ඉදිරිදර්ශන

සිරියාවට මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමත් සමඟ බයිඩන් මැද පෙරදිග එක්සත් ජනපද ආක්‍රමනය උත්සන්න කරයි

සිරියානු-ඉරාක දේශ සීමාවේ ඉරාන පිටුබලය ලබන ඉරාක මිලීෂියා ඉලක්කයකට මාරාන්තික මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමත් සමඟ බයිඩන් පරිපාලනය “ඇමරිකාව ආපසු” යන ඩිමොක්‍රටික් ජනාධිපතිවරයා විසින් පුන පුනා කියන ප්‍රකාශවල සැබෑ අරුත ලේ වලින් ප්‍රකාශ කර තිබේ.

අන්තර්ජාතික නීතිය අමු අමුවේ උල්ලංඝනය කරමින් සහ එක්සත් ජනපද කොන්ග්‍රසයේ කිසිදු නීතිමය අවසරයක් නොමැතිව එල්ල කල මෙම ප්‍රහාරය ඇඟවුම් කරන්නේ බයිඩන් ධවල මන්දිරය ඉතා ආක්‍රමනශීලී ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින බවත්, එහි පූර්වගාමියා විසින් මැද පෙරදිග සහ ජාත්‍යන්තරව අනුගමනය කල මිලිටරිවාදය සහ ගැටුම් උත්සන්න කරන බවත්ය.

2021 පෙබරවාරි 10 වන බදාදා වොෂිංටන්හි පෙන්ටගනයේ දී ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ කතා කරන විට ජනාධිපති ජෝ බයිඩන් සවන් දෙයි. (AP ඡායාරූපය / පැට්‍රික් සෙමන්ස්කි)

රොයිටර් පුවත් සේවය, සිරියානු වෛද්‍ය ආරංචි මාර්ග උපුටා දක්වමින්, සිකුරාදා අලුයම සිදු කල එක්සත් ජනපද ගුවන් ප්‍රහාරයෙන් අවම වශයෙන් ඉරාක සටන්කාමීන් 17 දෙනෙකු මිය ගිය බව ප්‍රකාශ කරයි. එක්සත් රාජධානියේ මානව හිමිකම් පිලිබඳ සිරියානු නිරීක්ෂනාගාරය වාර්තා කලේ අයිඑස්අයිඑස්ට එරෙහිව සටන් කිරීම සඳහා සිරියාවට යවන ලද ඉරාක හමුදාවේ නිල හස්තයක් වන හෂෙඩ් අල්-ෂාබි නොහොත් ජනතාවාදී බලමුලු ගැන්වීමේ බලකායේ සටන්කරුවන් 22 දෙනෙකු මෙම ප්‍රහාරයෙන් මිය ගොස් ඇති බවයි. තවත් සටන්කරුවන් තුවාල ලැබූ අතර, මරන සංඛ්‍යාව ඉහල යාමට ඉඩ තිබේ.

පෙනෙන අයුරින්, මිසයිල ප්‍රහාරය ඉරාක කුර්දිස්තානයේ අගනුවර වන එර්බිල් හි එක්සත් ජනපද කඳවුරකට පෙබරවාරි 15 වන දින රොකට් ප්‍රහාරයක් එල්ල කර එක් සිරියානු කොන්ත්‍රාත්කරුවෙකු මරා දැමීමට පලිගැනීමක් ලෙස සිදුකල එකකි. එක්සත් ජනපද කඳවුරට පහරදීම ඉරාන පිටුබලය ලත් උක්ත සන්නද්ධ කන්ඩායමේ වැඩක් බවට කිසිදු සාක්ෂියක් නොමැත. සිකුරාදා එල්ලකල ප්‍රහාරයේ වගකීම එම කන්ඩායම ප්‍රතික්ෂේප කලා පමනක් නොව අර්බිල් කඳවුරට එල්ල කල ප්‍රහාරය හෙලා දැකීමට ද ඉදිරිපත් විය.

සිරියාවේ මිසයිල ප්‍රහාරය සඳහා ඉලක්කය සහ එක්සත් ජනපද මිලිටරියේ විනාශකාරී මට්ටම් තෝරා ගැනීමට ජනාධිපති ජෝ බයිඩන් වෙත ලයිස්තුවක් යොමු කෙරුනු බව පෙන්ටගන් නිලධාරීහු සඳහන් කලහ.

ප්‍රහාරය හරහා බයිඩන් යවන 'පනිවිඩය' කුමක්දැයි සිකුරාදා ඇසූ විට පෙන්ටගනයේ ප්‍රකාශක ජෝන් කිර්බි එම්එස්එන්බීසී රූපවාහිනී ප්‍රවෘත්තිවලට පැවසුවේ, “පනිවිඩය පැහැදිලි සහ නිශ්චිත ය; අපි කලාපය තුල අපගේ ජාතික අවශ්‍යතා ආරක්ෂා කරන්නෙමු.”

සිරියාවට පහරදීමේ තීරනය නිසැක උපායමාර්ගික වැදගත්කමක් දරයි. ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ නියෝගය පරිදි ගුවන් ප්‍රහාරයක් එල්ලකල 2019 දෙසැම්බර් 29 න් පසු එක්සත් ජනපදය යුද්ධයෙන් විනාශ වූ රටේ ඉලක්ක වලට පහර දුන් පලමු අවස්ථාව මෙයයි. 2019 ප්‍රහාරය එල්ල කෙරුනේ ද ඉරාකයේ එක්සත් ජනපද මිලිටරි කඳවුරකට එල්ල වුනා යයි කියනු ලැබූ රොකට් ප්‍රහාරයකට ප්‍රතිචාරය වශයෙනි.

ඉන් දින පහකට පසුව, 2020 ජනවාරි 3 වන දින වොෂින්ටනය ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක ජෙනරාල් කසේම් සුලෙයිමානි, ඩ්‍රෝන් මිසයිල ප්‍රහාරයකින් ඝාතනය කලේය. ඔහු ඉරානයේ දෙවන වැදගත්ම දේශපාලන චරිතය ලෙස සැලකේ. මිසයිල ප්‍රහාරය ඉරානයට එරෙහි ට්‍රම්ප් පරිපාලනයේ “උපරිම පීඩනය” ව්‍යාපාරයේ නාටකාකාර ලෙස තීව්‍ර වීමක් සනිටුහන් කලේය.

ඉරාකයේ හා ඇෆ්ගනිස්ථානයේ දශක ගනනාවක් තිස්සේ පැවති එක්සත් ජනපද මැදිහත්වීම් මගින් සිදු වූ මරන හා විනාශය ඉක්මවා යා හැකි විනාශකාරී නව යුද්ධයක අද්දරට මැද පෙරදිග හා ඇතැම් විට මුළු ලෝකය ම ඇද දැමූ මෙම ප්‍රහාරයෙන් වොෂින්ටනය පසු බැසී ය.

බයිඩන් විසින් නියෝග කරන ලද ප්‍රහාරය, සුලෙයිමානි ඝාතනයෙන් පසුව සිරියාවේ එක්සත් ජනපද ගුවන් ප‍්‍රහාරවල වසරක පමන විරාමය අවසන් කරයි. එය, කෝවිඩ්-19 මරන මිලියන භාගයකට වඩා වැඩි වීමට හේතු වූ සාපරාධී ප්‍රතිපත්තියක් එක්සත් ජනපදය තුල ආධිපත්‍යය දැරූ වසරක් මෙන්ම ට්‍රම්ප්ගේ දෝෂාභියෝග දෙකකට තුඩු දුන් එක්සත් ජනපද පාලක සංස්ථාපිතය තුල ඇති වූ දැඩි අභ්‍යන්තර අරගලයක් සහිත වසරක් ද විය. එම ගැටුමෙන් වැඩි හරියක් කේන්ද්‍රගත වී ඇත්තේ විදේශ ප්‍රතිපත්තියෙහි ඇති වෙනස්කම් මත ය. න්‍යෂ්ටික සන්නද්ධ බලවතුන් වන රුසියාව හා චීනය කෙරෙහි වඩා “මෘදු” යැයි ඩිමොක්‍රටිකයෝ ට්‍රම්ප් හෙලා දුටහ.

සිරියාවේ ප්‍රහාරය වඩාත් පුළුල් ලෙස හා නිවැරදි ලෙස දැකිය හැක්කේ කලාපීය හා ගෝලීය ගැටුමකට යලිත් වරක් තර්ජනය කල හැකි එක්සත් ජනපද ආක්‍රමනයේ භයානක තීව්‍ර කිරීමක් ලෙස ය. එය නව ඩිමොක්‍රටික් පරිපාලනය යටතේ වර්ධනය වෙමින් පවතින ප්‍රතිපත්ති මාරුවෙහි සංයුක්ත ප්‍රකාශනයකි.

සිරියානු රජය මිසයිල ප්‍රහාරය “එක්සත් ජනපදයේ බියගුලු ආක්‍රමනයක්” ලෙස හෙලා දුටු අතර බිඩෙන් පරිපාලනය “කැලෑ නීතිය” අනුගමනය කරන බවට චෝදනා කලේය. රුසියානු, චීන සහ ඉරාන බලධාරීහු ද ප්‍රහාරය හෙලා දුටහ.

එක්සත් ජනපද ප්‍රහාරය සඳහා ජාත්‍යන්තර ප්‍රශංසාවේ එක් ප්‍රභවයක් වූයේ සිරියාවට එරෙහිව තමන්ගේම ගුවන් ප්‍රහාර එල්ල කර ඇති ඊස්රායලය වන අතර, ඔවුන් තම ප්‍රහාරයේ වගකීම භාර ගෙන හෝ ප්‍රතික්ෂේප කර හෝ නැත. “බයිඩන් ඔබාමා නොවන බව ඉරාන වැසියන් නොදන්නා අතර, ඔවුන් මෙම සදොස් ගනනය කිරීමේ මාවතේ දිගටම ගමන් කලහොත් අවසානයේදී ඔවුන්ට පහර දෙනු ඇතැයි” නම් නොකල ඊශ්‍රායල නිලධාරියෙක්, වල්ලා (Walla) ප්‍රවෘත්ති වෙබ් අඩවියට පැවසීය.

සිකුරාදා මිසයිල ප්‍රහාරයේ ආසන්නතම ඉලක්ක අතර ඉරානය ද සිටී. ආර්ථික සම්බාධක ඉවත් කිරීම සඳහා ටෙහෙරානය සිය සිවිල් න්‍යෂ්ටික වැඩපිලිවෙලට තියුනු සීමා කිරීම් සිදු කල ඉරානය සහ ප්‍රධාන බලවතුන් අතර ඇති වූ 2015 ගිවිසුමේ ඒකාබද්ධ විස්තීර්න ක්‍රියාකාරී සැලැස්මට (JCPOA) නැවත එක්වන බවට බයිඩන් පරිපාලනය පොරොන්දු විය. ට්‍රම්ප් 2018 දී එම ගිවිසුම අවලංගු කලේ යුද තත්ත්වයකට සමානව දෙගුන කල ඒකපාර්ශ්වික සම්බාධක පිලිබඳ “උපරිම පීඩනය” දියත් කරමිනි.

බයිඩන් බලයට පත්වූ දා සිට මෙම සම්බාධක ඉවත් කිරීමට වොෂින්ටනය කිසිදු පියවරක් ගෙන නැත. මනුෂ්‍ය වර්ගයාගෙන් තුනෙන් එකකට වඩා වැඩි සංඛ්‍යාවක් අලලාගත් වෙනත් රටවල් මත එක්සත් ජනපදය විසින් පටවනු ලැබ ඇති සම්බාධක වල තත්වයත් එයයි. ඒ වෙනුවට, එක්සත් ජනපදය ගිවිසුම ඉරා දැමීමට සහ යුරෝපීය බලවතුන් ඵලදායී ලෙස ඇමරිකානු සම්බාධක වලට අභියෝග කිරීමට අසමත් වීමට නිසා සිදු කරන ලද යුරේනියම් බලගැන්වීමේ සීමිත වැඩිවීම් නිෂේධ කරමින් ටෙහෙරානය ප්‍රථමයෙන් JCPOA හි නියමයන්ට සම්පූර්නයෙන් ම අනුකූල විය යුතු බව එක්සත් ජනපදය අවධාරනය කර ඇත.

ඔබාමා බලයේ සිටියදී සාකච්ඡා කල ගිවිසුමට වඩා ඉරානය සමඟ ඇති ඕනෑම ගිවිසුමක් “දිගු හා ශක්තිමත්” විය යුතු බව බයිඩන්ගේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් නැවත නැවතත් ප්‍රකාශ කර තිබේ. ඉරානයේ න්‍යෂ්ටික වැඩපිලිවෙලට ස්ථාවර සීමාවන් පැනවීමට අමතරව, මෙයින් අදහස් කරන්නේ ඉරානයේ සාම්ප්‍රදායික මිසයිල සංවර්ධනය කඩා කප්පල් කිරීම මෙන්ම මැද පෙරදිග පුරා එහි බලපෑම ක්ෂය කර දැමීමයි. වොෂින්ටනයට අවශ්‍ය වන්නේ ඉරානය අනාරක්‍ෂිත අර්ධ යටත් විජිතයක් බවට පත් කිරීමයි. සිරියාවට එරෙහි ප්‍රහාරය මෙම අරමුනු සාක්ෂාත් කර ගැනීම සඳහා නව ආක්‍රමනශීලී ව්‍යාපාරයක ආරම්භක වෙඩි මුරය යි.

සිරියානු මිසයිල ප්‍රහාරය රුසියාව සහ චීනය මෙන්ම කලාපය තුල ඔවුන්ගේ බලපෑම ද ඉලක්ක කර ගෙන තිබුනි. මැද පෙරදිග දශක දෙකක එක්සත් ජනපද අධිරාජ්‍යවාදී මිලිටරි මැදිහත්වීම්වලින් පසු බිඩෙන් පරිපාලනය විසින් වොෂින්ටනයේ අංක එකේ “උපායමාර්ගික තරඟකරුවා” සහ “සීමාන්තික තරඟයේ” ඉලක්කය ලෙස හදුනාගත් චීනය කලාපයේ බොහෝ රටවල් අතර විශාලතම ආයෝජකයා සහ ඉහලම වෙලඳ හවුල්කරුවා බවට පත්ව ඇත.

සිරියාවට එල්ලකල නවතම එක්සත් ජනපද මිසයිල ප්‍රහාරය සහ ඉන්දියානු සාගරයේ මූලෝපායික මුහුදේ ඉරාන, රුසියානු සහ චීන යුද නැව් ඒකාබද්ධ අභ්‍යාසවල යෙදීම, සිදුවීම් වල හදිසි සම්පාතයකට වඩා වැඩි දෙයකි. එවැනි අවසන් අභ්‍යාසය වන ඉරාන-රුසියානු-චීන “සමුද්‍රීය ආරක්ෂක කලාප” නාවික අභ්‍යාසය 2019 දෙසැම්බර් මාසයේදී සුලෙයිමානි ඝාතනය දින කීපයකට පෙර පවත්වන ලදී.

වොෂින්ටනය, මැද පෙරදිග සිය ආක්‍රමනය උත්සන්න කරමින් සිටියදී පෙන්ටගනය දකුනු චීන මුහුදේ හා තායිවාන් සමුද්‍ර සන්ධියේ ප්‍රකෝපකාරී නාවික අභ්‍යාස පවත්වමින් සිටින අතර නෝර්වේහි බී -1 බෝම්බ හෙලන යානා යොදවමින් රුසියාවට කෙලින්ම තර්ජනය කරයි.

තවද මෙම මිසයිල ප්‍රහාරය වොෂිංටනයේ හිටපු නේටෝ සහචරයින්ට, විශේෂයෙන් ජර්මනියට සහ ප්‍රංශයට තමන්ගේ මාවත වෙනස් කර ගැනීමට කල අනතුරු ඇඟවීමකි. යුරෝපීය අධිරාජ්‍යවාදී බලවතුන්ට තමන්ගේ එක්සත් ජනපද අවශ්‍යතා සඳහා යටත් වන ලෙස බල කරමින් “ඇමරිකාව ආපසු” එන බව එක් වරක් නොව තුන් වතාවක් ම ප්‍රකාශයට පත් කල බයිඩන් මියුනිච් ආරක්ෂක සමුළුවේදී පසුගිය සතියේ කල කතාව, චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් සහ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් පිලිගත්තේ උදාසීන ලෙසය.

සිරියාවට එරෙහි ප්‍රහාරයට ඩිමොක්‍රටික් පක්ෂ නායකත්වය තුල පුළුල් සහයෝගයක් ලැබුනු අතර ප්‍රමුඛ රිපබ්ලිකානුවන්ගේ පැසසුමට ලක්විය. විදේශ කටයුතු මන්ත්‍රී මන්ඩල කමිටුවේ ඉහලම රිපබ්ලිකන් නියෝජිත මයිකල් මැකාල් ප්‍රකාශ කලේ, “මෙවැනි ප්‍රතිචාර දිරි බිඳීමට අවශ්‍ය වන අතර ඉරානයට, එහි ඉත්තන්ට සහ ලොව පුරා සිටින අපගේ විරුද්ධවාදීන්ට පවසා සිටින්නේ එක්සත් ජනපද අවශ්‍යතාවන්ට එරෙහි ප්‍රහාර අප නොඉවසනු ඇති බව යි.”

එක්සත් ජනපද අධිරාජ්‍යවාදී ගෝලීය ආධිපත්‍යයේ පරිහානිය සමනය කිරීම සඳහා මිලිටරි ආක‍්‍රමනය තීව‍්‍ර කිරීම පිලිබඳ ගිවිසුම බයිඩන් පාලනාධිකාරය සිය මැතිවරනය පෙරලා දැමීමට උත්සාහ කල රිපබ්ලිකන් පක්ෂය තුල ඇති ෆැසිස්ට්වාදී කොටස් සමඟ “ද්වි පාර්ශවීය එක්සත්කම” ලුහුබැඳීමේ අඩිතාලම වනු ඇතැයි ප‍්‍රහාරය පැහැදිලි කර තිබේ.

එක්සත් ජනපද මිලිටරිවාදය තීව්‍ර කිරීම සඳහා ප්‍රබල අභ්‍යන්තර දේශපාලන ගාමකයක් ද තිබේ. එනම් ඇමරිකානු ධනවාදයේ දැවැන්ත හා අස්ථාවර සමාජ ප්‍රතිවිරෝධතා පිටතට හරවා යැවීමේ අවශ්‍යතාවය යි.

එක්සත් ජනපදයේ සහ ලෝක ධනවාදයේ අර්බුදය යුද්ධයට ප්‍රේරනයක් වනු පමනක් නොව, කොවිඩ්-19 වසංගතය සම්බන්ධයෙන් රංචු ප්‍රතිශක්ති ප්‍රතිපත්තිය මිනීමරු ලෙස ක්‍රියාවට දැමීම නිසා ඇති වූ මහා මරන මෙන්ම සමාජ අසමානතාවයේ අඛන්ඩ වර්ධනය සහ මූලික සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට පහර දීම, පන්ති අරගලයේ ජාත්‍යන්තර නැගිටීමක් ද ඇති කරයි.

එක්සත් ජනපදයේ සහ ලෝක අධිරාජ්‍යවාදයේ යුධ මෙහෙයුමට අව්‍යාජ විරුද්ධත්වයක් සඳහා අඩිතාලම සැපයිය හැක්කේ මෙම අරගලයට පමනි. හදිසි කර්තව්‍යය වන්නේ එහි මූලාශ්‍රය වන ධනේශ්වර ක්‍රමය පෙරලා දමා ලෝක යුද්ධයේ තර්ජනය අවසන් කිරීම සඳහා කම්කරු පන්තිය තුල ජාත්‍යන්තර හා සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීමයි.

Loading