කම්කරු අරගල මධ්‍යස්ථානය, ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය (ඒසෞසේස), ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය හා ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය ඇතුලු පෙරටුගාමී සමාජවාදී පක්ෂය නායකත්වය දෙන සංවිධාන කිහිපයක් එකතුව අඟහරුවාදා දහවල් (මාර්තු 23) මුදල් අමාත්‍යාංශය කරා පා ගමනක් සංවිධානය කර තිබුනි.
රාජ්‍ය සේවක වැටුප රුපියල් 15,000කින් ඉහල දැමීම, පුද්ගලික අංශයේ අවම වැටුප රුපියල් 25,000 දක්වා වැඩි කිරීම සහ අහිමි කල රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප යලි ස්ථාපිත කිරීම මෙම පා ගමනේ ප්‍රධාන ඉල්ලීම් විය.
ඊට අමතරව, සෞඛ්‍ය සේවකයන් සඳහා කොවිඩ් අවදානම් දීමනාවක් ලබා ගැනීම, නිල ඇඳුම් දීමනා වැඩි කර ගැනීම හා සංවර්ධන නිලධාරීන් දිගු කලක් තිස්සේ ඉල්ලා සිටින සේවය ස්ථිර කිරීම්, විධිමත් උසස් වීම් හා මාරුකිරීම් මෙන්ම රැකියා විරහිත උපාධිධාරීන්ගේ රැකියා අයිතිය තහවුරු කිරීම ඇතුලු තවත් ඉල්ලීම් ගනනාවක් දිනා ගැනීම මෙම පා ගමනේ අරමුන බව සංවිධාකයන් පවසා තිබුනි.
පාගමන අවසානයේදී සමිති නායකයන් දස දෙනෙකුට අමාත්‍යාංශ නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා දී ඇත.සාකච්ඡා නිමවා පිටතට පැමිනි සමිති නායකයන්, ඔවුන් එනතෙක් රැඳී සිටි කම්කරුවන්ට කියා සිටියේ කිසිම ඉල්ලීමක් පිලිබඳව “වගකීමක් භාර ගත නොහැකි බව” අමාත්‍යාංශ නිලධාරීන් ඔවුන්ට පැවසූ බවයි.
රෝහල් කනිෂ්ඨ කාර්ය මන්ඩලයට අයත් ආදේශක සෞඛ්‍ය කම්කරුවන්හට ගෙවනු ලබන දිනක වැටුප, දීමනාද සහිතව රුපියල් 1068ක් පමනවේ. ස්ථිර කනිෂ්ඨ සෞඛ්‍ය කාර්ය මන්ඩල කම්කරුවන්හට අතිකාලද සමඟින් ලබා ගත හැකි උපරිම මාසික වැටුප රුපියල් 50,000කට ආසන්න මුදලකි. නිවාස හා වෙනත් කටයුතු සඳහා ලබා ගෙන ඇති බැංකු නයට මෙම වැටුපෙන් විශාල පදාසයන් කැපෙන තතු තුල කම්කරුවන්හට සිය ජීවිත ගැට ගහ ගන්නට ඉතිරි වන්නේ අතිශය සොච්චමකි.
මෙම පසුබිම තුල බොහෝ ආදේශක සෞඛ්‍ය කම්කරුවන්ට සිය ජීවන අවශ්‍යතා සපුරා ගැනීමට අමතර රැකියාවක නිරත වීමට පවා සිදුව තිබේ. සාමාන්‍ය රාජ්‍ය සේවයේ සෙනසුරාදා නිවාඩු දිනයක් ලෙස සැලකෙන නමුත් මෙම කම්කරුවන්හට සෙනසුරාදා ද වැඩ දිනයක් වන අතර අති කාල දීමනාද රහිතව වැඩ කිරීමට සිදුව තිබේ. ඔවුන්ට වැටුප් ලැබෙන්නේ දෛනිකව බැවින් කොරෝනා රෝගියෙකු සමඟ සමීපව වැඩ කිරීමෙන් නිරෝධායනය වීමට සිදු වුවහොත් එම දින වලට වැටුප් නොලැබේ. දින 180ක් සේවය නිමවා ඇති ආදේශක සෞඛ්‍ය කම්කරුවන් ස්ථිර කිරීම කම්කරුවන්ගේ දැවෙන ඉල්ලීමකි.
වසංගතය දිගටම පැතිරී යද්දී, ආන්ඩුව විසින් “නව සාමාන්‍යය” පිලිවෙත යටතේ සියලු වැඩපලවල් හා පාසැල් විවෘත කර ඇති තතු තුල, ඉදිරි පෙල කම්කරුවන් අතරින් වඩාත්ම බැට කන සෞඛ්‍ය සේවකයන්හට ආපදා දීමනාවක් ලබාදී නොමැත. මෙම කම්කරුවන්ගේ වාර්ෂික නිල ඇඳුම් දීමනාව වසර ගනනාවකින් වැඩිකර නොමැති අතර නිල ඇඳුම් සඳහා වැයවෙන මුදල විශාල වශයෙන් ඉහල ගොස් ඇති පසුබිමක කම්කරුවන්ට සිය නිල ඇඳුම් සපයා ගැනීම අසීරු වී තිබේ.
සංවර්ධන නිලධාරීන් ලෙස බඳවා ගනු ලබන රැකියා විරහිත උපාධිධාරීන් හට වසරක පුහුනු කාලය තුල ගෙවනු ලබන්නේ රුපියල් 20,000 ක සුළු මාසික දීමනාවකි. රාජ්‍ය ආයතනවල පුහුනුව සඳහා 2019 අගෝස්තු සහ සැප්තැම්බර් කාලය තුල බඳවාගත් 12,000ක් වන සංවර්ධන නිලධාරීන්ගේ වසරක පුහුනු කාලය අවසන් කර මාස ගනනාවක් ගතවී ඇති නමුදු තවමත් රැකියාව ස්ථීර කර නැත.
රාජ්‍ය සේවයේ ප්‍රසූත නිවාඩුව දින 84ක් වුවද සංවර්ධන නිලධාරිනියන්ගේ ප්‍රසූත නිවාඩුව දින 42 ට කප්පාදු කර තිබේ. රාජ්‍ය අංශයට අයත් මෙම සියලුම කම්කරුවන්ගේ විශ්‍රාම වැටුප් අයිතිය කපා දමා ඇති අතර මෙම ආන්ඩුව බලයට පත්වූයේ එම අයිතිය යලි ස්ථාපිත කිරීමට පොරොන්දු දෙමිනි.
වසංගතය මධ්‍යයේ සෞඛ්‍ය සේවකයින් මුහුන දෙන කොන්දේසි දරුනු ලෙස ඉස්මතු වී ඇත්තේ, පැවති සීමිත නිදහස් සෞඛ්‍ය සේවය පවා අනුප්‍රාප්තික ආන්ඩු විසින් පසුගිය දශක හතර තුල දැවැන්තව කප්පාදු කොට පරිහානියට පත්කොට ඇති බැවිනි. මෙම තත්වය තව දුරටත් උග්‍ර කරමින් වසංගතය මධ්‍යයේ රාජපක්ෂ ආන්ඩුව මේ වසරේ අයවැයෙන් සෞඛ්‍යයට වෙන් කල ප්‍රතිපාදන පසුගිය වසරට සාපේක්ෂව රුපියල් බිලියන 30 කින් අඩු කරමින් රුපියල් බිලියන 159 ක් දක්වා කපා දමා තිබේ.
කනිෂ්ඨ සෞඛ්‍ය සේවක සටන වසරකට ආසන්න කාලයක් පුරා පවතින අතර මෙම ඉල්ලීම් ලබා දීමට නොව ඉල්ලීම් ඉදිරිපත් කරන කම්කරුවන් මැඩීමට ආන්ඩුවේ හැරී ගැනීම පසුගිය කාලය පුරා දැකගත හැකි විය.
පසුගිය මස පැවති කනිෂ්ඨ සෞඛ්‍ය සේවක වැඩ වර්ජනය බිඳීමට ආන්ඩුව රෝහල් වලට මිලිටරිය යෙදවුයේ මීට පෙර සිදු කල ලෙස හදිසි නීති හා අත්‍යවශ්‍ය සේවා නියෝග පවා නොදමා යුද හමුදාපති ෂවේන්ද්‍ර සිල්වාගේ සෘජු මැදිහත්වීමෙනි. කොලඹ ජාතික රෝහල, දකුනු කොලඹ, පේරාදෙනිය, ගම්පොල, බදුල්ල සහ මුලතිව් ඇතුළු රෝහල් 15 කට ආසන්න සංඛ්‍යාවක හමුදා භටයින් 185 දෙනෙකු සම්බන්ධ කර ගැනුනු මෙහෙයුම වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා කම්කරුවන්ට එරෙහිව පුලුල් රාජ්‍ය මර්දනයක පැහැදිලි පෙරහුරුවක් විය.
කොරෝනා වසංගතය වේගයෙන් පැතිරුනු තත්වයන් යටතේ, පසුගිය ජනවාරියේ වරාය සේවකයින් වැඩට වාර්තා කිරීමට දැක්වූ ප්රතිරෝධයට එරෙහිව 'අත්‍යවශ්‍ය සේවා' විධිවිධාන යොදවා සේවය අනිවාර්ය කෙරිනි. කොලඹ වරායේ නැගෙනහිර පර්යන්තය පුද්ගලීකරනයට එරෙහිව පැන නැගුනු කම්කරු සටන් මැඩපැවැත්වීම දක්වා මෙම පියවර දීර්ඝ කෙරිනි.
එමෙන්ම, තම දෛනික වැටුප වැඩි කරන ලෙස ඉල්ලා සටනට පිවිසි හැටන් හි ඕල්ටන් වත්තේ කම්කරුවන්ට එරෙහිව ප්රකෝපකරනයක් නිර්මානය කිරීමෙන් පසු, වතු හාම්පුතුන්, සමිති සහ පොලීසිය එක්ව, එම කම්කරුවන් ඇතුලු 22 කට එරෙහිව ව්‍යාජ අපරාධ චෝදනා ගොනු කරමින් ගෙනයන අධිකරන ක්‍රියාදාමය, සමස්ත කම්කරු පන්තිය බියවැද්දීමේ රුදුරු පියවරකි.
වැඩ වර්ජන කඩාකප්පල් කිරීම සඳහා මිලිටරිය භාවිතා කිරීම හා සේවයට නොපැමිනීම සිරගත කලහැකි දඬුවමක් කරන අත්‍යවශ්‍ය සේවා පනත යොදා ගැනීම ආන්ඩුව සිය ප්‍රතිපත්තිවලට එරෙහි නැගෙන සියලු කම්කරු පන්තියේ විරෝධතා මැඩපැවැත්වීම සඳහා යොදා ගැනෙන සැලසුම් බව මින් ඇඟවේ.
විශ්‍රාමික හා සේවයේ නියුතු ජෙනරාල්වරුන් ආන්ඩුවේ ප්‍රධාන තනතුරුවලට පත් කිරීම ඇතුලු පියවර හරහා මිලිටරිය මත පාදක ජනාධිපති ආඥාදායකත්වයක් තහවුරු කර ගැනීමට රාජපක්ෂ ආන්ඩුව කැස කවන්නේ මෙලෙස ඉස්මතු වන කම්කරු අරගල රුදුරු ලෙස තලා දැමීමේ එල්ලයෙනි. ඉහල යන බඩු මිල සමඟ උග්රවන සමාජ කොන්දේසිවල පීඩනයට එරෙහිව මාර්තු 23 දින විදුලි බල, ජල, බැංකු ආදී කම්කරුවෝ ද උද්ඝෝෂනය කලහ.
මුදල් අමාත්‍යාංශයේ සාකච්ඡාවට ගොස් පැමින කම්කරුවන් ඇමතූ සමිති නායකයන් සුපුරුදු පූච්චානම් භාෂාවෙන් පැවසූවේ, මෙම අවස්ථාවේ පොරොන්දු නොලැබෙන්නේ නම් “මීට වඩා වෙනස් භාෂාවකින්” ඉස්සරහට කතා කරන බවත්, “අද කතා කරන සද්දෙන් තේරෙන්නේ නැත්නම් සද්දෙ වැඩි කරන්න අපි දන්නවා”යනුවෙන් පවසා තමන් ආපසු පැමිනි බවයි.
“වෙනස් භාෂාව” හා “සද්දෙ වැඩි කිරීම” කුමක්දැයි ඔවුන් කම්කරුවන්ට නොපැවසූ නමුත් ඉන් අදහස් වන්නේ ආන්ඩුවට කරන මෙම නිස්සාර බලපෑම් උග්‍ර කිරීමට උත්සාහ දැරීම බව පැහැදිලිය.
කම්කරු අරගල මධ්‍යස්ථානයට නායකත්වය දෙන පෙසප නායකයන්ගේ ක්‍රියාකලාපයෙන් පැහැදිලි වන්නේ ආන්ඩුවට බලපෑම් දැමීම හැරුනු කොට කම්කරු පන්තිය, තමාට එරෙහි ප්රහාරයන්ගේ මූලය වන ධනපති ක්‍රමයට සහ එහි ප්‍රහාරකයන් වන ධනපති ආන්ඩුවට එරෙහි ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ලෙස බලමුලු ගන්වා ගැනීමට ඔවුන්ගේ පවතින පූර්න විරුද්ධත්වයයි. ආන්ඩුවේ ඇමතියන්හට ලිපි දුසිම් ගනන් ලියමින් හා ආන්ඩුවට බලපෑම් දැමීමේ ක්‍රියාවන්වල කම්කරුවන් හිර කර ඔවුනගේ සටන් ශක්තිය දියකර දැමීමේ විෂම චක්රයක ඔවුහු දිගින් දිගටම නියැලී සිටිති.
මුදල් අමාත්‍යංශයට මෙම පා ගමන සංවිධානය කර තිබුනේ පෙබරවාරි මස 23 දින ඒසෞසේස නායකත්වය යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයට සංවිධානය කල පා ගමනින් අනතුරුවය. මුදල් අමාත්‍යාංශයේ අනුමැතියෙන් තොරව ඉල්ලීම් ඉටු කල නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් සඳහන් කල නිසා මෙම පා ගමන මුදල් අමාත්‍යාංශය වෙත සංවිධානය කරන බව ඒ්සෞසේස හා කම්කරු අරගල මධ්‍යස්ථානය සදහන් කර තිබිනි.
ඒ්සෞසේස හා කම්කරු අරගල මධ්‍යස්ථානය ගෙනයන මෙම විරෝධතාවන්හි බංකොලොත්භාවය කම්කරුවෝ වටහා ගනිමින් සිටිති. ගම්පොල රෝහලේ ආදේශක කම්කරුවෙකු ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසුවේ “ඉහල ගොස් ඇති බඩු මිල නිසා පවුලක් නඩත්තු කිරීමේදී කම්කරුවන් තදබල පීඩනයකට ලක්වෙනව. මෙම කම්කරු ඉල්ලීම් උග්‍ර වෙලා තියෙන්නෙ ඒ්කයි. හැබැයි ආන්ඩුවට බලපෑම් දැමීමේ ක්‍රියා මාර්ග වලින් යම් ජයග්රහනයක් ලැබේය කියල නම් හිතන්න බැහැ” යනුවෙනි.
වතුපිටිවල රෝහලේ කම්කරුවෙකු පැවසුවේ “අපේ ඉල්ලීම් වලට කිසිවෙකුට විරුද්ධ වෙන්න බෑ. කම්කරුවන්ට පවතින දුෂ්කරතාවයන් මෑත කාලයේ තව තවත් උග්‍ර වීම නිසා මෙම සටන් කිරීමේ වුවමනාව ඉස්මතු වෙලා තියෙනව. අපි කවුරුත් ආන්ඩුව ගැන වගේම වෘත්තීය සමිති ගැනත් කලකිරීමෙන් ඉන්නේ. විකල්ප වැඩ පිලිවෙලක් අවශ්‍යයි කියන එක පැහැදිලියි.”