ලංකාවේ කම්කරුවෝ ඕල්ටන් වත්තේ රාජ්‍ය මර්දනය හෙලා දකිති

[පහත පල කෙරෙන්නේ 2021 මාර්තු 15 දින Sri Lankan workers denounce state repression of Alton Estate workers  යන මැයෙන් පල කෙරුනු ලිපියේ සිංහල පරිවර්තනයයි.] 

ඕල්ටන් වත්තේ කම්කරුවන් 22 දෙනෙකු අත්අඩංගුවට ගැනීම හෙලා දකිමින් සහ ඔවුන්ට එරෙහි සියලු චෝදනා ඉවත් කරගන්නා ලෙස සමාජවාදී සමානතා පක්ෂය (සසප) ගෙන යන උද්ඝෝෂනයට සහයෝගය පල කරමින්, ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ පලල් කන්ඩායමක් පසුගිය සතියේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන් සමග කතා කල හ.

වැටුප් ඉහල දැමීමක් ඉල්ලමින් හා වත්තේ කලමනාකරුවා එල්ල කල ප්‍රචන්ඩ ප්‍රහාරයකට විරෝධය දක්වමින් වර්ජනයේ යෙදෙමින් සිටි ඕල්ටන් කම්කරුවන්, එම වත්තේ කලමනාකාරීත්වය, පොලීසිය හා ප්‍රධාන වතු වෘත්තීය සමිතිය වන ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී) සිදුකල කුමන්ත්‍රනයකින් අනතුරු ව අත්අඩංගුවට ගන්නා ලදී. ඕල්ටන් කම්කරුවන්ට එරෙහි ව බොරු නඩු ඇටවීම, ශ්‍රී ලංකාවේ සියලු කම්කරුවන්ගේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන්ට එල්ල කරන පලල් ප්‍රහාරයක කොටසකි.

කප්පාදු පියවරයන්ට එරෙහි ව පසුගිය සැප්තැම්බරයේ පිකට් කිරීමේ නිරත වුනු උඩ රදැල්ල වත්තේ කම්කරුවෝ (ලෝසවෙඅ)

 පසුගිය මාර්තු 10 අත්අඩංගුවට ගෙන සිටි කම්කරුවන් මුදාහරින ලද්දේ දන්ඩනීය ඇප කොන්දේසි පනවමිනි .රුපියල් 15,000ක ඇප මුදලක් තැන්පත් කිරීම, ප්‍රදේශයේ ග්‍රාම නිලධාරියා විසින් සහතික කරන ඥාතීන් දෙදෙනෙක් පුද්ගලික ශරීර ඇප තැබීම, ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර භාර දීම සහ ඕල්ටන් අසල පිහිටි මස්කෙලිය පොලිස් ස්ථානයේ සෑම මසක ම අවසන් ඉරිදා පුද්ගලික ව පෙනී සිටීම එම කොන්දේසිවලට අඩංගු වේ.

“බන්ධනාගාරගත කල ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන් නිදහස් කරනු! සමාගම්-පොලිස් කුමන්ත්‍රනවලින් සියලු කම්කරුවන් ආරක්ෂා කරනු!” යන හිසින් යුත් ප්‍රකාශයක් සසප මාර්තු 1දා නිකුත් කලේ ය. එම ප්‍රකාශයට දිවයින පුරා කම්කරුවන් අතරින් බලගතු සහයෝගයක් ලැබී ඇත. 

ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ රසායනාගාර තාක්ෂන ශිල්පියෙක් වන තරිඳු, ඕල්ටන් කම්කරුවන් අත්අඩංගුවට ගැනීම හෙලාදුටුවේ ය. “ව්‍යාජ චෝදනා සියලු කම්කරුවන් මර්දනය කිරීම තීව්‍ර කිරීමේ උත්සාහයක් බව පැහැදිලි යි.

“ඔබ පක්ෂයේ ප්‍රකාශය කියවූ විට, 2017 ඉන්දියාවේ මරුති-සුසුකි කම්කරුවන් 13 දෙනා මත පැනවූ ජීවිත කාලීන සිර දඬුවම්  සිහිපත් වුනා. ඕල්ටන් කම්කරුවන්ට එරෙහි වත් ඒ හා සමාන කුමන්ත්‍රනයක් දියත් කෙරෙමින් තිබෙනවා.

ඔහු මෙසේ ද සඳහන් කලේ ය: “ආන්ඩුව ඉන්නේ හාම්පුතුන්ගේ පැත්තේ, ඕල්ටන් කම්කරුවන් අත්අඩංගුවට ගැනීම ඉදිරි සියලු පන්ති අරගලවලට ප්‍රතිචාර දැක්වීමට එය සූදානම් වන්නේ කෙසේදැයි යන්න පිලිබඳ සංඥාවක්. කම්කරු පන්තිය මෙම ප්‍රහාරයට විරුද්ධ ව බලගතු ලෙස සටන් වැදිය යුතු යි.”

වතු කම්කරුවන් බියවද්දා වඩා රුදුරු කොන්දේසි යටතේ වැඩ කරන ලෙස බල කිරීමට වතු සමාගම් උත්සාහ දරමින් සිටින බව හෝමාගම ප්‍රදේශයේ පාසලක කාර්යාල සහායකයෙක් කීවේ ය.

“වතු කම්කරුවන්ට එරෙහි වඩාත් රුදුරු ප්‍රහාර සාධාරනීකරනය කිරීමට සූදානම්වෙමින්, ඔවුන් වතු කම්කරුවන් ත්‍රස්තවාදීන්’ ලෙස හංවඩු ගසනවා” යි ඔහු කීවේ ය. වෘත්තීය සමිති මෙම ප්‍රහාරය සමග ඒකාබද්ධ වීම හෙලා දුටු ඔහු, එය “ඒවා සැබෑවට ම සේවය කරන්නේ කාටදැයි හෙලිදරව් කරනවා” යි වැඩි දුරටත් සඳහන් කලේ ය.

වතු තුල පවතින ඊනියා ප්‍රචන්ඩත්වය ගැන ආන්ඩුවේ ජාතික ආරක්ෂක මන්ඩලය සාකච්ඡා කිරීම, වතු කම්කරුවන්ට එරෙහි ප්‍රහාර තීව්‍ර කිරීමේ සැලසුම් සකස් කරමින් තිබෙන බවට පෙන්නුම් කරන්නේ යයි කොලඹ වරායේ තාක්ෂන ශිල්පියෙක් සඳහන් කලේ ය.

“මේ කම්කරුවන් සටන් කරන්නේ ශිෂ්ට සම්පන්න ලෙස ජීවත් විය හැකි වැටුපක් සඳහා යි. නිෂ්පාදනයේ නිරත  කම්කරුවන්ගෙන් ධනපතියෝ ලාබ මිරිකා ගන්නාවා,  නමුත් ජීවත්වීමට හැකි වැටුපක් ලැබීම කම්කරුවකුගේ අයිතියක්. මෑත අවුරුදුවල අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහල ගොස් තිබෙන නිසා, කම්කරුවන්ට ලැබෙන වැටුපෙන් ජීවත්වීම කරගැනීම දුෂ්කර වී තිබෙනවා. වරාය කම්කරුවන්ට අවුරුදු ගනනාවකින් වැටුප් වැඩි වීමක් ලැබී නැහැ.”

එම වරායේ ම බහාලූ රියැදුරෙක් ඕල්ටන් කම්කරුවන්ට එල්ල කර ඇති ප්‍රහාරය හෙලා දකිමින් වතු කම්කරුවන් රුපියල් 1000ක මූලික දෛනික වැටුපක් ඉල්ලමින් වසර ගනනාවක් තිස්සේ සටන් වැදී ඇති බව කීවේ ය. “මෙය සාධාරන හා අවශ්‍ය සටනක්” යි ඔහු සඳහන් කලේ ය. “ධනවාදය විශාල අර්බුදයක ගිලී සිටින නිසා කම්කරුවන්ට මෙවන් සාධාරන ඉල්ලීමක් වත් දිනාගන්නට බැහැ. 

“පාලකයෝ කම්කරුවන්ට එරෙහි මිලිටරි ප්‍රහාර සූදානම් කරමින් සිටිනවා” යි තව දුරටත් පැවසූ ඔහු වරාය අධිකාරියේ සභාපති ධුරයට විශ්‍රාමික හමුදාපතිවරයෙක් පත්කිරීම වෙතට අවධානය යොමු කලේ ය. කම්කරුවන් කොලඹ වරාය පුද්ගලීකරනය කිරීමට එරෙහි අරගලයක නිමග්න ව සිටින බව පෙන්වා දුන් ඔහු, එවන් පත්කිරීම් රට මිලිටරීකරනය කිරීමේ කොටසක් බව කීවේ ය.

ඕල්ටන් කම්කරු අරගලයට සෑම කම්කරුවෙක් ම සහයෝගය දිය යුතු බව අප්කොට්හි ඩීසයිඩ් වත්තේ කම්කරුවෙක් සඳහන් කලේ ය. “අපේ දෛනික වැඩ ප්‍රමානය 2016 දී කිලෝග්‍රෑම් දෙකකින් ඉහල නැංවූවා ඊට විරුද්ධව  වෘත්තීය සමිතිවල නොතකා  වැඩ වර්ජනය කල විට අපිත් මේ වගේ තත්වයකට මුහුන දුන්නා. එම අරගලයේදී කම්කරුවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන රැකියා ලේඛනයෙන් නම් ඉවත් කලා. අත්අඩංගුවට ගත් කම්කරුවන් නිදහස් කරගැනීම සඳහා බලගතු උද්ඝෝෂනයක් ගෙන යමින් අපට සහයෝගය දී අප ආරක්ෂා කල එක ම සංවිධානය සසප පමන යි.”

දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීමට ආන්ඩුව මෑත දී ගත් තීරනයට වතු සමාගම් ප්‍රතිචාර දක්වා ඇත්තේ, ඔවුන්ගේ පිරිවැය අඩු කිරීම පිනිස වැඩ දින ගනන කපා දැමීමට තර්ජනය කරමින් බව ඔහු තව දුරටත් කීවේ ය. “මේ (රුපියල් 1000 දෛනික වැටුප) සඳහා අපි 2015 පටන් සටන් වැදී ඇතත්, සියලු වෘත්තීය සමිති කර ඇත්තේ අප පාවාදීම පමන යි.” 

එම වත්තේ ම කම්කරු කාන්තාවක් වත්තේ පවතින දුෂ්කර වැඩ කොන්දේසි විස්තර කලා ය. “ඕල්ටන් වත්තෙන් අත්අඩංගුවට ගෙන ඇති කම්කරුවන්ගෙන් බහුතරය කාන්තාවන්. කාන්තා කම්කරුවන් අපේ වැටුප් අරගලයේ ඉදිරියෙන් ම සිටිනවා. අපි බොහෝ සෙයින් පීඩා විඳිනවා. කලමනාකාරීත්වයේ නිෂ්පාදන ඉලක්ක ලඟා කර ගැනීමට අපි අසමත් වුවහොත්, පැය අටක් වැඩ කලත් අපිට ලැබෙන්නේ දවස් බාගයක වැටුප පමනයි.”

වසර කිහිපයකට පෙර ප්‍රදේශයේ පැවති සසප මැතිවරන රැස්වීමකට සහභාගි වීම සිහිපත් කල ඇය, පක්ෂයේ ක්‍රියා මාර්ගය “සියයට 100ක් නිවැරදි” බව දැන් අවබෝධ කරගන්නා බව කීවා ය.

හලාවත පාසලක අනධ්‍යයන කම්කරුවෙක්, වතු තුල පවතින රුදුරු කොන්දේසි පිලිබඳ ව දැනුවත් බවත්, බ්‍රිතාන්‍ය විජිත පාලනය පැවති සමයට වඩා වෙනසක් නැති බවත් ප්‍රකාශ කලේ ය. ඕල්ටන් කම්කරුවන්ට බොරු නඩු ඇටවීම හෙලාදුටු ඔහු, ඔවුන් ව කොන්දේසි විරහිත ව නිදහස් කරන්නැයි කැඳවුම් කලේ ය.

“ජීවත් විය හැකි වැටුපක් ඉල්ලා අරගලයක නිරත කම්කරුවන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීම, ආන්ඩුව හා වතු කලමනාකරුවන් ප්‍රහාර තීව්‍ර කරන්න යන බව පෙන්නුම් කරනවා. මෙම ප්‍රහාර එල්ල කරන්නේ ලෝක වෙලඳපොලවල තරඟයට ප්‍රතිචාර ලෙස හා ඵලදායිතාව ඉහල දමා ලාභ වැඩි කරගැනීමේ උත්සාහයක් ලෙසයි.

“කොරෝනා වෛරස් ආසාදන ඉහල නගින කොන්දේසි යටතේ, වතු කම්කරුවන් හා ඇඟලුම් කම්කරුවන් රුදුරු සූරාකෑමකට භාජනය කරනවා, එය හඳුන්වන්නේ ‘සංවර්ධනය’ ලෙස” යි ඔහු කීවේ ය.

වසංගතය පවතිද්දී පවා ප්‍රමානවත් සෞඛ්‍ය හා ආරක්ෂක පියවරයන්ගෙන් තොර ව වැඩ කිරීමට ගුරුවරුන්ට හා පාසල් අනධ්‍යයන කම්කරුවන්ට බල කෙරී ඇති බව ඔහු විස්තර කලේ ය. නිවාඩු අනුමත කිරීම් බොහෝ විට ප්‍රතික්ෂේප වන බවත්, වැඩ ප්‍රමානය පවරා ඇති රාජකාරිවල සීමාවෙන් ඔබ්බට ගොඩ ගැසෙන බවත් ඔහු තව දුරටත් කීවේ ය.

ඕල්ටන් කම්කරුවන් පිලිබඳ ව ලෝසවෙඅ ලිපි කියවන විට තමන් කම්පා වූ බව ඇඹිලිපිටිය ප්‍රදේශයේ වෛද්‍යවරයෙක් කීවේ ය.

“සමාගමේ නීතිඥයා වතු තුල ‘ත්‍රස්තවාදය’ පවතින බව කියන විට, එය බරපතල කාරනාවක්. ‘ත්‍රස්තවාදී’ යන ලේබලය ඇලවීම, ආන්ඩුව හා සමාගම් සියලු වතු කම්කරුවන් මර්දනය කිරීමට සූදානම් වන බවට ඉඟි කිරීමක්. ඒ අතර ම, කම්කරුවන් වාර්ගික ව බෙදීමටත් ඔවුන් උත්සාහ දරනවා...

“කම්කරුවන් තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු ගොඩනැගිය යුතු බවත්, හාම්පුතුන්ගේ හා ආන්ඩුවේ ප්‍රහාරයන්ට විරුද්ධ ව පොදු අරගලයක් සංවිධානය කල යුතු බවත් යනුවෙන් ඔබ යෝජනා කරන දෙය සමග මම එකඟ යි” යි වෛද්‍යවරයා කීවේ ය.

Loading