සෞඛ්‍ය සේවක වැඩ වර්ජනය බිඳීමට ආන්ඩුව මිලිටරිය කැඳවයි

ඊයේ සහ අද දිනයන්හි දිවයින පුරා රෝහල් වල කනිෂ්ඨ කාර්ය මන්ඩල කම්කරුවන් විසින් දියත් කර ඇති වැඩ වර්ජනය බිඳීමේ අරමුනෙන්, ආන්ඩුව එම සේවාවන් 'ආවරනය' කිරීම සඳහා හමුදා භට කන්ඩායම් රෝහල් තුලට කැඳවා ඇත. ආන්ඩුවේ මෙම පියවර, වැඩෙන පංති අරගල මාලාවට එරෙහිව ආන්ඩුව සූදානම් කෙරෙන රුදුරු මර්දනය පිලිබඳ පෙර ඇඟවුමකි.

ගම්පොල රෝහලේ සේවයට කැඳවා ඇති හමුදා භටයන්

රාජපක්ෂ ආන්ඩුව පිහිටුවා ඇති ඊනියා බහු කාර්ය සංවර්ධන බලකායෙන් (බකාසාබ) රෝහල් කනිෂ්ඨ කාර්ය මන්ඩල වලට, අවිධිමත් ආකාරයට සේවකයන් බඳවා ගැනීමට එරෙහිව එකී කම්කරුවෝ සංකේත වැඩ වර්ජනයක නිරත ව සිටිති. එම කම්කරුවන්ගේ සැලකිය යුතු සහභාගීත්වයක් සහිත වැඩ වර්ජනය මගින් රෝහල් අඩපන කෙරී ඇත.

කොලඹ ජාතික රෝහල, කළුබෝවිල, බදුල්ල ඇතුලු දිවයින පුරා රෝහල් 15 කට ආසන්න සංඛ්‍යාවකට ආන්ඩුව මෙලෙස යුධ හමුදා නිලධාරීන් 185ක් අනුයුක්ත කර ඇත. ඔවුන් සේවයට යොදවා ඇත්තේ වැඩ වර්ජනය හේතුවෙන් මහජනතාවට සිදුවන අපහසුතා මග හැරීම යන කඩතුරාව යටතේ ය.

මීට පෙර ධනපති ආන්ඩු විසින් වර්ජන බිඳීමට හමුදාව කැඳවූයේ හදිසි නීති පැනවීම හරහාය. නමුත් මෙවර ඒ කිසිවකින් තොරව සෘජුවම හමුදාපතිගේ නියෝගයක් මත මිලිටරිය සේවයට කැඳවා ඇත. එලෙස ආන්ඩුව ක්‍රියාවට දමා ඇත්තේ, වැඩ වර්ජන ආදී පන්ති අරගල මැඩීම සඳහා ඕනෑම මොහොතක මිලිටරිය කැඳවීමේ සැලසුම්වල පෙරහුරුවකි. මෙය ආන්ඩුව විසින් සමස්ත කම්කරු පංතියට එරෙහිව දියත් කර ඇති රාජ්‍ය මර්දනය වඩා ඉහල මට්ටමකට එසවීමකි.

වසංගතයෙන් ගැඹුරු කෙරුනු බලගතු ආර්ථික අර්බුදයක ගිලී සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, දැවැන්ත කප්පාදු හරහා එම අර්බුදයේ බර කම්කරු පංතිය මත පටවමින් සිටී. එයට එරෙහිව අරගලයට ඇදෙන කම්කරුවන් රුදුරුම ආකාරයෙන් තලා දැමීමට මිලිටරිය මත පාදක වූ ජනාධිපති ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීමට ඔහු බලයට පැමිනි දා සිට වේගයෙන් පියවර ගත්තේය. කොවිඩ්-19 වසංගතයද ඔහු යොදා ගත්තේ මිලිටරීකරනය සඳහා ය.

වෘත්තීය සමිති විසින්, 'අවිධිමත් ආකාරයට සෞඛ්‍ය සේවකයන් බඳවා ගැනීම නතර කිරීමේ' ඉල්ලීමට වැඩ වර්ජනය සීමා කොට තිබුනද, සෞඛ්‍යය ඇතුලු සෑම ක්ෂේත්‍රයකම කම්කරුවන් අතරින් නැවත නැවතත් මතුවන අරගල හරහා ප්‍රකාශයට පත් වන්නේ ආන්ඩුවේ ප්‍රහාර වලට එරෙහිව සටන් කිරීමට ඔවුනට ඇති අවශ්‍යතාව සහ අධිෂ්ඨානයයි.

සෞඛ්‍ය සේවකයන් අරගල වලට තල්ලු කෙරෙන්නේ වසංගතයෙන් උග්‍ර කෙරී ඇති දැරිය නොහැකි සේවා සහ ජීවන කොන්දේසි මගිනි. අනෙක් අතට සෞඛ්‍ය අංශයේ මෙම වර්ජනය, පුද්ගලීකරනයට සහ කප්පාදුවට එරෙහිව පැන නැගි, වරාය, වතු සහ දුම්රිය කම්කරුවන්ගේ අරගල සමග සමපාතව පැන නැගුනකි.

මෙම අරගල වෘත්තීය සමිති විසින් සීමාකර තිබුනද ආන්ඩුව භීතියට පත් වී සිටින්නේ මෙම විරුද්ධත්වය සමිති සීමා බිඳ දමමින් පුපුරා ගොස් සමස්ත ධනපති ක්‍රමයටම එරෙහි අරගලයක් බවට වර්ධනය වීමට ඇති හැකියාව පිලිබඳවය. ආන්ඩුවේ මිලිටරීකරන සහ ආඥාදායක පියවර වලට පිටුපසින් පවතින්නේ එම උත්සුකයයි. එය ජාත්‍යන්තරව වැඩෙන පන්ති අරගල රැල්ල රුදුරු ආකාරයෙන් තලා දැමීමට සෑම රටකම පාලක පංතීන් විසින් අනුයන ක්‍රියා පිලිවෙත බවට පත්ව ඇත.

ආරක්ෂක අමාත්‍යංශය යටතේ මිලිටරියේ සෘජු සහභාගීත්වය සහිතව ලක්ෂයකට ආසන්න පිරිසක් සහිතව බකාසාබ පිහිටුවා ඇත්තේ කම්කරුවන්ගේ පන්ති ක්‍රියා වලට එරෙහිව මුගුරක් ලෙස යොදා ගනුවස් සේවා ස්ථාන තුලම ආන්ඩුවට පක්ෂපාතී භට කන්ඩායමක් ගොඩනගා ගැනීමටය.

වෘත්තීය සමිති කම්කරුවන්ගෙන් මෙම අන්තරාය වසන් කොට බකාසාබ බඳවා ගැනීම් හුදු අවිධිමත් බඳවා ගැනීමකට සහ කනිෂ්ඨ කාර්ය මන්ඩලයේ මට්ටම පහත වැටීමකට ලඝු කර ඇත. එයට හේතුව මිලිටරීකරනයට තිත තැබීම සම්බන්ධ ඉල්ලීම් ධනපති රාජ‍යය සමග සෘජුවම ගැටෙන ඒවා වීමයි. ධනපති උපකරන බවට පත්ව ඇති වෘත්තීය සමිති එවන් අරගලයකට ඓතිහාසිකව අසමත් ය.

වර්ජනය දියත් වන තතු තුල ඊයේ දිනයේදී වෘත්තීය සමිති සමග සාකච්ඡාවකින් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කලේ මෙම බඳවා ගැනීම් “තාවකාලිකව” නවතන බවයි. ආන්ඩුවේ මෙම ව්‍යාජ ප්‍රකාශ වලින් කම්කරුවන් නොරැවටිය යුතුය.

එම ව්‍යාජ නිවේදනය පිලිගනිමින් වර්ජනයට සම්බන්ධව සිටි සමිති එකමුතුවට අයත් ප්‍රගතිශීලී සෞඛ්‍ය සේවක සංගමය වර්ජන ක්‍රියා මාර්ගයෙන් ඉවත් වූ නමුදු කම්කරුවන්ගේ සටන්කාමීත්වය හේතුවෙන් අද දින ද වර්ජනය ක්‍රියාත්මක වෙමින් පවතී.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) විසින් නායකත්වය දෙන ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය වර්ජනයට සහභාගි නොවුනද, එහි සාමාජිකයෝ එම කට්ටිවාදය ප්‍රතික්ෂේප කරමින් වර්ජනයට සහභාගිවූහ. එපමනක් නොව, වර්ජනය කැඳවූ ජනතා විමුක්ති පෙරමුනට අයත් සමස්ත ලංකා සුව සේවා සංගමය ඇතුලු සමිති එකමුතුව, තම සාමාජිකයන්ට අසනීප නිවාඩු ඉල්ලුම් කොට නිවෙස්වල රැඳී සිටීමට උපදෙස් දුන්න ද එම සමිතිවල සමහර සාමාජිකයෝ, පිකටිං සහ විරෝධතා රැස්වීමි වලට සහභාගිවීමේ අපේක්ෂාවෙන් රෝහල් වලට පැමින සිටියහ.

අනෙක් අතට සෞඛ්‍ය සේවකයන්ගේ ඒකාබද්ධ අරගලයකට මෙම සමිති මුලුමනින්ම සතුරුය. 23 වනදා ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය කොලඹ දී විරෝධතා පාගමනක් දියත් කල අතර, 24, 25 දින සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව වෙනමම වර්ජනයක් කැඳවීය. සමිති විසින් තමා විසින් කැඳවන ලද පංති ක්‍රියාවට පමනක් කට්ටිවාදී ලෙස සාමාජිකත්වය මෙහෙයවීය. වෘත්තීය සමිති වල මෙම දියාරු, කට්ටිවාදී, ධනපති ගැති ක්‍රියා කලාපය මගින් ආන්ඩුවට මිලිටරිය කැඳවීමේ කොන්දේසි සපයා දුනි.

වැඩ වර්ජනය බිඳීමට ආන්ඩුව, මිලිටරියට අමතරව, මාධ්‍ය ඇතුලු අනෙකුත් සම්පත් යොදාගන්නා තත්වය තුල සෞඛ්‍ය කම්කරුවන් තම අරගලය ආරක්ෂා කර ගැනීමට අවශේෂ කම්කරු කොටස් දෙසට හැරිය යුතුය. දැනටමත් අරගල වලට පැමින ඇති වරාය, වතු සහ දුම්රිය කම්කරුවන් සමග ඒකාබද්ධතාවය ගොඩනගා ගනීම එහිදී තීරනාත්මකය.

“කනිෂ්ඨ සෞඛ්‍ය සේවකයින් පමනක් නොව හෙද සේවකයින් ඇතුලු සියලු සෞඛ්‍ය කාර්ය මන්ඩල මෙම ආන්ඩුවේ ප්‍රහාර වලට සහ මිලිටරිකරන වැඩ පිලිවෙලට එරෙහි සටනට වෘත්තීය සමිති සීමා බිඳිමින් අවශේෂ කම්කරුවන්ගේද සහය ඉල්ලමින් ඒ්කාබද්ධව වැඩ වර්ජනය කල යුතු බව” පේරාදෙනිය ශික්ෂන රෝහලේ හෙද සේවකයෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසීය.

ලෝසවෙඅ සමග අදහස් දැක් වූ පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය රෝහලක ජේෂ්ඨ කාර්ය මන්ඩල සේවකයෙක් වන රොහාන් “ආන්ඩුව රෝහල්වලට හමුදාව කැඳවලා තියෙන්නේ රෝගීන්ට ආදරේට නෙමේ. ඉදිරියට ඇදෙන වර්ජනයක් මැඩීමේ අරමුනෙන්“ යයි ප්‍රකාශ කලේ ය.

කනිෂ්ඨ කාර්ය මන්ඩල සේවකයන්ගේ ඉල්ලීම් සාධාරන බවත් වර්ජන ක්‍රියාමාර්ගයට ඔහු සම්පූර්න සහයෝගය දෙන බවත් රොහාන් ප්‍රකාශ කලේ ය. 'අපි කනිෂ්ඨ සේවකයන්ගේ වර්ජනයට සහයෝගී වශයෙන් ඔවුන්ගේ රාජකාරි කිසිවක් ඉටු කිරීමට යන්නේ නෑ. ඒ හේතුවෙන් රෝහලේ ක්‍රියාවලිය ඇන හිටල තියෙන්නේ. නමුත් අපේ වෘත්තීය සමිති මෙම වර්ජනයට සහාය පල කරන්න කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නෑ'.

සෞඛ්‍ය සේවකයන් සහ අනෙකුත් කම්කරුවන් ඉදිරියේ මතුව ඇති ප්‍රශ්නය වනුයේ, ආන්ඩුව සෘජුවම වර්ජනය බිඳීමට මිලිටරිය කැඳවා ඇති තතු තුල තමන්ගේ අරගලය ඉදිරියට ගෙන යන්නේ කෙසේද යන්නයි. සෞඛ්‍ය සේවකයන් ඇතුලු සමස්ත කම්කරු පංතියේ ප්‍රජාතන්ත්‍රීය හා සමාජ අයිතීන් දිනා ගැනීමේ අරගලය අත්‍යන්තයෙන්ම, මිලිටරීකරනයට සහ මර්දනයට එරෙහි අරගලය සමග ගැට ගැසී පවතී.

එය, ප්‍රහාරයන්ගේ මූලය වන ධනපති ක්‍රමයට සහ එම ප්‍රහාර ක්‍රියාවට නංවන ධනපති ආන්ඩුවට එරෙහි කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන අරගලයකි. එවන් අරගලයකට වෘත්තීය සමිති මුලුමනින්ම සතුරුය. කම්කරුවන් වෘත්තීය සමිති තුලින් බිඳී තමන්ගේම ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගැනීම ඓතිහාසික සහ අනිවාර්ය අවශ්‍යතාවයක් වන්නේ එබැවිනි.

Loading