උසස්පෙල සමත් සියලු සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපන අවස්ථා තහවුරු කරන්නේ කෙසේද?

වසරක් පාසා ලංකාවේ උසස් පෙල විභාගය සමත් වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සංඛ්‍යාව හා සැසඳීමේ දී විශ්වවිද්‍යාල අවස්ථා අහිමි වන සංඛ්‍යාව ඉහල යමින් තිබේ. විශ්වවිද්‍යාල බඳවා ගැනීම් සම්බන්ධ සංඛ්‍යා දත්ත පිරික්සීමේ දී පසුගිය දශකයේ සෑම වසරකම විභාගය සමත් වූ 125,000 ට වැඩි පිරිසකට විශ්වවිද්‍යාල අවස්ථා අහිමි කෙරී ඇත. 

වසරක් පාසා විභාගයට පෙනී සිටින හා ඉන් සමත් සිසුන්ගේ ප්‍රතිශතය ඉහල ගොස් පැවතියත්, එම කාලය තුල විශ්වවිද්‍යාල සඳහා තෝරා ගැනෙන ප්‍රතිශතයේ සාමාන්‍යය සියයට 17 ටත් අඩු අගයක් ගෙන තිබේ. උසස් පෙල සඳහා පෙනී සිටින සමස්ත සිසුන් සංඛ්‍යාව හා සැසඳීමේ දී විශ්වවිද්‍යාල අවස්ථා හිමි වන්නේ සියයට 10 ටත් අඩු සංඛ්‍යාවකටයි.

විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතාවක්

මේ වසරේ, 2019 අගෝස්තුවේ විභාගයට විෂය නිර්දේශ දෙකකින් පෙනී සිටි සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුලත් කර ගැනීමේ දී  පැනනැගි අර්බුදයට පිලියමක් ලෙස, පසුගිය වසරට වඩා සිසුන් 10,569 ක් මෙම වසරේ බඳවා ගැනෙන බව රාජපක්ෂ ආන්ඩුව පවසයි.  

නමුත්, එම පියවර කිසිදු ලෙසකින් විශ්වවිද්‍යාල අධ්‍යාපන අවස්ථාවන් ඉහල නැංවීමේ පිලිවෙතකින් නිර්නය වූවක් නොවේ. සිසුන් සහ දෙමාපියන් අතරින් පැන නැගී විරුද්ධත්වය සමහන් කිරීමේ උපාමාරුවක් පමනි. අලුතින් ශිෂ්‍යයන් බඳවා ගැනීමට හැකිවන පරිදි විශ්වවිද්‍යාලවල ධාරිතාවන් සහ පහසුකම් වර්ධනය කිරීම පිලිබඳ කවර හෝ නිශ්චිත වැඩපිලිවෙලක් ආන්ඩුවට නැත. 

වඩාත්ම කැපී පෙනෙන කරුන වන්නේ, 2019 වසරේ විභාගයට පෙනී සිටි 337,704 ක් වන සිසුන් අතරින් විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලද 181,126 න්, 140,000 ක් තරම් සුවිසල් ප්‍රමානයකට විශ්වවිද්‍යාල අධ්‍යාපන අවස්ථා අහිමි කිරීම ගැන ආන්ඩුව සහ අධ්‍යාපන බලධාරීන් කිසිදු සඳහනක් නොකිරීමයි. රාජපක්ෂ ආන්ඩුව මෙන්ම පෙර පැවති තන්ත්‍රයන්ද ශිෂ්‍යයන් සතු මෙම මූලික සමාජ අයිතිය දිගින් දිගටම උල්ලංඝනය කර ඇත. 

සිසුන් සියදහස් ගනනක් විභාග “අසමත්” වන්නේමත්, පාසල් පද්ධතියේ පවතින බරපතල භෞතික හා මානව සම්පත්වල ඌනතා මෙන්ම ඔවුනගේ පවුල් මුහුන දෙන බරපතල ආර්ථික දුෂ්කරතා හේතුවෙනි. මෙලෙස උසස් අධ්‍යාපන අවස්ථා අහිමි කෙරෙන දහස් සංඛ්‍යාත තරුන ජනයාට, පහල වැටුප් හා අනාරක්ෂිත කොන්දේසි යටතේ දැඩි ශ්‍රම සූරා කෑමකට ලක්වන රැකියාවල නිරත වීමට බල කෙරී තිබේ. රජයේ ජන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව, මේ වන විට ලංකාවේ තරුන ජනයාගේ විරැකියා මට්ටම සියයට 28 දක්වා ඉහල නැග ඇත.

පසුගිය දශක කිහිපය පුරා විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන ඉල්ලුම වර්ධනය වෙමින් පැවතිය ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු වැඩපිලිවෙලවල් ක්‍රියාවට නැගූ බලයට පත් ආන්ඩු විසින් නව විශ්වවිද්‍යාල ඉදි නො කෙරුවා පමනක් නොව පවතින විශ්වවිද්‍යාල වලද සම්පත් දැවන්තව කප්පාදු කෙරුනි.

විශ්ව විද්‍යාල පද්ධතිය තුල ක්‍රමිකව වැඩිවන මෙම ඌන ධාරිතාව හේතුවෙන් තම දරුවන්ට අහිමිවන උසස් අධ්‍යාපනය කෙසේ හෝ ලබාදීම සඳහා දෙමාපියන් තුල පවත්නා උත්සුකය, අධ්‍යාපනයේ පෞද්ගලීකරනය වේගවත් කිරීම සඳහා සෑම ආන්ඩුවක්ම ගසා කමින් තිබේ. පසුගිය පෙබරවාරී මස 15 දා ආරක්ෂක අමාත්‍යාංශයට අනුබද්ධ, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවයකට සහභාගී වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, බහුතරයක් ශිෂ්‍යයන්ට විශ්වවිද්‍යාල අවස්ථා හා රැකියා අවස්ථා අහිමිවීමේ ගැටලුවලට “විසඳුම්” සෙවීම සඳහා “පෞද්ගලික අංශයට රජයේ විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන සමග කටයුතු කිරීමට අවස්ථාව තිබිය යුතුයි” යයි ප්‍රකාශ කලේ ය.

ආන්ඩුවේ එල්ලය අධ්‍යාපනය මුලුමනින්ම දෙස් විදෙස් ආයෝජකයන්ගේ ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත් කිරීමයි. රජයේ විශ්වවිද්‍යාල තුල දැනටමත් ආරම්භ කර තිබෙන මුදල් අය කරන පාඨමාලා තවත් වර්ධනය කිරීමත්, “ශ්‍රම වෙලඳපොලට ගැලපෙන අයුරින් අධ්‍යාපනය දිශාගත කිරීම” යන ප්‍රතිගාමී පිලිවෙත යටතේ පවත්නා සීමිත ශාස්ත්‍රීය අධ්‍යාපනය තව තවත් කප්පාදු කිරීමත් ආන්ඩුවේ අනෙක් එල්ලයන් ය. අධ්‍යාපනයේ පෞද්ගලීකරනය වේගවත් කිරීම මගින් සිදු කෙරෙන්නේ නිදහස් අධ්‍යාපනය තව තවත් ව්‍යසනයට පත්කරමින් අතලොස්සක් වන ධනපති හා ඉහල මධ්‍යම පන්තික පවුල්වල දරුවන්ට අධ්‍යාපන අවස්ථා සීමා කිරීමයි.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ඔවුනගේ පාලන සමයේ, ලංකාවේ සාමාන්‍ය පවුල්වල දරුවන්ට පවා ඉංග්‍රීසි භාෂාව ද ඇතුලුව යම් අධ්‍යාපනික අවස්ථා සැලසීමට තීන්දු කලේ, තම පරිපාලන, වානිජ හා බැංකු කටයුතු සඳහා අවශ්‍ය ලිපිකරුවන් සහ ගනකාධිකාරීන් වැනි උගත් නිලධාරීන් පිරිසක් බිහි කර ගැනීමේ අරමුනෙනි.

දෙවන ලෝක යුද්ධයේ විනාශයෙන් පසු මේ කලාපයේ පාලන බලයට පත්,  ජාතික ධනපති පන්තීන් කම්කරු පීඩිත මහජනයාගේ අධ්‍යාපන අවශ්‍යතා පිලිබඳව දැක්වූයේ ද එවැනිම පන්ති ආස්ථානයකි. ලංකාවේ පවත්නා සීමිත නිදහස් අධ්‍යාපනය වනාහි, නිදහස් සෞඛ්‍යය සහ නිදහස් අධ්‍යාපනය ඇතුලු සමාජ අයිතීන් වෙනුවෙන් කම්කරු පන්තිය ගෙනගිය අතීත අරගලවල සහ පාලක පන්තියේ ඉහත අවශ්‍යතාවයන්ගේ ප්‍රතිඵලයකි.  

කම්කරු පන්තියේ බලගතු සටන්වලට මුහුන දුන් ලංකාවේ ධනපති පාලකයෝ, දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇතිවූ උත්පාත සමයේ ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ට හා රුසියාවේ ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රයට යන දෙකටම වාරු වෙමින් අධ්‍යාපනය හා සෞඛ්‍යය තුල සීමිත ප්‍රතිසංස්කරන ඇති කලහ.

කෙසේ නමුත්, රත්රන් සහ ඩොලර් අතර නිශ්චිත සම්බන්ධතාවයක් පිහිටුවමින් 1947 අත්සන් කෙරුනු බ්‍රෙට්න්වුඩ්ස් සම්මුතිය මත පාදක වූ ඉහත උත්පාතයට දශක දෙකකවත් ආයුෂ නොපැවති අතර, 1960 ගනන් වන විට ධනපති ක්‍රමයට ආවේනික වූ පරස්පර විරෝධයන් යලි ඉස්මත්තට පැමින ලෝක ධනේශ්වර පද්ධතිය ගැඹුරුම අර්බුදයකින් ඇලලී යන්නට විය. 1971 අගෝස්තු මසදී බ්‍රෙට්න්වුඩ්ස් සම්මුතිය ඒක පාර්ශ්වීයව බිඳ දැමීමට, එවක ඇමරිකානු ජනාධිපති රිචඩ් නික්සන් තල්ලු කලේ මෙම ප්‍රගාඪ අර්බුදයෙනි. එය, පශ්චාත් යුද කාලීන ලෝක පර්යායේ  බිඳ වැටීමේ ආරම්භය සනිටුහන් කලේය. 

ඒ සමගම, ලොව පුරා මිලියන සංඛ්‍යාත කම්කරුවන්ට එරෙහිව මුදා හැරුනේ, රැකියා සහ වැටුප්  දැවැන්ත පරිමානව  කප්පාදු කෙරුනු  සහ  සෞඛ්‍යය සහ අධ්‍යාපනය ඇතුලු සමාජ සේවා විනාශ කෙරුනු බලගතු ප්‍රහාරයකි. 1980 ගනන් වලදී ඇමරිකාවේ රොනල්ඩ් රේගන් සහ බ්‍රිතාන්‍යයේ මාග්‍රට් තැවර් විසින් කම්කරු පන්තියේ සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කල රුදුරු ප්‍රහාරය මෙම ජාත්‍යන්තර ප්‍රහාරයේ ඉහලම තුඩකි. 

මෙම ගෝලීය ප්‍රහාරයට සමගාමීව, 1977 බලයට පත් ජේ.ආර්.ජයවර්ධන ආන්ඩුව ඉදිරියට දැමූ අධ්‍යාපනයේ පුද්ගලීකරනය සහ රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරනය ඇතුලු ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිලිවෙලට එරෙහිව කම්කරු පන්තියේ බරපතල අරගල පුපුරා ගියේ ය. ජයවර්ධන, 1980 ජූලි මහ වැඩවර්ජනය තලා දැමුවේ ලක්ෂයකට අධික රාජ්‍ය සේවයේ කම්කරුවන් රැකියා වලින් නෙරපමිනි. 

කම්කරුවන් වාර්ගික රේඛා ඔස්සේ බෙදා, කම්කරු පන්තික අරගල යටපත් කිරීමට ලංකාවේ පාලක පන්තිය ආරම්භයේ සිටම යොදාගත්  වර්ගභේදවාදය පෙරනොවූවිරූ පරිදි ඉස්මත්තට ගනිමින් 1983 දී විවෘත යුද්ධයක් දක්වාම වර්ධනය කලේ මේ තත්වය තුලයි.

1970 ගනන් වලින් ආරම්භ කෙරුනු අධ්‍යාපන සහ සෞඛ්‍ය කප්පාදුව දශක තුනකට ආසන්න යුද්ධ කාල සීමාව තුල වඩාත් වේගවත් කෙරුනු අතර, 1960 දශකය තෙක් දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට 4 මට්ටමේ පැවති අධ්‍යාපන වියදම් මේ වන විට සියයට 1.5 දක්වා ක්‍රමානුකූලව කප්පාදු කොට තිබේ.

විශ්ව විද්‍යාල ධාරිතාවන් වැඩි කිරීම සහ පාසැල් අධ්‍යාපනයේ පවත්නා දැවැන්ත අසමානතාව ඉවත් කරනු වෙනුවට අනුප්‍රාප්තික ආන්ඩු සිදුකලේ, පවත්නා ධාරිතාවන්ට සහ වර්ගභේදවාදී පිලිවෙත් වලට ගැලපෙන පරිදි වාර්ගික සහ දිස්ත්‍රික් පදනම් මත විශ්වවිද්‍යාල වලට සිසුන් තෝරා ගැනීමයි. 1972 දී ආරම්භ කොට මේ දක්වා පවත්වා ගෙන යන දිස්ත්‍රික් කෝටා ක්‍රමය (ප්‍රමිතිකරනය) එම නොපනත්කම්වල ප්‍රමුඛ පියවරක් විය. 2002 වසරේ ගෙන ආ ඉසෙඩ් ස්කෝර් ක්‍රමයත් එවැනිම කූටෝපායකි.

වැඩෙන මහජන විරෝධය හමුවේ, විශ්ව විද්‍යාල ධාරිතාව වැඩි කිරීමට යැයි කියමින් 1980 දශකයෙන් පසුව ඒ ඒ පලාත් ආශ්‍රිතව ස්ථාපිත කෙරුනු සබරගමුව, රුහුනු, රජරට, අග්නිදිග හා නැගෙනහිර වැනි විශ්වවිද්‍යාල ආරම්භ කෙරුනේ සැලසුම්ගත ආකාරයට නොව, එදාවේල පිරිමහ ගන්නා ආකාරයට, අතහැර දමන ලද රජයේ ගොඩනැගිලි කිහිපයක ය.

මහජන අධ්‍යාපනයට එල්ල කෙරෙන මෙම ප්‍රහාරය ලංකාව පමනක් සීමා වූවක් නොව ජාත්‍යන්තර ප්‍රපංචයකි. අධ්‍යාපනය රටේ විදේශ විනිමය ඉපැයීම්වලින් ප්‍රධානතම තැනක් ගෙන තිබෙන සහ ජාතික විශ්වවිද්‍යාලවල වියදම් වලින් සියයට 25 ක් විදේශ ශිෂ්‍යයන්ගේ ගාස්තුවලින් යැපෙන ඕස්ට්‍රේලියාවේ, විශ්වවිද්‍යාලවලින් මේ වසරේ කප්පාදු කෙරෙන රැකියා ප්‍රමානය 90,000 ක් පමන වේ. ඇමරිකා එක්සත් ජනපදයේ ආචාර්යවරුන්ගේ සිට අනධ්‍යන සේවකයන් දක්වා රැකියා 650,000 කගේ රැකියා 2020 සිට මේ දක්වා කප්පාදු කර තිබේ. යුරෝපයේ රටවල තත්වය මීට වෙනස් නොවේ. 

කොරෝනා වසංගතය මගින් ගැඹුරු කෙරී ඇති ධනපති ක්‍රමයේ ලෝක පරිමාන අර්බූදය හමුවේ ලොවපුරා පාලක පන්තීන්, කම්කරු-පීඩිත මහජනතාවගේ සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කරන ප්‍රහාරය වඩාත් ගැඹුරු හා වේගවත් කර තිබේ. මෙම ප්‍රහාර, අධ්‍යාපනයේ   පුද්ගලීකරනය වේලවත්ු කිරමට   කප්පාදුවට, පන්ති කාමර තුල ශිෂ්‍ය සංඛ්‍යාව ඉහල දැමීමට මෙන්ම බරපතල ලෙස නව බඳවා ගැනීම් සීමා කිරීමට හේතු වී තිබේ. 

මිනිස් ජීවිත වලට ඉහලින් ලාභය තැබීමේ පිලිවෙත මත, කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන මෙන්ම පාසැල් සහ විශ්ව විද්‍යාල විවෘතව තබා ගනිමින් මිලියන සංඛ්‍යාත මහජනයා මරනයට ඇද දමන අතරේ, අතලොස්සක් ධනපතියන් ලාභ කඳු ගොඩගසා ගන්නා, ඓතිහාසිකව ජරපත් ලෝක ධනපති ක්‍රමය යටතේ තරුනයන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපන අයිතිය හා රැකියා අයිතිය සුරක්ෂිත කර ගත නොහැක. 

විද්‍යාවේ හා තාක්ෂනයේ විප්ලවීය වර්ධනයන් සහ ජාත්‍යන්තර කම්කරු පන්තිය විසින් නිපයෙන සමස්ත සමාජ ධනය, අධ්‍යාපනය සහ රැකියා වැනි දැවෙන මානුෂීය අවශ්‍යතා සඳහා යොදාගත හැක්කේ, නිෂ්පාදන මාධ්‍යයන් කම්කරු පන්ති පාලනය යටතේ ජනසතුකොට  නිෂ්පාදනය හා බෙදා හැරීම ලෝක පරිමානව සහ තාර්කිකව ප්‍රතිසංවිධානය කෙරෙන ජාත්‍යන්තර සමාජවාදී අර්ථ ක්‍රමයක් සඳහා සටන් වැදීමෙන් පමනි.

ධනවාදයේ ප්‍රහාරවලට එරෙහිව කම්කරු පන්තියේ බලගතු සටන් ඇවිලී යෑමට සමගාමීව තරුන ජනයා ද රැඩිකලීකරනය වෙමින් සිටිති. සමාජවාදය දිශාවට වන එම නැඹුරුව අවමංගත කිරීමට ලොවපුරා ව්‍යාජ-වම්මු සහ වෘත්තීය සමිති අතිශය ප්‍රතිගාමී ක්‍රියාකලාපයක යෙදී සිටින්නේ එම තතු තුලය.

ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) මෙහෙය වන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබමය) විසින්, “අසාධාරනයට ලක් වූ සියලු සිසුන්ට විශ්වවිද්‍යාල අවස්ථා ලබා දෙනු” යනුවෙන්  පසුගිය දිනවල ගෙනගිය උද්ඝෝෂනය එවන් එක් ප්‍රයත්නයකි.

ශිෂ්‍ය විරෝධතා තුලින් ධනපති ක්‍රමය තුල විසඳුම් ඇතැයි යන මිත්‍යාව කොතරම් ඉදිරියට ගෙන යන්නේද කියතොත්, එක් විරෝධතාවයක දී අවිශිබම කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන භික්ෂුව, “උසස් පෙල සමත් වෙන සෑම ශිෂ්‍යයෙකුටම සරසවි වරම් ලබා දෙන බවට ප්‍රධාන පක්ෂවල මැතිවරන පොරොන්දුවල තිබෙනවා” යයි සඳහන් කරමින් “අපි මේ අරගලය හරියට කලොත් අපිට පුලුවන් ඒ පොරොන්දුත් ඉෂ්ට කරපල්ලා කියලා බලපෑම් කරන්න” යයි ප්‍රකාශ කලේ ය.

ධනපති ප්‍රහාර වලට එරෙහිව වර්ධනය වන තරුන හා ශිෂ්‍ය විරෝධය, කම්කරු පන්තියේ නායකත්වය යටතේ දැනුවත් සමාජවාදී ව්‍යාපාරයක් තුල වර්ධනය වීම වැලැක්වීම මෙවැනි ව්‍යාපාරවල හා උද්ඝෝෂනවල මූලික එල්ලයයි.

Loading