බහු කාර්ය බලකායේ තරුනයන් රාජ්‍ය සේවයට අනුයුක්ත කිරීමට එරෙහි සමිති උද්ඝෝෂනය පරාජය කරනු! තරුනයන්ගේ රැකියා අයිතිය සුරක්ෂිත කිරීමට සටන් වදිනු!

ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව මෑතක දී පිහිට වූ “බහු කාර්යය සංවර්ධන බලකායට (බකාසබ)” බඳවා ගනු ලැබූ රැකියා විරහිත තරුනයන් සෞඛ්‍යය අංශයේ රැකියාවලට අනුයුක්ත කිරීමට එරෙහිව, සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් විසින් “අවිධිමත් බඳවා ගැනිම් නතර කරනු” යනුවෙන් ප්‍රතිගාමී උද්ඝෝෂනයක් අරම්භ කර තිබේ. 

ඒ සඳහා මූලිකත්වය ගෙන සිටින්නේ ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) මෙහෙයවන ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය (ඒසෞසේස) හා ධනපති සංස්ථාපිතයේ පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) අයත් සමස්ත ලංකා සුව සේවා සංගමය (සලසුසේස) යි. 

ඒසෞසේස විසින් පෙබරවාරි මස 23 දා කොලඹ දී පැවැත්වූ පා ගමනේ දී “ආන්ඩුවේ මීලිටරීකරන උවමනා මත සිදු කරන අවිධිමත් බඳවා ගැනීම් වහා නවතනු” යනුවෙන් එම උද්ඝෝෂනය ඉදිරියට ගෙන තිබුනි. ඊට පසුදින “අවිධිමත් ආකාරයට සෞඛ්‍යය සේවකයන් බඳවා ගැනීම නතර කරනු“ යයි ඉල්ලා සලසුසේස විසින් රෝහල් කනිෂ්ඨ කාර්ය මන්ඩල කම්කරුවන්ගේ දෙදින වර්ජනයක් ද කැඳවී ය.  

පෙසප හි හා ජවිපෙ වෘත්තීය සමිතිවල මෙම උද්ඝෝෂනය, සෞඛ්‍යය කම්කරුවන්ගේ අයිතීන් දිනා ගැනීමටත්, රැකියා විරහිත තරුනයන්ගේ රැකියා අයිතිය සුරක්ෂිත කිරීමටත් ගෙන යා යුතු කම්කරු පන්තියේ ස්වාධීන හා ඒකාබද්ධ ක්‍රියාමාර්ගයකට මුලුමනින්ම එරෙහිය. 

මෙම උද්ඝෝෂනය, රැකියා විරහිත තරුනයන් සහ රැකියාවේ නියුතු කම්කරුවන් එකිනෙකාට එරෙහිව පිහිටුවීමේ උගුලක් බව, සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) තරුන සංවිධානය වන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) කියා සිටී. 

අනුප්‍රාප්තික ආන්ඩු යටතේ නොකඩවා සිදු කෙරෙන කප්පාදු හේතුවෙන්, තම රැකියා, දීමනා සහ "උසස්වීම්" අහිමිවනු ඇතැයි යන භීතිය රාජ්‍ය අංශයේ කම්කරුවන් තුල වේගයෙන් වැඩෙමින් පවතී. එම සාධාරන භීතිය ගසා කමින් ගෙනයන මෙම උද්ඝෝෂනය, කම්කරුවන්වන්ගේ පන්ති ශක්තිය දුර්වල කොට, ආන්ඩුවේ ප්‍රහාරවලට පාර කපා දෙයි. 

ආරක්ෂක අමාත්‍යංශය යටතේ පිහිට වූ බකාසබ යටතේ, “දිලිඳු” පවුල්වල, “පහල අධ්‍යාපන මට්ටම්” සහිත තරුන තරුනියන් ලක්ෂයකට රජයේ රැකියා දෙන බව ආන්ඩුව පසුගිය වසර මුලදී නිවේදනය කලේ ය. කොන්ත්‍රාත් පදනමේ, දරිද්‍රතා වැටුප් සහිත රැකියාවල යෙදී සිටි සහ විරැකියාවෙන් පෙලුනු තරුන තරුනියෝ ලක්ෂ ගනනක් ඒ සඳහා පැවති සම්මුඛ පරීක්ෂන වලට ඉදිරිපත් වූහ. 

ආන්ඩුවේ නිල සංඛ්‍යා ලේඛන වලට අනුව 2020 ජූලි වන විට ලංකාවේ තරුන විරැකියාව සියයට 28 කට ආසන්නව පැවති අතර, එය 2009 න් මෙපිට රටෙහි පැවති ඉහලම විරැකියා ප්‍රතිශතය වෙයි. කෙසේ නමුත්, සැබෑ ප්‍රතිශතය මීට වඩා ඉහල අගයක් වනු නිසැකය.

මෙම තතු තුල, බකාසබ හි සම්මුඛ පරීක්ෂනයන්ට ඉදිරිපත් වූ තරුන තරුනියන්ගේ අපේක්ෂාව වූයේ සුරක්ෂිත රැකියාවකි. 

ව්‍යාපෘතිය මගින් රාජපක්ෂ ආන්ඩුව සාක්ෂාත් කිරීමට අපේක්ෂා කරන අරමුනු තරුනයන්ගේ එම සාධාරන අපේක්ෂාවන්ට මුලුමනින්ම විපරීත සහ ප්‍රතිගාමීය. එය හරහා කෙරෙන “රැකියා සම්පාදනයෙන්” තරුනයන් අතර වැඩෙන පෙරලිකාරිත්වය යම් දුරකට හෝ සමනය කරමින්, ඔවුන්ගේ ශ්‍රමය අවම වැටුප් මට්ටම් යටතේ උපරිම ලෙස සූරාකෑම එක් අරමුනකි. 

තරුනයන් බඳවා ගැනීමේ දී ප්‍රකාශ කල රුපියල් 35,000ක සොච්චම් දීමනාව පවා 22,500ක් දක්වා කප්පාදු කිරීම මගින් සූරාකෑමේ තරම දැනටමත් පෙන්නුම් කර තිබේ. ඔවුන්ගේ රැකියා කවදා, කෙලෙස ස්ථීර වේද යන්න නිශ්චිත නැත. 

ආන්ඩුවේ ප්‍රධානතම එල්ලය වනුයේ මෙම තරුන කොටස් අවශේෂ කම්කරු පන්තියේ අරගල බිඳීම සඳහා යොදා ගැනීමයි. කම්කරු පන්තියේ වැඩෙන අරගල තලා දැමීම ඉලක්ක කර ගනිමින් රාජපපක්ෂ බලයට පත් දා සිට මිලිටරීකරනය ගැඹුරු කරමින් ජනාධිපති ආඥාදායකත්වයක් දිශාවට වේගවත් ගමනක් දියත් කර තිබේ. බකාසබ ද එම මිලිටරීකරන වැඩපිලිවෙලේ එක් කොටසකි. 

අදාල “පුහුනුව” නොමැති බව ඉදිරියට දමමින් බකාසාබ හි තරුන කම්කරුවන් සෞඛ්‍ය සේවයට අනුයුක්ත කිරීම නතර කරනමෙන් ඉල්ලා සිටින වෘත්තීය සමිති, ආන්ඩුවේ මෙම ප්‍රතිගාමී වැඩපිලිවෙල මගින් ඉස්මතු කෙරෙන බරපතල දේශපාලන ප්‍රශ්න දැනුවත්ව යට ගසති. 

ආන්ඩුව, කෝවිඩ්-19 වැලැක්වීමේ කඩතුරාව යටතේ මිලිටරීකරනය වේගවත් කරමින්, මහජනතාවගේ ජීවිත වලට ඉහලින් ධනපතියන්ගේ ලාභ අවශ්‍යතා තැබීමේ සාපරාධී පිලිවෙත ඉදිරියට ගෙන යද්දී, සෑම වෘත්තීය සමිතියක්ම එයට සහාය පල කලේ ය. ජවිපෙ හා පෙසප නායකයෝ, ආන්ඩුවේ “කොරෝනා මර්දනයට” සහායදීමේ නාමයෙන් ඉහත ප්‍රතිගාමී පිලිවෙතට පූර්න පිටුබලය දුන්හ. 

වෘත්තීය සමිතිවල හා ව්‍යාජ-වාම පක්ෂවල මෙම ද්‍රෝහි ක්‍රියාකලාපයේ සහායෙන් ආන්ඩුව මිලිටරීකරන වැඩකටයුතු තවත් වේගවත් කර තිබේ. “විනය ගරුක සමාජයක් බිහි කිරීමේ” කවරය යටතේ පොලීසියට සහාය වන මහජන ආරක්ෂක කමිටු ග්‍රාමීය මට්ටමින් ගොඩ නැගීමත්, වයස අවුරුදු 18 වැඩි තරුනයන්ට අනිවාර්ය මිලිටරි පුහුනුව ලබා දීමත් යන ව්‍යාපෘති දෙකක් ඉදිරියේ දී ක්‍රියාවට දමන බව පෙබරවාරී මස 07 දා මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර නිවේදනය කලේ ය. මෙම මර්දන පියවර කම්කරු පන්තියටත්, ගම්බද ගොවි ජනතාවට හා තරුනයන්ටත් එරෙහිව එකසේ ක්‍රියාවේ යොදවනු ඇත.  

වසංගතයෙන් උග්‍ර කෙරී ඇති ආර්ථික අර්බුදය හමුවේ ලොවපුරා ධනපති පාලක පංතීන් විසින්, දෙවන ලෝක යුද්ධයෙන් පසු නොදුටු පරිමානයේ ප්‍රහාරයක් කම්කරු සහ තරුන ජනයාට එල්ල කරමින් පවතී. රැකියා, නිවාස, සෞඛ්‍ය සහ අධ්‍යාපනය ඇතුලු සමාජ අයිතීන් මෙන්ම ප්‍රජාතන්ත්‍ර අයිතීන් අතුගා දැමෙන මෙම සමාජ ප්‍රතිවිප්ලවීය ප්‍රහාරය, නිෂ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතිය සහ ලාභය මත පදනම් වූ ධනේෂ්වර ක්‍රමයේ පද්ධතිගත අර්බුදයේ නිර්මිතයක් බැවින්, එය ධනවාදය යටතේ ආපසු හැරවිය නොහැකිය.

රැකියා ඇතුලු සමාජ අයිතීන් සඳහා මෙන්ම, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා කෙරෙන කවර හෝ අරගලයක්, ධනවාදයට එරෙහි දේශපාලන සටනක් බවට වෛෂයිකව යොමු වන්නේ එබැවිනි. එවන් සටනකට කම්කරු පන්තියේ සමස්ත ශක්තිය ඒකාග්‍ර කරගතයුතු වෙයි. කම්කරු පන්තියේම බලගතු කොටසක් වන තරුනයන්ට එරෙහිව, අනෙකුත් කම්කරුවන් පිහිටුවා එකිනෙකා විරසක කිරීමේ ප්‍රතිගාමී සමිති පිලිවෙත එවන් ඒකාග්‍රතාවයකට දැනුවත්ව වල කපයි.  

සැබැවින්ම, ධනපති ක්‍රමයට තදින්ම බැඳී සිටින වෘත්තීය සමිති ධනවාදයට එරෙහි එවන් දේශපාලන සටනකට පරම ලෙසින්ම සතුරුය. එම තත්වය තුල, කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡා වලින් තීන්දු තීරන ගන්නා සහ තම සටන වටා අවශේෂ කම්කරු පන්තියේ සහ තරුනයන්ගේ සහාය ගොනු කර ගන්නා ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම අත්‍යවශ්‍ය ය. 

එහි එල්ලය වන්නේ, කම්කරු පන්තියේ කාර්මික හා දේශපාලන ශක්තිය මත පරපුටු ධනපති ක්‍රමය පෙරලා දමා ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය යටතේ කම්කරු-ගොවි ආන්ඩුවක් ලංකාවේ දී බලයට ගෙන ඒමයි. 

රැකියා, සෞඛ්‍යය සහ අධ්‍යාපනය ඇතුලු දැවෙන මානව අවශ්‍යතා සඳහා බිලියන ගනනින් මුදල් යෙදවිය හැක්කේ, මහා පරිමාන බැංකු, දැවැන්ත සමාගම් හා සුවිසල් වතු, කම්කරු පන්ති පාලනය යටතේ ජනසතු කර කෙරෙන එම වැඩපිලිවෙල යටතේ පමනි. 

එම සටනේ කොටසක් ලෙස, රාජ්‍ය සේවයට අනුයුක්ත කෙරෙන බකසබ හි තරුන තරුනියන්ට අවශ්‍ය රැකියා පුහුනුව, ශිෂ්ඨ සම්පන්න ජීවිතයකට සරිලන වැටුප් සහ විශ්‍රාම වැටුප් ඇතුලු සියලු අයිතීන් සහතික කරනු වස්, තරුන විරැකියා ප්‍රශ්නය විසඳීමේ අරගලය කම්කරු පන්තිය විසින් තම අතට ගතයුතුයැයි සසජාතශි කියා සිටී. 

කියවන්න:  ආන්ඩුවේ මහජන ආරක්ෂක කමිටුවලට සහ අනිවාර්ය යුද පුහුනුවට එරෙහි වනු!

Loading