ඉදිරිදර්ශන

කොරෝනා වෛරස් වසංගතය ලොව පුරා යලි නැගී සිටියි

[පහත පල කෙරෙන්නේ 2021 මාර්තු 15 දින Coronavirus pandemic resurges throughout the world   යන මැයෙන් පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ සිංහල  පරිවර්තනයයි.]

සාර්ස්-කොවිඩ්-2 වෛරසයේ විවිධ ප්‍රභේද, විශේෂයෙන් එක්සත් රාජධානිය, බ්‍රසීලය සහ දකුනු අප්‍රිකාව වැනි රටවල ආරම්භ වූ ඒවා, අඛන්ඩව ව්‍යාප්ත වීමත් සමග, වාර්තා කෙරෙන කොරෝනා වෛරස් රෝගීන් සංඛ්‍යාව නැවතත් ඉහල යාමට පටන් ගෙන තිබේ.

පෙබරවාරි 20වන දා සිට ලොව පුරා දෛනිකව හමුවන නව රෝගීන් සංඛ්‍යාව එක එල්ලේ ඉහල ගොස් ඇති අතර, ඒ වන විට 361,000ක් වූ එම අගය සිට, අද වන විට එය 422,000කට වඩා වැඩි වී තිබේ. එය සියයට 17ක ඉහල යාමකි. මෙම වැඩිවීම ලොව පුරා රටවල් තුලට ඇදී යමින් පවතියි. මේ වනවිට ඉන්දියාවේ දෛනිකව හමුවන නව රෝගීන් ගනන 22,000ට වඩා වැඩි ය (සියයට 80ක වැඩි වීමක්). ප්‍රංශයේ එම අගය 25,000ට යන්තම් අඩු වන අතර (සියයට 24ක වැඩි වීමක්), ඉතාලියේ 22,000කි (සියයට 83ක වැඩිවීමක්). නව රැල්ලේ ප්‍රධාන ධාවකයා බ්‍රසීලයයි. එහි සෑම දිනක ම අවම වශයෙන් නව රෝගීන් 66,000ක් සොයාගැනෙන අතර (සියයට 36 කින් වැඩි වීමක්) එම අගයන් ඉහල යමින් තිබේ.

කාබනික අපද්‍රව්‍ය පිලිබඳ විශේෂඥ සමාගමක් විසින් චිලියේ සන්තියාගෝ නගරයේ ලා රෙකෝලේටා සුසාන භූමියේදී විනාශ කරනු පිනිස, කම්කරුවන් විසින් කොවිඩ්-19න් මියගිය අයගේ දේහ තැන්පත් කර තිබූ හිස් මිනී පෙට්ටි වාහනයකට පටවනු ලැබේ (AP ඡායාරූපය / එස්ටෙබන් ෆීලික්ස්, ගොනුව)

ලොව පුරා රෝගීන් සංඛ්‍යාව මිලියන 120 ඉක්මවා ඇති අතර 2,660,000කට වැඩි පිරිසක් මියගොස් තිබේ

චිලී, චෙක් ජනරජය, ඉතියෝපියාව, ජර්මනිය, ඉරානය, පැරගුවේ, පෝලන්තය සහ පිලිපීනය ඇතුළු තවත් බොහෝ රටවල ද ස්ථාවර මෙන් ම සමහර අවස්ථාවල තියුනු වූද වැඩිවීමක් දක්නට ඇත. එක්සත් ජනපදයේ, රෝගීන්ගේ අඩුවීම බොහෝ දුරට එකම මට්ටමක ඇති නමුත්, තවමත් සෑම දිනක ම අලුතින් වාර්තා කෙරෙන රෝගීන්ගේ 55,000කට වඩා වැඩි සාමාන්‍යයක් තිබේ.

මෙම නව රැල්ලට දිගට ම ඉදිරියට යාමට ඉඩ දෙන්නේ නම්, එය මෙතෙක් අත්විඳ ඇති නරකම එක වනු ඇති බවට සෑම ඇඟවීමක් ම තිබේ. පෙර පැවති රැල්ල සාපේක්ෂ ව සීමිත පාසල් හා සේවා ස්ථාන නැවත විවෘත කිරීම මගින් අවුලුවන ලද අතර, ඔක්තෝබර් මස ආරම්භයේ දී සෑම දිනක ම නව රෝගීන් 300,000ට අඩු සංඛ්‍යාවක සිට ජනවාරි මස මුල දී 745,000 දක්වා ඉහල ගියේ ය. ගෝලීය වසයෙන්, එම මාස තුන තුල 900,000කට වැඩි පිරිසක් මිය ගියහ.

එවැනි තත්වයක් නිසා ඇති කෙරෙන සමාජ කාලකන්නිභාවය කම්පන සහගතය. 2020 දී වසංගතයෙන් අප්‍රිකාවේ මිලියන 30ක පුද්ගලයන් දිනකට ඩොලර් 1.90කින් යැපෙන මට්ටමක දරිද්‍රතාවට ඇද වැටී බවත්, 2021 දී මිලියන 39ක පුද්ගලයන් ඒ සමාන ව අසරන වනු ඇති බවත් බ්ලූම්බර්ග් මෑත දී වාර්තා කලේ ය. 2020 දී ලතින් ඇමරිකාවේ පුද්ගලයන් මිලියන 22කගේ දරිද්‍රතාව ඉහල ගිය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තා කරයි. නැගෙනහිර ආසියාව හා ශාන්තිකර සාගර කලාපයේ අවම වශයෙන් මිලියන 38කින් “නව දුප්පතුන්” සංඛ්‍යාව වැඩි වුනි.

ගෝලීය වශයෙන්, මේ වන විට මිලියන 119ත් 124ත් අතර පුද්ගලයින් කොරෝනා වෛරස් වසංගතයෙන් දරිද්‍රතාවට පත් ව ඇති බව, ලෝක බැංකුව ඇස්තමේන්තු කරයි.

“දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝකය විශාල කම්පනයක් අත්දැක ඇත්තේ, දෙවන ලෝක යුද්ධය බොහෝ ජීවිතවලට බලපා ඇති බැවිනි. දැන්, මෙම කොවිඩ්-19 වසංගතයතයෙහි දීත්, වඩා විශාලත්වයකකින්, වැඩි ජීවිත සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇත” යි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් සිකුරාදා ප්‍රවෘත්ති සාකච්ඡාවක දී පැවසී ය. "අසන්න වසයෙන් මුලු ලෝකයට ම පාහේ බලපායි, ලෝකයේ මතුපිට සිටින සෑම පුද්ගලයෙකු ම සැබවින්ම බලපෑමට ලක් වී සිටී."

දැන්, අවසාන නැග්ම ආරම්භයේ දී සිටි රෝගීන් සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් සමග, බයිඩන් පරිපාලනය පුද්ගල පාසල් අධ්‍යාපනය හා රැකියාව කරා වඩ වඩාත් සම්පූර්න ආපසු යාමක පෙරමුනු ගනිමින් සිටියි. යුරෝපය, දකුනු ඇමරිකාව, ආසියාව හා වෙනත් තැන්වල රටවල් ද එය අනුගමනය කරමින් සිටින්නේ, ඵලදායී ලෙස වසංගතයේ ඊටත් වඩා විශාල ව්‍යාප්තියක් ඇති කරමිනි. එක්සත් ජනපදයේ සහ ලොව පුරා ඉදිරියට යමින් තිබෙන නැවත විවෘත කිරීම් සමූහ මරනයේ වඩාත් ඉහල මට්ටම්වලට වේදිකාව සකසමින් තිබේ.

ඇමරිකානු හා ලෝක ජනතාවට බලහත්කාරයෙන් කා වද්දනු ලබන නිදහසට කරුන වන්නේ, එන්නත බෙදාහැරීම අඛන්ඩ ව සිදුවන බැවින් මෙය ආරක්ෂාකාරී ය යන්න යි.

සත්‍යය ඊට හාත්පසින් ම වෙනස් ය. වැඩි ම එන්නත් අනුපාතයක් ඇති එක්සත් ජනපදයේ පවා, සම්පූර්නයෙන් ම එන්නත ලබා ගෙන ඇත්තේ ජනගහනයෙන් සියයට 10ක් පමනක් ය යන්නෙහි අර්ථය වන්නේ, ජනගහනයෙන් බහුතරයක් තවමත් මාරාන්තික වෛරසයට ගොදුරු විය හැකි බව යි.

තව ද, එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරෙස් පවසන පරිදි, මෙම එන්නත හඳුන්වාදීම ම “එන්නත් ජාතිකවාදය සහ එන්නත් පොදිගැසීම පිලිබඳ බොහෝ උදාහරන” මගින් ගුනාංගීකරනය කෙරේ. එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) විසින් තවමත් හදිසි අවසරය ලබා දී නොමැති, ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ මාත්‍රා මිලියන 10ක් පමන ඇතුලුත් ව, එන්නත් මාත්‍රා රැස් කරමින් සිටින බව බයිඩන් පරිපාලනය විවෘතව පිලිගෙන ඇත. ඇස්ට්‍රාසෙනෙකා සමාගම ම එම මාත්‍රා යුරෝපයට මාරු කරන ලෙස ඉල්ලා සිටියේ ය. එහි දී ඒවා පාවිච්චි කල හැක. බයිඩන්ගේ කොවිඩ්-19 ප්‍රතිචාර සම්බන්ධීකාරක ජෙෆ් සියන්ට්ස් සිකුරාදා එම අදහස ප්‍රතික්ෂේප කලේ, “අපි නිවැරදිව අවධානය යොමු කර ඇත්තේ හැකි ඉක්මනින් ඇමරිකානුවන්ට එන්නත් ලබා දීම කෙරෙහි” බව ප්‍රකාශ කරමිනි.

වෙනත් වචන වලින් කිවහොත්, ඔපරේෂන් වාර්ප් ස්පීඩ් [නම් රාජ්‍ය-පෞද්ගලික හවුල් කාරිත්වයෙන් එන්නත නිපදවීමේ] තුල වූ හිටපු ජනාධිපති ට්‍රම්ප්ගේ “ඇමරිකාව පලමුව” ප්‍රතිපත්තිය බයිඩන් විසින් සම්පූර්නයෙන් ම වලැඳගෙන ඇත.

එන්නත් ජාතිකවාදය යුරෝපයේ ද තියුනු ලෙස මතු වී තිබේ. පසුගිය සතියේ ඉතාලිය ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 250,000ක් ඕස්ට්‍රේලියාවට අපනයනය කිරීම අවහිර කලේ ය. කොවිඩ්-19 එන්නත් සඳහා අපනයන තහනමක් පැන වූ බවට යුරෝපීය කවුන්සිලයේ සභාපති චාල්ස් මයිකල් ලන්ඩනයට චෝදනා කිරීමත් සමඟ එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමය අතර ආතතීන් ඉදිරියට ඇදුනි.

එහි ප්‍රතිඵලයක් ලෙස, කොරෝනා වයිරස් එන්නත් මාත්‍රා මිලියන 350කට වඩා වැඩි ප්‍රමානයක් ජාත්‍යන්තර ව බෙදා දී ඇති අතර, ඉන් හතරෙන් තුනක්ම ලබා දී ඇත්තේ, එක්සත් ජනපදයේ පමනක් මිලියන 100කට වඩා ඇතුලත් ව, රටවල් 10ක් තුල ය. ඊට වෙනස් ව, දකුනු ඇමරිකාවේ ජනගහනයෙන් සියයට පහකටත් වඩා අඩු සංඛයාවක් පවා ලබාගෙන ඇත්තේ, එක් මාත්‍රාවක් පමනී. සමස්ත මරන සංඛ්‍යාව 100,000 ඉක්මවා ගිය අප්‍රිකාවේ එන්නත් ලබා දී ඇත්තේ ජනගහනයෙන් සියයට එකකටත් වඩා අඩු සංඛ්‍යාවකට ය.

මෙම අසමාන ව්‍යාප්තියට ම වසංගතය ධාවනය කිරීමේ හැකියාව ඇත. වෛද්‍ය ටෙඩ්‍රොස් මෑතකදී සඳහන් කලි පරිදි, “එන්නතේ අසමාන බෙදා හැරීම වසංගතය අවසන් කිරීම සහ ගෝලීය ප්‍රකෘතියක් ඇති කිරීම සඳහා ඇති විශාලතම තර්ජනය වන්නේ, වෛරසය සංසරනය වන තාක් කල්, එන්නතේ ඵලදායීත්වය අඩු කරනු ඇති ප්‍රභේදයන් මතු වීමට ඇති ඉඩකඩ වැඩි බැවිනි.”

වෙනත් වචන වලින් කිව හොත්, වසංගතයක් මධ්‍යයේ මිලියන ගනනක ජීවිතාරක්ෂක එන්නත් රැස් කිරීම පිලිබඳ “නිවරැදි” කිසිවක් නැත, කොහෙත් ම තාර්කික නැත. භාවිතා නො කරන සෑම මාත්‍රාවක් ම තවත් ආසාදනයක් නැවැත්විය හැක්කක් මෙන් ම තවත් ජීවිතයක් ඉතිරි කල හැක්කක් වේ. එය වෛරසය විකෘති වීමට වැඩි අවස්ථාවක් ද වන අතර, එන්නතට සම්පූර්නයෙන් ම ප්‍රතිශක්ත(ඔරොත්තු දෙන) ප්‍රභේදයක් ඇතිවීමේ හැකියාව වැඩි කරයි. ආචාර්ය ටෙඩ්‍රොස් මෙය නිවැරදි ව හෙලා දුටුවේ මෙසේ සඳහන් කරමිනි, “මෙය ලොව පුරා ජීවිත අවදානමට ලක් කරනවා.”

විස්කොන්සින් විශ්ව විද්‍යාලයේ බෝවන රෝග විශේෂඥ වෛද්‍ය මයිකල් ඔස්ටර්හෝම් මෑතක දී “කොවිඩ්-19 ප්‍රභේද සහ එන්නත් අසමානතාවේ අනතුර” යන මාතෘකාව යටතේ මෙවැනි ම අදහස් දැක් වී ය. එහි දී ඔහු පැහැදිලි කලේ, “එක්සත් ජනපදයට හෝ වෙනත් කිසිදු ගෝලීය බලවේගයකට ජාතික වශයෙන් සිතීමෙන් වසංගතයක් පරාජය කල නො හැක. කොවිඩ්-19 එන්නත් දැන් එක්සත් ජනපදයේ ජාතික සුරක්ෂිතතාවේ හා ආරක්ෂාවේ කේන්ද්‍රීය අංගයකි. එහෙත් ආරක්ෂාවේ වෙනත් අංශ මෙන් නො ව, මෙයට සම්බන්ධ වන්නේ විදේශිකයන් ආරක්ෂා කිරීම මිස ඔවුන්ට එරෙහිව සටන් කිරීම නොවේ. ජෝන් ඩෝන් කවියා සියවස් ගනනාවකට පෙර සඳහන් කලි පරිදි, ‘‘කිසිම මිනිසෙක් මුළුමනින් ම, දූපතක් නොවේ. සෑම මිනිසෙක්ම මහාද්වීපයේ කොටසකි, ප්‍රධාන කොටසකි.’ (පුද්ගලයෙකුගේ වැඩීමට අන් අයගේ සහ සමස්ත සමාජයේ සමාගම හා සහයෝගය අවශ්‍ය වේ).වර්තමාන ලෝක ව්‍යාප්ත වසංගත කාලපරිච්චේදයට වඩා එය කිසි විටෙකත් සත්‍යයක් වී නොමැත. මරනයේ සීනුව දිගින් දිගටම නද දෙන්නේ නම්, එය අප සැමට ශෝකයක් වනු ඇත. ”

කෙසේවෙතත්, පසුගිය වසර පුරා පෙන්නුම් කර ඇති පරිදි, පාලක පන්තියට කරන ආයාචනා බිහිරි අලින්ට කෙරෙන වෙන වැයුමක් වැනි ය. ට්‍රම්ප් හෝ බයිඩන් පරිපාලනය හෝ ජාත්‍යන්තර ව ඔවුන්ගේ සහචරයන්ට වේවා එන්නත බෙදා ගැනීමට හැකියාවක් නැත, උනන්දුව ඊටත් අඩු ය. තොග සංචිත සලකනු ලබන්නේ භූ-දේශපාලනික ප්‍රතිවාදීන්ට එරෙහි ව ලෙලවීමට ඇති මූලෝපායික වත්කම් ලෙස මිස, ජීවිත බේරා ගැනීමේ ඖෂධයක් ලෙස නො වේ.

ඩේවිඩ් නෝර්ත් “ධනවාදයට එරෙහිව සමාජවාදය: වසංගතය හා ගෝලීය පන්ති අරගලය” යන තම ලිපියේ ලියා ඇති පරිදි:

ධනේශ්වර වැඩපිලිවෙල එන්නත් කිරීමේ ජාතිකවාදයේ ප්‍රතිපත්තියක් ප්‍රවර්ධනය කරන්නේ, ලොව පුරා එන්නත් සමාන ව බෙදා හැරීම සීමා කරමින් හා විරුද්ධත්වය දක්වමිනි. කොරෝනා වෛරසය තුරන් කල හැක්කේ විද්‍යාත්මක ව මෙහෙය වනු ලබන ජාත්‍යන්තර මූලෝපායකින් පමනක් බව පිලිගන්නා සමාජවාදී ක්‍රියාමාර්ගය ගෝලීය වසයෙන් සම්බන්ධීකෘත එන්නත් කිරීමේ වැඩසටහනක් ඉල්ලා සිටී.

වසංගතයට ජාතික විසඳුමක් තිබිය නො හැක. ජාතික රාජ්‍යයන්ගේ පැවැත්ම සමඟ බැඳී ඇති සමාජ පද්ධතිය, එනම් ධනවාදය අවසන් කල යුතු අතර, ලෝකයේ සම්පත් ප්‍රජාතන්ත්‍රවාදී ව හා විද්‍යාත්මක ව සැලැසුම් කිරීම මත පාදක වන්නා වූ ද මිනිස් ජීවිත පෞද්ගලික ලාභයට වඩා ඉහලින් තබනන්නා වූ ද සමාජවාදී සමාජයක් මගින් එය ප්‍රතිස්ථාපනය කල යුතු ය.

Loading