ඉන්දියාවේ මෝදි ආන්ඩුව අභ්‍යන්තර සංක්‍රමනික කම්කරුවන් වසංගතයට සහ දරිද්‍රතාවයට ඇද දමයි

සමස්ත මානව වර්ගයාගේම ඉරනම තර්ජනයට ලක් කරමින් ලෝකය පුරා පැතිරෙමින් පවත්නා කොරෝනා වසංගතයෙන් දරුනුතම ලෙස බැට කෑ රටවල් අතර දෙවැනි ස්ථානයට අසල්වැසි ඉන්දියාව පත්ව ඇත. නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව කොරෝනා රෝගීන් එකොලොස් ලක්ෂයට ආසන්න සංඛ්‍යාවක් ඉන් වාර්තාවෙන අතර 155,813 ක් මියගොස් ඇත. කෙසේවෙතත්, මරන පිලිබඳ විධිමත් වාර්තාකරනයක් පවත්වා ගෙන නොයෑම පිලිබඳ කුප්‍රකට වාර්තාවකට හිමිකම් කියන ඉන්දියාවේ රෝගීන් සහ මරන සංඛ්‍යාවේ සත්‍ය අගයන් මෙයට වඩා බෙහෙවින් වැඩිවිය හැකි බව වසංගතවේදීන් නිරන්තරව අවධාරනය කර තිබේ.

ලෝකයේ අනෙකුත් ධනපති රටවලදී මෙන්ම රටතුල අතලොස්සක් වන ප්‍රකෝටිපති ධන කුවේරයන්ගේ ලාභ පොදිවලට කිසිදු හානියක් නොකිරීමට සපථ කල ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී හා ඔහුගේ හින්දු අධිපතිවාදී භාරතීය ජනතා පක්ෂ (බීජේපී) ආන්ඩුව ආරම්භයේ සිටම වසංගතය සඳහා කිසිදු විධිමත් වැඩපිලිවෙලක් සූදානම් නොකිරීමට වග බලා ගත්තේ ය.

වසංගතය සීග්‍රයෙන් පැතිරීමත් සමග මහජනයාගේ විරුද්ධත්වය හමුවේ අගමැති මෝදී විසින් 2020 මාර්තු මාසයේදී, පෙර අනතුරු ඇඟවීවීමකින් තොරව, රටපුරා අගුලු දැමීමක් නිවේදනය කලේ ය. මෙහි ක්ෂනික ප්‍රතිඵලය වූයේ| ආන්තික දරිද්‍රතාව මැද ජීවන සටනේ නිරත මිලියන සිය ගනනක් පවුල්වල ආදායම් මාර්ග අහිමිවීමයි. මේ අතරින් වඩාත්ම බැව කෑ පිරිසක් වූ රටෙහි අභ්‍යන්තර සංක්‍රමනික කම්කරුවන්, විරක්ෂාභාවයට, උන්හිටිතැන් අහිමිවීමට, සාගින්නට හා සෞඛ්‍ය අනාරක්ෂිතභාවයට ඇද වැටුනි.

රැකියා ස්ථාන වසා දැමූ තත්වයක් තුල දස දහස් ගනනකට තම ගම්බිම් බලා ආපසු යාමට කොන්දේසි සැකසුනි. දුම්රිය ඇතුලු පොදු ප්‍රවාහන සේවා මුලුමනින්ම ඇනහිටවුනු තත්වයක් තුල, මෙම කම්කරුවන්ට පවුල් පිටින් තම දරුමල්ලන් කරතබා ගෙන කිලෝමීටර් සිය ගනනක් නගරයෙන් ඈත පිහිටි තම ගම් බිම් බලා පයින් ගෑටීමට සැලැස්වීම මගින් ඉන්දියානු පාලකයන්, කම්කරු පංතිය කෙරෙහි දක්වන තුච්ඡ නොතැකීම වඩාත් විශද ලෙස ප්‍රකාශයට පත් කෙරුනි.

මෙම සංක්‍රමනික කම්කරුවන්ගෙන් අති බහුතරයක්, විශාල නගරවල ඉදිකල ඊනියා 'නිරෝධයාන' මධ්‍යස්ථානවල, අතිමූලික පහසුකම් පවා නොමැතිව ගාල් කෙරුනි. මෙය දරාගත නොහැකිවූ හැට දහසක් පමන පිරිසක් කිලෝ මීටර් සිය ගනන් පයින්ම නිවෙස් බලා යාමට තීන්දු කලහ. වෙහෙස, සාගින්න, රෝගී තත්වයන්, වෛද්‍ය ප්‍රතිකාර අහිමිවීම ඇතුලු විවිධ හේතු නිසා දින 34ක් තුල 134 දෙනෙක් මිය ගියහ. රට අගුළු දමා මෙලෙස මහ මහට ඇදදැමූ සංක්‍රමනික කම්කරුවෝ වසංගතයට නිරාවරනය වූහ.

2011 ජන සංගනනයට අනුව ඉන්දියාවේ මිලියන 65ක් පමන අභ්‍යන්තර සංක්‍රමනික කම්කරුවෝ සිටියහ. ඉන් සියයට 33 ක් ස්ථිර කම්කරුවන් වන අතර සියයට 30 ක් අනියම් කම්කරුවෝ වූහ. දෛනික වැඩ කරන අවිධිමත් කම්කරු ප්‍රතිශතය සියයට 30 කි. ලෝක ආර්ථික සංසදයට අනුව දැන් ඉන්දියාවේ අභ්‍යන්තර සංක්‍රමනික කම්කරු සංඛ්‍යාව මිලියන 139 කි.

බහුතරයක් සංක්‍රමනික කම්කරුවන්, මුම්බායි හා දිල්ලි නගරවලට පැමිනෙන්නේ උත්තර් ප්‍රදේශ්, බිහාර්, රාජස්ථාන් හා මධ්‍ය ප්‍රදේශ්වල ග්‍රාමීය පෙදෙස්වලිනි. බහුතරයක් පිරිමි කම්කරුවන් සමග ඔවුනගේ භාර්යාවන් ද නගරයට සංක්‍රමනය වී වසරේ වැඩි කාලයක් නගරවල ගත කරයි. ශීලාචාරව ජීවත්වියහැකි නිවාස, සෞඛ්‍ය පහසුකම් සහ සනීපාරක්ෂාව නො ලැබ ජීවත් වන මොවුන් අතරින් වැඩි දෙනා රැකියාවේ නිරත වන්නේ නිෂ්පාදන, ඉදිකිරීම් කර්මාන්තවල දෛනික වැටුප් ලබන අවිධිමත් කම්කරුවන් ලෙස ය.

‘‘රෝයල් ජියොග්‍රෆිකල් සොසයිටි‘‘ ආයතනය විසින් කරන ලද පර්යේෂනයක දී අනාවරනය වූයේ ඔඩිස්සා, ජාර්කන්ඞ් හා චට්ටිස්ගාර් වැනි බොහෝ පසුගාමී ප්‍රදේශවලින් පැමිනෙන, විශේෂයෙන් දලිත් හා ආදිවාසි ජනයාට ඉතාම පහත් ආකාරයට සලකන බව සහ ඔවුන් අවම වැටුප් යටතේ දුෂ්කර වැඩවල යොදවන බව යි.

සංක්‍රමනික කම්කරුවන් රැකියාවට බඳවා ගන්නේ කුලී පදනම මත ය. බොහොමයක් ආයතනවලට විශේෂයෙන් ගඩොල් පෝරනුවලට බඳවා ගන්නේ උප කොන්ත්‍රාත්කරුවන් විසිනි. බලපත් නොමැති මොවුන් කෙරෙහි විශ්වාසය තබා, වාචික පොරොන්දු මත නගරයට යන කම්කරුවෝ සිය ගමනාන්තය පවා නො දනිති.

‌බොහෝ කම්කරුවන් විධිමත් ලෙස ලියා පදිංචි නොකෙරෙන බැවින්, රෝගී තත්වයකට හෝ අනතුරකට පත් වුවහොත් වන්දියක් හෝ නොලැබෙන අතර, ඔවුහු අඩු වැටුපට බර වැඩ සහිත රැකියාවල නිරත වෙති. ගම්බද ජනයාගේ නූගත්කම කොන්ත්‍රාත්කරුවෝ තම වාසියට හරවාගෙන සිටිති.

අවදානම් සහිත වැඩවල නිරත ගඩොල් කම්කරුවෝ වැඩපොල අසල ඇටවූ මඩුවල නවාතැන් ගනිති. ඔවුහු පැය 12-13 වැනි කාලයක් ශ‍්‍රම කොල්ලයට ගොදුරු කෙරෙති. කම්කරුවන් සංවිධානය වෙතැයි යන භීතියෙන් ඔවුන් හුදෙකලාවේ තබන්නට පාලකයෝ නිතර ම උත්සාහ දරති.

'ඉන්දියානු භූමිය ඉන්දියානු ගොවියාගේ ආර්ථික ස්වාධීනත්වය, සමාජ තත්වය හා ස්ථිර ජීවනෝපාය ලෙස පවතී' යන්න, ආර්ථිකයේ භූගෝලීයකරනය විසින් කීතු කර තිබේ. කෘෂි ආර්ථිකයේ ස්ථාවරභාවය බිඳ වැටීම ගොවි තරුනයන්ගේ විරැකියාවට හේතු විය. ඉඩම් නොමැති මිලියන සංඛ්‍යාත කෘෂිකාර්මික කම්කරුවන් හා කුඩා ඉඩම් වලින් දිවි ගෙවන පීඩිත ගොවියන්ගේ ජීවන කොන්දේසි, වැඩෙන ධනේශ්වර අර්බුදය හේතුවෙන් වඩ වඩා පහත වැටුනි. තරුනයන් හා ගොවි ජනයා කම්කරුවන් බවට රූපාන්තරනය වී විශාල නගරවල වහල් කොන්දේසි යටතේ සොච්චම් වැටුපකට වැඩකිරීමට මෙමගින් තල්ලු කෙරිනි.

ග්‍රාමීය දුප්පත් පවුල් කේන්ද්‍ර කරගත් ‘‘මහත්මා ගාන්ධිි ජාතික ග්‍රාමීය සේවක ඇපකරය ’’ නමැති සීමිත රැකියා යෝජනා ක්‍රමය යටතේ, අඩු තරමින් වසරකට දින 100ක් සඳහා රැකියාවක් සැපයීමේ ක්‍රමවේදයක් ඉන්දියාවේ පවතී. කොරෝනා වසංගතය හේතුවෙන් ගම්බිම් බලා ඇදුනු දසදහස් ගනනක් කම්කරුවන් මෙම යෝජනා ක්‍රමයෙන් සහනයක් බලාපොරොත්තුවූවද ආන්ඩුව ඒ සඳහා ප්‍රමානවත් අරමුදල් නොයොදන තතුතුල විරැකියාව, දරිද‍්‍රතාව, සාගින්න රට පුරා වර්ධනය වී ඇත.

නියං සහනාධාර වැනි සොච්චම් සහනයක් හැරුනු විට ආදායම් අහිමිවූවන්ට ප්‍රමානවත් තරම් ආධාරයක් සම්පාදනය කරන්නට අසමත් වූ ආන්ඩුව, ධනපතියන්ගේ ලාභ පොදි රැකදීම සඳහා 'ආර්ථිකය යලි විවෘත කිරීම' යටතේ කම්කරුවන් වැඩට දැක්කීම රෝගය පැතිරීම හා මරන සංඛ්‍යාව ඉහල යාමට හේතු විය.

කම්කරුවන් මේ සා ව්‍යසනයකට මුහුනදී සිටියදී, පසුගිය සැප්තැම්බර්වල, විරෝධතා කාර්මික ක්‍රියා නීති විරෝධී කෙරෙන, කොන්ත්‍රාත් රැකියා දිරිමත් කෙරෙන සහ විශාල සංගතහිමියන්ට රිසි සේ කම්කරුවන් රැකියාවලින් දොට්ට දැමීමට ඉඩ සැලසෙන පරිදි, කම්කරු නීතිි ප්‍රතිසංස්කරනය කෙරුනි. ඉන්දියාවේ දල දේශීය නිෂ්පාදිතයට සියයට 10 ක දායකත්වයක් සම්පාදනය කරන සංක්‍රමනික කම්කරුවෝ මෙම නව නීති මගින් වඩාත් උග්‍ර ශ්‍රම සූරා කෑමකට සහ අනාරක්ෂිත තත්වයට ඇද වැටෙති.

මේ තත්වය තුල මහජන කලකිරීම හා කෝපය දැවැන්ත පරිමානයෙන් ඉහල නැග ඇත. කෘෂි ප්‍රතිසංස්කරන වලට විරුද්ධව නොවැම්බර් 26 වන දා දස ලක්ෂ සංඛ්‍යාත ගොවීන් දියත් කල සහ දැන් දිගට ඇදී යන ගොවි විරෝධතා මෙන්ම, මෝදි ආන්ඩුවේ ප්‍රහාර හා කප්පාදුවලට එරෙහිව රට පුරා විවිධාකාරයෙන් පැන නැගෙමින් තිබෙන කම්කරු අරගල මගින් පෙන්නුම් කෙරෙන්නේ, සමස්ත ඉන්දියාව වෙලාගෙන වැඩෙන සමාජ පිපුරුම් සහගත තත්වයයි.

වැඩිදුර කියවන්න

Loading