වසංගතයේ අන්තරාය ව්‍යසනකාරීව ඉහල යද්දී ආන්ඩුව රට අගුලු දැමීම ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකාව තුල කොරෝනා වෛරසය පැතිරීම ව්‍යසනකාරීව ඉහල තතු තුල, එය සීමා කිරීමේ අත්‍යවශ්‍යම පියවරක් වන ජාතික පරිමාන අගුලු දැමීමකට නොයන බව ජාතික කොරෝනා මර්දන මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පෙබරවාරි 14 දා මාධ්‍යයට පැවසීය. 16 දා පැවැත්වූ කැබිනට් තීරන දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී, සම කැබිනට් ප්‍රකාශක උදය ගම්මන්පිල ද එය ප්‍රතිරාවය කරමින් “ආන්ඩුව පුළුවන් තරම් රට විවෘතව තබාගෙන මේ ප්‍රශ්නය විසඳා ගැනීමට උත්සාහ කරන” බව සඳහන් කලේය.

මහජනතාව වසංගතයට ගොදුරු කිරීමේ ආන්ඩුවේ මිනීමරු පිලිවෙතට අනුව, “කොරෝනා වසංගතය සමග ජීවත් වීම” අප ඉදිරියේ ඇති අභියෝගය බව ද ඔහු පැවසීය.

ආන්ඩුව මෙම ප්‍රකාශය සිදු කලේ, එක් අතකින් දෛනිකව වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව දහසකට ආසන්න වෙමින් පවතිද්දී සහ අනෙක් පසින් එංගලන්තය තුල පැතිර යන B 117 නව කොවිඩ් ප්‍රභේදය ලංකාව තුල ද පැතිරෙමින් පවතිද්දී ය. මෙම නව ප්‍රභේදය, සාමාන්‍ය වෛරසයට වඩා සියයට පනහක පැතිරීමේ සීඝ්‍රතාවයක් සහිත බව විද්‍යාඥයෝ පවසති.

ආන්ඩුව, පාසල්, අත්‍යවශ්‍ය නොවන කම්හල් ආදිය විවෘත කර සංචරන සීමා ලිහිල් කර වසංගතය පැතිරීමට හිතකර පරිසරයක් නිර්මානය කර තිබීම මෙම අනතුර කිහිප ගුනයකින් වැඩි කර ඇත. මෙම කොන්දේසි වෛරසයේ අනතුරුදායක නව ප්‍රභේද ජනනයවීම උත්තේජනය කරන අතර එම නව ප්‍රභේද වල පැතිරීමද වේගවත් කර ඇත. නවතම සොයාගැනීම් වලට අනුව මෙම නව ප්‍රභේද, දැනට නිපදවා ඇති එන්නත්නල ප්‍රතිශක්තිය පවා සීමා කරමින් සිටී.

මෙම තතු තුල වෛද්‍ය විශේෂඥයෝ වෛරසය පැතිරීම සීමා කිරීමේ අවශ්‍යතාව ඉස්මතු කරති. ප්‍රසිද්ධ වසංගත රෝග විශේෂඥයෙකු වන රවී රන්නන් එලිය ඊයේ ඩේලි මිරර් පුවත්පතට ලිපියක් ලියමින්, නව වෛරස ප්‍රභේද විසින් මතු කරන අන්තරාය අවදාරනය කලේය.

ආන්ඩුවේ ප්‍රතිචාරයට ප්‍රතිවිරුද්ධව, නව ප්‍රභේදය ආසාදිතයින් ගනන වේගයෙන් ඉහල නංවමින් සෞඛ්‍ය පද්ධතිය අඩපන කිරීමේ තත්වයක් ඇති කල හැකි බව ඔහු පෙන්වයි. ලංකාව තුල දෛනික ආසාදිතයින් ගනන 400 සිට 800 දක්වා දෙගුනයකින් වැඩි වීමට මාස තුනක් ගත වූ නමුත් B 117 ප්‍රභේදය ප්‍රධාන වෛරසය බවට පත්වී, අපගේ “ආරක්ෂන පියවරයන්ගේ කිසිදු වෙනසක් සිදු නොවුනහොත්” ආසාදිත සංඛ්‍යාව දෙගුනවීමට ගතවන්නේ සති තුනක කෙටි කාලයක් බව රන්නන් එලිය තක්සේරු කරයි.

රන්නන් එලිය පවසන්නේ වසංගතයේ පැතිරීම “නැවැත්වීමට දැඩි පියවර නොගන්නේනම් එය සිදුවනු ඇති බවයි”. කෙසේ වෙතත් ආන්ඩුව ආරක්ෂන පියවරවල් ලිහිල් කිරීම, රන්නන් එලියගේ තක්සේරුවට වඩා වඩා ආසාදිතයින් වාර්තා වීමකට මග පාදනු ඇත.

ඔහු පවසන කාරනා තීරනාත්මකය. ලංකාව තුල දැනටමත් ආසාදිතයින් සංඛ්‍යාව හැත්තෑහයදහස ඉක්මවා ඇත. මරන ගනන අද උදෑසන වන විට 422 කි. ඊයේ දිනයේදී කොවිඩ් හේතුවෙන් මරන 13 ක් වාර්තා වූ අතර එය එක් දිනකදී මෙතෙක් වාර්තා වූ ඉහලම මරන සංඛ්‍යාවයි.

ආසාදිතයින් වේගයෙන් වාර්තාවීම හේතුවෙන් රෝහල් පද්ධතිය වරින් වර අඩපන වෙමින් පවතී. නව ප්‍රභේදයට කෙසේවෙතත්, ලංකාවේ දැනට ප්‍රමුඛ ව පැතිරෙන කොරෝනා වෛරසයට පවා මුහුන දීමට පවතින නිරෝධායන මධ්‍යස්ථාන, රෝහල්, හදිසි ප්‍රතිකාර ඒකක කිසිසේත්ම ප්‍රමානවත් නොමැත.

සෞඛ්‍ය අමාත්‍යංශයට අනුව දැනට නිරෝධායන මධ්‍යස්ථාන 80 ක ඇඳන් පවතින්නේ 11,766 ක් වැනි සොච්චමකි. ඊයේ උදෑසන වන විට ඉන් 6,747 ක් රෝගීන් සඳහා වෙන් වී තිබුනි. නව ප්‍රභේද හේතුවෙන් වසංගතයේ පැතිරීම වඩාත් වේගවත් වුවහොත් අනිවාර්යයෙන්ම මෙම සීමිත ධාරිතාව ඉක්මවා ගොස් ප්‍රතිකාර නොමැතිව රෝගීන් මියයෑමේ ප්‍රවනතාවය වැඩි වී මරන සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහල නංවනු ඇත.

රන්නන් එලිය නව වෛරස් ප්‍රභේදය පිලිබඳව මෙසේ අනතුරු අඟවයි. “එය වඩා මරනීය කොන්දේසි ගෙන නොඑන නමුත්, එයට වැඩි පිරිසක් ආසාදනය කිරීමට ඇති හැකියාව හේතුවෙන් වැඩි පිරිසක් මරනයට පත් කරනු ඇත.”

රාජපක්ෂ ආන්ඩුව දැනුවත්වම මෙම අන්තරාය වසන් කරමින් මහජනතාව වෛරසයට ගොදුරු කරමින් සිටී. මංගල උත්සව වලට පැමිනෙන සංඛ්‍යාව සීමා කිරීම් වැනි ප්‍රෝඩාකාරී පියවර කිහිපයක් ගෙන ඇති නමුත් වසංගතය පැතිරීමට සැලකිය යුතු පියවර කිසිවක් ගෙන නොමැත.

සමාජ සම්ප්‍රේෂනයක තතු යටතේ දැනටමත් අහඹු පරීක්ෂන වලින් හමුවන ආසාදිතයින් සංඛ්‍යාව වැඩි වෙමින් පැවතීම විශාල අවදානමක් මතු කරයි. පසුගිය 15 වනදා රත්නපුර බස් නැවතුම්පලේ සිදු කරන ලද අහඹූ පරීක්ෂන 60 කට ආසන්න ගනනකින් ආසාදිතයින් විස්සක් වාර්තා වී ඇත.

රන්නන් එලිය මෙම තත්වය වැලැක්වීමට යෝජනා කරන්නේ, B117 වැනි නව ප්‍රභේද ලංකාව පුරා ව්‍යාප්ත වීමට ප්‍රථමයෙන් කොරෝනා වෛරසය පැතිරීම පාලනය කොට එන්නත් මගින් ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීමයි.

වසංගතය මර්දනය කිරීමට ඔහු යෝජනා කරන "ප්‍රතිශක්තිකරනය", ලංකාවේ මෙන්ම ලෝකය පුරා ආන්ඩු ක්‍රියාවට දමමින් සිටින මහජනතාව වසංගතයට ගොදුරු කරමින් මරනය කැඳවන මිනීමරු "සමූහ ප්‍රතිශක්තියකරනය" ට මුලුමනින්ම ප්‍රතිවිරුද්ධය. ඔහු යෝජනා කරන්නේ “ෆයිසර්, ස්පුට්නික්, මොඩර්නා යන එන්නත් ජනගහනයෙන් සියයට අසූවකට” වැඩි පිරිසකට එන්නත් ලබා දීමෙන් ඇති කරන ප්‍රතිශක්තියයි.

නමුත් ලංකාවේ සහ ලෝකය පුරා ආන්ඩු එන්නත්කරනය සම්බන්ධයෙන් ද දක්වන්නේ අතාර්කික සහ සාපරාධි ප්‍රතිචාරයකි. එන්නත් කිරීම ඉතා සෙමින් සිදුවන අතර දින විස්සක් තුල එන්නත් කර ඇත්තේ 196,193 කි. අවශ්‍ය පරිදි එන්නත් ලැබෙන බව උපකල්පනය කලද ජනගහනයෙන් සියයට අසුවකට එක් මාත්‍රාව බැගින් පමනක් එන්නත් කිරීමට වසර හතර හමාරකට ආසන්න කාලයක් ගතවේ.

කෙසේ වෙතත් ආන්ඩුව එන්නත් ගෙන්වන බවට කරන පූච්චානම් වලට පටහැනිව තවමත් මීලඟ එන්නත් කට්ටලය පැමිනෙන ලකුනු හෝ නොමැත. අවශ්‍ය කරන ප්‍රතිශක්තිය ලබා ගැනීමට එන්නත් මාත්‍රා දෙකක් අවශ්‍ය ය. එන්නත් දෙක අතර කාලය ලෙස කලින් නිර්දේශ කල අගය ද සැකකටයුතු ලෙස දීර්ඝ කෙරී ඇත. මෙම කරුනු හේතුවෙන් සමස්ත මහජනතාවට එන්නත ලබාදීමට ගතවන කාලය තවත් වැඩි කරනු ඇත.

එපමනක් නොව, එන්නත ලබාදෙන අනුපිලිවෙල ද ආන්ඩුව වෙනස් කර ඇත. වසංගත මර්දනයේ ඉදිරිපෙල වැසියන්ට පලමුවද, වයස අවුරුදු 60 ඉක්මවූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට දෙවනුව ද එන්නත ලබාදෙන බව මුලදී පැවසුවද, දැන් මෙම වියපත්වූවන් පසෙක ලා පාර්ලිමේන්තු නියෝජිතයන් දෙවැනි තැනට ගෙන ඇත. වියපත්වූවන් කෙරෙහි පාලකයන්ගේ නරුම ආකල්පය ද, පිලිකුල් සහගත ආත්මාර්ථය ද මහජනයා ඉදිරියේ ප්‍රකාශයට පත්වන්නේ එලෙසිනි.

රන්නන් එලිය කියා සිටින්නේ, ලංකාවේ භාවිතා වන ඇස්ට්රොසෙනිකා එන්නත මගින් B 117 ට එරෙහි ප්‍රතිශක්තිය කොලැබෙන බවයි. වසංගතය පැතිරෙන වේගය සමග සලකන කල එන්නත් ලබාදීමේ මන්දගාමිත්වය හේතුවෙන්, එම ප්‍රභේදයට සහ තවත් නව ප්‍රභේද වලට ලංකාවේ ජනගහනය පුරා ව්‍යාප්ත වෙමින් විශාල ව්‍යසනයක් ඇතිකල හැක.

ඔහු මේ සඳහා එන්නත් කිරීමට අමතරව සංචරන සීමා පැනවීම, පාසල් වසා දැමීම, දෛනික පීසීආර් පරීක්ෂන සංඛ්‍යාව තුන් ගුනයකින් හෝ සිව් ගුනයකින් ඉහල නැංවීම, වෙනත් රටවල සිට ලංකාවට නව ප්‍රභේද පැමිනීම සීමා කිරීම, මංගල උත්සව වැනි වෛරසය වේගයෙන් ව්‍යාප්ත වන අවස්ථා නැවැත්වීම යෝජනා කරයි.

රන්නන් එලිය සිය ලිපියේදී අත්‍යවශ්‍ය නොවන කම්හල් වසා දැමීම සහ ජාතික අගුළු දැමීමක් යෝජනා නොකලද එවැන්නක් නොකර එම අරමුන යතා ලෝකයේ සාක්ෂාත් කල නොහැක. ඉන් තොරව සඳහන් කෙරෙන සංචරන සීමා හුදු වචනයට පමනක් සීමා වේ.

කැබිනට් මාධ්‍ය සාකච්ඡාවේදී ඇමති ගම්මන්පිල එවන් පියවර වලට විරෝධය පාමින් සඳහන් කලේ ලංකාව වැනි නය බරින් පිරුනු රටකට “රට වසා තබාගෙන තව දුරටත් සිටීමේ ආර්ථික ශක්තියක් නැහැ” යනුවෙනි. ඔහු වැඩි දුරටත් සඳහන් කලේ එසේ “කරන්න උවමනා වුනත් කරන්න හැකියාවක් නොමැති” බවයි. වෙනත් ආකාරයකින් ඔහු සඳහන් කරන්නේ මහජනතාවගේ ජීවිත වසංගතයට ගොදුරු වන බව දැන දැනම ආන්ඩුව වසංගතයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂන පියවර නොගන්නා බවයි.

ගම්මන්පිල පුනරුච්ඡාරනය කරන්නේ ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ ආස්ථානයයි. එනම්, මහජනතාවගේ ජීවිත වලට ඉහලින් ආර්ථික අවශ්‍යතා තැබිය යුතු බවයි. ගම්මන්පිල සඳහන් කරන ආර්ථිකය මහජනතාවගේ ආර්ථිකය නොව ධනපති පන්තියේ ආර්ථිකයයි. වසංගතය මධ්‍යයේ මහජනතාව විරැකියාවට, දරිද්‍රතාවයට සහ මරනයට ඇද වැටෙද්දී, ලොවපුරා ධනපති සමාගම් සිය ලාභ පොදි තර කර ගත්හ. ලංකාවේද හේලීස් සහ එල්ඕඑල්සී වැනි සමාගම් දැවැන්ත පරිමානව ලාභ වැඩිකරගෙන ඇති බව මාධ්‍ය වාර්තා වලින් හෙලිවෙයි.

කොරෝනා වසංගතයට දක්වන ප්‍රතිචාරය රන්නන් එලිය වැනි අය දකින ආකාරයට හුදු වෛද්‍ය විද්‍යාත්මක ප්‍රතිචාරයක් නොවේ. මහජනතාව “වසංගතය සමග ජීවත් විය යුතු බව” අවධාරනය කරමින්, මිනීමරු "නව සාමාන්‍යයේ" ප්‍රතිපත්ති ක්‍රියාවට දමන ධනපති ක්‍රමයට සහ ධනපති ආන්ඩුවලට එරෙහි දේශපාලන අරගලයක් මත එම ප්‍රතිචාරය පාදක වියයුතුය.

මහජනතාව ආන්ඩුවේ “වසංගතය සමග ජීවත් වීමේ” පිලිවෙත් ප්‍රතික්ෂේප කල යුතු වෙයි. වසංගතයට එරෙහිව එන්නත් පවා සොයාගෙන තිබෙන තතු තුල ප්‍රතිචාරය විය යුත්තේ වසංගතය සමග ජීවත් වීම නොව එය මර්දනය කිරීමයි. නමුත් එවන් පිලිවෙතක් ක්‍රියාවට නැගිය හැක්කේ ධනපති පන්තිය අතින් කම්කරු පන්තිය පාලන බලය උදුරාගෙන ලාභය වෙනුවට, අවශ්‍යතාවයේ පදනම මත නිෂ්පාදනය සහ ආර්ථිකය ගෝලීයව ප්‍රතිසංවිධානය කර ගැනිමෙන් පමනකි.

.

Loading