සෞඛ්‍ය කම්කරු සටන ආන්ඩුවට බලපෑම් දැමීමේ උගුලෙන් නිදහස් කර ගැනීම දැවෙන අවශ්‍යතාවයයි

රජයේ රෝහල් වල උපස්ථායක හා ආදේශක කම්කරුවන්ට අදාල ඉල්ලීම් 11ක් මුල් කර ගනිමින්, තම නායකත්වය යටතේ, එලැඹෙන අඟහරුවාදා විරෝධතා පා ගමනක් පවත්වන බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය (ඒසෞසේස) නිවේදනය කර ඇත. තම කැඳවුමට අනුව එදින කොලඹට පැමිනෙන සෞඛ්‍ය සේවකයන් මුදල් අමාත්‍යාංශය දක්වා පා ගමනේ යෙදෙන බව එම සංගමය කියා සිටී. නිල ඇඳුම් දීමනා වැඩි කර ගැනීම, කොවිඩ් අවදානම් දීමනා හා උත්සව අත්තිකාරම් ලබා ගැනීම සහ සේවය ස්ථිර කිරීම ආදී දැවෙන ඉල්ලීම් ඉහත ඉල්ලීම් 11 අතර වෙයි.

පෙබරවාරි 23 දින සෞඛ්‍ය අමාත්‍යාංශය පරිශ්‍රයේ සමිති නායකයන් බලධාරීන් සමග සාකඡ්චා කර ඒනතුරු රැස්වී සිටින කම්කරුවන් (FB) Joint health workers Union

රට පුරා ඉහල යමින් ඇති කොවිඩ් වසංගතය තත්වය හමුවේ රෝහල් සේවකයෝ තියුනු දුෂ්කරතාවයන්ට මුහුන දී සිටිති. මේ වනවිට කොවිඩ් රෝගීන් සංඛ්‍යාව දක්වා 90,000 දක්වා ඉහල ගොස් ඇති අතර, මරන සංඛ්‍යාව 550 ඉක්මවමින් තිබේ. සියලු කම්හල්, සේවා ස්ථාන හා පාසැල් විවෘත කර තැබෙන ආන්ඩුවේ “නව සාමාන්‍ය” පිලිවෙත් යටතේ මෙම තත්වය වඩාත් උග්‍ර වන අතර සෞඛ්‍ය කම්කරුවන් මත යෙදෙන පීඩනය නොකඩවා ඉහල යමින් පවතී.

එයට එරෙහිව සටන්කාමී ලෙස ඉදිරියට එන සෞඛ්‍ය කම්කරුවන්, ආන්ඩුවට පීඩනය යොදා ඉල්ලීම් දිනාගත හැකි වෙතැයි පැවසෙන විරෝධතා ක්‍රියා මාර්ගයන්හි සිරකොට හෙම්බත් කිරීමෙන් ඔවුනගේ සටන් ශක්තිය දියකර හැරීම, පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) නායකත්වය දෙන ඒසෞසේස යේ පිලිවෙතයි.

මෙම මාර්තු 23 පා ගමන සංවිධානය කෙරෙන්නේ පෙබරවාරි 23 දා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ගිය පා ගමනින් අනතුරුවය. මීලඟ පියවර ලෙස නුදුරේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවීමට ද මෙවැනිම පාගමනක් සංවිධානය කිරීමට සිදුවිය හැකිබව ඒසෞසේස නායකයෝ පවසති.

ගම්පොල රෝහලේ සේවයට කැඳවා ඇති හමුදා භටයන්

පෙබරවාරි 23 පා ගමන අවසානයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සමග සාකච්ඡාවකට ගිය ඒසෞසේස සමිති නායකයන් කම්කරුවන්ට කියා සිටියේ, සාකච්ඡාවෙන් කිසිම ප්‍රතිඵලයක් නොලැබුනු බවයි. සති දෙකකින් අඛන්ඩ වැඩ වර්ජනයකට යන බව පවසමින් සිය සාමාජිකයන් විසුරුවා හැරිය සමිතිය දැන් ඊට මසකට පසුව මෙම පා ගමන කැඳවා තිබේ.

ඉල්ලීම් ලබා දීමට නොහැකිව ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ නියෝග හා චක්‍ර ලේඛ නිසා බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් තමන්ට පැවසූ බැවින් මුදල් අමාත්‍යාංශයට ගොස් සිය ඉල්ලීම් සඳහා බලපෑම් කිරීමට මෙම පා ගමන යොදා ගත් බව ඒසෞසේස පවසයි. පසුගිය වසරට වඩා සෞඛ්‍යයට ලබා දෙන ප්‍රතිපාදන කපා හැර ඇති පසුබිම තුල පරිපූරක ඇස්තමේන්තුවක් මගින් හෝ මුදල් ලබා ගෙන සිය ඉල්ලීම් දිනා ගැනීමට කටයුතු කරන බව සමිතිය කියා සිටී.

අනෙකුත් සමිති, ආන්ඩුවට කත්අදින “මුට්ටිකාසිකරුවන්” ලෙස හඳුන්වමින් තම සමිතිය “සටන්කාමී” ලෙස හුවා දැක්වීමට ඒසෞසේස උත්සාහ කලද වෘත්තීය සමිතියක් ලෙස එහි දේශපාලන භූමිකාව අනෙකුත් සමිති වලින් කිසිසේත් වෙනස් නොවේ. මෙම සියලු සමිති කම්කරු පංතිය දේශපාලනිකව ස්වාධීනව බලමුලු ගැන්වීමට සතුරුව ක්‍රියා කරයි.

මාර්තු 23 පා ගමන සංවිධානය කිරීම සඳහා රෝහල් පරිශ්‍ර ගනනාවක් තුල ප්‍රසිද්ධ රැස්වීම් මාලාවක් පැවැත්විනි. ඒම රැස්වීම් වල අරමුන ලෙස පැහැදිලි කෙරුනේ කනිෂ්ඨ සෞඛ්‍ය කාර්ය මන්ඩලවල උපස්ථායක හා ආදේශක කම්කරුවන්ට අමතරව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනෙකුත් කම්කරුවන්ගේ ප්‍රශ්නද මෙම ඉල්ලීම් සමග සම්බන්ධ කර ගනිමින් තම අරගලයට ඔවුන් ද ගොනුකර ගැනීමයි. හෙද හෙදියන් හා වෛද්‍යවරුන් සමගද රෝහල තුල සාකච්ඡා ආරම්භ කල යුතු බව මෙම රැස්වීම් තුලදී සිය සාමාජිකයින්ට සමිති නායකයෝ පැවසූහ.

ඒකෙසේ නමුදු, අනෙකුත් කම්කරුවන්ගේ ප්‍රශ්න කවරේද? ඒවාද ඇතුලු සමස්ත කම්කරු පංතිය මුහුන දෙන ප්‍රශ්නවල මූලය කුමක්ද? එම ප්‍රශ්න ජය ගන්නේ කෙසේද? යන්න පිලිබඳව කවර හෝ සංයුක්ත පැහැදිලි කිරීමක් ඒවායේදී සිදු නොවුනි. ඒ වෙනුවට, හිස් ඝෝෂාබද්දයකට මෙම රැස්වීම් ලඝු කෙරිනි.

අනෙකුත් සෞඛ්‍ය කම්කරුවන්ගේ ඉල්ලීම්ද නියෝජනය වන පරිදි එම ක්ෂේත්‍රයන්හි වෘත්තීය සමිති මෙම සටනට එකතු කර ගන්නා බව පවසමින් පෙසප යේ කම්කරු අරගල මධ්‍යස්ථානය නිකුත් කල පත්‍රිකාවක සඳහන් කෙරුනේ 'තනි ඉරටුවක් ලෙස නොව ඉරටු මිටියක් ලෙස සංවිධානය වීමෙන්' බිඳින්නට නොහැකි “බහුජන සටනක්” සංවිධානය කල හැකි බවයි. මෙම පූච්චානම් කතා තිබියදී, ආන්ඩුවට බලපෑම් දැමීමේ ක්‍රියා මාර්ගය මත සිදු කෙරෙන 'ඒ්කාබද්ධතාවයන්' හි ගමනාන්තය වන්නේ පාවාදීම මිස අන්කිසිවක් නොවේ.

මේ පිලිබඳ මෑතම නිදසුන වන්නේ පසුගිය වරාය සටනයි. කොලඹ වරායේ නැගෙනහිර ජැටිය පුද්ගලීකරනය කිරීමට එරෙහිව පැන නැගි එම සටන, සමිති 23ක 'ඒ්කාබද්ධතාවයෙන්' ගොඩනගා ගත් 'කොලඹ වරායේ නැගෙනහිර ජැටිය බේරා ගැනීමේ ජාතික ව්‍යාපාරය' නම්වූ අන්ත දක්ෂිනාංශික සංවිධානය හරහා ඉන්දියානු විරෝධී 'දේශප්‍රේමයක්' තුල ගිල්වා පාවාදුනි.

ඒසෞසේ ට නායකත්වය දෙන පෙසප මෙහි ප්‍රධාන භූමිකාවක් ඉටු කලේය. මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිපි 24ක් ලියා, පා ගමන්, පිකටින් උද්ඝෝෂන, රැස්වීම් හා වැඩ වර්ජන ගනනාවක් කලද ආන්ඩුව මේවාට ප්‍රතිචාර නොදක්වා ඇතැයි ඒසෞසේ නායකයෝ පලි ගසති. එසේ පලි ගසන ගමන්ම ධනපති ආන්ඩුවට කරන බලපෑමෙන් තොරව මෙම ඉල්ලීම් ලබා ගත හැකි අන්මඟක් නැති බවටද ඔවුහු සපථ වෙති. මෙලෙස කම්කරුවන් විෂම චක්‍රයක සිර කර හෙම්බත් කිරීම ඔවුහු දිගටම කරගෙන යති.

ධනපති ආන්ඩුවට කරන බලපෑම් වලින් කම්කරුවන්ට තම ඉල්ලීම් දිනාගත නොහැක්කේ ඇයි?

තම ආන්ඩුව ගිලී සිටින තියුනු ආර්ථික අර්බුදය කොවිඩ්-19 වසංගතයෙන් වඩාත් ගැඹුරු කෙරී ඇති තතු යටතේ ජනාධිපති රාජපක්ෂට ඇති එකම විකල්පය එම අර්බුදයේ බර කම්කරු-පීඩිත මහජනතාව මත පැටවීමයි. එය සිදු කෙරෙන්නේ, සෞඛ්‍යය සහ අධ්‍යාපනය ඇතුලු සමාජ සුබසාධන වියදම් දැවැන්ත පරිමානව කපා හැරීම, රැකියා, වැටුප් සහ දීමනා කප්පාදුව, කම්කරු-පීඩිත මහජනයා මත පෙරනොවූ විරූ බදුබර පැටවීම සහ පුද්ගලීකරනය වේගවත් කිරීම ඇතුලු රුදුරු පිලිවෙත් හරහා ය.

සැබැවින්ම රාජපක්ෂ ආන්ඩුව සිටින්නේ කම්කරු-පීඩිත මහජනතාවගේ ඉල්ලීම් කිසිවක් ඉටු කලහැකි තත්වයක නොව, කම්කරු පංතිය අතීත අරගල වලින් දිනාගත් සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සියල්ල යලි උදුරා ගැනීමට තල්ලු කෙරෙන වෛෂයික තත්වයකයි. රටක් රටක් පාසා කම්කරුවන් සහ අවශේෂ පීඩිතයන් අත් දකිමින් සිටින මෙම තත්වය, පුද්ගලික දේපොල සහ ලාභය මත පාදකවූ ලෝක ධනපති ක්‍රමයේ ඓතිහාසික නොහැකියාවේ ප්‍රතිඵලයකි.

ඒ නිසාම, ඉහත ප්‍රහාරයන්ට එරෙහිව පැන නගින පංති අරගල තලා දැමීම සඳහා රාජ්‍ය මර්දන යන්ත්‍රය වඩවඩාත් ශක්තිමත් කිරීම කරා ලොවපුරා ආන්ඩු අනිවාර්යයෙන් යොමුවෙයි. ආන්ඩුවේ ප්‍රධාන අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතන වලට මිලිටරි ජනරාල්වරුන් පත්කරමින් සමාජයේ සෑම ක්ෂේත්‍රයක්ම මිලිටරීකරනය කරමින්, මිලිටරිය මත පාදක ජනාධිපතිත්වයක් කරා රාජපක්ෂ වේගයෙන් ගමන් කරන්නේ එබැවිනි.

වරාය කම්කරුවන්ට එරෙහිව අත්‍යවශ්‍ය සේවා නියෝග පැනවීම, සෞඛ්‍ය සේවක වැඩ වර්ජන බිඳීමට මිලිටරිය යෙදවීම සහ වැටුප් අරගලයට පිවිසි හැටන් හි ඕල්ටන් වත්තේ කම්කරුවන් 22 කට එරෙහිව ව්‍යාජ අපරාධ චෝදනා එල්ල කරමින් ගෙනයන අධිකරන ක්‍රියාදාමය මෙම මර්දනයේ කැපී පෙනෙන වර්ධනයන්ය.

මෙවන් ධනපති ආන්ඩුවකින් ශිෂ්ඨ සම්පන්න ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය වැටුප් හා දීමනා දිනාගත හැකිවෙතැයි යන මිරිඟුව පිටුපස කම්කරුවන් ගාල් කිරීමට වෘත්තීය සමිති සහ පෙසප වැනි ව්‍යාජ-වම්මුන් ගෙනයන වැඩකටයුතු කම්කරු පංතියට එරෙහි ප්‍රතිගාමී උගුල් බව සිතන මතන කම්කරුවන් වටහාගත යුතුය.

සෞඛ්‍ය සේවකයන් ඇතුලු සමස්ත කම්කරු පන්තියට තම දැවෙන ප්‍රශ්න විසඳාගත හැක්කේ ධනපති ආන්ඩුවට සහ සමස්ත ධනපති ක්‍රමයට එරෙහි, ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් මත පාදක වූ කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන සටනක් තුලින් පමනි. එහි මුල් පියවර වනු ඇත්තේ, ධනපති ආන්ඩුව පලවා හැර ඉහත සමාජවාදී වැඩපිලිවෙල ක්‍රියාවට නංවන කම්කරු-ගොව් ආන්ඩුවක් බලයට ගෙනඒමේ එල්ලයෙන් දේශපාලන මහ වැඩ වර්ජනයක් සංවිධානය කිරීම සඳහා සූදානම් වීමයි.

ධනපති ක්‍රමයට දහසක් හුය පටින් බැඳී ඇති වෘත්තීය සමිති තම සටන්කාමීත්වය පිලිබඳ කෙතරම් කයිවාරු ඇදබෑවද, ඉහත ආකාරයේ වැඩපිලිවෙලකට පරිපූර්නව සතුරුය. වෛද්‍යවරුන්ද ඇතුලු සියලු ශ්‍රේනි වලට අයත් සෞඛ්‍ය සේවක සේවිකාවන්, සියලුම වර්නයන්ගෙන් යුත් වෘත්තීය සමිති හලාහල විෂක් ලෙස බැහැර කල යුත්තේ එබැවිනි.

වෘත්තීය සමිති වලින් ස්වාධීනවූ, සියලු කම්කරු ශ්‍රේනීන් නියෝජනය වන සහ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තීන්දු තීරන ගන්නාවූ, කම්කරු ක්‍රියාකාරී කමිටු සියලු රෝහල්, කම්හල් සහ වැඩබිම් තුල ගොඩ නගා ගනිමින්, ඉහත ආකාරයේ සම්මුති විරහිත දේශපාලන සටනක් සංවිධානය කිරීම සඳහා සෞඛ්‍ය සේවකයන් ඇතුලු සමස්ත කම්කරු පංතිය පෙරට පැමිනිය යුතුය.

කම්කරු පන්තියේ නොයෙකුත් අංශ තුල ගොඩ නගන ක්‍රියාකාරී කමිටු ජාලයක් ජාත්‍යන්තර කම්කරු පන්තියේ එවන් ජාලයන් සමග ඒ්කාබද්ධ කිරීම එම සටනේ අත්‍යවශ්‍ය අංගයකි. සමාජවාදී සමානතා පක්ෂය, සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව ගොඩ නගමින් මෙම සටනට නායකත්වය දෙන අතර අනෙක් කම්කරුවන් හට ඒ් පිලිබඳව තව දුරටත් සාකච්ඡා කිරීමට පහත දක්වා ඇති මාධ්‍යයන් හරහා සම්බන්ධ විය හැක.

ඊ මේල්: healthworkers-sl@wsws.org දුරකථන සහ කෙටි පනිවිඩ: 0773562327

Loading