# ඈන් ෆ්‍රෑන්ක් සමාන්තර කතා: නාසින්ගේ තරුන ගොදුර

[පහත පල කෙරෙන්නේ 2020 ජූලි 18 දින # Anne Frank Parallel Stories: The young victim of the Nazis යන මැයෙන් පල කෙරුනු ලිපියේ සිංහල පරිවර්තනයයි.]

සැබිනා ෆිඩෙලි සහ ඇනා මිගොටෝ අධ්‍යක්ෂනය

ඉතාලි පුවත්පත් කලාවේදීන් වන සැබිනා ෆිඩෙලි සහ ඇනා මිගොටෝ අධ්‍යක්ෂනය කොට, නෙට්ෆ්ලික්ස් ඔස්සේ විකාශනය කරන ලද, ඈන් ෆ්‍රෑන්ක් සමාන්තර කතා නම් වාර්තා චිත්‍රපටය, ඈන් ෆ්‍රෑන්ක්ගේ මෙන් ම දෙවෙනි ලෝක යුද්ධයේ නාසි වධක කදවුරුවල සිට දිවි බේරුනු අයගෙන් තවමත් ජීවත්වන වෙනත් ස්ත්‍රීන් පස් දෙනෙකුගේ ජීවිත නැවත සොයා යයි.

ඈන් ෆ්‍රෑන්ක්ගේ කතාව සහ ඇගේ දිනපොත පිලිබඳ ව, දෙවෙනි ලෝක යුද්ධය අවසන් වූ වහා ම දශලක්ෂ සංඛ්‍යාත දෙනෙකු දැන ගත් අතර එහි සුප්‍රකට සිනමා අනුවර්තනය 1959 දී සිදු විය. ජෝර්ජ් ස්ටීවන්ස් අධ්‍යක්ෂනය කල එම චිත්‍රපටයේ මිලී පර්කින්ස් රගපෑවා ය.

ඈන් ෆ්‍රෑන්ක් 1940 දී

ඈන් ෆ්‍රෑන්ක් 1929 දී ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට්හි යුදෙව් පවුලක උපන්නා ය. ඈන්ට සිවු වසරක් වූ විට පවුල නාසිවාදීන් ගෙන් බේරී නෙදර්ලන්තයට පලා ගියේ ය. 1940 වන විට ජර්මනිය විසින් නෙදර්ලන්තය අල්ලා ගන්නා ලද අතර ෆ්‍රෑන්ක් පවුල ඇම්ස්ටර්ඩෑමයේ දී කොටු විය. වසර දෙකකට පසු, ඈන්ගේ පියා, තම ව්‍යාපාරික ස්ථානයේ ඇනෙක්සියක්, රහස් ස්ථානයක් වශයෙන් සකස් කිරීම ආරම්භ කලේ ය.

ඇගේ 13 වෙනි උපන් දින, ඈන් සහ ඇගේ පවුල සැඟවී ජීවත් වන්නට පටන් ගත් අතර සැඟවී සිටි එම වසර දෙකේ දී ඈන්, තියුනු දෘෂ්ටියකින් හා මෘදු හදවතකින් යුතුව “රහස් කුටිය” තුල ගෙවන ජීවිතය පිලිබඳ ව ලියුවා ය. එංගලන්තයේ පිහිටුවා ගත් විප්‍රවාසී ලන්දේසි රජයේ අධ්‍යාපන ඇමතිවරයා ගුවන් විදුලි ආයාචනයක් කරමින්, යුද දිනපොත් හා ලේඛන පවත්වා ගෙන යන ලෙස අසන්නන්ගෙන් ඉල්ලා සිටින ලද විට, ඇනා ඇගේ දිනපොත ලිවීම නැවත ආරම්භ කරන ලද නමුත්, එය අවසන් කිරීමට පෙර ඇය සහ ඇනෙක්සියේ සිටි වෙනත් අය, 1944 අගොස්තු 4 වෙනි දා ගෙස්ටාපෝව මගින් සොයා ගෙන අත්අඩංගුවට ගන්නා ලද්දේ ය.

ඇනා, ඇගේ දෙමාපියන් සහ සෙහොයුරිය සමග දුම්රියෙන් අවුෂ්විට්ෂ් වෙත ප්‍රවාහනය කරනු ලැබුවේ ය. එම වසරේ අග භාගයේ ඇය, ඇගේ සොහොයුරිය සහ මව, පහල සැක්සනියේ බර්ගන්-බිල්සන් රැදවුම් කදවුර වෙත ගෙන යන ලද අතර 1945 මුල් භාගයේ එහි දී මියගියා ය. එවිට ඇගේ වයස වසර පහලොවකි. සමහර විට ඇය ටයිෆොයිඩ් රෝගයෙන් මියයන්නට ඇත.

යුද්ධය අවසන් වූ පසු, පවුලේ නොමැරී ජීවත් වන්නා වූ එකම සාමාජිකයා වූ ඈන්ගේ පියා ඔටෝ, ආපසු ඇම්ස්ටර්ඩෑමය වෙත පැමිනියේ ය. පවුල අත්අඩංගුවට ගෙන රැගෙන යාමෙන් පසුව සොයා ගෙන තිබුනු දියනියගේ දිනපොත ඔහුට දෙන ලදී. ඔහු 1947 දී එය ප්‍රකාශයට පත් කලේය. අද වන විට ඈන් ෆ්‍රෑන්ක්ගේ දිනපොත භාෂා 60 කට වැඩි ගනනකට පරිවර්තනය කර ඇති අතර පිටපත් මිලියන 30 කට වඩා අලෙවි වී තිබේ.

මේ අලුත් වාර්තා චිත්‍රපටයේ බිය දනවන සහ හද සසල කරවන අංගයන් ඇත. හෙලන් මිරන් නිලිය ඈන්ගේ දිනපොතින් උද්ධෘත   කොටස් හෘදයාංගම ලෙසින් කියවීම ඔස්සේ ඇයගේ ඛේදවාචකය ජීවමාන කෙරේ. එම කථනය, මහා යුදා සංහාරයෙන් දිවි ගලවා ගත්තවුන් පස් දෙනෙකු වූ අරිආනා ස්ෂොරෙන්යි, සාරා ලිච්ටිස්ටීන්-මොන්ටාර්ඩ්,හෙල්ගා වයිස් සහ ඇන්ඩ්‍රා හා ටටියානා බුච්චිගේ දෘෂ්ටිකෝනයන් සමග අන්තර්ජේදනය වේ. ඔවුන්ගෙන් සමහරෙක් රැදවුම් කදවුරු කරා යවන විට ඈන්ගේ වයසේ පසු වූහ.

එම ස්ත්‍රීන්ගේ පසුබිම පිලිබද සාරාංශයක් Aish.com මගින් ලබා දෙයි. ඇන්ඩ්‍රා හා ටටියානා බුච්චි දෙදෙනා ක්‍රොයේෂියානු සොහොයුරියෝ වෙති. ඔවුන්ගේ මව සහ ඥාති සොහොයුරියක සමග අත්අඩංගුවට ගන්නා විට, ඔවුහු වයස අවුරුදු හතරේ හා හයේ පසු වූහ. “මුලින් උතුරු ඉතාලියේ ට්‍රිස්ටේහි පිහිටි රිසියේරා ඩි සාන් සබා රැඳවුම් කඳවුර වෙත ගෙන ගොස් එතැනින් අවුෂ්විට්ෂ්-බිර්කිනාවු වෙත ප්‍රවාහනය කෙරින. 1945 දී සෝවියට් හමුදාව අවුෂ්විට්ෂ්වෙත ලගා වන විට එහි ජිවත් වී සිටියේ නොයෙකුත් ජාතීන්ට අයිති ලමුන් 650 ක් පමනි. ඇන්ඩ්‍රා හා ටටියානා ද එහි සිටියහ.”

ඈන් ෆ්‍රෑන්ක් සමාන්තර කතා

අරිආනා ස්ෂොරෙන්යි ද ක්‍රොයේෂියාවේ ජීවත් වූවාය. “නිර්වාස කර ප්‍රවාහනය කරන විට ඇය එකොලොස් වෙනි වියේ පසු වූවාය. ඇය රිසියේරා ඩි සාන් සබා කදවුරේ සිටබර්ජන්-බිලිසන් කඳවුර දක්වා යැවෙන විට රැඳවුම් කඳවුරු සතරක් පසු කර සිටියා ය. ඇය නොමැරී සිටියත් ඇගේ පවුලේ සාමාජිකයින් සත් දෙනෙකුට දිවි අහිමි විය.”

හෙල්ගා වයිස් ද උපන්නේ ඈන් ෆ්‍රෑන්ක් උපන් වසරේ ම ය. වසර 12 දී ඇය සහ ඇගේ පවුල ප්‍රාග් සිට ජර්මනිය විසින් යටත් කර ගනු ලැබ සිටි චෙකොස්ලොවැකියාවේ ටෙරසින් කදවුරට යැවිණ. ඉන් පසුව අවුෂ්විට්ෂ්, ෆ්‍රීබර්ග් (ජර්මනියේ) හා මවුතාවුසෙන් (ඔස්ට්‍රියාවේ) වෙත යැවුණේ ය. ලමා වියෙහි සිට හෙල්ගා දිනපොතක් තබා ගත්තා ය. ඒ වැඩි වශයෙන්ම විචිත්‍ර හා කුසලතා සපිරි ඇඳීම් වෙනුවෙනි.

“සාරා මොන්ටාර්ඩ්වෙල් ඩි හයිව් වැටලීමෙන්’[1942 ජූලි මාසයේ දී සිදු වුනු ප්‍රංශ-යුදෙව් ජාතිකයින් අත්අඩංගුවට ගැනීම - ගෘහස්ත ක්‍රීඩාගාරයක් වූ වෙලොඩ්‍රෝම් ඩි හයිව්ර්හි (වින්ටර් වෙලොඩ්‍රෝම්) තාවකාලිකව රදවා තැබින] බේරී පැරීසියට පලා ගිය අතර සිය මව සමග 1944 දක්වා වසර දෙකක් සැගවී සිටියා ය. එම වසරේ ඇය අල්ලා ගෙන, අවුෂ්විට්ෂ්-බිර්කිනාවු වෙත යැවුනු බව වාර්තා විය. ඇය කැමරාව වෙත සෘජුව විවෘත වෙමින් නොපැකිලව මෙසේ පවසයි. “ඉතාමත් නරක ම, ඉතාමත් භයංකර ම දේ වුනේ ආදාහනාගාරයෙන් නිකුත් වුනු ගිනි දැල්ලයි. රාත්‍රියේත්, දහවලේත් එය නැගුනේ බිහිසුනු ශබ්දයක් ඇති කරමිනි. ගිනි දලුවලින් අහස ලා රෝස පාටින් දිලිසෙන්නට විය. මම අත්දුටු දේට පසු මම තව දුරටත් කිසිම දේකට බය වුනේ නැහැ.” ඈන් ෆ්‍රෑන්ක් මෙන් සාරා ද බර්ජන්-බෙල්සන් රැඳවුම් කඳවුරේ සිරකාරියක වූවා ය.

ඒ ස්ත්‍රීන්ගෙන් පැවත එන කිහිප දෙනෙකු මෙම ඉතිහාසය ඔවුන්ගේ ම ජීවිත කෙරෙහි ඇති කරන ලද බලපෑම ගැන කතා කරන අතර ප්‍රතිභාපූන වයිලීන වාදකයෙක් හා සිය ආත්තම්මාගේ රැඳවුම් කඳවුරු අංකය යටි බාහුවේ පච්ච කොටාගෙන සිටින තව කෙනෙක් ඊට ඇතුලත් වෙති. චෙක් බිම්වලින් පැමිනි, ව්‍යසනයට ලක් වුනු ෂෝහා යුදෙව්වරුන් 80,000 කට ආසන්න සංඛ්‍යාවකගේ ස්මාරකයක් වූ ප්‍රාග්හි පිහිටි පින්කාෂ් යුදෙව් පල්ලිය, ලොමුදැහැ ගන්වන එක ජවනිකාවකින් පෙන්නුම් කරයි.

ඈන් ෆ්‍රෑන්ක් සමාන්තර කතා මගින් විස්තර කරන්නේ රැඳවුම් කඳවුරු වෙත යවන ලද ඕලන්ද යුදෙව්වන්ගෙන් සියයට 75 ක් ඉන් පසුව මියගිය බව ය. 1941 පෙබරවාරියේ රටේ මහා වැඩවර්ජනයක් ඇති වූ අතර එය නාසීන් විසින් කරන ලද යුදෙව්වන් අත්අඩංගුවට ගැනීම හා සංවිධානාත්මක ඝාතනයට විරුද්ධ ව එවකට නීති විරෝධී වී තිබුනු කොමියුනිස්ට් පක්ෂය මගින් සංවිධානය කරන ලදදකි. මෙම වැඩවර්ජනය යුරෝපයේ නාසින්ට විරුද්ධ ව සිදු වුනු ප්‍රථම මහජන විරෝධය ලෙස සැලකේ. දින තුනකට පසු ජර්මානු හමුදා විසින් වැඩවර්ජනය මෘග ලෙස මර්දනය කරනු ලැබී ය.

අතිරේක මූලාශ්‍රයක් ලෙස, මෙම වාර්තා චිත්‍රපටය මගින් කතිරිනා කැට් (මාටීනා ගැටී) නම් නව යොවුන් ගැහැනු ලමයකු යොදා ගන්නා අතර ඇය පරිකල්පිත ඈන් කෙනෙකු ලෙස බර්ජන්-බෙල්සන් කඳවුර, කෞතුකාගාර හා ඓතිහාසික ස්ථානයන් ගවේෂනය කරමින් සන්දර්භගත වෙයි. එක පරපුරක සාමාජිකාවක වශයෙන් ඈන්ට තමාගේ සම්බන්ධයක් තිබෙන බව හඟින ඇය, ඈන්ගේ කථා පුවත අද යථාර්ථයට සම්බන්ධ කරයි. ගැටීගේ වියමන්, ඈන් ඇගේ බොහෝ දිනපොත් ලියුම්වල දීි ආදරනීය කිටී’ යනුවෙන් අමතනු ලබන ප්‍රබන්ධමය චරිතයේ යාවත්කාලීන අනුවර්තනයකි.

ඈන් ෆ්‍රෑන්ක් සමාන්තර කතාවල මධ්‍ය රැහැන වන්නේ, මිලානෝහි පිකොලෝ රඟහලේ වේදිකා නිර්මානකරුවන් විසින් නිම කරන ලද, ඇම්ස්ටර්ඩෑමයේ රහස් සරනාගතයකුගේ අනුරුවක් ඔස්සේ, මිරන් විසින් ඇනාගේ දිනපොත කියවනු ලැබීම ය. මානව ඉතිහාසයේ දැවැන්තම අපරාධය වූ යුදෙව් මහා සංහාරය වාර්තා කරන විට පවා පෙන්වන ලද මනුෂ්‍යයත්වය පිලිබද බලාපොරොත්තුව සහ නැවතත් ප්‍රකෘතිමත් වීමේ හැකියාව, ඇනාගේ තාරුන්‍ය පිරි වචන හා සිතුවිලි මගින් ග්‍රහනය කර ගනු ලැබේ. ඒ සමහර සටහන් අවධාරනය කිරීම වටියි.

ඇම්ස්ටර්ඩෑමයේ පිහිටි ඈන් ෆ්‍රෑන්ක්ගේ නිවසේ රහස් ඇනෙක්සයට ඇති ප්‍රවේශය ආවරනය කරන ලද පොත් රාක්කය, නැවත සාදා තැබීමකි (අනුග්‍රහය:බුන්ග්ලි)

1942 නොවැම්බර් 19: ප්‍රවෘත්ති බිහිසුනු ය. බලධාරීන් අප දන්නා ඉතා බොහෝ මිතුරන් සහ මිනිසුන් රැඳවුම් කඳවුරුවලට ගෙන ගොස් ඇත. හමුදා වාහන මිනිසුන් අත්අඩංගුවට ගන්නට දවල් රෑ වීථිවල සැරිසරයි. ඔවුන් සොයන්නේ යුදෙව් ජාතිකයින් ය; ඔව්හු සෑම දොරකට ම තට්ටු කරති. එක යුදෙව්වකු හෝ එහි ඉන්නවා දැයි අසති. යුදෙව් පවුලක් සොයා ගත් විට සියල්ලන් රැගෙන යති. සපයන තොරතුරුවලට ඔව්හු මුදල් පවා ගෙවති. සන්ධ්‍යා කාලය පැමින, අදුර වැටුනු කල, ඇවිදින අහිංසක මිනිසුන්ගේ දිග පෝලිම්, කෙලවරක් නැතිව ඇවිද ගෙන යන අහිංසක මිනිසුන්ගේ දිග පෝලිම් මම නිතර දකිමි. රෝගී මනුෂ්‍යයෝ, මහලු මනුෂ්‍යයෝ, ලමයි, ලදරුවෝ - සියල්ලෝ ඔවුන්ගේ මරනය කරා පිය නගති.

1944 අප්‍රේල් 5: මගේ ජීවිතයෙන් පලදායක වැඩක් ගන්නට මට වුවමනා ය. මට පුවත්පත් කලාවේදිනියක් වන්නට වුවමනා ය. මට ලියන්නට පුලුවන් බව මම දනිමි. මගේ කතාවලින් ස්වල්පයක් හොඳයි. මගේ දිනපොතෙන් වැඩි හරියක් හරි ම ප්‍රානවත්. ප්‍රීතිමත්. නමුත්... මට ඇත්තට ම හොද ලේඛිකාවක් වෙන්නට පුලුවන් ද යන බව මම තවම නො දනිමි. නමුත් එවිට පොත් ලියන්නට හෝ පුවත්පත්වලට ලියන්නට හෝ නො හැකි නම් මට මා වෙනුවෙන් නිතර ලියන්නට පුලුවනි. මට අම්මා මෙන්, වැන් ඩාන් නෝනා මෙන් හා අනෙක් සියලු ගැහැනු මෙන් ජීවත් වන්නට වුවමනා නැත. ඒ අය තමන්ගේ වැඩ ටික කරනවා පමනයි. ඉන් පසු ඔවුන් ව අමතක කරනු ලබනවා. සැමියකුට හා දරුවන්ට වඩා වැඩි යමක් මට වුවමනායි. සියලු මිනිසුන්ට, මට කවදාවත් මුනගැසී නැති මිනිසුන්ට පවා සතුටක් ගෙන දෙන්නට මට වුවමනාය. මගේ මරනයෙන් පසුව නො කඩවා ජීවත්වීමට මට වුවමනා ය!

1944 අප්‍රේල් 16: ඊයේ දිනය මතකයට. ඒ මන්ද එය මට විශේෂයි. ගැහැනු ලමයකු ඇගේ පලමුවෙනි හාද්ද ලබන විට එය සෑම විටම වැදගත් දිනයක්...

එය මගේ කෙස් වැටිය අතරින් ලැබුනා, වම් කම්මුලේ අඩකට සහ මගේ කනේ අඩකට. මම පඩි පෙලේ පහලට දිව්වා, ආපසු හැරී බැලුවේ නැහැ! ඊයේ රාත්‍රියේ පීටර් (වැන් ඩාන්) සහ මම සුපුරුදු පරිදි සෝෆාවේ වාඩි වී හිටියා, එකිනෙකාගේ දෑත්වල අපි හිටියා. හිටිහැටියේ පුරුදු ඈන් අතුරුදහන් වුනා - ආත්ම විශ්වාසයෙන් හෙබි, ගෝලිච්චා කරන ඈන්- ඒ අතරේ දෙවෙනි ඈන් ඇගේ තැන ගත්තා. මේ දෙවෙනි ඈන්ට වුවමනා ආදරය කරන්නයි, සන්සුන් විදිහට ඉන්නයි පමනයි. මගේ ඇස්වලට කඳුලු ඉනුවා. ඔහු එය නිරීක්ෂනය කලා ද? ඔහු සෙලවුනේ නැහැ. ඔහුටත් හැගුනේ මට හැගුනු විදිහට ද? ඔහු කතා කලේ නැති තරම්. මගේ ප්‍රශ්නවලට පිලිතුරු නො ලැබුනි.

1944 මැයි 3: ආන්ඩු ඖෂධ හෝ දුප්පතුන් වෙනුවෙන් කිසිවක් වියදම් නොකරද්දී සෑම දවසකම මිලියන ගනන් යුද්ධයට දෙන්නේ මන්ද? ලෝකයේ අනෙක් කොටස්වල ආහාර කඳු ගනන් කුනු වී යද්දී මිනිසුන් ආහාර නැති ව සිටිය යුත්තේ මන් ද? අහෝ, මිනිස්සු මේ තරම් උමතු මන් ද?

1944 මැයි 25: ලෝකය අනෙක් පැත්තට හැරිලා. වටිනා ම මිනිස්සු රැදවුම් කඳවුරුවල, නැති නම් සිරගෙවල්වල. නරක ම මිනිස්සු තීරනය කරනවා අර මිනිස්සුන් ව එසේ රඳවන්නට.

දිනපොතේ පසුවදන සරල ව මෙසේ සඳහන් කරයි: “1944 අගෝස්තු 4 වෙනි දා උදෑසන, රහස් ඇනෙක්සයේ, 263, ප්‍රින්සෙන්ග්‍රාච්ට් ලිපිනයට කාරයක් පැමිනියා. ඇනෙක්සයේ සිටි පුද්ගලයින් අටදෙනා මුලින් ඇම්ස්ටර්ඩෑමයේ සිරගෙයක් වෙත ගෙන ගියා. ඉන් පසුව ඔවුන් පෝලන්තයේ පිහිටි රැඳවුම් කඳවුරක් වන අවුෂ්විට්ෂ් වෙත යැවී ය.”

“1945 ජනවාරි 16 වෙනි දා, පීටර් වැන් ඩාන්ට සිදු වුනා ඔස්ට්‍රියාවේ මවුතාවුසෙන් සිට අවුෂ්විට්ෂ් දක්වා සිරකාරයින්ගේ බියකරු පා ගමනේ යෙදෙන්නට. එහි දී 1945 මැයි 5 වෙනි දා ඔහු මියගියේ ය (වයස 18 යි). මිත්‍ර හමුදා කඳවුරට ලගා වෙන්නට දවස් තුනකට පෙර දී යි ඔහු මියගියේ. ඊඩිත් ෆ්‍රෑන්ක්, ඈන්ගේ මව, අධික වෙහෙස හා අධික සාගින්න නිසා තව දුරටත් ජීවත් විය නො හැකි ව 1945 ජනවාරි 6 වෙනි දින අවුෂ්විට්ෂ් කඳවුරේ මියගියා ය.

“ මාගට් සහ ඈන් ෆ්‍රෑන්ක් දෙදෙනා අවුෂ්විට්ෂ් සිට ජර්මනියේ හැනෝවර් කිට්ටුව පිහිටි බර්ගන්-බෙල්සන් රැඳවුම් කඳවුර කරා ගෙන යන ලදී. එහි දී සිරකරුවන්ට දරුනු රෝගයක් වැලඳුනේ ය. 1944-5 ශීත සෘතුවේ දී දෙදෙනා ම මියගියහ. පෙබරවාරිය අග හෝ මාර්තු මුල දී ඈන් මියයන්නට ඇත. සියලු සිරකරුවන්ගේ සිරුරු එකට වීසි කර දමන ලද්දේ ය. 1945 අප්‍රියෙල් 12 වෙනි දා බ්‍රිතාන්‍ය හමුදාව කඳවුරට ලඟා විය.”

චිත්‍රපටයේ විස්තර කථනයේ යෙදෙන්නන් අතරින් එක් අයෙක් මෙසේ නිරීක්ෂනය කරයි: “ජර්මනිය විසින් විනාශ කර දමන ලද ප්‍රතිභාව ගැන සිතින් මවා ගන්න... ඔබ දරුවන් විනාශ කරන විට, ඔබ අසීමිත හැකියාවන් විනාශ කර දමයි.”

ඈන් ෆ්‍රෑන්ක් 20 වෙනි ශතවර්ෂයේ වැඩියෙන් ම ප්‍රකට හා වැඩියෙන් ම ආදරය ලබන චරිතවලින් එකකි. මේ වාර්තා සිනමාව මගින් ඇගේ කතා පුවත වෙත ආපසු ගමන් කිරීම කාලෝචිත වේ. ප්‍රශංසනීය වේ. මීරන් විසින් සිදු කරනු ලබන දිනපොතේ උධෘත කියවීම ගැඹුරින් හදවත විනිවිදියි. මතකයන් සසල කරයි. සන්සුන් සිහිබුද්ධිය අවදි කරයි. ඇත්තෙන් ම, ඈන් ෆ්‍රෑන්ක්ගේ වචන මගින් හෙලිදරව් කරනු ලබන්නේ ඇය දීප්තිමත්, නොපැකිල ලෙස අවංක හා දුරදක්නාසුලු තරුනියක බව ය. ඒවා මගින් උසස් සංස්කෘතික පසුතලයක් පිලිබද කිසියම් හැඟීමක් ද ලබා දෙයි.

1950 ගනන්වල පසුභාගයේ සිට ඈන්ගේ කතාන්දරය අලලා වේදිකා හා රූපවාහිනී චිත්‍රපට දුසිම් දෙකක් පමන බිහි වී ඇත. මේ චිත්‍රපටය පිලිබද කාරනයේ දී අන්ත-දක්ෂිනාංශික ව්‍යාපාරවල නැගීම සහ සංක්‍රමනිකයින්ට හෝ සරනාගතයින්ට පහර දීම ඇතුලත් වර්තමාන දේශපාලන තත්ත්වය මගින් මේ චිත්‍රපටකරුවෝ පැහැදිලි ලෙස කිසියම් බලකිරීමක් ලබා සිටිති. “සිරියා, ලිබියා, ඉරාක් යුද්ධවල පැමිනීම සමග, යුරෝපයේ සිදු වෙමින් පවතින සංක්‍රමනික ගැටලුව සමග, නොයෙකුත් ජනවර්ගයන්ට, නොයෙකුත් ගෝත්‍රයන්ට, නොයෙකුත් සංස්කෘතීන්ට සහ නොයෙකුත් පුද්ගලයින්ට ඇඟිල්ල දිගු කරන්නට පටන් ගැනීමට හා මගේ ප්‍රශ්නවලට චෝදනා ලැබිය යුත්තේ ඔබ ය’ කියන්නට ඉතාමත් පහසු ය” යි මීරන් සඳහන් කරයි.

ඇය තවත් දුර යමින් පැහැදිලි කරන්නේ, ඈන් ෆ්‍රෑන්ක්ගේ දිනපොත “අතීත මිනිස් අත්දැකීම් පිලිබඳ සැබෑ අවබෝධය අපගේ වර්තමානයට හා බොහෝ වශයෙන් අනාගතයට රැගෙන යාමේ පුදුමාකාර අධ්‍යාපනික මෙවලමක්, පුදුමාකාර වාහකයක් බව ය. එය ඉතාමත්, ඉතාමත් වැදගත් බව මා සොයා ගත් අතර මේ කෘතිය නිර්මානය කරන්නට මට වුවමනා වූ හේතුව එය යි.”

අවාසනාවකට, නැවතත් පෙනෙන්නේ, මේ ව්‍යාපෘතියට යොමු කර තිබෙන නිර්ව්‍යාජ හැඟීම තිබිය දී, ෆැසිස්ට්වාදයේ මූලයන් හා නැගීම පැහැදිලි කරන්නට ප්‍රයත්නයක් ගෙන නැති බව ය. සමාන්තර කතා මගින් අනුගමනය කර තිබෙන්නේ ඉතිහාසය පිලිබඳ යම් ප්‍රමානයක අනියතාකාර හා වියුක්ත ආකල්පයකි. ඈන් ෆ්‍රෑන්ක්ට ම වූවත් මෙම ප්‍රපංචයේ ගාමක බලවේග පිලිබඳ ව කිසියම් අන්තර්ඥානමය දැක්මක් තිබුනි. ෆැසිස්ට්වාදය විශාල ව්‍යාපාර ආරක්ෂා කිරීම සමග සම්බන්ධ වී තිබෙන අතර රුසියානු විප්ලවයට හා සෑම රටකම පවතින විප්ලවය පිලිබඳ තර්ජනයට ප්‍රතිචාරයක් බව එවකට පොදු අවබෝධය වී තිබුනි.

1930 ගනන්වල නාසිවාදයේ නැගීමට තුඩු දෙන ලද කිසිදු ප්‍රශ්නයක් ගෝලීය ධනවාදය මගින් මේ වන විට විසඳා නැත. ඊට ප්‍රතිවිරුද්ධ ලෙස එහි ප්‍රතිවිරෝධතා වලිප්පු සහගත බලයකින් විදාරනය වෙයි.

Loading