ආන්ඩුවේ මහජන ආරක්ෂක කමිටුවලට සහ අනිවාර්ය යුද පුහුනුවට එරෙහිවෙනු!

සිය පොලිස්-මිලිටරි පාලන විධික්‍රම ශක්තිමත් කිරීමේ ප්‍රතිගාමී අරමුනෙන් ආන්ඩුව විසින් ක්‍රියාවට දමා ඇති මූලික ව්‍යාපෘති දෙකක ඉදිරි පියවර පිලිබඳව මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර පෙබරවාරි 07 වනදා මහරගම යොවුන් රඟහලේ පැවති උත්සවයකදී කරුනු ඉදිරිපත් කලේය.

ඉන් පලමුවැන්න වනුයේ, උක්ත උත්සවය සඳහාද ප්‍රස්තුතය වූ, “විනයගරුක සමාජයක් බිහිකිරීම සඳහා” පොලීසියට සහයවීමට ග්‍රාමීය මට්ටමින් මහජන ආරක්ෂක කමිටු ක්‍රියාත්මක කිරීමයි. වීරසේකර මෙම කමිටු හඳුන්වා දුන්නේ “ගමේ සිටින පාතාල ක්‍රියාකාරීන්, ස්ත්‍රී දූෂකයන්, කප්පම්කාරයින්, මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් වැනි අපරාධකාරී කන්ඩායම් කොටුකර ගැනීමට පොලීසියට අවශ්‍ය තොරතුරු ලබාදීම සඳහා ගම්වැසි කාන්තාවන්, තරුනයින් සහ විශ්‍රාමික රජයේ සේවකයන් සහ හමුදා නිලධාරීන්ගෙන් සමන්විත ඒකකයක්” ලෙසයි. කොලඹ දිස්තික්කය සඳසා මෙවැනි කමිටු 666ක් දැනටමත් පිහිටුවා ඇති බව ඔහු පැවසුවේය.

දෙවැන්න වනුයේ, වයස අවුරුදු 18ට වැඩි තරුනයන්ට අනිවාර්ය මිලිටරි පුහුනුව ලබා දීම සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමයි. මුල්වරට මෙවැනි වැඩසටහනක් පිලිබඳ සිය අදහස ජනවාරි මස මුලදී ප්‍රකාශ කල වීරසේකර තම පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස එය නුදුරේම පාර්ලිමේන්තුවට යොමු කෙරෙනු ඇති බව ඉහත උත්සවයේදී සනාථ කලේය. රාජපක්ෂ ආන්ඩුවට පාර්ලිමේන්තුව තුල බහුතර බලයක් ඇති නිසා එම යෝජනාව සම්මත වීම ගැන අඩමානයක් නැත. වීරසේකර යලිත් වරක් පවසන පරිදි, මෙහිද අරමුන “විනයගත අනාගත පරපුරක් බිහිකිරීමයි”.

මෙම ව්‍යාපෘති දෙකටම “විනයගරුක සමාජයක් බිහිකිරීම” සමග කවර හෝ සම්බන්ධයක් නැත. මහජන ආරක්ෂක කමිටු යනු අපරාධ මැඩීමේ නාමයෙන්, ආන්ඩුවේ විරුද්ධවාදීන්ට, විශේෂයෙන්ම ආන්ඩුවේ ප්‍රහාරයන් හමුවේ අරගලයට ඇදෙමින් සිටින කම්කරු-පීඩිත මහජනතාවට එරෙහිව පුලුල් පරිමානයෙන් ඔත්තු බැලීම සඳහා වර්ධනය කෙරෙන සිවිල් බලකායකි.

අනිවාර්ය හමුදා පුහුනුවෙහි එල්ලය වනුයේ ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහිව සටන්කාමී වන තරුනයින්, විනයගත කිරීමේ නාමයෙන් මිලිටරියේ අධිකාරියට යටත්කර ගැනීම සහ ඔවුන් අතරින්ම කන්ඩායමක් කම්කරුවන්ට සහ තරුනයන්ට එරෙහි මුගුරක් ලෙස සංවිධානය කර ගැනීම බව, සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ශිෂ්‍ය සහ තරුන අංශය වන සමාජ සමනතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසපාතශි) තරුනයන්,කම්කරුවන් සහය ඇතුලු අවශේෂ පීඩිතයන් වෙත අවධාරනය කරයි.

වීරසේකර පවසන පරිදිම මහජන ආරක්ෂක කමිටු ක්‍රියාත්මක කෙරී ඇත්තේ, “ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව”යි. තරුනයන්ට අනිවාර්ය යුද පුහුනුව ලබාදීම ද වීරසේකරගේ හුදු පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් නොවන අතර රාජපක්ෂ ප්‍රතිවිප්ලවවාදී වැඩපිලිවෙලට හොඳින්ම ගැලපෙන්නකි.

රාජපක්ෂ පසුගිය දෙසැම්බරයේ දී මහජන ආරක්ෂක අමාත්‍යාංශයක් නිර්මානය කර එය වීරසේකරට භාර දෙමින්, මිලිටරිය මත පාදක ජනාධිපති ආඥාදායකත්වයක් ගොඩනැගීමේ වැඩ කටයුතු වල නිශ්චිත වැඩ කොටසක් ඔහුට පවරා ඇත. පොලිසිය “ප්‍රතිසංවිධානය කිරීම”, නැතහොත් කම්කරු පීඩිත මහජනතාව මතට රුදුරු ප්‍රහාරයන් දිගේලි කිරීම සඳහා එය වඩාත් සංවිධානාත්මක ලෙස පුහුනු කරවීම ඒ අතර ප්‍රමුඛ රජකාරියකි.

ඉහත උත්සවයේදී වීරසේකර පැවසුවේ පොලීසිය “ජනාධිපතිතුමාගේ අරමුනු”හොඳින් ඉටුකරමින් සිටින අතර ජනතාවගේ සහයෝගය තුලින් වඩාත් ශක්තිමත් ලෙස වැඩකිරීමට ඔවුන්ට හැකිවනු ඇති බවයි. තම ගම් ප්‍රදේශවල “සිදුවන සහ සිදුවීමට යන අපරාධ සම්බන්ධයෙන්” පොලිසියට තොරතුරු සැපයීම මහජන ආරක්ෂක කමිටු වලට පැවරෙන ප්‍රධාන රාජකාරිය බව ඔහු පැවසුවේය. වීරසේකර සෘජුව නොපවසන නමුත් මෙම “අපරාධ” යටතේ ආන්ඩුවට ඉහලින්ම තබා ඇත්තේ තම ප්‍රහාරවලට විරුද්ධව කම්කරුවන්, තරුනයන් සහ අනෙකුත් පීඩිතයන් අතර සංවිධානය වන අරගල බවට සැක නැත.

අනෙකුත් ගෝලීය ධනපති නායකයන් හා සමගාමීව රාජපක්ෂ ආන්ඩුව, කොවිඩ්-19 වසංගතයෙන් වඩාත් උග්‍ර කෙරී ඇති ලෝක ධනේශ්වර අර්බුදයේ බර කම්කරු-පීඩිත මහජනතාව මත පටවමින් සිටියි. ආන්ඩුවේ ද, ආන්ඩුවේ අනුමැතිය සහිතව පුද්ගලික අංශයේ ද කම්කරුවන් දහස් ගනනකගේ පඩි කප්පාදු කෙරෙමින් රැකියා වලින් දොට්ට දැමුනේ, සූරාකෑම දැවැන්ත ලෙස තියුනු කරමිනි.

ගෝලීයව දැවැන්ත පරිමානයකින් ජීවිත බිලිගනිමින් සිටින වසංගතය ලංකාව තුල ව්‍යසනයක් නිර්මානය කරමින් පවතින නමුත්, තම ජීවිත බේරා ගැනීම සඳහා වන මහජනතාවගේ දැවෙන අවශ්‍යතාවය ආන්ඩුව සාපරාධී ලෙස නොතකා හැර තිබේ. ව්‍යසනකාරී වසංගතයක් හමුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට සුවිසල් පරිමානයෙන් මුදල් යෙදවිය යුතුව පැවතියදී ආන්ඩුව මෙවර අයවැයෙන් සෞඛ්‍යය සඳහා වියදම්, පසුගිය වසරට සාපේක්ෂව, රුපියල් බිලියන 28 කින් කපා හැරියේය.

තවද මහජන විරෝධය නොතකා වසංගත අවදානම තව තවත් ඉහල නංවමින් අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන පවත්වාගෙන යාම සහ පාසැල් විවෘත කිරීම ආන්ඩුවේ පිලිවෙතයි. මහ ධනපතියන්ට සුවිසල් බදු සහන ලබාදෙන අතරේ පාරිභෝගික භාන්ඩ මත දැවැන්ත බදු පැනවීමෙන් ආර්ථික පරිහානියෙන් මිරිකී සිටින මහජනතාවගේ ජීවන වියදම දැරිය නොහැකි මට්ටම් කරා නැගී ඇත.

මේ සියලු අංශයන් හි සමාජ අතෘප්තිය කම්කරු පන්තියේ සහ පීඩිතයන්ගේ විවිධ අරගල ආකාරයෙන් පුපුරා යන්නට පටන්ගෙන තිබේ. වරාය කම්කරුවන්, වතු කම්කරුවන්, සෞඛ්‍ය සේවකයන්, ඇඟලුම් සහ විශ්වවිද්‍යාල සහ පාසල් ප්‍රමුඛ ක්ෂේත්‍ර ගනනාවක දැනටමත් අරගල ආරම්භ වී ඇත.

මෙම අරගල මෙන්ම ඒවායේදී ශිෂ්‍යයන් සහ තරුන කම්කරුවන් විසින් ප්‍රදර්ශනය කරන සටන්කාමීත්වය පිලිබඳව ආන්ඩුව අතිශයින්ම සැලකිලිමත්‍ ය. තරුනයන් එලෙස රැඩිකලීකරනය වීම වලක්වාගැනීමේ පූර්වභංග ප්‍රතිවිප්ලවවාදී සැලසුමක කොටසක් ලෙස අනිවාර්ය යුද පුහුනුව පවතියි.

යෝජිත හමුදා පුහුනුව හමුදා කඳවුරු තුලම සිදුකල යුතු බව අවධාරනය කරන වීරසේකර පවසන්නේ එම පුහුනුවේදී “රටේ නීතිය මොකක්ද, නීතිය කැඩුවොත් ලැබෙන දඩුවම් මොනවද” යනාදී දේ තරුනයන්ට පැහැදිලි කර ඔවුන්ව “හික්මවා ගත යුතු” බවයි. මේ වනාහි, තරුනයන් ධනපති රාජ්‍යයේ නීති රෙගුලාසිවලට දැඩිව අනුගත කරගත යුතුබව වෙනත් වචන වලින් පැවසීමකි.

2012 වසරේ සිට විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබන සිසුන් සඳහා හමුදා කඳවුරු තුල “නායකත්ව පුහුනුවක්” ලබාදීමට එවක මහින්ද රාජපක්ෂ ආන්ඩුව යටතේ ගනු ලැබූ ආරම්භකත්වයට එල්ල වූ විවේචන නොතකා එය ක්‍රියාත්මක කලා සේම, අනිවාර්ය යුද සේවයට එල්ල වෙන විවේචනයන්ද නොතකා ඉදිරියට යන බව වීරසේකර පැවසුවේ ආන්ඩුවේ ආඥාදායක ස්වරූපය විදහා දක්වමිනි.

'විනයගත සහ නීතිගරුක සමාජයක්' ගොඩ නැංවීම ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරන උද්ඝෝෂන ව්‍යාපාරයේ ප්‍රධාන තේමාවක් විය. එහිදී රාජ්‍ය පරිපාලනයේ පෙර පැවති සීමිත ප්‍රජාතන්ත්‍රවාදී විධික්‍රම ආඥාදායක පාලන ක්‍රමවේදයන් මගින් විස්ථාපනය කිරීම රාජපක්ෂගේ එල්ලයයි. ඒ ඔස්සේ ආන්ඩුව පියවර කිහිපයක්ම ඉදිරියට තබා ඇත.

ආමාත්‍යංශ සහ දෙපාර්තමේන්තු ඇතුලු රාජ්‍ය ආයතන වල ප්‍රධානීන් ලෙස විශ්‍රාමික සහ සේවයේ යෙදී සිටින හමුදා නිලධාරීන් පත්කිරීම එක දිගටම කෙරීගෙන යන අතර කොවිඩ්-19 පාලනය පිලිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී ලෙස හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පත්කීරිම එහි ඉහලම ප්‍රකාශනයකි. එමෙන්ම පසුගිය ජූනි මාසයේ දී ආරක්ෂක ලේකම් කමල් ගුනරත්නගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවමින් සිවිල් පරිපාලන නිලධාරීන් එහි අධීක්ෂනය යටතට පත් කෙරුනි.

පසුගිය වසර ආරම්භයේ දී, දුගී පවුල්වල තරුනයන්ට රැකියා දෙන මුවාවෙන්, හමුදාව යටතේ ක්‍රියාත්මක වන “බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකායක්” පිහිටු වීමට රාජපක්ෂ පියවර ගත්තේ, ඔහු ගොඩනගන ආඥාදායක පාලන ව්‍යූහය තුල, මහජනතාව අත‌ර මුල් බැසගත් ඔත්තු බැලීමේ යාන්ත්‍රනයක් වර්ධනය කර ගැනීමේ අරමුනෙනි. මහජන ආරක්ෂක කමිටු ඒ වැඩකටයුතු තවත් පුලුල් කිරීමකි.

ධනපති පන්තියේ වෙනත් කිසිදු කන්ඩායමක් මෙම විසඝෝර පිලිවෙත් සම්බන්ධයෙන් සප්‍රතිපත්තික විරෝධයක් දක්වා නැති අතර ඔවුන්ට මේ පිලිබඳව උපායාත්මක මතභේදයන්ට වැඩියමක් නොමැත. විශාල පිරිසකට හමුදා පුහුනුවක් ලබාදීම ප්‍රායෝගික නොවන බැවින් “තෝරා ගත් පිරිසකට” පමනක් විධිමත් පුහුනුවක් ලබා දිය යුතු බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී සහ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

ධනපති ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) තරුන සංවිධානය වන සමාජවාදී තරුන සංගමය, වීරසේකර තරුනයන්ට හමුදා පුහුනුව ලබාදීම ගැන ප්‍රකාශ කල මුල් අවස්ථාවේ ඒ පිලිබඳ අදහස් දැක්වීමට මාධ්‍ය හමුවක් කැඳවීය. එහිදී එම සංවිධානයේ ජාතික සංවිධායක එරංග ගුනසේකර “මිලිටරියක් තිබුනා කියා ඒක හැමදේටම පාවිච්චි කිරීමට බැරි” බව කියමින් එම තීන්දුවේ ඇති සැබෑ මර්දනකාරී ස්වභාවය වසන් කලේය.

ජවිපෙ හි මෙම වසන් කිරීම අහම්බයක් නොවන්නේ මිලිටරිය මුල් කරගත් පාලන විධික්‍රම සම්බන්ධයෙන් ඔවුන්ට සමීප සබැඳියාවක් පවතින නිසාය. දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානයට එරෙහිව යුද්ධය යලි ආරම්භ කිරීමේ පොරොන්දුව පිට 2005 ජනාධිපතිවරනයේදී මහින්ද රාජපක්ෂ සමග සන්ධාන ගතවූ ජවිපෙ, රාජපක්ෂ ජනාධිපති වීමෙන් පසුව ගෙන ගිය ලේවැකි යුද්ධයේ ප්‍රමුඛ කසකාරයෙකු විය. ජවිපෙ සිය ඊනියා රතු හමුදාව මිලිටරියට යුද අගල් කපා දීමට මෙහෙය වූ අතර මිලිටරි බුද්ධි අංශය සමග සමීපව වැඩ කරමින් සිංහල ජනයා අතර යුද්ධයට විරුද්ධවූවන් දඩයම් කිරීමට තොරතුරු සම්පාදනය කලේ ය.

තරුනයන් අතර, විශේෂයෙන්ම විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් අතර වාම වෙස්ගෙන හැසිරෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂ‌යට (පෙසප) ද මිලිටරිය සමග ඇත්තේ අන්ත ප්‍රතිගාමී සම්බන්ධයකි. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය ගසා කමින් රාජ්‍ය මර්දනය ගැඹුරු කිරීමට සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව ගත් පියවර තුල, විශ්ව විද්‍යාල තුලට මිලිටරිය කඩාවැදී කල 'සෝදිසි' වලදී, පෙසප යෙන් මෙහෙය වන පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ නායකයෝ මිලිටරිය සමග ඒකාබද්ධව වැඩ කලහ.

ධනපති පන්තියේ සියලු කල්ලි කන්ඩායම් සහ ඔවුන්ගේ ව්‍යාජ-වාම සගයන්ට ප්‍රතිකූලව සසප සහ සසජාතශි කම්කරුවන්ට සහ තරුනයන්ට සෘජුවම අවධාරනය කරන්නේ, ධනපති රාජ්‍යයේ සහ ධනපති ක්‍රමයේ ආරක්ෂකයන් බවට ඔබව පත් පත් කිරීමට සූදානම් කෙරෙන මහජන ආරක්ෂක කමිටු සහ අනිවාර්ය මිලිටරි පුහුනුව එකහෙලා ප්‍රතික්ෂේප කලයුතු බවයි.

එම ප්‍රතිගාමී එල්ලයන් පරාජය කිරීම, ධනේශ්වර රාජ්‍යය සහ ධනපති ක්‍රමය පෙරලා දමා ජාත්‍යන්තර සමාජවාදය සාක්ෂාත් කිරීමේ අරගලය සමග සෘජුවම බැඳී පවතියි. ඒ සඳහා නායකත්වය දෙන සසප සහ සසජාතශි ව්‍යාපාරය ගොඩ නැගීමට පෙරට එන්න.

Loading