්තනයයි.]

බංග්ලාදේශ ආන්ඩුව ප්‍රධාන භූමියේ සිට කිලෝමීටර් 34 ක් දුරින් හුදෙකලා හා අනාරක්ෂිත භාසාන් චාර් දූපතට රෝහින්ගියා සරනාගතයින් නැව්ගත කිරීම අරඹා තිබේ. ඒ අතර, චීනයේ මැදිහත්වීමක ප්‍රතිඵලයක් ලෙස ඩකා ආන්ඩුව නැවතත් රෝහින්ගියා වැසියන් තන්ත්‍රයේ ජනඝාතක ප්‍රචන්ඩත්වයෙන් බේරී පලා ආ මියන්මාරයට ම ආපසු යැවීමට උත්සාහ කරයි.

බංග්ලාදේශයේ රෝහින්ගියා සරනාගතයින් මිලියනයකට අධික සංඛ්‍යාවක් වාසය කරති. ඔවුන් රටට බරක් ලෙස සලකන අගමැති ෂීක් හසීනා ආන්ඩුව, ඔවුන් “ආරක්ෂාවට” තර්ජනයක් ලෙස හංවඩු ගසා ඇත. ඔවුන්ට අමානුෂික ලෙස සලකා ඇති අතර, කාලකන්නි තත්වයන් යටතේ ජීවත් වීමට බලකෙරී ඇත.

බංග්ලාදේශයේ කුටුපලොන්ග් සරනාගත කඳවුරේ තවත් සිය ගනනක් රෝහින්ගියා සරනාගතයින් සමඟ මැද සිටින හමීඩා (22) වයස අවුරුදු 1 ක් වන ඇගේ පුත් මොහොමඩ් සමග ආහාර ආධාර ලබා ගැනීමට බලා සිටී. © UNHCR / ඇන්ඩෲ මැක්කොනෙල්

ඔවුහු දැනට, ඩකා සිට කිලෝමීටර් 350 ක් පමන ඈතින් පිහිටි කොක්ස් බසාර්හි, උකියා සහ ටෙක්නාෆ් උප දිස්ත්‍රික්කවල සරනාගත කඳවුරු 34 ක රඳවනු ලැබ සිටිති. ලෝකයේ වඩාත්ම ජනාකීර්න වන ප්‍රමානවත් තරම් ජල සැපයුමක්, සනීපාරක්ෂක හා මලාපවහන පහසුකම් නොමැති මෙම කඳවුරුවල සරනාගතයින්ට විවිධ රෝග පැතිරීමේ තර්ජනය නිරන්තරයෙන් පවතී.

මෙඝ්නා ගඟ බෙංගාල බොක්කට වැටෙන තැනේ රොන්මඩ එකතු වීමෙන් ගොඩ නැගී ඇති අස්ථායී සුලි සුලං සහිත දූපතක් වන භාසාන් චාර් වෙත සරනාගතයින් 100,000 ක් පමන ගෙන යාමට ආන්ඩුව සැලසුම් කරයි. 2006 ට පෙර මෙම මඩ දූපත නොතිබුනි.

දේශීය හා ජාත්‍යන්තර විවේචන හේතුවෙන් රෝහින්ගියා වැසියන් භාසාන් චාර් වෙත ගෙනයාමට කලින් දරන ලද උත්සාහය නතර කිරීමට හසීනා ආන්ඩුවට සිදුවිය. සරනාගතයින් 300 ක් පමන බෝට්ටුවකින් මැලේසියාවට පැන යාමට උත්සාහ කිරීමෙන් පසු පසුගිය මැයි මාසයේදී දිවයිනට යවා ඇත.

එම විවේචන ප්‍රතික්ෂේප කල ඩකා ආන්ඩුව, දැන් දිවයින ප්‍රමානවත් තරම් ආරක්ෂිත බව අවධාරනය කරමින් දෙසැම්බර් මස මුලදී අලුතෙන් පදිංචි කිරීම ආරම්භ කලේය. මානව හිමිකම් ක්‍රියාකාරීන් මාධ්‍ය වෙත කියා සිටියේ, බලධාරීන් මුදල් දී පොලඹවා ගැනීම් සහ බලහත්කාරය යන දෙකම යොදාගෙන ඇති බවයි.

දෙසැම්බර් මාසයේදී පුද්ගලයන් 3,446 ක කන්ඩායම් දෙකක් ද ජනවාරි මාසයේ 3,254 ක් කන්ඩායම් දෙකක් ද වශයෙන් මේ වන විට සරනාගතයින් 6,700 ක් පමන එහි යවා ඇත. චැටෝග්‍රාම් [චිතගොන්ග්] වරායෙන් සරනාගතයින් 1,466 දෙනෙකු නැව් හතරකින් සිව්වන කන්ඩායම ලෙස ජනවාරි 30 වන දින දිවයිනට පිටත්කර යැවිනි.

මේ අතර, සරනාගතයින් පෙරලා මියන්මාරයට යැවීම සඳහා චීනය, ජනවාරි 19 බංග්ලාදේශය සහ මියන්මාරය සමඟ ත්‍රෛපාර්ශ්වීය ගිවිසුමක් ඇති කිරීමට පියවර ගත්තේය. මියන්මාරය සරනාගතයින් 42,000 ක් පමන පිලිගැනීමට “එකඟ” වූ නමුත් එම තාවකාලික ගිවිසුම සාක්ෂාත් වන බවට කිසිදු සහතිකයක් නොතිබුනි.

නැවත යැවීමේ උත්සාහයන් දෙකක්, 2018 නොවැම්බර් සහ 2019 අගෝස්තු මාසවලදී මීට පෙර අසාර්ථක විය. මියන්මාර මිලිටරි හා බෞද්ධ අධිපතිවාදීන්ගේ තවත් කුරිරුකම්වලට බියෙන් සරනාගතයෝ යෑම ප්‍රතික්ෂේප කලහ

2017 දී රාඛයින් ප්‍රාන්තයේ බෞද්ධ මැරයන් සමඟ එක්ව දියත් කල මියන්මාර ආන්ඩුවේ මිලිටරි ප්‍රචන්ඩත්වය හේතුවෙන්, 750,000 ක් පමන වූ රොහින්ග්‍යා වැසියන්ට දේශ සීමාව හරහා බංග්ලාදේශයට පලා යාමට බල කෙරුනි. මීට පෙර හිංසා පීඩා නිසා පලා ගිය සරනාගතයින් 300,000 ක් පමන සමඟ එකතු වීමට ඔවුන්ට සිදුවිය.

චීනයේ මැදිහත්වීම වැදගත් ය. සරනාගතයින් ආපසු භාර ගැනීම මියන්මාරය විසින් දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීම මගින් බංග්ලාදේශය සමඟ ආතතීන් උත්සන්න කෙරිනි. ගිවිසුමක් පිලිගැනීම සඳහා මියන්මාර බලධාරීන් අවනත කර ගනිමින් චීනය ඩකා කෙරෙහි තම බලපෑම ශක්තිමත් කිරීම සඳහා මෙම ප්‍රශ්නය යොදා ගැනීමට උත්සාහ කල බව පෙනේ.

2019 මුදල් වර්ෂය තුල බංග්ලාදේශයේ ඇමරිකානු ඩොලර් මිලියන 1,159 ක සෘජු විදේශ ආයෝජන, නැතහොත් බංග්ලාදේශයේ මුලු ආයෝජනවලින් සියයට 30 සඳහා මූලාශ්‍රය වූයේ චීනයයි.

ජනවාරි 19 දින රැස්වීමේදී බංග්ලාදේශ විදේශ ලේකම් මසුඩ් බින් මෝමන් අවධාරනය කලේ, සරනාගතයින් නැවත යැවීම මේ වසරේ මුල් කාර්තුවේ සිට ආරම්භ කල යුතු බවයි. නමුත් මියන්මාරයේ ජාත්‍යන්තර සහයෝගීතා නියෝජ්‍ය අමාත්‍ය යූ හවු ඩෝ සුආන් පැවසුවේ එය ආරම්භ කල හැක්කේ මේ වසරේ දෙවන කාර්තුවේදී පමනක් බවයි.

මියන්මාර හමුදාව පෙබරවාරි 1 වන දින කුමන්ත්‍රනයකින් රටේ පාලනය අත්පත් කර ගත් හෙයින්, බංග්ලාදේශ ආන්ඩුවේ බලාපොරොත්තු සුන්වීම පිලිබිඹු කරමින්, ගිවිසුම ක්‍රියාත්මක කිරීම පිලිබඳව රටේ මාධ්‍ය නව සැක සංකා මතු කර තිබේ.

බංග්ලාදේශ ව්‍යවසාය ආයතනයේ (Enterprise Institute) සභාපති එම්. හුමායුන් කබීර් පෙබරවාරි 2 දා ඩේලි ස්ටාර් වෙත මෙසේ පැවසීය: “හමුදා ආන්ඩුව එහි පරිපාලන හා අභ්‍යන්තර ප්‍රශ්නවලට වැඩි වශයෙන් මැදිහත් වනු ඇති බැවින් රෝහින්ගියාවරු නැවත යැවීමේ ක්‍රියාවලිය මන්දගාමී වනු ඇතැයි මා සිතනවා.” යනුවෙනි.

බංග්ලාදේශ ආන්ඩුව විසින් රෝහින්ගියා වැසියන්ට අමානුෂික ලෙස සැලකීම පිලිබඳ කාරනය, පසුගිය සැප්තැම්බරයේ භාසාන් චාර් හි සරනාගතයින් 300 ක් උපවාසයේ යෙදී සිටීමෙන් හෙලිදරව් කෙරුනි. දිවයිනේ පවතින දරුනු තත්වයන් හේතුවෙන් කොක්ස් බසාර් හි තම පවුල් සමඟ එක්වීමට ඉඩ දෙන ලෙස ඔවූහු ඉල්ලා සිටියහ.

සරනාගතයින්ට පහර දුන් බවට නාවික නිලධාරීන්ට චෝදනා කරමින් පසුගිය ඔක්තෝම්බර් මාසයේදී හියුමන් රයිට්ස් වොච් හි ආසියානු අධ්‍යක්ෂ බ්‍රැඩ් ඇඩම්ස්, “තමන් [රෝහින්ගියාවරුන්] රඳවා තබා ගැනීමට විරෝධය පල කරමින් සහ කොක්ස් බසාර්හි තම පවුල් වෙත ආපසු යවන ලෙස ඉල්ලා සිටි ලමයින් ඇතුලු රෝහින්ගියා සරනාගතයින්ට පහර දුන්.” බව ඔහු පැවසීය.

එක් සරනාගතයෙක් වාර්තා කලේ, “නාවික හමුදා භටයෝ අපට පහර දීමට ගස් අතු සහ කලු රබර් පොලු භාවිතා කලා.” යනුවෙනි.

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වෙලඳාම මැඩපැවැත්වීමට යයි පවසමින්, 2017 අගෝස්තු සිට 2020 ජූලි දක්වා කාලය තුල නීති විරෝධී ලෙස රෝහින්ග්‍යා සරනාගතයින් 100 කට වැඩි පිරිසක් ඝාතනය කල බවට එරට මානව හිමිකම් සංවිධානය වන ඔඩිකාර් චෝදනා කලේය.

පසුගිය අපේ්‍රල් මාසයේ දී “සම්පූර්න අගුලු දැමීමක්”කඳවුරුවල පැනවීමට ආන්ඩුව කොවිඩ්-19 වසංගතය දඩමීමා කර ගත්තේය. මර්දනය කිරීම්, සරනාගතයින් විසින් පවත්වාගෙන යනු ලබන වෙලඳසැල් වසා දැමීම, අන්තර්ජාල සේවා අවහිර කිරීම සහ ජංගම දුරකථන රාජසන්තක කිරීම සිදු කෙරිනි.

යථාර්ථය නම් සරනාගතයින් කොවිඩ්-19 වසංගතයට ගොදුරු වීමට නිරාවරනය කෙරුනු බවයි. බංග්ලාදේශයේ මියගිය සංඛ්‍යාව 700 ක් පමන වන අතර රෝගීන් 50,000 ඉක්මවා ඇති විට, කොක්ස් බසාර් හි පලමු කොරෝනා වයිරස් මරනය මැයි අග දී වාර්තා විය. ආන්ඩුවේ අඩු පරීක්ෂන අනුපාතයන් නිසා, කඳවුරුවල සැබෑ තත්වය පැහැදිලි නැත.

ලෝක සෞඛ්‍ය සංවිධානය දෙසැම්බර් මස මුලදී වාර්තා කලේ, සරනාගතයින් අතර: “පරීක්ෂා කරන ලද සාම්පල 19,651 න් කොවිඩ්-19 රෝගීන් 363 ක් වාර්තා වී තිබේ. මුලු මරන සංඛ්‍යාව 10 කි. ” යනුවෙනි.

දැන් වසංගතය රට පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. අඟහරුවාදා වන විට, මුලු මරන සංඛ්‍යාව 8,149 ක් හා රෝගීන් 536,107 ක් වාර්තා විය. නමුත් මෙම සංඛ්‍යාවන් දෙකම පරීක්ෂන අනුපාතයන්වල අඩු කම නිසා පහත් අගයන් ලෙස පවතී.

පසුගිය අගෝස්තු මාසයේදී යුනිසෙෆ් සංවිධානය පැවසුවේ, වසංගතය හේතුවෙන් රෝහින්ගියා ලමුන් 460,000 කට වැඩි පිරිසකගේ ජීවිතවලට බාධා සිදුවූ අතර ඔවුන්ගේ කඳවුරු වල අධ්‍යාපන පහසුකම් මාර්තු මාසයේ සිට නතර කොට ඇති බවයි. ආන්ඩුව විකල්ප අධ්‍යාපන ක්‍රමවේදයන් සපයා නැත.

ඇත්ත වශයෙන්ම, සරනාගතයින් සම්බන්ධයෙන් බංග්ලාදේශ ආන්ඩුවේ දැඩි ආකල්පය පිලිබිඹු කරන්නේ, මියන්මාර තන්ත්‍රයේ ආකල්පයමය. “අවුරුදු අටක් තිස්සේ ඔවුන්ගේ නිවාස, ඉඩම් සහ ජීවනෝපායන් වලින් කපා දමා” “විවෘත සිරගෙවල් වැනි අශිෂ්ට හා අපයෝජන තත්වයන් යටතේ” රෝහින්ගියා වැසියන් 130,000 ක් පමන කඳවුරු වල රඳවා තැබීම ගැන ඔක්තෝම්බර් මාසයේදී හියුමන් රයිට්ස් වොච් මියන්මාරය විවේචනය කලේය.

Loading