ඇපමත මුදාහල ඕල්ටන් වත්තේ කම්කරුවන් නිදොස්කොට නිදහස් කරනු!

ව්‍යාජ චෝදනා මත හැටන් දිස්ත්‍රික් උසාවියේ නඩුවකට පටලවා ඇති ඕල්ටන් වත්තේ කම්කරුවන් ඇතුලු 22 දෙනා, කොන්දේසි විරහිතව වහාම නිදොස් කොට නිදහස් කරන ලෙස සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව බලකර සිටී. 

එක් අයෙකුට වසර හතකට අධික සිර දඬුවම් නියමවීමේ තර්ජනය සහිත මෙම නඩුව, වතු කම්කරු සටන් බිඳීම සඳහා, වතු හාම්පුතුන්, ආන්ඩුව සහ වෘත්තීය සමිති එක්ව ගෙනයන රුදුරු මර්දනයක කොටසකි.  අපි සෞඛ්‍ය සේවයේ සියලු සහෝදර සේවක සේවිකාවන්ගෙන් ඉල්ලා සිටින්නේ  මෙම රුදුරු මර්දනයට එරෙහිව වතු කම්කරුවන් ආරක්ෂා කිරීම සඳහා ඉදිරියට  එන ලෙසයි. 

මෙම මර්දනය අරගලයට පිවිසෙමින් සිටින වතු කම්කරුවන්ට මෙන්ම, ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහිව සටන් කිරීමට පෙල ගැසෙන සෞඛ්‍ය කම්කරුවන්වන අපටද අනෙකුත් කම්කරු පන්ති කොටස් වලටද එරෙහිව දියත් කෙරෙන බිය ගැන්වීමක් බවත් එය පරාජය කල යුතු බවත් අපි අවධාරනය කරමු.

තම සොච්චම් දෛනික වැටුප ඉහල දමා ගැනීමේ සටනක වතු කම්කරුවන් 2015 සිට වසර ගනනාවක් තිස්සේ නියැලුන බව අප දන්නා කරුනකි. වැටුප් ඉහල දමා ගැනීම සඳහා පසුගියදා ඕල්ටන් වත්තේ දියත් කල වර්ජනයේදී එම වත්තේ කලමනාකාරවරයා කල ප්‍රචන්ඩ පහර දීමකට එරෙහිව කම්කරුවන් කල වර්ජනයක් අතරතුර එම වත්තේ කලමනාකාරීත්වය, පොලීසිය හා ප්‍රධාන වතු වෘත්තීය සමිතිය වන ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී) සිදුකල කුමන්ත්‍රනයකින් මෙම වතු කම්කරුවන් අත් අඩංගුවට ගැනිනි.  

අත් අඩංගුවේ දින ගනනාවක් තබා ගැනීමෙන් අනතුරුව මාර්තු 10 වනදා කම්කරුවන් මුදා හැරුනේ දන්ඩනීය ඇප මතය. කම්කරුවන්ගේ මසක ආදායමට සමාන රු.15,000 ක තැන්පතු, ඥාතීන් දෙදෙනෙකුගේ පුද්ගලික ශරීර ඇප, සෑම මසක ම අවසන් ඉරිදා මස්කෙලිය පොලිසියේ පුද්ගලික ව පෙනී සිටීම එම ඇප කොන්දේසි වලට අයත්ය.

තමන්ට ශිෂ්ඨ සම්පන්න ලෙස ජීවත් වීම සඳහා අවශ්‍ය කෙරෙන වැටුපක් සදහා වන අති මූලික අයිතිය වෙනුවෙන් සටන් වැදුන ඕල්ටන් කම්කරුවන්ගේ සටන සමස්ත වතුකරයේම වතු කම්කරුවන් නියෝජනය කෙරෙන සටනකි. වතු කම්කරුවන්ගේ ශ්‍රමය සූරා කමින් ලාබ පොදි තර කර ගන්නා මහා ව්‍යාපාරික වතු සමාගම් නියෝජනය කරන ආන්ඩුව ධනපති රාජ්‍ය උපකරන වන පොලිසිය, සන්නද්ධ හමුදාව, සහ අධිකරනය යොදා ගනිමින් මෙලෙස වතු කම්කරුවන් වෙත කඩා පැන තිබේ.

රාගල ප්‍රදේශයේ පිහිටි මාකුඩුගල හා කිලන්දවනේ යන වතුවල  වැඩ පරීක්ෂකයන් ලෙස විශ්‍රාමික මිලිටරි නිලධාරීන් පත් කිරීම මෙම මර්දනයේ කැපී පෙනෙන පියවරකි. මේ ඉදිරියට ගෙන යන්නේ, පසුගිය පෙබරවාරි 24-25 දිනයන්හි පැවති අප ක්ෂේත්‍රයේ කනිෂ්ඨ සේවක වර්ජනය කඩා කප්පල් කරනුවස් රෝහල් තුලට මිලිටරිය යොදවමින් රාජපක්ෂ ආන්ඩුව මුදාහල මර්දනයම යි.  

වැඩෙන පන්ති අරගල රුදුරුම ආකාරයෙන් තලා දැමීමේ එල්ලය ඇතිව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිනි දා සිට, මෙම මර්දන යාන්ත්‍රනය වඩාත් සැලසුම්කොට ක්‍රියාවට නැංවීය. ආන්ඩුවේ ප්‍රධාන අමාත්‍යංශ හා ආයතන වල මුදුනට, සේවයේ යෙදී සිටින හෝ විශ්‍රාමික ඉහල මිලිටරි නිලධාරීන් පත්කල ඔහු, රාජ්‍ය වැඩකටයුතු “සම්බන්ධීකරනය” සඳහා සෑම දිස්ත්‍රික්කයකටම මිලිටරියේ ඉහල නිලධාරියෙකු පත්කොට ඇත.   

කොවිඩ්-19 පැතිරීම වැලැක්වීමේ කාර්ය සාධක බලකායේ ප්‍රධානියා ලෙස පත් කෙරුනේ ද, යුද හමුදාපති ෂවේන්ද්‍ර  සිල්වාය. මේ ආකාරයෙන් මුලු රටම මිලිටරීකරනයට ලක් කරමින් කම්කරු පන්තිය වන අපව මර්දනය කිරීමේ දැල මෙම ආන්ඩුව විසින් එලාගෙන යන බව අපගේ අවධානයට යොමු විය යුතුය.

කම්කරුවන්ගේ ජීවිත නොතකා, මහා ව්‍යාපාරයන්හි ලාබ ගැරීම අබාධිතව ගෙනයාමට ඉඩ සලසන ආන්ඩුවේ “නව සාමාන්‍ය” පිලිවෙත හේතුවෙන් පසුගිය නොවැම්බරයේදී වරාය තුල වසංගතය වේගයෙන් පැතිරුනු කොන්දේසි යටතේ කම්කරුවන් වැඩට පැමිනීමට දැක්වූ සාධාරන ප්‍රතිරෝධය හමුවේ, ආන්ඩුව අත්‍යවශ්‍ය සේවා නියෝග පනවා සේවයට නොපැමිනෙන සේවකයන් සිරගත කිරීමේ නීති ක්‍රියාවට දැමීය.

මෙම මර්දනයේම කොටසක් ලෙස, අපරාධකරුවන් හා ප්‍රචන්ඩකාරීන් ලෙස කම්කරුවන්  හංවඩු ගැසීමේ උද්ඝෝෂනයක් ද ඉහත කොටස් විසින් දියත් කොට ඇත. වැවිලිකරුවන්ගේ සංගමයේ මෙහෙයවීමෙන් වතු අධිකාරීවරු සහ සහකාර වතු අධිකාරීවරු, මාර්තු 3 දින “ප්‍රචන්ඩත්වය” නතර කරන ලෙස ඉල්ලා හැටන් නගරය තුල උද්ඝෝෂනයක් පැවැත්වූහ. අනතුරුව මාධ්‍ය හමුවක් පැවැත්වූ ඔවුහු, “පුද්ගලික ආරක්ෂාවේ” නාමයෙන්, කම්කරුවන්ට එරෙහිව යොදා ගැනීම සඳහා ගිනිඅවි ද ඉල්ලා සිටියහ. 

ඒ සා රුදුරු මට්ටම් වලට නංවා ඇති කම්කරුවන්ට එරෙහි ප්‍රහාරයේ ඉදිරි සැලසුම් පිලිබඳව ආන්ඩුවේ ඉහලම ආරක්ෂක කමිටුව තුල පවා සාකච්ඡාවට භාජනය කර ඇත.

සමස්ත කම්කරු පන්තියම ඉලක්ක කර ගත් ආන්ඩුවේ මෙම සැලසුම් බරපතලව සැලකිල්ලට ගනිමින්, කම්කරු පන්තියේ සියලු කොටස් ඒකාග්‍ර කරගත් සහ ගොවීන්, සිසුන් හා තරුන රැකියා විරහිතයින් ඒ වටා රැලිකර ගත් කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් හරහා ජාත්‍යන්තරවාදී සමාජවාදී වැඩ පිලිවෙලක් යටතේ මෙම මර්දනකාරී ආන්ඩුවට සහ ධනපති ක්‍රමයට එරෙහිව මුලු දුර යන සටනක් සංවිධානය කර ගැනීමේ අවශ්‍යතාව මතුව ඇතිබව සමස්ත කම්කරු පන්තියට පෙන්වා දෙන්නට කැමැත්තෙමු.

එම සටනේ අතිශයින්ම තීරනාත්මක පියවරක් වන්නේ සෑම රෝහලකම, සෑම වැඩපලකම හා සෑම කම්හලකම වෘත්තීය සමිති වලින් ස්වාධීනවූ කම්කරු ක්‍රියාකාරී කමිටු තනා ගැනීමට සටන් වැදීමයි. ඕල්ටන් වතු කම්කරුවන් ආරක්ෂා කිරීම ඇතුලු ධනපති ප්‍රහාර වලට එරෙහිව සටන් වැදීමට එවන් ක්‍රියාකාරී කමිටු ජාලයක් තනා ගැනීමට පෙරට එන ලෙස සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටුවේ අපි, සෞඛ්‍යය ඇතුලු සියලු ක්ෂේත්‍රවල කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු.  

Loading