වන සංහාරය හුවා දැක්වූ විරෝධතාවකට එරෙහිව රාජපක්ෂ ආන්ඩුව කඩාපනියි

පසුගිය සිකුරාදා, කොලඹ විහාරමහාදේවි උද්‍යානයේ ප්‍රදර්ශනය කර තිබූ වන විනාශයට එරෙහි දැවැන්ත පෝස්ටරයක් ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයන් ඉවත් කර දැමීමට පොලිසිය සහ කොලඹ නාගරික කොමසාරිස් කටයුතු කලහ. යෞවන යෞවනියන්ගේ ප්‍රමුඛත්වයෙන් නිර්මානය කෙරුනු මෙම පෝස්ටරයෙන්, වේගවත් කෙරී ඇති වන විනාශය කෙරෙහි ඔවුන්ගේ දැඩි විරෝධය ප්‍රකාශයට පත්ව තිබුනි.

පරිසර විනාශය පෙන්නුම් කෙරුනු පෝස්ටරය

වයිල්ඩ්ලයිෆ් ඇන්ඩ් නේචර් ප්‍රොටෙක්ෂන් සොසයිටි ඇතුලු සංවිධාන කිහිපයක් එකතුව, පසුගිය සිකුරාදා මෙම පෝස්ටරය ප්‍රදර්ශනය කිරීම සහ එදිනම සවස පැවති නිහඬ උද්ඝෝෂනය සංවිධානය කලහ.

පරිසර විනාශය නතර කරනු! (“STOP ECOCIDE”) යන ශීර්ෂය යොදා තිබූ එම පෝස්ටරයෙන්, කපා දැමූ රූස්ස ගස් සහ මියැදෙමින් සිටින වන සතුන් සහිත, අඳුරු වර්නයෙන් සිතුවම් කෙරුනු කේඬෑරි වනාන්තරයක් නිරූපනය විය. අඩි 70x20 ප්‍රමානයේ විශාල කැන්වස් තිරයක පෝස්ටරය සිතුවම් කෙරුනේ සතියක පමන කාලයක් පුරා විහාර මහා දේවි උද්‍යානයට එක් වූ සියයක් පමන ක්‍රියාකාරීන්ගේ සාමුහික උත්සාහයකිනි.

තරුන-තරුනියන් පෝස්ටරය සිතුවම් කරමින්

වැඩ නිම කෙරුනු පෝස්ටරය මාර්තු 18 දින සවස ආනන්ද කුමාරස්වාමි මාවතට පෙනෙන ලෙස උද්‍යාන මායිමේ ඉදි කෙරුනු ආධාරකයක ස්ථාපිත කරන ලදි. මෙම පෝස්ටරයේ අන්තර්ගතය බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත්තේය. සමාජ මාධ්‍ය තුල ද මේ පෝස්ටරය නිමිත්ත කර ගනිමින් වන සංහාරය ගැන සාකච්ඡා කෙරෙන පෝස්ටු පල වනු දැක ගත හැකි විය.

කොලඹ උද්ඝෝෂනය සංවිධානය කෙරුනේ, පසුගිය මාර්තු 19 වැනි සිකුරාදා පරිසර විනාශයට විරෝධය පල කිරීම සඳහා ජාත්‍යන්තරව ගෙනගිය වැඩ සටහනක කොටසක් වශයෙනි. මෙය 2019 දී ආරම්භ වුනු ග්ලෝබල් ක්ලයිමේට් ස්ට්‍රයික් ව්‍යාපාරයේ මෙම වසරේ දිග හැරුමකි. 2015 වසරේ දී ග්‍රේටා තුන්බර්ග් නම් නව යොවුන් දැරිය, ගෝලීය පරිසර ව්‍යසනයන් සම්බන්ධයෙන් ආන්ඩුවල නොතැකීමට එරෙහි ව, ස්වීඩන පාර්ලිමේන්තුව ඉදිරිපිට අරඹන ලද විරෝධතාව ඇතැම් නගර වලදී මිලියන ගනනින් යෞවනයන් සහභාගී වූ ජාත්‍යන්තර විරෝධතා මාලාවක් බවට වර්ධනය විය.

විශාල වශයෙන් තරුන කොටස්වල සහභාගීත්වයෙන් ජාත්‍යන්තරව මෙ බඳු විරෝධතා පැන නැගීම දේශගුනික-පාරිසරික ගැටලු වර්ධනය වී ඇති සීමාන්තික තත්ත්වයේ ද, මහජන විඥානය වමට ගමන් කිරීමේ ද ප්‍රකාශනයකි.

මාර්තු 19 වැනි දා, උදෑසන 10ට පමන කොලඹ නාගරික කොමසාරිස් රෝෂිනි දිසානායක සහ පොලිස් නිලධාරීන් පැමින පෝස්ටරයට පොලිස් අවසර ලබා ගෙන නැති බවට චෝදනා කරමින් එය ගලවා දැමීමට කටයුතු කලහ. පෝස්ටරය නිසා උද්‍යානයේ පරිසරයට විනාශයක් සිදුව ඇතැයි කොමසාරිස්වරිය කුහක චෝදනාවක් එල්ල කලා ය.

එම ස්ථානයේ දී ම මාධ්‍යට අදහස් දක්වමින් කොලඹ පොලිස් පරිසර අංශයේ අධ්‍යක්ෂ රොෂාන් රාජපක්ෂ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව වෙනුවෙන් උද්ඝෝෂනය ගැන ඍජුවම අප්‍රසාදය පලකලේය. “පරිසරය ගැන කතිකාවක් ඇති වෙලා තියෙන්නෙ ‘අපේ රජය’ ආවාට පස්සේ” යැයි කී ඔහු “කලින් මොරගහකන්ද හැදුවා; ඔය වගේ ජලාශ හැදුවා. එතකොට ගස් විශාල වශයෙන් කැපුනා” යයි සඳහන් කලේ පරිසර විනාශය සිදුවූවාට කමක් නැතැයි අඟවමිනි.

සංවිධායකයෝ තමන් නිසි අවසර ලබා ගෙන නැතැයි යන චෝදනාව ප්‍රතික්ෂේප කරමින් ඒ සඳහා ලබාගත් අවසර පත්‍ර ඉදිරිපත් කලහ. ඔවුන් කොලඹ නගර සභාවෙන් අවසර ලබා ගත් ලියුමේ දී තමන් නිර්මානය කිරීමට යන පෝස්ටරය සම්බන්ධයෙන් සවිස්තරාත්මකව සඳහන් කර තිබුනි.

පෝස්ටරය ගලවා දැමීමට විරුද්ධව සමාජ මාධ්‍ය මගින් පලල්ව විරුධත්වය පැතිරෙන තත්වය තුල දහවල් 12ට පමන නගර සභාව විසින් ම මෙම පෝස්ටරය සවි කර දුන් බව වාර්තා විය. කෙසේ නමුත් නැවතත් එම ස්ථානයට පැමිනි බස්නාහිර පලාත් භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් ඇතුලු පොලිස් නිලධාරීහු සහ නාගරික කොමසාරිස් මැදිහත් වී එය ගලවා දැමීමට කටයුතු කලහ. පෝස්ටරය අත්අඩංගුවට ගැනීම වලක්වමින් ක්‍රියාකාරියෝ එම පෝස්ටරය මත වාඩි වී විරෝධතාවය පල කලහ.

පෝස්ටරය නැවත ප්‍රදර්ශනය කිරීමට ඉඩ ලබා නොදුන්න ද, එදින සවස 4 සිට 6 දක්වා විහාරමහාදේවි උද්‍යානයේ දී ම, පරිසර විනාශයට එරෙහි විද්‍යාත්මක කරුනු සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් එම තරුන-තරුන-තරුනියෝ නිහඬ විරෝධතාවයක් පැවැත්වූහ.

නිහඞ විරෝධතාව

ලෝක සමාජවාදී වෙබ් අඩවි වාර්තාකරුවෝ වැඩසටහනට සම්බන්ධ ව සිටි සංවිධායකයන් කීප දෙනෙකු සමග සාකච්ඡා කලහ.

“හදිසි දේශගුන විපර්යාස සම්බන්ධයෙන් හදිසි තීන්දු ගැනීමේ අවශ්‍යතාවක් මතු කර ඇති මොහොතක සමස්ත ලෝකය ම මේ සඳහා එකතු වෙද්දි එයට දායක වීමක් අපි කරන්නේ. තීරන ගන්නා අයට හුදෙක් පීඩනය යෙදීමට පමනක් නෙවෙයි, සමස්ත ශ්‍රී ලාංකිකයන් ම සිදු වෙමින් යන පරිසර විනාශය ගැන දැනුවත් කරන්නයි අපි වැඩ කරන්නේ” යැයි අවිශ්කා පැවසුවා ය.

“විශේෂයෙන් ම බලයේ ඉන්න සහ බලයේ හිටපු, තීරන ගැනීමට යම් කිසි හෝ බලයක් ඇති සියලු දෙනා ම මල්ටිනැෂනල් [බහුජාතික සමාගම්] සහ ලංකාවේ කම්පැනි තමන්ගේ ලාභය ගැන විතරක් හිතලා වැඩ කරන සියලු දෙනා ම මේ පරිසර විනාශයට වග කියන්න ඕන,” යැයි මෙලනි මැතිව්ස් චෝදනා කලා ය. “ධනපති ක්‍රමය අනිවාර්යෙන් ම වගකියන්න ඕන. එතැනම තියෙනවා සම්පත් බෙදී යාමේ විෂමතාවය. සම්පත් සාධාරන ව බෙදී යනවා නම් ප්‍රශ්නයක් ඇති වන්නේ නෑ,” යැයි ඇය ප්‍රකාශ කලා ය.

“පරිසර ප්‍රශ්න දරුනු වුනා ම ඒවට උත්තර හොයන්න වෙන්නෙ තරුන පරම්පරාව විදියට අපිට. සංවර්ධනය කියන්නෙ තියෙන හැම දේම පාවිච්චි කරල දාන එක නෙවෙයි. මේවා අනාගත පරම්පරාවට ඉතුරු කර ගන්න නිසි සැලසුමක් අවශ්‍යයි. නිවැරදි තීරන ගැනීමේ ක්‍රියාවලියක්, මල්ටිනැෂනල් නීතිමය රාමුවකට යටත් කිරීමක් අවශ්‍යයි.”

“අපි ජෛව විවිධත්වයෙන් පිරුනු රටක ජීවත් වෙන්නෙ. මේකයි අපිට ඇති ආරක්ෂාව. මේක විනාශ කර ගෙන ගියොත් අපේ ආරක්ෂාව අපි නැති කර ගන්නේ” යැයි ඇය තම අදහස් දැක්වීම අවසන් කලා ය.

මාර්තු 20 නුවරඑලිය වලපනේ යෝඹුවැල්තැන්න ප්‍රදේශයේ “ගම සමග පිලිසඳර” වැඩසටහනක දී ජනාධිපති රාජපක්ෂ මෙම චිත්‍රපුවරු ඉදිකිරීම පරිසර විනාශයක් වශයෙන් නරුම හෙලා දැකීමක යෙදුනේය. “ඊයේ උදේ පාන්දර විහාරමහාදේවි උද්‍යානයෙ විශාල බිල්බෝර්ඩ් එකක් ගහලා රූප වගයක් ඇඳලා. … පරිසරය විනාශ වෙනවා. මම කොලඹ හැමතැන ම පෝස්ටර් ගැහිල්ල නැවැත් වුවා. පරිසරය ආරක්ෂා කරන්න ඒක සංවර්ධනය කරන්න ඕන” යැයි ඔහු පැවසී ය.

පරිසර විනාශය සම්බන්ධයෙන් ව්‍යාජ පුවත් පලවන්නේ යයි වහසි බස් දෙඩූ ජනාධිපති රාජපක්ෂ මාධ්‍යයන්ට එරෙහිව කඩාපැන්නේ 'ඒවාට පාඩමක් උගන්වන හැටි' තමන් දන්නේ යයි තර්ජනය කරමිනි. සැබෑව නම් මහා ව්‍යාපාරිකයන් හා ආන්ඩුවේ මැති ඇමැතියන්ගේ ඥාති මිත්‍රයන් ඉවබව නැතිව විනාශකාරී ඉඩම් කොල්ලයක, ඉදිකිරීම්වල සහ ව්‍යාපාරවල යෙදන බවයි.

රටතුල සිදු වෙමින් යන සීඝ්‍ර වන සංහාරය සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමේ අභිලාෂයෙන් එක් වුනු තරුන කන්ඩායම්වලට රාජපක්ෂගේ ආඥාදායක පාලනයක් කරා යන ගමනේ මර්දනකාරී පියවරයන්ට ඍජුවම මුහුන දෙන්නට සිදු විය.

ලංකාවේ ආන්ඩුවේ හා පාලක පන්තියේ ප්‍රත්පත්ති මගින් මතු කෙරී ඇති ප්‍රශ්න ලෝක පරිමානව දිගහැරෙන ගෝලීය උනුසුම ඇතුලු දේශගුනික විපර්යාස, පාරිසරික විනාශය ආදී පලල් ජාත්‍යන්තර ප්‍රශ්න වල කොටසකි. පාලක පන්තීන්ගේ මෙම පිලිවෙත් පාදකවී ඇත්තේ මනුෂ්‍ය ජිවිතවලට ඉහලින් ලාභ සූරා ගැනීමේ ධනපති අවශ්‍යතාව මතය. කොවිඩ්-19 වසංගතය ලක්ෂ සංඛ්‍යාතව ජීවිත බිලිගනිමින් පවතිද්දී ලාභය තකා සෑම රටකම පාලක පන්ති ගෙනයන වැඩපිලිවෙලින් මේ බව නග්නවම එලිදරවු වී තිබේ.

එය නතර කල හැක්කේ කෙසේද?

ධනපති පන්තියට, එහි ආන්ඩුවලට බලපෑම් දැමීමෙන් හා මහා ව්‍යාපාරිකයන්ට නීති දැමීමෙන් මෙම ගැඹුරු ප්‍රශ්න විසඳා ගත නොහැකිය. 2019 දෙසැම්බරයේ මැඩ්රිඩ් නගරයේ උද්ඝෝෂනයක දී තුන්බර්ග් ප්‍රකාශකලේ, පාලක පන්තියට එහි ප්‍රතිපත්ති වෙනස් කරගන්නා ලෙසට විරෝධතා පල කිරීමෙන් හා ආයාචනා කිරීම මගින් 'අත්කරගත් දෙයක් නැත' යනුවෙනි.

ගෝලීය ධනවාදය යටතේ උද්ගත කෙරුනු මෙම ප්‍රශ්න විසඳිය හැක්කේ, ලාභය සඳහා ධාවනය නතර කොට ලෝක ආර්ථිකය විද්‍යාත්මකව හා තාර්කික පදනමක ප්‍රතිසංවිධානය කිරීමේ විප්ලවවාදී පියවර ගැනීමෙනි. එනම්, කම්කරු පන්තිය තම අතට බලය ගෙන නිෂ්පාදන බලවේග සමාජවාදී ආකාරයට ප්‍රතිසංවිධානය කිරීමෙනි.

පරිසරය ආරක්ෂා කර ගැනීමට පෙරට එන තරුනයන් ඉදිරියේ මෙම කර්තව්‍ය බලගතුලෙස මතුවී ඇත. එනම්, ලෝක අරගලයේ කොටසක් ලෙස ලංකාව තුල සමාජවාදී වැඩපිලිවෙලට සටන් කිරීමයි. සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සංවිධානයට බැඳී මෙම අරගලයට එක්වන්න. ලෝක සමාජවාදී වෙබ් අඩවිය (wsws .org) කියවන ලෙසද අපි තරුනයන්ගෙන් ඉල්ලා සිටිමු.

Loading