ඇඟලුම් කර්මාන්තකරුවන්ට සෞඛ්‍යාරක්ෂක නිර්දේශ ලිහිල් කිරීම ඇතුලු වරදාන දීමට ජනාධිපති පොරොන්දුවෙයි

ඇඟලුම් කර්මාන්තකරුවන්ට කම්කරුවන් නිර්දය ලෙස සූරාකෑමේ කොන්දේසි තහවුරු කෙරෙන වරදාන ලබාදෙන බවට, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය සතියේ පැවති සාකච්ඡාවකදී පොරොන්දු විය. දැනට පවතින සීමිත සෞඛ්‍යාරක්ෂක නිර්දේශ ලිහිල් කිරීම, “නිෂ්පාදන පලදායිත්වය” සහ ගුනාත්මකබව ඉහල දැමීම සඳහා පුර්න සහයෝගය ලබාදීම, ආයෝජකයන් සඳහා වීසා කාලය දීර්ඝ කිරීම සහ මානව සම්පත් හිඟයට පිලියම් යෙදීම එකී පොරොන්දුවලට ඇතුලත්වේ.   

ඒකාබද්ධ ඇඟලුම් සංවිධාන සංසදය සමග මාර්තු 15 වෙනිදා පැවත්වූ ඉහත සාකච්ඡාවට කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා, සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි සහ තවත් ඇමතිවරු ඇතුලු ආන්ඩුවේ බලධාරීන් කන්ඩායමක් සහභාගි වූහ.

ගෝඨාභය රාජපක්ෂ (ඒපී ඡායාරූප/එරංග ජයවර්ධන)

කර්මාන්තකරුවන්ට සහ ආයෝජකයන්ට මෙම වරදාන දීම මගින් රෙදි සහ නිමි ඇඳුම් අපනයෙන් ඩොලර් බිලියන 5.1 ක විදේශ විනිමය ආදායමක් උපයා ගැනීමට ආන්ඩුව අපේක්ෂා කරයි. මෙම අරමුන ඉටුකර ගැනීම සඳහා  “මැනවින් සැලසුම් කල මූලෝපායක් අනුගමනය කරන” බව ජනාධිපති එහිදී සඳහන් කර ඇත. ඩොලර් බිලියන 5.1 ඉලක්කය ජයගැනීම සඳහා තමන් කැපවන බවට සාකච්ඡාවට සහභාගී වූ ව්‍යාපාරිකයෝ සපත කලහ.

ආන්ඩුවේ ඊනියා සෞඛ්‍ය මාර්ගෝපදේශ, වසංගතය මධ්‍යයේ කම්කරුවන් වැඩට දැක්කීම සඳහා යොදාගත් කඩතුරාවක් මිස,  ඒවායින්  ඇඟලුම් කම්කරුවන්ට කිසිදු ආරක්ෂාවක් නොලැබුනි. සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාම, විෂබීජ නාශක භාවිතය ඇතුලු අවම සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේද පවා බොහෝ කම්හල් තුල ක්‍රියාවට නොදැමුනි. ආසාදිතයන් සිය ගනනින් වාර්තා වෙද්දී පවා කම්හල් වසා දැමීම කර්මාන්තකරුවෝ ප්‍රතික්ෂේප කලහ. 

දැන් ආන්ඩුව සහ කර්මාන්තකරුවන් සූදානම් වන්නේ මෙම සීමිත සෞඛ්‍යාරක්ෂක  ක්‍රමවේද පවා නොතකා අපනයන ආදායම සහ ලාබ  ඉහලදමා ගැනීම සඳහා රුදුරු කොන්දේසි යටතේ කම්කරුවන් සේවයේ යෙදවීමට ය. වසංගතය පාලනය කිරීමේ පියවරක් ලෙස කොටස් වශයෙන් කම්කරුවන් සේවයට කැඳවීමේ ක්‍රමවේදයක් රාජ්‍ය සහ පුද්ගලික ආයතන තුල ක්‍රියාවට දැමූ නමුත් ආන්ඩුව පසුගිය සතියේ රාජ්‍ය අංශය තුල එම සීමාව ඉවත්  කලේය. සාකච්ඡාව තුල දී තීන්දු කෙරී ඇත්තේ පුද්ගලික අංශය තුල ද එම සීමාවන් ඉවත් කෙරෙන බවය. 

ආන්ඩුව විසින් පනවන ලද සීමිත සෞඛ්‍යාරක්ෂන නිර්දේශ තිබිය දී පවා පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හලේ 1000 ට අධික  කම්කරුවන් ට සහ ඔවුන්ගේ ආශ්‍රිතයන්ට කොවිඩ් වෛරසය ආසාදනය විය. එතැන් පටන් ඇඟලුම් කම්හල් වසංගතය පැතිරීමේ ප්‍රධාන මධ්‍යස්ථාන බවට පත් වී ඇත.

කටුනායක නිදහස් වෙලඳ කලාපයෙන් (නිවෙක)  කොරෝනා ආසාදිතයන් 63 ක් සහ කටුනායක සෞඛ්‍ය  වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් 37 ක් පසුගිය දින කිහිපය තුල හමු වූ බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න මාර්තු 16 වෙනිදා ලංකාදීප පත්‍රයට ප්‍රකාශ කර තිබුනි. ඒ අනුව වසංගතය පාලනය කිරීම සඳහා පනවා තිබුන සීමිත අගුලු දැමීම ඉවත්  කර පසුගිය වසරේ  මැයි  මාසයේ රාජපක්ෂ ආන්ඩුව ආර්ථිකය  යලි විවෘත කිරීමෙන් පසු මේ වන විට කටුනායක කර්මාන්තශාලා 51 ක ආසාදිතයන් 1,142 ක් හමු වී ඇත.  කටුනායක සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසය තුල ද ආසාදිතයන් 1,110 ක් සොයාගෙන තිබේ.   

කටුනායකට  අමතරව කොග්ගල,  බියගම සහ මාවතගම නිදහස් වෙලඳ කලාප (නිවෙක) තුල ද, නිවෙක වලට පිටින් හොරන, මහියංගනය, වේයන්ගොඩ, පොලොන්නරුව, බදුල්ල, ඇතුලු දිවයින පුරා පිහිටි සෙසු ඇඟලුම්  කම්හල්වල ද වෛරසය පැතිරෙමින් පවතී. 

ප්‍රධාන ඇගලුම් නිෂ්පාදන සමාගමක් වන  මාස් සමූහය ජනවාරී 7 වනදා  නිකුත් කල නිවේදනයක එම සමාගමට  අයත් හංවැල්ල ලීනියා ඇකුවා, පානදුර යුනිචෙලා, තුල්හිරියේ තුරුලී, පල්ලකැලේ කොන්ටුවර්ලයින් කම්හල් වල  සේවකයින් 446 කට පසුගිය වසරේ සිට වෛරසය අසාදනය වී ඇති බව පිලි ගත්තේය. මහියංගනයේ ෂේඩ්ලයින් ඇඟලුම් කම්හලේ කම්කරුවන් 500 ක් පෙබරවාරි  මාසයේ ආසාදනයට  ලක් වූ අතර එම පිරිස අතරින්  21 හැවිරිදි කම්කරු තරුනියක් මිය ගියාය.

මේ වනවිට රට තුල වාර්තාවී ඇති සමස්ත කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 90,000 ට ආසන්න වෙමින් පවතින අතර පීසීආර් සහ ඇන්ටිජන් පරීක්ෂන අතිශයින්ම පහත දමා ඇති තතු තුල වුව ද දෛනිකව හමුවන ආසාදිතයන් ගනන 300, 400 හෝ 500 ක් තරම් වේ. 

වසංගතයේ පැතිරීම නොතකා සෞඛ්‍ය නිර්දේශ ලිහිල් කිරීමට, ඇත්තටම නම් ඉවත් කිරීමට, රාජපක්ෂ ආන්ඩුව  සූදානම් වන්නේ වසංගතයෙන් ගැඹුරු කෙරී ඇති ලෝක ධනේශ්වර අර්බුදය මගින්, ආන්ඩුව ද, කර්මාන්තකරුවන් ද බරපතල අර්බුදයකට ඇද දමා ඇති කොන්දේසි තුලය. 

ආන්ඩුව දැවැන්ත නය අර්බුදයකට මෙන්ම, විදේශ විනිමය සහ දේශීය ආදායම් යන අංශ දෙකෙහිම බරපතල කඩා වැටීමකට මුහුන දී  සිටියි. විදේශ විනිමය උපයා ගැනීමේ මංමුලාසහගත ප්‍රයත්නයක යෙදී සිටින ආන්ඩුව 2021 දී නිමි ඇඳුම් අපනයනයෙන් ඩොලර් බිලියන 5.1 ක් අපේක්ෂා කරනුයේ පූර්වයෙන් පැවති ඉලක්කය වන ඩොලර් බිලියන 6.0 සංශෝධනය කරමිනි.

2019 ඩොලර් බිලියන 5.5 ක් වූ රෙදි සහ නිමි ඇඳුම් අපනයනය ආදායම 2020 ඩොලර් බිලියන 4.4 දක්වා පහත වැටුනු බව ඒකාබද්ධ ඇඟලුම් සංවිධාන සංසදයේ  මහ ලේකම් ට්යුලි කුරේ මාර්තු 12 ඩේලි එෆ්ටී පත්‍රයට පැවසීය. 

ඇඟලුම් සඳහා ගෝලීය ඉල්ලුම සියයට 30 කින් පහත වැටී ඇති බව ද ලෝක වෙලඳපොලේ තරඟකාරීත්වය ඉහල ගොස් ඇති බව ද පවසන ඔහු මෙසේ අනතුරු අඟවා ඇත: “අප සියලු දෙනා එක්ව කටයුතු නොකලහොත් එහි ප්‍රතිවිපාක සියලු පාර්ශවකරුවන්ට හා ආර්ථිකයට අහිතකර වනු ඇත.” 

එහි අර්ථය වනුයේ, කම්කරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව මුලුමනින්ම නොතකා හැර, වැඩ වේගවත් කිරීම හරහා නිෂ්පාදන පලදායිත්වය ඉහල දමමින් හා රැකියා, වැටුප් සහ සෙසු සමාජ අයිතීන් කප්පාදු කරමින් තරඟකාරිත්වයට මුහුන දී ලාබ උපයා ගත යුතු බවයි.

මෙලෙස දැවැන්ත ශ්‍රම සූරාකෑමකකට ඇඟලුම් කර්මාන්තකරුවන් සූදානම්වෙන පසුබිම තුල, ඔවුන් සමග පැවති ඉහත සාකච්ඡාවේදී, “ගුනාත්මක හා සුරක්‍ෂිත රැකියා අවස්ථා උත්පාදනය කිරීම තුලින් තරුන තරුනියන් මෙම (ඇඟලුම්) අංශයට පහසුවෙන් ආකර්ෂනය කර ගත හැකි” වෙතැයි ජනාධිපති කල ප්‍රකාශය මුලුමනින් වංචනිකය.

රාජපක්ෂගේ පූර්න අනුග්‍රහය සහිතව සැබැවින්ම මෙම අර්බුදය තුල සිදුවූයේ දසදහස් ගනනක් ඇඟලුම් කම්කරුවන්ට රැකියා අහිමි වීම, වැඩ වේගවත් කිරීම සහ දීමනා කප්පාදුවයි. කර්මාන්තකරුවන් දිගින් දිගටම කියා සිටින්නේ එය කිසිසේත් නොසෑහෙන බවයි. 

රාජපක්ෂ ආන්ඩුව ඇතුලු ලොවපුරා පාලකයන් ක්‍රියාවට දමන “නව සාමාන්‍ය” පිලිවෙත වනාහි, මිලියන සංඛ්‍යාත කම්කරුවන් ගේ ජීවිත වසංගතයට බිලි දෙමින් ධනපති ලාභෝත්පාදන ක්‍රියාවලිය සාපරාධී ලෙස ඉදිරියට ගෙන යාමයි.

“ඇඟලුම් කම්කරුවන් සඳහා සසප පනිවිඩ” මුහුනු පොතට පිවිසෙන්න

Loading