එන්නත්කරනයේ ආන්තික අවිධිමත්භාවය වසංගතය පිලිබඳ ආන්ඩුවේ සාපරාධී පිලිවෙත ගැඹුරින්ම හෙලිදරව් කරයි

ලංකාව තුල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 85,000 ට සහ මරන සංඛ්‍යාව 500 ට ආසන්න වන තතු තුල වසංගතය සම්බන්ධයෙන් ආන්ඩුව ආරම්භයේ සිට ගෙනගිය සාපරාධී  පිලිවෙත රෝගය මර්දනය කිරීමේ සෑම අංශයක් ඔස්සේම ප්‍රකාශයට පත් වෙන අතර, එන්නත්කරනය මගින් එය වඩාත් පැහැදිලිව පෙන්නුම් කෙරෙයි. ආන්ඩුව මුලින් ප්‍රකාශයට පත්කල එන්නත්කරන සැලැස්මෙහි තිබූ ප්‍රමුඛතා අනුපිලිවෙල හිතුමතේ වෙනස් කරමින්,  මහජනතාව අවිනිශ්චිතභාවයේ අන්ධකාරය තුල ගිල්වා ඇත.

ජාතික එන්නත්කරන සැලැස්මෙහි ප්‍රමුඛතා අනුපිලිවෙල ලෙස පැවතුනේ සෞඛ්‍ය කාර්ය මන්ඩල, ආරක්ෂක අංශ, වයස අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන්, වෙනත් රෝගාබාධ ඇති අය සහ ආර්ථික වශයෙන් වැදගත් හා අත්‍යවශ්‍ය සේවා වල ඉහල අවදානම් කාන්ඩ යන ආකාරයටය.

කොවිඩ් එන්නත (ස්ටොක් ඉමේජ් අනුග්‍රහය: එන්වාටෝ)

 මෙවන් ප්‍රමුඛතාවන් සැලකීමේ මූලික අරමුනක් වනුයේ වසංගතයට වැඩි වශයෙන් නිරාවරනයවන වන සහ ඉන් වැඩි වශයෙන් මරනයට පත්වන සමාජ කාන්ඩයන් හඳුනාගෙන ඔවුනට පලමුව එන්නත ලබා දෙමින් වෛරසයේ පැතිරීම සහ මරන අවම කිරීමයි. වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට එන්නත ලබා දීම ප්‍රමුඛ අවශ්‍යතාවයක් වන්නේ වෛරසය හේතුවෙන් මිය යන අයගෙන් සියයට 70 කට ආසන්න සංඛ්‍යාවක්  එම වයස් කාන්ඩයේ වීම නිසාය.

නමුත් ආන්ඩුව මෙම ප්‍රමුඛතා අනුපිලිවෙල වෙනස් කරමින් සෞඛ්‍ය හා ආරක්ෂක අංශ වලට එන්නත් කිරීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් 225 ට එන්නත් කිරීම ආරම්භ කලේය. වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට ප්‍රමුඛතාව ලබාදීම අත් හැර තෝරාගත් කන්ඩායම් වල 30-60 අතර පුද්ගලයින්ට ද එන්නත ලබා දෙමින් සිටී.

මෙම අවිධිමත් සහ අතාර්කික පියවරෙහි ප්‍රතිවිපාක පිලිබඳව වෛද්‍ය විශේෂඥයන් ගේ අවධානය යොමු වී ඇත. ශ්‍රී  ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය පෙබරවාරි 22 වනදා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කලේ මෙම පියවර “විද්‍යාත්මක පදනමකින් එකඟ වූ ප්‍රමුඛතාවයන්ගෙන් දුරස් වීමක්” නියෝජනය කරන බවයි.

එම පියවර “මහජන සෞඛ්‍ය තීරනයක් නොවන” බව එම සංගමය තම නිවේදනයෙන් අවධාරනය කරයි. එහි වැඩි දුරටත් අනතුරු අඟවා සිටින්නේ “කොවිඩ් 19 හේතුවෙන් ඇතිවෙන සංකූලතා හා මරන අවම කිරීමේ පරමාර්ථය පෙරදැරි කරගත් රටේ කොවිඩ් 19 වැලැක්වීමේ ක්‍රියාකාරකම් මුලුමනින්ම අඩපන කරවන” බවයි.

ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය අනතුරු අඟවන ආකාරයටම මෙම ප්‍රමුඛතාවයන් වෙනස් කිරීමෙහි සෘජු ප්‍රතිවිපාකය වනු ඇත්තේ වෛරසයෙන් වඩාත් හානි සිදු විය හැකි වයෝවෘද්ධ පුද්ගලයින්ගේ ජීවිත මරනයට ඇද දැමීමයි. එය අනිවාර්යෙන්ම මරන සහ ආසාදන සංඛ්‍යාව ඉහල නංවනු ඇත. වියපත්වූවන්ගේ ජීවිත නොතකා හැරිමේ මෙම නරුම පිලිවෙත ගලා එන්නේ සමස්ත මහජනතාවගේ ජිවිත පිලිබඳව ධනපති ආන්ඩුවට ඇති නොතැකීමෙනි.

ආන්ඩුව හදිසියේම එන්නත් දීමේ පිලිවෙත වෙනස් කිරීම සෞඛ්‍ය සේවකයන් මත ඉමහත් විරෝධයක් මතු කර ඇත. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ අනෙකුත් කම්කරුවන් ගතවූ සතිය තුල මේ සම්බන්ධයෙන් විවිධ විරෝධතා වල නිරත වූහ.

මෙම අවිධිමත්භාවය එන්නත්කරන මධ්‍යස්ථාන වල පවත්නා දැඩි තදබදය සහ දෛනික පීසීආර් පරීක්ෂන සංඛ්‍යාව අඩු කිරීම හරහා ද ප්‍රකාශයට පත්වෙමින් තිබේ. එදා වේල පිරිමසා ගන්නා ආකාරයට සිදු කෙරෙන මෙම වැඩපිලිවෙල යටතේ සම්පාදනය කෙරෙන එන්නත් ප්‍රමානය සීමා වීම එන්නත් මධ්‍යස්ථාන තුල තදබදය නිර්මානය වීමට ප්‍රධාන හේතුවකි. මේ හේතුවෙන් ප්‍රදේශ කිහිපයකම එන්නත්කරන මධ්‍යස්ථාන වලට රොක්වූ මහජනතාවගේ විරුද්ධත්වය පුපුරා ගියේය.

ඒ ඒ වීදි වල සහ ප්‍රදේශවල පදිංචිකරුවන්ට නිශ්චිත කාලවේලා කලින්ම දැනුම් දෙමින් සහ මධ්‍යස්ථාන සංඛ්‍යාව ප්‍රමානවත් අයුරින් වැඩි කරමින් සංවිධිත ආකාරයකට එන්නත්කරනය සැලසුම් නොකිරීම හේතුවෙන්, වියපත්වූවන් පවා දිගු පෝලිම් වල තද අවුවේ තම වාරය එනතෙක් බලා සිටින අයුරු මාධ්‍යයන්හි ප්‍රදර්ශනය කෙරෙමින් පවතී.

අනෙක් අතට එන්නත්කරනයට තෝරාගෙන ඇති මධ්‍යස්ථාන පවා සමාජ දුරස්ථභාවය අනුගමනය කිරීමට හැකි ආකාරයේ පහසුකම් පවතින ඒවා නොවේ. දශක ගනනාවක සෞඛ්‍ය සේවයේ කප්පාදුව හේතුවෙන් ප්‍රාදේශීයව පවත්නා ඉතා සීමිත සංඛ්‍යාවකින් යුත් පොදු මධ්‍යස්ථාන පවා ඇත්තේ අඩපන වූ තත්වයන් යටතේය. මේ හේතුවෙන් එන්නත්කරන මධ්‍යස්ථාන හරහා වසංගතය පැතිරීමේ අවදානමක් මතු කර ඇත.

අනෙක් අතට සෞඛ්‍ය සේවකයන්ගේ හිඟය එන්නත්කරනයේදී සැලකිය යුතු ආකාරයෙන් ප්‍රකාශයට පත් වෙමින් පවතී. පසුගිය 23 වන දා ශ්‍රී  ලංකා මහජන සෞඛ්‍ය   පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහන සඳහන් කලේ එන්නත්කරනයට යොමුවීම හේතුවෙන් “ආසන්නම දින තුනේ ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරී කාර්යාලවල PCR පරීක්ෂන තාවකාලිකව නැවතී ” තිබුනු බවයි.

ඔහු පවසන අයුරින්ම 15,000 පමන සීමාවක තිබුනු දෛනික පීසීආර් පරීක්ෂන මට්ටම පසුගිය දින වල 12,000 ක සාමාන්‍යයකට පහත බැස්සේය. දින කිහිපයකදී එය දස දහසේ සීමාවෙන්ද පහලට ඇදී ගියේය.

මෙය, 2020 ජනවාරි මාසයේ පලමු කොවිඩ් රෝගියා හඳුනාගත් දින සිටම වසංගතයට ගැලපෙන පරිදි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සහ සේවකයින් සංඛ්‍යාව ඉහල නැංවීම ආන්ඩුව විසින් ප්‍රතික්ෂේප කිරීමේ අනිවාර්ය ප්‍රතිඵලයයි. 

පිසීආර් පරීක්ෂන සංඛ්‍යාව ඉහල නැංවීම වසංගතය පාලනයේ දී අත්‍යවශ්‍ය කරුනකි. රෝගීන් හඳුනාගෙන ඔවුන්ගෙන් වසංගතය පැතිරීමට ඉඩ නොදී  හුදෙකලා කල හැක්කේ මේ හරහා ය. මෙලෙස පරීක්ෂන සීමා කිරීම හරහා දෛනිකව හඳුනා ගැනෙන රෝගීන් සංඛ්‍යාව අවම කර පෙන්වීම, වසංගතය පාලනය කොට ඇති බවට ආන්ඩුව ගෙනයන ව්‍යාජ  උද්ඝෝෂනයේම කොටසකි.

ආන්ඩුව ආසාදිතයින්ගේ මරන සහ පීසීආර් පරීක්ෂන පිලිබඳ සැබෑ දත්ත යට ගසමින් සිටින බව පසුගිය සතියේ ආන්ඩුවට ගැති වෘත්තීය සමිතියක් වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයමත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලේය. මීට පෙරද ආන්ඩුවට මෙම චෝදනාවම එල්ල කරමින් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය පරීක්ෂන වලින් ඉවත් විය.

මෙම තත්වය තුල ප්‍රකට වෛද්‍යවරයෙකු වන රවී රන්නන් එලිය සිය බ්ලොග් පිටුවෙහි පෙබරවාරි 23 වනදා එන්නත්කරනය පිලිබඳ සටහනක් තබමින් සඳහන් කලේ ලංකාව තුල එන්නත්කරනය “සිය අරමුනු සාක්ෂාත් කරගැනීමට අසමත් ව” සිටින බවයි. ආන්ඩුව විසින් මුලුමනින්ම අත හැර දමා ඇති පීසීආර් පරීක්ෂන ඉහල නැංවීමේ අවශ්‍යතාවය ඔහු අවධාරනය කලේය.

වසංගතයේ නව ප්‍රභේදයන් එන්නත් ප්‍රතිශක්තිය සීමා කිරීම පිලිබඳව ද රන්නන් එලිය අවධානය යොමු කරයි. එන්නත්කරනයෙන් අපේක්ෂිත ප්‍රතිඵලය මෙම නව ප්‍රභේද මගින් දිගු කාලීනව ආපසු හැරවිය හැකි බව සඳහන් කරන වෛද්‍යවරයා පවසන්නේ ආන්ඩුව “නව ප්‍රභේද පැතිරීම වැලැක්වීමට බරපතල පියවර කිසිවක් ගෙන නොමැති” බවයි.

දැනටමත් B 117 කොවිඩ් ප්‍රභේදය සමාජගත වී ඇති බව පවසන  ඔහු, නව ප්‍රභේද පැමිනීම වැලැක්වීමට පුලුල් සීමා පැනවීම සහ නව ඒවාට එරෙහිව හොඳින් ක්‍රියාකරන ෆයිසර්, මොඩර්නා වැනි එන්නත් භාවිතා කිරීම යෝජනා කරයි. 

රන්නන් එලිය ගේ සටහන් පෙන්නුම් කරන්නේ එන්නත්කරනයෙන් සාර්ථක ප්‍රතිඵල ලැබීමට නම් එයට සමාන්තරව, පාසල් ඇතුලු අධ්‍යාපන ආයතන සහ අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන වසා දමමින් වසංගතයේ නව ප්‍රභේද පැතිරීම සීමා කිරීම තීරනාත්මක ලෙස බලපාන බවයි. පීසීආර් සංඛ්‍යාව ඉහල නැංවීම සහ වේගයෙන් ආසාදිතයන් හුදෙකලා කිරීම එහි වැදගත් කොටසකි. 

කෙසේ වෙතත් රාජපක්ෂ ආන්ඩුව මෙම පියවර වලට මුල සිටම විරුද්ධත්වය පල කරමින් සිටී. වසංගතය පැතිරීම වැලැක්වීමට අවශ්‍ය සෞඛ්‍ය  ආරක්ෂන පියවර අතහැර දමා නිදහසේ වෛරසයට සහ නව ප්‍රභේද වලට පැතිරීමට හැකිවන ලෙස ආර්ථිකය විවෘත කර තැබීමට ආන්ඩුව පියවර ගත්තේය.

කොවිඩ් රෝග පාලන රාජ්‍ය  අමාත්‍ය  සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ පෙබරවාරි 25 වනදා සිරස රූපවාහිනියේ “පැතිකඩ” වැඩසටහනට සහභාගී වෙමින් “ආර්ථික කටයුතු වේගවත් ව කිරීමට” මෙම ප්‍රමුඛතා ලැයිස්තුව වෙනස් කල බව සඳහන් කලාය. ඇය වැඩි දුරටත් පැවසුවේ “විශාල විදේශ විනිමය ලබා දෙන ආයෝජන ප්‍රවර්ධන කලාප වල කර්මාන්ත ක්‍රමානුකූලව වැසී යෑම” වැලැක්වීමට වයස අවුරුදු 30-60 අතර ජනතාවට එන්නත ලබා දීමට රජය තීන්දු කල බවයි.

ප්‍රනාන්දුපුල්ලේ ගේ ප්‍රකාශය පැහැදිලි කරන ආකාරයට ආන්ඩුව ලැබී තිබෙන සොච්චම් එන්නත් ප්‍රමානය පවා භාවිතා කරමින් සිටින්නේ මහජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට නොව මහා ධනපතියන්ට ලාභ ගරා ගැනීමට හැකි වන පරිදි වසංගතය මධ්‍යයේ කම්කරුවන් වැඩට දැක්කීමට තල්ලුවක් ලබා ගැනීමට ය. වසංගතය සම්බන්ධයෙන් රාජපක්ෂ තන්ත්‍රය ඇතුලු ලොවපුරා ධනපති ආන්ඩුවල පිලිවෙත නිර්නය වූයේ, මහ ධනපතියන්ගේ මෙම ලාභෝත්පාදන අවශ්‍යතාවයෙනි.

Loading