රාජපක්ෂ ආන්ඩුව වරාය පුද්ගලීකරනය ඉදිරියටම ගෙනයයි

කොලඹ වරායේ බටහිර පර්යන්තය (ඩබ්ලිව්සීටී) "ඉදි කර, මෙහෙයුම් කර, පවරා දීමේ" ගිවිසුමක් යටතේ, ඉන්දියාවේ "අදානි පොර්ට්ස් සහ ස්පෙෂල් ඉකොනොමික් සෝන් ලිමිටඩ්" සමාගමට පැවරීමට තීන්දු කල බව ආන්ඩුව පසුගිය දා නිවේදනය කලේය. වසර 35ක් සඳහා වන මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීමේදී එම සමාගමේ දේශීය නියෝජිතයා වන්නේ ජෝන් කීල්ස් හෝල්ඩින් පීඑල්සී සමාගමයි.

බටහිර පර්යන්තයේ සියයට 85 ක හිමිකම් පුද්ගලික අංශයට පැවරීම සඳහා, මාර්තු 01 දා කැබිනට් මන්ඩලයේ අනුමැතිය ලැබුනු බවත්, අනතුරුව ඒ සඳහා ආයෝජකයෙකු නම් කරන ලෙස ඉන්දියානු රජයෙන් හා ජපාන රජයෙන් ඉල්ලා සිටි බවත් ආන්ඩුව පවසයි. ඒ අනුව, "ඉන්දීය රජයේ අනුමැතිය සහිතව" ඉහත සමාගම ව්‍යාපෘතිය සඳහා ඉදිරිපත්ව ඇති බව ලංකාවේ ආන්ඩුව නිල වශයෙන් ප්‍රකාශයට පත් කලේය. කෙසේ නමුත්, ඉන්දියානු ආන්ඩුව පවසන්නේ එවන් අනුමැතියක් ලබා දී නොමැති බව යි.

වරාය පුද්ගලීකරනයට එරෙහි කම්කරුවන්ගේ උද්ඝෝෂනය

 මෙම සිද්ධි දාමයෙන් ඉතා වැදගත් කරුනු දෙකක් ප්‍රකාශයට පත්වෙයි. ඉන් පලමුවැන්න වනුයේ, දසදහස් සංඛ්‍යාත කම්කරුවන්ගේ රැකියා අහිමි කරමින් සහ අනෙකුත් කම්කරුවන්ගේ අයිතීන් උදුරා ගනිමින් 1990 ගනන්වල ආරම්භ කෙරුනු වරාය පුද්ගලීකරන වැඩපිලිවෙල ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව යටතේ වඩාත් වේගවත් කෙරී පවතින බවයි.

වෘත්තීය සමිතිවල පාවාදීම් ප්‍රයෝජනයට ගනිමින් මේ වන විට කොලඹ වරායේ සැලකිය යුතු කොටසක් පුද්ගලීකරනය කෙරී ඇත. 1999 දී දකුනු ආසියා ගේට්වේ පර්යන්තය (එස්ඒජීටී) පුද්ගලීකරනය කිරීමට සහ 2013 දී කොලඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය (සීඅයිසීටී) පුද්ගලීකරනය කිරීමට වෘත්තීය සමිති දායක වූහ. පුද්ගලීකරනයත් සමග කම්කරුවන්ගේ ස්ථීර රැකියා 20200 සිට 10000ක ප්‍රමානයට කපාහැර ඇති අතර, ඉතා දුෂ්කර සේවා කොන්දේසි හා පහල වැටුප් යටතේ මිනිස් බල කම්කරුවන් සේවයේ යොදවා ඇත.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ, ඉන්දියාවේ සහ ජපානයේ හවුල් ව්‍යාපාරයක් ලෙස කොලඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය (ඊසීටී) පවත්වාගෙන යනුවස් පසුගිය සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව අත්සන් කොට තිබූ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට රාජපක්ෂ ආන්ඩුව ගත් තීරනය ප්‍රකාශයට පත්වීමත් සමග, පුද්ගලීකරනයේ ඉහත ප්‍රතිඵල ගැමුරින් අත්දැක ඇති වරාය කම්කරුවන් අතර බලගතු විරෝධයක් වැඩී ආවේය. 2020 ජූලි 31දා,10,000කට අධික වරාය කම්කරුවන්ගේ සහභාගිත්වයෙන් යුත් වැඩවර්ජනයක් ලෙස එම විරෝධය පුපුරා ගියේය.

අගමැති මහින්ද රාජපක්ෂගේ ව්‍යාජ පොරොන්දුවක් මත වෘත්තීය සමිති එම වර්ජනය පාවා දුන්හ. ගිවිසුමේ වැඩකටයුතු තවදුරටත් ඉදිරියට යද්දී, කම්කරුවන් යලි උද්ඝෝෂන මාලාවකට පිවිසි අතර, පසුගිය ජනවාරියේ ඔවුහු වර්ජනයට සූදානම් වූහ. මෙම අරගල මාලාවේ ගාමකය වූයේ පුද්ගලීකරනයට එරෙහිව ඔවුන් අතර වැඩී පැවති බලගතු විරෝධය යි.

පුද්ගලීකරනයට සහ ආන්ඩුවේ අනෙකුත් ප්‍රහාරයන්ට එරෙහිව, සමස්ත කම්කරු පංතියේ ඒකාබද්ධ සහ ස්වාධීන දේශපාලන අරගලයක් දෙසට එම අරගලය වර්ධනයවීමේ ශක්‍යතාවය සෑම අතින්ම ප්‍රකාශයට පත්විය. එයින් භීතියට පත් වරාය වෘත්තීය සමිති, ධනපති ජනතා විමුක්ති පෙරමුන, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුලු ව්‍යාජ-වාම පක්ෂ සහ අන්ත දක්ෂිනාංශික සිංහල-බෞද්ධ වර්ගවාදී නඩ සමග එක්ව "නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික ව්‍යාපාරය" නම් ප්‍රතිගාමී සන්ධානය අටවා පුද්ගලීකරනයට එරෙහි කම්කරුවන්ගේ අව්‍යාජ සටන්කාමිත්වය, ඉන්දියානු-විරෝධී ජාතිකවාදී උද්ඝෝෂනයක් තුල ගිල්වා දමන්නට වැඩ කලහ.

කෙසේ නමුත්, ආන්ඩුව උක්ත ගිවිසුම බිඳ දමමින් ඊසීටී ය වරාය අධිකාරිය යටතේ "සංවර්ධනය" කරන බව පෙබරවාරි 1 දා නිවේදනය කලේය. ආන්ඩුවේ මෙම ප්‍රතිචාරය පිටුපස මූලික කරුනු දෙකක් පැවති බව සමාජවාදී සමානතා පක්ෂය, පෙබරවාරි 05 දා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලකල ප්‍රකාශයෙන් මෙසේ පෙන්වා දුනි.

"ශ්‍රී ලංකාවේ ආන්ඩුව ප්‍රමුඛ වසයෙන් ම බිය වුනේ, වෘත්තීය සමිතිවල ස්වෝත්තමවාදී ස්වභාවය නො තකා, වරාය කම්කරුවන්ගේ විරෝධය කම්කරු පන්තියේ අනෙකුත් කොටස් ද අරගලවලට පැමිනීමට දිරිමත් කරනු ඇත යන්න ගැන යි."

දෙවැන්න වූයේ, "දක්ෂිනාංශික ජාතිකවාදී කොටස්වල-එනම් මෑත මැතිවරනවලදී රාජපක්ෂ විසින් බලමුලුගන්වන ලද බලවේගයන්ගේ මෙම "විරෝධය" තමන්ගේ පාලන තන්ත්‍රයේ බිඳෙනසුලු බව හෙලිදරව් කරනු ඇතැයි" ජනාධිපති රාජපක්ෂ තුල පැවති කනස්සල්ලයි.

"නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික ව්‍යාපාරය" එයට ප්‍රතිචාර දක්වමින් වහාම තම උද්ඝෝෂන නවතා දැමීය. තම සටනේ ඒකායන අරමුන වූයේ ඊසීටී ය වරාය අධිකාරිය යටතේ රඳවා තබා ගැනීම පමනක් බවත්, පිලිවෙතක් ලෙස පුද්ගලීකරනයට විරුද්ධ නොවන බවත් පැවසූ "ජාතික ව්‍යාපාරයේ" නායකයෝ ආන්ඩුවේ තීරනය තම සටනේ ජයග්‍රහනයක් ලෙස ඔජ වැඩූහ.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල, මාධ්‍ය හමුවකදී මෙසේ ප්‍රකාශ කලේය: "නැගෙනහිර පර්යන්තය පිලිබඳව අප වෘත්තීය සමිති හා අනෙකුත් පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කරමින් සිටියදී බටහිර පර්යන්තයේ සංවර්ධනය, විදේශ ආයෝජන සමඟ සිදුකරන බව අපි ඉතා පැහැදිලිව ප්‍රකාශ කලෙමු." එම සාකච්ඡාවන්හි දී බටහිර පර්යන්තය පුද්ගලීකරනයට "ජාතික ව්‍යාපාරය" එකඟ වී ඇතිබව රඹුක්වැල්ලගේ ප්‍රකාශයෙනමත් සනාථ වෙයි. ආන්ඩුව බටහිර පර්යන්තය පුද්ගලීකරනයට වහා පියවර ගත්තේ "ජාතික ව්‍යාපාරය" ලබාදුන් මෙම අන්ත ප්‍රතිගාමී සහයෝගයෙනි.

බටහිර පර්යන්තය පැවරීමේ ව්‍යාපෘතියෙන් ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂ ආන්ඩුව දුරස්ථව සිටීම අනෙක් මූලික කරුනයි.

ඩේලි මිරර් පුවත්පතේ වාර්තාවකට අනුව, ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක අනුරාග් ශ්‍රීවාස්තව පවසා ඇත්තේ, බටහිර පර්යන්තය සම්බන්ධ ශ්‍රී ලංකා අන්ඩුවේ මාධ්‍ය ප්‍රකාශය තුල "ඉන්දියානු ආන්ඩුවේ අනුමැතිය" සම්බන්ධයෙන් කෙරෙන සඳහන "තථ්‍ය වසයෙන්ම සාවද්‍ය" බවයි. “ශ්‍රී ලංකාවේ ආන්ඩුව මෙම ව්‍යාපෘතිය සඳහා ආයෝජකයින් සමඟ ඝෘජුව සම්බන්ධ වී ඇති බව අපට වැටහෙනවා” යයි ඔහු තවදුරටත් පවසා ඇත.

ඉන්දියාව කොලඹ වරාය කෙරෙහි උත්සුක වන්නේ හුදෙක් ආර්ථික උවමනාවන් මත පමනක් නොව, චීනයට එරෙහිව, ඇමරිකාව සහ ඉන්දියාව ක්‍රියාවට නංවන මූලෝපායික සැලසුම්වල කොටසක් ලෙස කොලඹ වරාය තුල තම පය ගසා ගැනීමේ අවශ්‍යතාවයෙන් ද බව ලෝසවෙඅ නිරන්තරව පෙන්වා දුන්නේ ය. මෙම තතු තුල, ශ්‍රී ලංකාව විසින් ඊසීටී ගිවිසුම ඒක පාර්ශ්වීයව කඩකිරීම සම්බන්ධයෙන් ඉන්දියාව තම කනස්සල්ල විවිධ ආකාරයෙන් ප්‍රකාශයට පත්කොට ඇත.

රාජපක්ෂ ආන්ඩුව චීනයෙන් දුරස්ථ කොට තම මූලෝපායික කක්ෂයට මුලුමනින්ම ඇතුලුකර ගැනීම සඳහා වොෂින්ටනය යොදන පීඩනයේ කොටසක් ලෙස, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (යූඑන්එච්ආර්සී) තුල ලංකාවට එරෙහිව සම්මත කිරීමට නියමිත යුද අපරාධ හා මානව හිමිකම් උල්ලඝනය කිරීම පිලිබඳ යෝජනාව සම්බන්ධයෙන් ද ඉන්දියාවේ ප්‍රතිචාරය කොලඹ ආන්ඩුවට සහයෝගී බවක් නොපෙන්වයි.

පසුගියදා කවුන්සිලය තුල පැවති ශ්‍රී ලංකාව පිලිබඳ සංවාදයේදී, තම විදේශ ඇමති එස්.ජයිශංකර් කොලඹ දී දුන් පනිවිඩය පුනරුච්චාරනය කරමින් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියේ, "ප්‍රතිසන්ධානය සහ ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය පූර්න වශයෙන් ක්‍රියාත්මක කිරීම" ඇතුලුව දෙමල ජනයාගේ “යුක්තිසහගත අභිලාෂයන්” ආමන්ත්‍රනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස යි.

කෙසේ නමුත්, එම යෝජනාව පරාජය කිරීම සදහා රාජපක්ෂ අන්ඩුව ඉන්දියාවේ සහයෝගය දෘඪතරව බලාපොරොත්තු වේ.

හින්දු පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ජයනාත් කොලඹගේ මෙසේ පවසා ඇත: "ශ්‍රී ලංකාවට අපගේ මිත්‍රශීලී අසල්වැසියන්ගේ දැඩි සහාය අවශ්‍ය වේ. තවද අපි අසාමාන්‍ය දෙයක් නො ඉල්ලමු. කලාපයේ සැමට ආරක්ෂාව සහ වර්ධනය මත ඔබගේ අසල්වැසියා පලමුව යන ප්‍රතිපත්තිය මත පදනම්ව අපි යමක් ඉල්ලා සිටිමු."

"දකුනු ආසියානු සහයෝගීතාව පිලිබඳව ඉතා දැනුවත්" ජනාධිපති රාජපක්ෂ, මානව හිමිකම් යෝජනාව සම්බන්ධයෙන් ඉන්දියාවේ සහාය ඉල්ලා අගමැති නරේන්ද්‍ර මෝදි ට ලිපියක් යවා ඇති බවත්, ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස්වරයා සමග ද ඒ පිලිබඳව කොලඹ දී සාකච්ඡා කල බවත් විදේශ අමාත්‍යංශ ලේකම්වරයා පවසා ඇත.

බටහිර පර්යන්තය ලහිලහියේ ඉන්දියානු සමාගමට පවරාදීමේ වැඩකටයුතු යටින් පවතින අති මූලික කාරනාවක් වන්නේ, මානව හිමිකම් කවුන්සිලය තුල ලංකාවට එරෙහිව ගෙන ඒමට නියමිත යෝජනාවේදී ඉන්දියාවේ සහයෝගය ලබා ගැනීමේ සහ එක්සත් ජනපද-ඉන්දියා මූලෝපායික සැලසුම් වලට එරෙහිව නොයන බවට යම් සහතිකයක් ලබාදීමේ උත්සුකය යි.

මෙම කරුනු වලින් යලිත් සනාථ වන්නේ, කම්කරු පන්තියට පුද්ගලීකරනය ඇතුලු ප්‍රහාර පරාජය කල හැක්කේ, "ජාතික ව්‍යාපාරය" වටා එක්වූ ආකාරයේ සියලු අවස්ථාවාදී නඩ ප්‍රතික්ෂේප කරමින් සහ රාජපක්ෂ ආන්ඩුවේ සියලු ප්‍රහාරවලට විරුද්ධ ව තමන්ගේ දේශපාලන හා කාර්මික ශක්තිය ස්වාධීන ව බලමුලුගැන්වීමෙන් පමනි.

පෙබරවාරි 05 වන දා සසප ප්‍රකාශයෙන් පෙන්වා දුන් පරිදි, "කම්කරුවෝ, කම්කරු පන්තිය බෙදීමට හා දුර්වල කිරීමට යොදා ගන්නා ඉන්දියානු-විරෝධී ස්වෝත්තමවාදය ඇතුලු ජාතිකවාදයේ හා දේශප්‍රේමයේ විෂ ප්‍රතික්ෂේප කල යුත්තාහ. ඔවුන්, වාර්ගික රේඛා කපාගෙන ඉන්දියාවේ හා ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරියන් සමග ඒකාබද්ධ විය යුතු ය."

Loading