බුර්කාව තහනම් කිරීමට ස්විට්සර්ලන්තය ඡන්දය දෙයි

[පහත පලවන්නේ මාර්තු 11, 2021 දින Switzerland votes to ban the burqa මැයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ ලිපියක පරිවර්තනයයි.]

ඉරිදා පැවති  ජනමතවිචාරනයකදී  (Verhüllungsverbot) ස්විට්සර්ලන්ත ඡන්දායකයින්ගේ සුලු බහුතරයකින් වේල් තහනම අනුමත විය. එමඟින් මුස්ලිම් කාන්තාවන්  ප්‍රසිද්ධ තැන්වල සිය මුහුන ආවරනය කර ගැනීම සහ නිකාබ් හෝ බුර්කාව පැලඳීම තහනම් වේ. 

මිලියන 1.43 දෙනෙකු තහනමට පක්ෂව ඡන්දය දුන්හ. එම සංඛ්‍යාව, මිලියන 8.7ක් වන රටේ මුලු ජනගහනයෙන් හයකට එක්කෙනෙක් පමනක් වූ අතර, ඉන් මිලියන 2.2 දෙනාට ස්විස් ගමන් බලපත්‍ර නොමැති අය වූහ,  මිලියන 1.7ක් දෙනා ලමුන් විය.  ඡන්දය දී තිබුනේ සියයට පනහක් වූ නිසා ඉන් සියයට 51.2ක් තහනමට පක්ෂව ඡන්දය පාවිච්චි කිරීම තහනම අනුමත කිරීමට සෑහුනි.

ස්විස් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල (ඡායාරූපය: විකිපීඩියා)

ඒ සඳහා යොදා තිබුන ව්‍යවස්ථාමය විධිවිධාන හා උද්ඝෝෂනය මඟින් වාර්ගික හා මුස්ලිම් විරෝධී මනෝගතීන් ප්‍රවර්ධනය කර තිබේ. එක් සමීක්ෂනයකින් පෙන්වා දෙන්නේ, මුලු ස්විට්සර්ලන්තයේම සිටින කාන්තාවන්ගෙන් බුර්කාව පලඳින්නේ 30ක් පමනක් බවයි. එසේම එහි සිය ගනන් අරාබියෙන් පැමිනි සංචාරක කාන්තාවෝ ද සිටියහ. ඔවුන් අතර බුර්කා පැලඳි කිසිවෙක් සිටියේ නැත.

මත විමසුම පැවැත්වුනේ ඊනියා ඉගර්කින්ගන් කමිටුව විසිනි. එහි සිටි එස්වීපී නම්වූ දක්ෂිනාංශික ජනතාවාදී ස්විස් මහජන පක්ෂයේ දේශපාලඥයෝ සහ අමු ෆැසිස්ට්වාදියෝ ජනමත විචාරනයේ  තානය සකස් කලහ. නොයි සූරිෂ සයිටුන්ග්  (NZZ) පුවත්පතට අනුව,  අනුගාමිකයින් 4500ක් පමන සිටින එම කමිටුව 2009දී ස්විට්සර්ලන්තය තුල මුස්ලිම් පල්ලිවල ස්ථම්භ (minarets) ඉදිකිරීම තහනම් කිරීමට සාර්ථකව නීතිමය මූලිකත්වයක් ගත්තේය.

ඉගර්කින්ගන් කමිටුවේ කලමනාකරන අධ්‍යක්ෂ වන 31 හැවිරිදි ආනියන් ලීබ්‍රන්ඩ්  තමන් හඳුන්වාගන්නේ, “විශ්වාසයෙන් බැඳුනු මිනිසා” ලෙසය. ඔහු වයස 16දී එස්වීපීයට බැඳුන අතර, රට තුල “වාම ප්‍රධාන ප්‍රවාහය” යනුවෙන් හඳුන්වන ව්‍යාපාරය බිඳ හෙලීමේ අරමුනෙන් වැඩ කලේය. ඔහු NZZ පුවත්පතට මෙසේ පැවසීය, “රැල්ල දකුනට හරවා ගැනීමට සමාජයට බලපෑම් කිරීම මගේ එක් ප්‍රධාන අරමුනකි.”

එස්වීපී වෙබ් අඩවියක තරුන වාමාංශික දේශපාලනඥයන්ගේ ඡායාරූප පල කිරීම සහ ඔවුන්  “බියගුලු මෝඩයින්,” “කාලකන්නි සත්තු” හා ප්‍රචන්ඬකාරීන් ලෙස හෙලාදැකීම සම්බන්ධයෙන් ලීබ්‍රන්ඩ් අපහාස කිරීමේ චෝදනා ගනනාවකට වරදකරු විය. ඔහු  සමලිංගික විවාහයන්ට සහ පාසැල්වල ලිංගික අධ්‍යාපන දීමේ පියවරයන්ට ද විරුද්ධව ක්‍රියාකාරීව මැදිහත් විය. NZZ මෙසේ ලියයි, ඔහු වැඩියෙන්ම  බිය වූයේ, “විදේශිකයින් කාවැදීම හමුවේ ස්විස්වරුන් අඩුවීම හා ස්විස් දරු උපත් ඉතා සුලු සංඛ්‍යාවක් වීම” ගැනය. “ඔහු සමූල ඝාතන සිහි කිරීමේ දිනය (Holocaust Remembrance Day) "  නිමිති කරගෙන, “වැරැද්ද  හරිගස්සා ගැනීමේ වැඩසටහන”  එනම් ස්විස් සංස්කෘතිය පාසල් තුල “නැවත උගැන්වීමේ” වැඩසටහන ඉල්ලා සිටියේය.  

ෆැසිස්ට් අදහස් ප්‍රකාශ කිරීමට මුල්වූ ඉගර්කින්ගන් කමිටුවේ එකම ප්‍රමුඛයා ලීබ්‍රන්ඩ් පමනක් නොවේ. එස්වීපීහි සාමාජිකයෙකු වූ විසි හතර හැවිරිදි නීල්ස් ෆිෂ්ටර් ද ඉන් එක් අයෙකි. “කුනු, මල, ශබ්ද, සොරකම් ආදිය ද ගොඩනැගිලි තැනීමට සහ නඩත්තු කිරීමට ද කෝටි ගනන්  වියදම් වේ. අපි කියන්නේ විදේශීය ජිප්සිවරු සඳහා සංචාරක ස්ථාන ඉදි නොකරන ලෙසයි! ” යන ගිනි අවුලුවන සුලු පෝස්ටර් සැලසුම් කිරීම නිසා, වාර්ගික වෙනස්කම් කිරීමේ පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඔහු වරදකරු කරන ලදී. බුර්කාව තහනම් කිරීමේ  උද්ඝෝෂනයේ දී ඔහු, බුර්කාව යටින් පුපුරන ද්‍රව්‍ය අඩංඟු දෑ සහිත පටියක් පැලඳ, මරාගෙන මැරෙන බෝම්බ කරුවෙකු  ලෙස පෙනී සිටියේය.

උද්ඝෝෂන පෝස්ටර් ද නාසි ප‍්‍රචාරක පෝස්ටර් ශෛලිය, ස්වරූපය සහ අන්තර්ගතය පිලිබඳ මතක් කිරීමක් විය: රතු පසුබිමක් සහිත නිකාබ් (බුර්කාව) පිටුපස, භයානක පෙනුමක් ඇති ඇස් දෙකක් තිබෙන අතර, කලු පැහැයෙන් “අන්තවාදය නවත්වන්න! ” යනුවෙන් සටහන් විය.

එස්වීපී සහ එහි ආශ්‍රිතයන් විසින් මීට පෙර සිදු කල පරභීතික ව්‍යාපාරවල ඇට්ටරයන් ද ඉගර්කින්ගන් කමිටුවට ඇතුලත් ය. එහි සභාපති වන්නේ, ස්විට්සර්ලන්ත පාර්ලිමේන්තුවේ පහල මන්ත්‍රී මන්ඩලයේ සාමාජික වෝල්ටර් වොබ්මන් ය. ඔහු එස්වීපීයේ දක්ෂිනාංශියේ සිටින්නෙකි. එස්වීපීය වසර ගනනාවක් තිස්සේ සංක්‍රමනිකයින්ට, සරනාගතයින්ට සහ මුස්ලිම්වරුන්ට එරෙහි මත විමසුම් පැවැත්වීමට මූලිකත්වය ගත් අතර ඔවුන් එහිදී යම් සාර්ථකත්වයක් පවා ලබා ඇත.

එය අවසන් වරට සාර්ථක වූයේ මීට වසර හතකට පෙර, ඊනියා මහජන සංක්‍රමනික වැඩසටහනත් සමඟ ය. එය ඉතා පටු බහුතරයක් විසින් සම්මත කරන ලදී. ඒ යටතේ ස්විට්සර්ලන්ත ආන්ඩුව, පුද්ගලයන්ගේ නිදහස් සංචාර පිලිබඳ ගිවිසුම ගැන වසර තුනක් ඇතුලත යුරෝපා සංගමය සමඟ  නැවත සාකච්ඡා කිරීමට බැඳී සිටියේය. එතැන් සිට ඊට අනුරූප වැඩසටහන් අසාර්ථක වී ඇති අතර, එස්වීපීයේ බලපෑම තරමක් අඩු වී ඇත. බුර්කාව තහනම් කිරීමේ ව්‍යාපාරය දැන් යලිත් සාර්ථක වී තිබීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ, අන්ත දක්ෂිනාංශිකයින් සමඟ පොදු අරමුනකින් කටයුතු කල සමහර ලිබරල්වාදීන්ගේ හා ස්ත්‍රීවාදීන්ගේ සහයෝගයයි.

උදාහරනයක් ලෙස, බුර්කා ව්‍යාපාරය සඳහා කාන්තා කමිටුවක් පිහිටුවන ලදී. ලේඛක ගිසෙලා විඩ්මර්, ටාගස් අන්සයිගර් හි විස්තර කල පරිදි, ඇයට එම ව්‍යාපාරයට මුල්වූවන් සමඟ එකඟත්වයක් නොමැති නමුත් ඔව් යැයි ඡන්දය දෙන බව පැවසීය. එසේ කරන්නේ  දේශපාලන න්‍යාය පත්‍රයක් සඳහා ඡන්දය දීමක් ලෙස නොවේ, නමුත් “වේලය තහනම් කරන්නේ ද? යන ප්‍රශ්නය ගැන පමනක්, ඔව් හෝ නැහැ? යනුවෙන් ප්‍රකාශ කිරීම සඳහාය” යි ඇය තවදුරටත් සඳහන් කලාය. වාමාංශික ලිබරල්වාදියෙකුට මෙම ප්‍රශ්නයට පක්ෂව පිලිතුරු දීමට සිදුවනු ඇත. මන්ද, නිකාබ් “දේශපාලන ඉස්ලාමයේ පුරුද්දයි.” ටෙර් ඩි ෆොම් හි හිටපු කාර්ය මන්ඬල සාමාජිකා රෙජිනා ප්‍රොබ්ස්ට්, ද  ඩර් ස්පීගල් වෙත පැවසුවේ තමන් ඔව් යනුවෙන් ඡන්දය දෙනු ඇති බව යි .

දැනටමත් සරනාගත අර්බුදය තුල මුස්ලිම් පිරිමින්ට එරෙහිව උද්ඝෝෂනය කර ඇති ජර්මානු ස්ත්‍රීවාදී ඇලිස් ෂ්වාසර්,  NZZ සමඟ කතා කරමින්, එම වැඩසටහනට අනුග්‍රහය දෙන බව මෙසේ පැවසුවාය: “ප්‍රබුද්ධත්වයට වසර 200 කට සහ සමාන අයිතීන් වෙනුවෙන් සටන් කිරීමේ වසර 50 කට පසු අපිට අවශ්‍ය  දේ ද මේ සිදුවන්නේ? පුරුෂයෙකුගේ බැල්මකින් ආරක්ෂා වීමට  නොපෙනී සිටීම සඳහා කාන්තාවකට පැවතිය යුතු කොන්දේසි මේවා ද? ”

කෙසේ වුවද, උද්ඝෝෂනය තුල ප්‍රකාශයට පත්වන වර්ගවාදය හෙලා දකින්නාවූත්  බුර්කා තහනම ආගම් හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සඳහා වූ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට එරෙහි ප්‍රහාරයක් ලෙස හෙලා දකින්නාවූත් මුස්ලිම් කාන්තාවන්ට වෙනස් කොට සලකන්නාවූත් නීතියක් ලෙස සලකන තවත් බොහෝ අය සිටිති.  ස්වේච්ඡාවෙන් හෝ බලපෑම් යටතේ එම තහනම උල්ලංඝනය කලහොත්  දඬුවමට ලක්වන්නේ මුස්ලිම් කාන්තාවන් පමනකි.  

බුර්කා තහනමට ඡන්දය දුන් සෑම කෙනෙක්ම දක්ෂිනාංශික අන්තවාදියෙකු නොවුනත්, මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී හා වෙනස් කොට සැලකීමේ පිලිවෙත අනුගමනය කිරීමෙන් පෙනී යන්නේ, ට්‍රම්ප් සහ ඔහුගේ අනුගාමිකයන් සිටින එක්සත් ජනපදයේ, ජර්මනියට විකල්පය නමින් ජර්මනිය තුල ඒඑෆ්ඩීය, ෆෝක්ස් නමින් ස්පාඤ්ඤයේ සහ තවත් බොහෝ රටවල කරලියට පැමින ඇති ෆැසිස්ට් ප්‍රවාහයන්ගෙන්  ස්විට්සර්ලන්තය පවා බේරී නැති බවයි.

නිතරම පාහේ ස්විට්සර්ලන්තය පෙන්නුම් කර ඇත්තේ, ෆැසිස්ට්වාදයට හා නාසිවාදයට මුහුන දිය හැකි ප්‍රජාතන්ත්‍රවාදයේ තෝතැන්නක් ලෙසිනි. එය සැබෑවක් නොවේ. 1930 ගනන්වල ස්විට්සර්ලන්තය තුල ද වර්ධනය වූ එක්ටෙන්සිව් ෆ්‍රන්ටන්බෙවෙගුන්ග් (පෙරමුනු ව්‍යාපාරය), සෙමිටික් විරෝධී හා ෆැසිස්ට් අරමුනු සහිත ෆොල්කිෂ් (völkisch) යන ස්විස් වාර්ගික පිලිවෙත ප්‍රවර්ධනය කර ඇත. එය සාමාජිකයින් 9000ක් ද ස්විස් පාර්ලිමේන්තුව තුල තමන්ගේම මන්ත්‍රීවරුන්ගේ නියෝජනයක් ද සහිතව 1935දී එහි මුදුනටම පැමිනියේය. ජාතික පෙරමුනු පක්ෂයේ නැඟීමට ඉහතකී තත්වය තුඩු දුන්නේය.

බුර්කා තහනම් කිරීමේ වැඩසටහනේ ප්‍රචාරක පෝස්ටරයේ මෙසේ සඳහන් වේ: අන්තවාදය නතර කරනු!

ජාතික පෙරමුනේ සිට ඊගර්කින්ගන් කමිටුව දක්වා සෘජු රේඛාවක් වැටී ඇත. උල්රිච් ශුලර්, කමිටුවේ සම-ආරම්භකයෙකු ද මුස්ලිම් පල්ලිවල ස්ථම්භ වලට එරෙහි ව්‍යාපාරය ආරම්භ කිරීමට මූලිකත්වය ගත්, එමෙන්ම 1970 ගනන්වල ජේම්ස් ෂ්වාර්සන්බාක්ගේ ලේකම් ලෙස කටයුතු කර ඇති ආනියන් ලීබ්‍රන්ඩ්ගේ දේශපාලන ආධාරකරුවෙකුව සිටියේය. ස්විට්සර්ලන්ත ජාතික කවුන්සිලයේ සාමාජිකයෙකු වන ෂ්වාර්සන්බාක්, 1968 දී “ජනතාව සහ නිජබිම දුරස්ත කිරීමට එරෙහි ජාතික ක්‍රියාමාර්ගය ” දියත් කල අතර, එය සෑම කැන්ටනයකම (දිස්ත්‍රික්කය) විදේශිකයන්ගේ අනුපාතය උපරිම වශයෙන් සියයට 10 දක්වා සීමා කිරීමට උත්සාහ කලේය. කටුක ජනමත විචාරන ව්‍යාපාරයකින් පසුව එම යෝජිත පියවර සියයට 54 කින් ප්‍රතික්ෂේප විය. එය පිලිගෙන තිබුනා නම් 300,000 ත් 400,000 ත් අතර පිරිසකට ස්විට්සර්ලන්තයෙන් පිටවීමට සිදුවනු ඇත.

සිය තරුන අවධියේදී ෂ්වාර්සන්බාක්, ස්පාඤ්ඤ ආඥාදායක ෆ්‍රැන්සිස්කෝ ෆ්‍රැන්කෝ අගය කල අතර, ජාතික පෙරමුනු පක්ෂයේ සාමාජිකයෙකු  හා පසුව  එහි නායකයෙකු ද විය. 1934 නොවැම්බරයේදී ඔහු කැබරේ ෆෙඵර්මුහ්ලර් වැටලීමකට සහභාගී වූ බව වාර්තා විය. සුප්‍රසිද්ධ ලේඛක තෝමස් මාන්ගේ දරුවන් වූ එරිකා සහ ක්ලවුස් මාන් විසින් මෙම කැබරේ රංඟනය මියුනිච් හි ආරම්භ කර ඇති අතර පසුව නාසි හිංසනය හේතුවෙන් සූරිච් වෙත ගෙන ගොස් ඇත. ආගන්තුක සත්කාරයේ අයිතිය අනිසි ලෙස භාවිතා කලහොත් සංක්‍රමනිකයින්ට සහ යුදෙව්වන්ට  තැනක් නැති බව පෙන්වීමට කාලය පැමින ඇති බව පවසමින්, ෂ්වාර්සන්බාක් මෙම වැටලීම සාධාරනීකරනය කලේය.

ධනවාදයේ ගැඹුරු අර්බුදයට ප්‍රතික්‍රියාවක් වන මෙම ෆැසිස්ට් බලවේග යලි හිස එසවීමෙන්  ස්විට්සර්ලන්තය බේරී නැත. දල දේශීය නිෂ්පාදිතයෙන් එක් වැසියෙකුට වෙන්වන කොටස අනුව බලන කල ලෝකයේ ධනවත්ම රටක් විය හැකි නමුත් එය වෙනත් ඕනෑම රටකට වඩා ලෝක ආර්ථිකය මත රඳා පවතී. ඕනෑවටත් වඩා විශාල බැංකු අංශය, ඉහල පන්තියට වෙන්වුන සංචාරක ව්‍යාපාරය සහ ඉහල ප්‍රාගුන්‍යයකින් යුත් විශේෂ කර්මාන්ත, ආර්ථික උච්චාවචනයන්ට අතිශයින් සංවේදීව ප්‍රතිචාර දක්වයි.

දූෂිත ඉහල ධනපති පන්තියේ සිට පුරවැසි බව අහිමි සංක්‍රමනික කම්කරුවන් දක්වා වන තියුනු සමාජ ධ්‍රැවාන්තගත වීම හා ඌන සංවර්ධිත ශුභසාධන පද්ධතිය රට තුල දැකගත හැකිය. මෙම අගාධය කොරෝනා වසංගතයෙන් ගැඹුරුවී ඇත. ඉහල ආසාදිත අනුපාතයක් පැවතිය ද ආන්ඩුව, ජනතාවගේ ජීවිත වලට ඉහලින් තබා ඇත්තේ, ආර්ථිකයේ අවශ්‍යතාවන් ය. හිම මත ක්‍රීඩා ආයතන, හෝටල් හා ආපන ශාලා බොහොමයක් විවෘතව පවතී. එසේම කර්මාන්තශාලා. එහි ප්‍රතිපල වශයෙන් කොවඩ් වෛරසය මිනිසුන් 565,000ට ආසාදනයවී ඇත. ජන සංඛ්‍යාව සමඟ සසඳන කල එය ජර්මනියේ මෙන් දෙගුනයකි. 10,000ට වැඩි පිරිසක් මියගොස් ඇත.

ලොව අන් සෑම තැනකම  මෙන් ස්විට්සර්ලන්තය තුල ද පාලක පන්තිය, ෆැසිස්ට් බලවේග ප්‍රවර්ධනය කරමින් තියුනු පන්ති අරගලයන්ට මුහුන දීමට සූදානම් වේ.

Loading