විෂඝෝර ත්‍රස්ත-විරෝධී නීති යටතේ පොලීසිය මුස්ලිම් නායකයා අත්අඩංගුවට ගනී

[පහත පල කෙරෙන්නේ 2021 මාර්තු 19 දින Sri Lankan police arrest Muslim leader using draconian anti-terror laws යන මැයෙන් පල කෙරුනු ලිපියේ සිංහල පරිවර්තනයයි.]

හිටපු රියර් අද්මිරාල්වරයෙක් හා වත්මන් මහජන ආරක්ෂක ඇමතිවරයා වන සරත් වීරසේකර පසුගිය සතියේ සිදුකල ප්‍රකෝපකාරී ප්‍රකාශවලින් පසුව, නීතිපති දප්පුල ද ලිවේරාගේ නියෝග මත මුස්ලිම් දේශපාලන නායකයකු වන අසාත් සාලි පොලිස් අත්අඩංගුවට ගනු ලැබී ය. රටෙහි විෂඝෝර ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) යටතේ සාලි තෙමසක කාලයකට රඳවාගනු ලැබ සිටී.

මෑත දී කල කතාවක දී දන්ඩ නීති සංග්‍රහය, පීටීඒ සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුතිය (අයිසීසීපීආර්) යටතේ සාලි වැරදි සිදු කර ඇතැයි “විශ්වාසදායක තොරතුරු” ලැබී ඇති බවට ප්‍රකාශ කරමින් මුස්ලිම් නායකයා අත්අඩංගුවට ගන්නා ලෙස, ද ලිවේරා අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට “උපදෙස් දුන්නේ ය.”

ගෝඨාභය රාජපක්ෂ (ඒපී ඡායාරූප/එරංග ජයවර්ධන)

 1979 දී නීතිගත කරන ලද පීටීඒ පනත, කොලඹ ආන්ඩුව 1983 දී ආරම්භ කරන ලද ලේවැකි වාර්ගික යුද්ධය සමග, බෙදුම්වාදී දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානයට හා අනෙකුත් දෙමල කන්ඩායම්වලට සම්බන්ධ පුද්ගලයන් රඳවා ගැනීමට හා අත්අඩංගුවට ගැනීමට බහුලව යොදාගෙන ඇත. දේශපාලන විරුද්ධවාදීන් හා සටන්කාමී කම්කරුවන් මර්දනය කිරීමට ද ශ්‍රී ලංකාවේ ආන්ඩු විසින් එය යොදාගනු ලැබ තිබේ. මෙම නීතිය යටතේ, පොලීසිය විසින් බලහත්කාරයෙන් ගන්නා පාපෝච්ඡාරන, සැකකරුවන්ට එරෙහි සාක්ෂි ලෙස යොදාගත හැකි ය.

1990 ගනන් මුල ලංකාවේ අනුමත කරන ලද අයිසීසීපීආර් පනත හඳුන්වා දෙන ලද්දේ, “වෛරීය කතා” වැලැක්වීමේ කඩතුරාව යටතේ ය. එනමුත් එය යොදාගනු ලැබ ඇත්තේ, බුද්ධාගමට අපහාස කිරීමේ හෝ මුස්ලිම් අන්තවාදය දේශනා කිරීමේ චෝදනා එල්ල කරමින්, පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා ය.

අසාද් සාලි (ෆේස්බුක්)

ජාතික සමගි සන්ධානයේ (එන්යූඒ) නායකයා වන සාලි, පසුගිය ආන්ඩුව යටතේ බස්නාහිර පලාත් ආන්ඩුකාරයා විය. මුස්ලිම් ෂාරියා නීතිය හා කෝරානය වෙනස් කල නො හැකි බවත්, තම ප්‍රජාව මෙම නීතිවලට පමනක් ගරු කරන බවත්, ප්‍රකාශ කලේ ය යන චෝදනාව යටතේ ඔහු අත්අඩංගුවට ගැනු ලැබ තිබේ.

සාලිගේ දේශපාලනයට හෝ එන්යූඒවේ ඉස්ලාම් ප්‍රජාගනවාදී න්‍යාය පත්‍රයට සහයෝගය නො දෙන සමාජවාදී සමානතා පක්ෂය (සසප), රාජපක්ෂ ආන්ඩුව විසින් අරඹා ඇති මුස්ලිම්-විරෝධී උද්ඝෝෂනයේ කොටසක් ලෙස ඔහු අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමට විරුද්ධ වේ. ආන්ඩුවේ සියලු දේශපාලන විවේචකයන්ට අනතුරු ඇඟවීමක් වන සාලිට එල්ල කර ඇති දඩයම කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට තර්ජනයකි. “අපි ඔහු අත්අඩංගුවට ගෙන, ප්‍රශ්න කර අවශ්‍ය නීතිමය පියවර ගන්නවා” යි පසුගිය සතියේ මාධ්‍යයන්ට වීරසේකර කල ප්‍රකෝපකාරී අදහස් දැක්වීම්වලින් පසු එම අත්අඩංගුවට ගැනීම සිදු විය.

සාලි අත්අඩංගුවට ගන්නා ලද තැන් පටන්, ඔහුට එරෙහි ව තවත් චෝදනා එල්ල කර ඇත. 2019 අප්‍රේල් 21දා කතෝලික පල්ලි තුනකට හා සංචාරක හෝටල් දෙකකට එල්ල වූ ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ද ඔහුගෙන් ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහන මාධ්‍ය වෙත කීවේ ය. අයිඑස්අයිඑස් පිටුබලය ලත් ඉස්ලාම්වාදීන් විසින් සිදු කරන ලද පාස්කු ඉරිදා ප්‍රහාර වලින්, පුද්ගලයන් 270කට අධික පිරිසක් මරනයට පත්වූ අතර තවත් 500කට තුවාල සිදුවිය.

මුස්ලිම් ප්‍රජාව දඩයම් කිරීම සඳහා එම බෝම්බ ප්‍රහාර ආන්ඩුව හා පාර්ලිමේන්තු විරුද්ධ පක්ෂ විසින් වහා ම ඩැහැගනු ලැබී ය. එමගින් මුස්ලිම්වරුන්ට එරෙහි ප්‍රචන්ඩ ප්‍රහාර ඇවිලවූයේය. එය අනෙක් අතට යොදා ගන්නා ලද්දේ කොලඹ ආන්ඩුව කම්කරු පන්තියට හා දුගීන්ට එරෙහි ව ගෙන යන කප්පාදු පිලිවෙත්වලින් අවධානය ඉවතට හැරවීම පිනිස ය.

මිනුවන්ගොඩ මුස්ලිම්-විරෝධී මැරයන් විසින් විනාශ කරන ලද මුස්ලිම් කඩයක් (ලෝසවෙඅ මාධ්‍ය)

සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී කන්ඩායම්වල හා මිලිටරියේ සහයෝගය ගොනු කරගනිමින් හා “ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට ශක්තිමත් හා ස්ථාවර ආන්ඩුවක්” පොරොන්දු වෙමින්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (ශ්‍රීලපොපෙ) පිටුබලය ලබාගත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරය ජයග්‍රහනය කලේ ය.

ආන්ඩුව “මද්රසා (ඉස්ලාම්) පාසල් හා බුර්කාව තහනම් කිරීමට” ක්‍රියා කරන බව වීරසේකර මාර්තු 11දා පාර්ලිමේන්තුවේ දී කීවේ ය. මෙම පියවරයන් ශ්‍රී ලංකාව තුල “ඉස්ලාමීය අන්තවාදී ක්‍රියාකාරකම් යලි සිදුවීම වලක්වනු ඇත” යි ඔහු සඳහන් කලේ ය. “බුර්කාව අපේ ජාතික ආරක්ෂාවට ඍජු ව බලපාන දෙයක්” බවත්, එය තහනම් කිරීමේ කැබිනට් පත්‍රිකාවකට ඔහු අත්සන් තබා ඇති බවත්, වීරසේකර පසුව පැවති මාධ්‍ය හමුවක දී පැවසී ය.

මේ සතියේ අමාත්‍යවරුන්ගේ රැස්වීමේ දී මහජන ආරක්ෂක ඇමතිවරයාගේ යෝජනාව ඉදිරිපත් නො වූ බව කැබිනට් ප්‍රකාශකයා කියා සිටියේ ය. තවමත් තීරනයක් ගෙන නැති බව හා එය “සාකච්ඡාවට ගැනෙමින් පවතින ... යෝජනාවක් පමනක්” බව විදේශ අමාත්‍යාංශය ද ප්‍රකාශ කලේ ය.

පසුව සඳහන් ප්‍රකාශ වලින් මෙම ප්‍රශ්නය ලඝු කර දක්වා ඇත්තේ, මේ මොහොතේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (යූඑන්එච්ආර්සී) දී, මුස්ලිම් රටවල සහයෝගය දිනාගැනීමේ උත්සාහයක නිරත වන කොලඹ පාලනය උපායාත්මක වෙට්ටු දැමීමක් ලෙස ය. එල්ටීටීඊය සමග යුද්ධයේ දී කොලඹ පාලනය සිදුකල යුද අපරාධ මෙන් ම දැන් ප්‍රජාතාන්ත්‍රික අයිතීන්ට එල්ල කරන ප්‍රහාර පිලිබඳව, එක්සත් ජනපදය හා එහි මිතුරු රටවල් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක්, ලබන අඟහරුවාදා යූඑන්එච්ආර්සී රැස්වීමේ දී චන්දයට දැමීමට නියමිතය.

නිමක් නැති යුද අපරාධ සිදු කර ඇති එක්සත් ජනපදයට හා අනෙකුත් බටහිර බලයන්ට, ශ්‍රී ලංකාවේ සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මැඩීම ගැන අබමල් රේනුවක හෝ තැකීමක් නැත. චීනයට එරෙහි ව සිය භූ-මූලෝපායික හා මිලිටරි ආක්‍රමනකාරී සූදානම්වීම් තීව්‍ර කරමින් සිටින වොෂින්ටනය මෙම යෝජනාව යොදාගනිමින් සිටින්නේ, බෙයිජිනයෙන් ඈත්වන ලෙස කොලඹ පාලන තන්ත්‍රය මත පීඩනය යෙදීම සඳහාය.

“දැඩි අන්තවාදී ආගමික මතවාදයන් දැරීමෙන් මුදවා ගැනීමේ" නමින් මර්දනකාරී පිටීඒ පනතට අලුතින් නීති එකතු කිරීම් ගැසට් පත්‍රයක් පසුගිය සිකුරාදා ජනාධිපති රාජපක්ෂ විසින් ප්‍රසිද්ධ කලේය. ඒවායේ ඉලක්කය වන්නේ මුස්ලිම්වරුන් ය.

"කියනු ලබන නැතහොත් කියවීමට අදහස් කරනු ලැබූ වචන මගින් හෝ සංඥා මගින් හෝ දෘශ්‍ය නියෝජනය මගින් හෝ අන්‍යාකාරයෙන් සාහසික ක්‍රියා හෝ විවිධ ජන කොටස් නැතහොත් වර්ගීය හෝ ආගමික කන්ඩායම් අතර ආගමික, වර්ගීය නැතහොත් ජාතිවාදී අසංගතිය නැතහොත් දුර්චේතනික හෝ එදිරිවාදී හැඟීම් ඇතිවීමට සලස්වන්නා වූ හෝ ඇතිවීමට සැලැස්වීමට අදහස් කරන්නාවූ හෝ තැනැත්තෙකු ලෙස සැකකරන" ඕනෑ ම පුද්ගලයෙකු, මෙම නීති යටතේ රඳවාගනු ලැබිය හැකි ය.

යථාර්ථයේ දී, මෙම නො පැහැදිලි හා පලල් රෙගුලාසි යටතේ ඕනෑම පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම හා රඳවාගනු ලැබීම කල හැකි ය. පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් විසින් පාලනය කරන ඊනියා පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට මාස 18ක් වැනි දීර්ඝ කාලයකට, “අන්තවාදී දෘෂ්ටිවාදයන්” දැරීම පිලිබඳ ව වරදකාරී වන ඕනෑම පුද්ගලයෙකු යැවීමට නව පියවර මගින් මහේස්ත්‍රාත්වරයෙකුට අවසර ලබා දෙයි.

ෆැසිස්ට්වාදී බෞද්ධ නඩයක් වන බොදුබල සේනා (බොබසේ) සම්බන්ධයෙන් ආන්ඩුව දරන ආකල්පය, ආන්ඩුවේ ක්‍රියාකාරකම්වල ප්‍රජාගනවාදී, වෙනස්කම් කිරීමේ ස්වභාවය හෙලිදරව් වෙයි. ආගමික විරසකයන් ඇති කිරීම නිසා බොබසේ සංවිධානය තහනම් කරන ලෙස, පාස්කු ඉරිදා ත්‍රස්ත බෝම්බ ප්‍රහාරය පිලිබඳ ජනාධිපති කොමිසම් වාර්තාව නිර්දේශ කලේ ය.

එහෙත්, ශ්‍රීලපොපෙ සභාපති හා අධ්‍යාපන ඇමති ජී. එල්. පීරිස් මාධ්‍ය අමතමින් මාර්තු 8 දා කියා සිටියේ, බොබසේ තහනම් කරන ලෙසට කොමිසම් සභාව කල නිර්දේශය “ආන්ඩුවට පිලිගත නො හැකි” බව යි. රාජපක්ෂට ජනාධිපති වීමට උද්ඝෝෂනය කල, එසේ ම ඔහුගේ ආන්ඩුවට සහයෝගය දෙන අන්ත දක්ෂිනාංශික නඩවලින් එකක් වන්නේ බොබසේ ය.

පෙර නුවූ විරූ ආර්ථික අර්බුදයකට, කඳු ගැසෙන විදේශ නයට හා ඇදවැටෙන අපනයන ආදායම්වලට මුහුන දෙන රාජපක්ෂ ආන්ඩුව, රැකියා හා සමාජ අයිතීන් මත එල්ල කරන ප්‍රහාර කෙරෙහි වැඩෙන කම්කරු පන්තික විරෝධය බෙදා දුර්වල කිරීමේ අටියෙන් වාර්ගික හා ආගමික ආතතීන් ක්‍රමානුකූල ව අවුලුවමින් සිටී.

1948 ඊනියා ජාතික නිදහසේ පටන් ම මෙන් ම දේශපාලන අර්බුදයකට මුහුන දුන් සෑම අවස්ථාවක දී ම, ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූව, ධනපති පාලනය ආරක්ෂා කරගැනීම සඳහා, විශේෂයෙන් ම දෙමල සුලුතරය ඇතුලු රටේ සුලුතරයන්ට එරෙහි වෙනස්කම් ක්‍රමානුකූල ව උසිගන්වා ඇත.

පුරෝකථනය කල හැකි පරිදි ම, ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආන්ඩුවේ මුස්ලිම්-විරෝධී උද්ඝෝෂනයට පිටුබලය දෙමින් මෑතකදී ස්විට්සර්ලන්තයේ බුර්කා තහනම ද ප්‍රන්සයේ හා බෙල්ජියමේ එවැනි පියවරයන් ද හුවා දක්වා ඇත. කෙසේ වෙතත් මෙම මාධ්‍ය බුර්කා තහනම ඉස්මත්තට ගෙන ඒමට ක්‍රියාකලේ ෆැසිසිස්ට් බලවේග බව පැහැදිලි කර නැත.

ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුනාතිලක, සාලිගේ අදහස් හෙලාදුටුවේ ය. බුර්කාව තහනම් කිරීම පිලිබඳ ව “ප්‍රජා, ආගමික හා දේශපාලනික නායකයන් සමග කතා කරන” ලෙස, ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) නායක විජිත හේරත් ආන්ඩුවට උපදෙස් දුන්නේ ය. ප්‍රතිගාමී සිංහල ප්‍රජාගනවාදී දේශපාලනයේ ගිලී සිටින මෙම පක්ෂවලට, රාජපක්ෂගේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවරයන් හෝ ජනාධිපති ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීමට ඔහු ගන්නා පියවරයන් සමග මතභේදයක් නැත.

Loading