ඉදිරිදර්ශන

ගෝලීය වසංගතයේ සිට පන්ති අරගලය දක්වා

[පහත පලවන්නේ මාර්තු 24, 2021 දින From global pandemic to global class struggle  මැයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ ඉදිිිිිිිිිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

කොවිඩ්-19 ගෝලීය වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කර වසරකට වැඩි කාලයකට පසු, මෙම රෝගය නැවත වරක් ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතියි. දිනකට මිනිසුන් 9,000කට ආසන්න සංඛ්‍යාවක් මිය යමින් සිටියි. වඩාත් බෝවන ප්‍රභේදයන් මතුවීමෙන් ආසාදනය කෙරෙන නව රෝගීන් සංඛ්‍යාවේ දින හතක සාමාන්‍යය මිලියන භාගයක් කරා ලඟා වෙමින් තිබේ. එය පසුගිය මාසයට සාපේක්ෂව සියයට 40ක වර්ධනයකි. පසුගිය සතියේ අලුත් රෝගීන් සියයට 8කින් ඉහල ගිය අතර එය එක දිගට පස්වැනි සතිපතා වැඩිවීම යි.

දැන් ව්‍යසනයේ කේන්ද්‍රස්ථානය වන බ්‍රසීලයේ දිනකට මරන 2,000කට වඩා සිදු වේ. රට පුරා රෝහල් පිරී ඇත. භූමදානය කල නො හැකි මලසිරුරුවලින් මෘතශරීරාගාර පිරී යමින් පවතී.

කොවිඩ්-19 හා සම්බන්ධ සංකූලතා හේතුවෙන් මියගිය 77 හැවිරිදි ජෝස් බර්නාඩිනෝ ෆෙරෙයිරාගේ දේහය 2021 ජනවාරි 22 වන සිකුරාදා ඇමසන්ස් ප්‍රාන්තයේ මනූස් හි පිහිටි ඔහුගේ නිවසේ දී ඉවත් කිරීමට මහජන අවමංගල්‍ය සේවා සේවකයින් උදව් වෙමින්. නව කොරෝනා වෛරස් වසංගතය මධ්‍යයේ තම නිවාසවල මැරෙන පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉහල යමින් තිබෙන්නේ, රෝහල් ඉඩකඩ මදිකම හා ඔක්සිජන් හිඟය හේතුවෙනි. (AP ඡායාරූපය / එඩ්මාර් බැරෝස්)

රටේ දැවැන්ත මුඩුක්කු නිවාසවල බොහෝ රෝගීන් හා මරන වාර්තා නොකෙරෙන ඉන්දියාවේ, නිල සංඛ්‍යාලේඛන පවා පෙන්නුම් කරන්නේ පසුගිය මාසය තුල දෛනික රෝගීන් සංඛ්‍යාව තුන් ගුනයකින් වැඩි වී ඇති බව යි.

යුරෝපයේ දිනකට සාමාන්‍යයෙන් 200,000කට ආසන්න පුද්ගලයන් වෛරසයට ආසාදනය වන අතර, එම ප්‍රවනතාව ඉහල යමින් පවතී. ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය සහ පෝලන්තය නව ඉහල යාම් මධ්‍යයේ තිබෙන අතර, හංගේරියාව වසංගතය ආරම්භයේ සිට රෝහල් ගත වීම් හා මරනවල විශාලතම වැඩිවීම අත්දකමින් සිටී.  

දැනටමත් 555,000කට වැඩි පිරිසක් මියගොස් ඇති එක්සත් ජනපදයේ , ප්‍රාන්ත 24ක, විශේෂයෙන් මිඩ්වෙස්ට් හා ඊසානදිග ප්‍රාන්තවල වසංගතය ඉහල යමින් පවතී. එක්සත් ජනපද නිෂ්පාදන මධ්‍යස්ථානයක් වන මිචිගන් ප්‍රාන්තයේ, පසුගිය මාසය තුල  රෝගීන් සංඛ්‍යාව ආසන්න වසයෙන් තුන් ගුනයකින් වැඩි වී තිබේ.

ඉහල ඵලදායී එන්නත් නිපදවා තිබිය දීත්, ලෝක ජනගහනයෙන් වැඩි පිරිසකට එන්නත් ලබා දීමට බැරෑරුම් සැලසුමක් නොමැත. යුරෝපයේ ප්‍රධාන ධනේශ්වර  රටවල පවා සම්පූර්නයෙන්ම එන්නත ලබා දී ඇත්තේ ජනගහනයෙන් සියයට පහකටත් වඩා අඩු ප්‍රමානයකට  වන අතර ආසියාව, ලතින් ඇමරිකාව හා අප්‍රිකාවේ බොහෝ රටවල කිසිවෙකුට එන්නතක් ලැබී නැත.

මෙම නිමක් නැති ව්‍යසනයෙන් පංති දෙකක අවශ්‍යතා නියෝජනය කරන එකිනෙකට වෙනස් ගමන්පථ දෙකක් පැන නගී. ගෝලීය වසංගතය වඩ වඩාත් විවෘත ව ගෝලීය පන්ති අරගලයක් දක්වා වර්ධනය වෙමින් පවතී.

රෝගය යලි උත්සන්න වීම නො තකා, එක්සත් ජනපදය විසින් නායකත්වය දෙනු ලබන ප්‍රාන්ත ආන්ඩු, ව්‍යාකූල හා අසමායෝජිත එන්නත් බොදා හැරීම හැරුනු විට, වංසගතය පාලනය කිරිමේ සියලු පියවර කඩා දැමීමට උත්සාහ ගනිමින් සිටී. බයිඩන් පරිපාලනය පාසල් නැවත විවෘත කිරීමට පෙරමුන ගනිමින් සිටින්නේ, එසේ කිරීමට සඳහා විද්‍යාව විකෘත කරමින් සහ මුසාකරනය කරමිනි. 

සමස්ත පාලක පන්තිය විසින්ම හවුලේ පවත්වාගෙන යන මිනිස් ජීවිතය කෙරෙහි වන අවඥාව සාරාංශගත කෙරුනේ, බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝගේ ෆැසිස්ට් ගෝරනාඩුවලිනි. වසංගතයෙන් විනාස කෙරුනා වූ ජනයා වෙත තම කෝපය එල්ල කරමින්, ඔහු කියා සිටියේ, “කුලප්පු වීම හා කන්කෙඳිරි ගෑම ඇති. මේ වැලපිල්ල තව කොච්චර කල් තියෙයිද?” යනුවෙනි.

වෛරසය පාලනය කිරීම සඳහා වන සියලු පියවර නතර කරන ලෙස ඉල්ලා සිටි බොල්සෝනාරෝ බ්‍රසීල ජනතාවට තරවටු කලේ ය. “ඔබ තව කොපමන කාලයක් නිවසේ ලැග සියල්ල වසා දමා සිටිනවාද?” ඔහු තර්ජනය කලේ ය. “කාටවත් තවදුරට එහෙම ඉන්න බෑ.”

වසංගතය මුලුල්ලේ මෙන් ම, දැනුදු, මහජන සෞඛ්‍යයේ මූලික අවශ්‍යතාවන්, පුද්ගලික ලාභයට සහ නිමක් නැතිව ධනය එක්රැස් කිරීමේ උවමනාවන්ට යටත් කෙරෙමින් තිබේ. පසුගිය වසර මුලුල්ලේ, ලොව පුරා පාලක ප්‍රභූන් ඩොලර්, යුරෝ හා යෙන් ට්‍රිලියන ගනනක්, මූල්‍ය වෙලඳපොලට ලබා දී ඇති ඇත්තේ, කොටස් වටිනාකම් වාර්තාගත මට්ටම්වලට ඉහල නංවමිනි. සෘජු ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජනපදයේ ප්‍රකෝටිපතියන්ගේ ධනය ඩොලර් ට්‍රිලියන 1.3කින් වර්ධනය වී ඇත්තේ, ඒ හා සමාන හදිසි ලාභ ජාත්‍යන්තර ව පාලක ප්‍රභූ පැලැන්තියට ගෙන යමිනි. 

පසුගිය වසර තුල මිලියන ගනනක් ජනයා මියගොස් තිබේ. ජාත්‍යන්තර කම්කරු සංවිධානය ගනන් බලා ඇති ආකාරයට ලෝකයේ රැකියා මිලියන 255කට සමාන සංඛ්‍යාවක් අහිමි වී ඇති අතර, මිලියන සිය ගනනක පුද්ගලයන් වසංගතයේ විනාශකාරී ආර්ථික හා සමාජීය ප්‍රතිවිපාක වලින් පීඩා විඳ ඇත. නමුත් ධනවතුන්ට, එම වසර යහපත් වූවා පමනක් නො ව; එය අතිවිශිෂ්ට වී ඇත.

අනෙක් සියල්ල මෙන්ම, එන්නත් නිෂ්පාදනය හා බෙදා හැරීම පාලක ප්‍රභූන්ගේ ලාභ අවශ්‍යතා මෙන් ම තරඟකාරී ධනේශ්වර ජාතික රාජ්‍යයන්ගේ භූ-දේශපාලනික උත්සුකතා යන දෙකට ම යටත් කෙරෙමින් තිබේ. එන්නත් අට්ටි ගසාගැනීමට උත්සාහ ගනිමින් සිටින අතරතුර, එක්සත් ජනපදය ඖෂධ නිෂ්පාදකයින් වෙත ඩොලර් බිලියන ගනනක් විසි කර ඇත්තේ, ඔවුන්ට මහජන අරමුදල් සපයන පර්යේෂන සඳහා පේටන්ට් අයිතිය ලබා දෙමින් හා සංවර්ධනය වෙමින් පවතින රටවලින්  අධික ලෙස මුදල් අය කිරීමට ඔවුන්ට අවසර දෙමිනි. එහි ප්‍රතිඵලයක් වසයෙන්, ලතින් ඇමරිකාව හා අප්‍රිකාවේ ජනගහනයෙන් සැලකිය යුතු කොටසකට එන්නත ලබා දීමට වසර ගනනාවක් ගත වෙනු ඇත යි මහජන සෞඛ්‍ය විශේෂඥයෝ  කනස්සල්ලට පත්වෙති.

ඇමරිකානු පාලක පන්තිය තම අසල්වැසියන්ට අයුතු බලපෑම් කර, තර්ජනය කිරීමට  එන්නත් හිඟය භාවිතා කරමින් සිටී. ඉතාමත් ම නරක ලෙස, එක්සත් ජනපදයට ඇතුලු වීමට අපේක්ෂා කරන සරනාගතයින් හිරහැර කර, බිය ගැන්වීමට එකඟ වීමේ කොන්දේසිය මත එක්සත් ජනපදය සිය එන්නත්වල ජීවිතාරක්ෂක මාත්‍රා  සංඛ්‍යාවක් මෙක්සිකෝවට යැවීමට කැමත්ත පල කරමින් සිටියි.

වසංගතයට එරෙහි ව සටන් කිරීමට අවශ්‍ය සම්පත් කැප කරනවා වෙනුවට අධිරාජ්‍යවාදී රටවල් දැවැන්ත මිලිටරි ශක්තිමත් කිරීම් ක්‍රියාත්මතක කරමින් සිටිති. මේ මාසයේ දී එක්සත් රාජධානිය තම න්‍යෂ්ටික අවි තොගයේ සියයට 40ක වැඩිවීමක් ප්‍රකාශයට පත් කල අතර, චීනයට තර්ජනය කිරීම සඳහා ඉන්දු-ශාන්තිකර කලාපයේ වියදම් දෙගුන කිරීමට එක්සත් ජනපදය සැලසුම් කරයි.

වසංගතයේ සියලු භීෂනය දැන් මිලිටරිවාදයේ පිපිරීම හා, අවසානයේ දී, න්‍යෂ්ටික අවි භාවිතයෙන් සිදු කිරීමට නියමිත ය. ජාතිකවාදය සහ ස්වෝත්තමවාදය ප්‍රවර්ධනය කිරීම මගින් අත්වැල් බැඳ ගැනුනු, මෙම ම්ලේච්ඡත්වය, පලමු අවස්ථාවේ දී ම වැලක් වීමට හා එය පිපිරුනු වහා ම මැඩ පැවත් වීමට හැකියාව තිබූ, වසංගතයකින් මිලියන ගනනාවක් මියයාමට ඇද දමා ඇති ධනේශ්වර පර්යායේම නිර්මිතයකි.

පාලක පන්තියේ ගමන්පථය මෙය යි. කම්කරු පන්තියේ ගමන්පථය වන්නේ පන්ති අරගලය වන අතර එය කම්කරු පන්තියට දේශපාලන බලය ලබා ගැනීම, ධනවතුන් අස්වාමික කිරීම, හා යෝධ සමාගම් ප්‍රජාතන්ත්‍රවාදී ව පාලනය කෙරෙන, සමාජයට අයත් උපයෝගීතා බවට පරිවර්තනය කිරීමේ අවශ්‍යතාව මතු කරයි. 

වසංගතය කම්කරු පන්තියේ සමාජ විරෝධය ශක්තිමත් කර තිබේ. එක්සත් ජනපදය පුරා සහ ලොව වටා ගුරුවරු හා අනෙකුත් අධ්‍යාපන කම්කරුවෝ   අනාරක්ෂිත ව පාසල් අධ්‍යාපනය වෙත ආපසු යාමට එරෙහි ව සටන් වදිති. මේ සතියේ මොරොක්කෝවේ දී, අඩු වැටුප් හා සේවා කොන්දේසිවලට විරෝධය පල කරමින් සිටි ගුරුවරුන් දහස් ගනනකට පොලීසිය ප්‍රචන්ඩ ලෙස පහර දුන්නේ ය. ප්‍රංශය හා බ්‍රිතාන්‍යයේ පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහි ව විරෝධතා පුපුරා ගොස් තිබේ. අනාරක්ෂිත සේවා කොන්දේසි සහ පාලනයකින් තොර ව වසංගතය පැතිරීමට විරෝධය දැක්වීම සඳහා බ්‍රසීලයේ තෙල් කම්කරුවන් පිරිපහදු යන්ත්‍ර වසා දමමින්, වැඩවර්ජනයට පිවිස ඇත. 

ලොව පුරා සෑම තැනක ම කම්කරුවෝ පොදු අරගලයකට හා පොදු සතුරෙකුට මුහුන දෙති. ධනේශ්වර ආන්ඩු විසින් ඇති කරන ලද ව්‍යසනය නො තකා, අත්‍යවශ්‍ය නො වන ව්‍යාපාර වසා දැමීම සහ හදිසි හා සමාන ලෙස ගෝලීය එන්නත් ලබා දීම  සමඟ ඒ්කාබද්ධ ව සම්බන්ධතා සොයා ගැනීම, පරීක්ෂා කිරීම සහ නිරෝධායනය විශාල වශයෙන් ව්‍යාප්ත කිරීම තුලින් කොවිඩ්-19 පාලනය කල හැක, පාලනය කල යුතු ය.

වසංගතය ගෝලීය වන අතර එය ජාතික පදනමින් නතර කල නො හැක. ධනවාදය සහ එහි අනුපූරකය වන ජාතිකවාදය සෑම අවස්ථාවක දී ම අවහිර කරන විද්‍යාත්මක දැනුම හා වෛද්‍ය විශේෂඥතාවේ ජාත්‍යන්තර සම්බන්ධීකරනය හා ඒ්කාබද්ධතාවය  අවශ්‍ය වේ. තම අරගල එක්සත් කරමින් හා ඒවා ධනවාදයට එරෙහි ව මෙහෙයවමින්, කොවිඩ්-19ට එරෙහි ජාත්‍යන්තර අරගලයක පෙරමුන ගත හැක්කේ කම්කරු පන්තියට පමනි. 

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා සමස්ත සමාජ හා ආර්ථික පර්යායට  එරෙහි දේශපාලන අරගලයක් අවශ්‍ය වේ. වෛරසය සහ එයින් ඇති වූ සියල්ල තුරන් කිරීම සඳහා ධනවාදය තුරන් කිරීම අවශ්‍ය වේ.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ එහි ජාතික ශාඛා වන සමාජවාදී සමානතා පක්ෂ මෙම ව්‍යාපාරයේ දේශපාලන නායකත්වය යි. ජාත්‍යන්තර කමිටුවේ ඉදිරිදර්ශනය පදනම් වී ඇත්තේ සමාජවාදය සඳහා ජාත්‍යන්තර හා විප්ලවවාදී කම්කරු පන්තික ව්‍යාපාරයක් සංවිධානය කිරීම හා සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය මත ය. හතරවන ජාත්‍යන්තරය ගොඩනැගීම දැන් දැවෙන අවශ්‍යතාවක්ව පවතියි.

Loading