වසංගතය පාලනය ‌වී ඇතැයි ආන්ඩුව කියද්දී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ආසාදිතයන් ඉහලයාම් වාර්තා වෙයි

නිල සංඛ්‍යා ලේඛන වලට අනුව, ලංකාව තුල හඳුනා ගත් කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 91,561 දක්වා ඉහල ගොස් ඇත. දැනට 2,743ත් ප්‍රතිකාර ලබන අතර සමස්ත මරන සංඛ්‍යාව 558 ක් දක්වා ඉහල ගොස් ඇත. කෙසේනමුත්, ආරම්භයේ සිටම රෝගීන් හඳුනා ගැනෙන පරීක්ෂන අතිශයෙන්ම සීමා කෙරුනු තත්වය යටතේ, මෙම නිල සංඛ්‍යාවන් යතාර්ථය පිලිබිඹු නොකරයි.

මේ අතර ලෝක මහජනතාව අත්දකිමින් සිටින්නේ, වසංගතය පාලනය කර ඇතැයි පවසමින් පාලක පන්තීන් විසින් ධනපති ආර්ථිකයන් පූර්න පරිමාන ව විවෘත කරද්දී නව වෛරස් ප්‍රභේදයන් නිර්මානය වෙමින් ආසාදනය විශාල පරිමාන ව ඉහල යමින් පවතින ආකාරයයි. ඊයේ ඉන්දියාව තුල ආසාදිතයන් 53,000ක් හඳුනා ගැනින. එය, පසු ගිය වසරේ ඔක්තෝබර් මාසයෙන් පසු එ රට තුල දිනක දී වාර්තාගත ඉහල ම අගයයි.

මෙ බඳු ජාත්‍යන්තර තත්ත්වයක් තුල, කොරෝනා වසංගත තත්ත්වය පාලනය කර ඇති නිසා පලමු පෙල ආශ්‍රිතයන් පහල යාම හේතු කොට ගෙන ලංකාවේ දෛනික පීසීආර් පරීක්ෂන පහල ගොස් ඇතැයි යන කියාපෑම්වල පල්ල යන ආකාරයෙන් දිවයින පුරා ආසාදිතයන් වාර්තා වෙමින් පවතී.

● මාර්තු 25 ස්වර්නවාහිනි පුවත් වාර්තා කලේ හැටන් කොටගල ප්‍රදේශයේ ආසාදිතයන් 14 දෙනෙකු හඳුනා ගත් බවත් ඉන් නව දෙනෙකු පාසල් සිසුන් බවයි.

● මාර්තු 24 වැනි දා, දිනක දී යාපන නගරයේ රෝගීන් 79ක් වාර්තා වීමත් ප්‍රධාන යාපනය බස් නැවතුම්පල, යාපනය රෝහල් පාර, යාපනය පොල, තිරුනෙල්වේලි පොල සිට දවස් 10කට වසා දමන ලදි.

● මාර්තු 26 ලංකාදීප වාර්තා කලේ බිබිල රෝහලේ වාට්ටුවකින් කොරෝනා ආසාදිතයන් දෙ දෙනෙකු හඳුනා ගැනීමත් සමග ම එම වාට්ටු විශබීජහරනයට තාවකාලික ව වසා දැමූ බවයි.

● මාර්තු 25 ලංකාදීප වාර්තා කලේ වීරකැටිය නගරය ආශ්‍රිතව කොරෝනා රෝගීන් 15 දෙනෙකු වාර්තා වීමත් සමග නගරයේ ඇතැම් පොදු ස්ථාන වසා දැමූ බවයි. මේ අතර වීරකැටිය නගරයේ පාසල් 4ක් පෙරපාසල්, උපකාරක පන්ති, සතිපොල සහ තොගවෙලඳ පොල ඒ අතර වෙයි.

බස්නාහිර පලාතේ පාසල් සහ පෙරපාසල් විවෘත කිරීමට හිතකර තත්ත්වයන් උදා ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් නිර්දේශ කර ඇති නිසා මාර්තු 29 වැනි දා සිට බස්නාහිර පලාතේ සියලු ම රජයේ පාසල්වල සියලු ම ශ්‍රේනිවල අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කරන බව සඳහන් කල අධ්‍යාපන ඇමති ජී එල් පීරිස්, පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් ද විවෘත කිරීමට අවකාශ පවතින බව මාර්තු 24 වැනි දා සඳහන් කෙලේ ය.

කෙසේ නමුත් අනාවරනය වන කරුනු අනුව මෙම තත්වය කෙසේවත් වසංගතය පාලනය කිරීමක් වශයෙන් ගුනාංගීකරනය කල නොහැකි බව පැහැදිලි ය. සපුගස්කන්ද තෙල් පිරිපහදුව පිරිසිදු කල කම්කරුවන් අතරේ කොවිඩ්-19 යැයි අනුමාන කල හැකි රෝග ලක්ෂන පැතිර යාම හේතු කොට ගෙන පරීක්ෂාවන්ට ලක් කෙරුනු අතර එහි දී 500 දෙනෙකුට ආසන්න ව ආසාදිතයන් වාර්තා ගත වී ඇත.

ඉන්ස්ටිටියුට් ඔෆ් හෙල්ත් පොලිසි සංවිධානයේ වෛද්‍ය රවී රන්නන්එලිය තම ට්විටර් ගිනුමේ සටහනක් තබමින් පෙන්වා දෙන්නේ, සපුගස්කන්ද සිද්ධියමත් වසංගතය සමාජ සම්ප්‍රේෂනයක් දක්වා වැඩී ඇති බවට සාධකයක් බවයි. අඩු ම තරමේ කොලඹ නගර සීමාවේ සියයට 10-15කට අධික පිරිසක් වසංගතයට ගොදුරු ව ඇතැයි අනුමාන කල හැකි යැයි ඔහු වැඩිදුර සඳහන් කරයි. වාර්තාගත සමස්ත ආසාදිතයන්ගෙන් 54,194 දෙනෙකු ම වාර්තා වූයේ බස්නාහිර දිස්ත්‍රික්කයෙනි.

වසංගතය පාලනය කර ඇතැයි පවසමින් ජන ජිවීතය එන්න එන්න ම සාමාන්‍යකරනය කෙරෙන අතරේ, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පසුගිය දා කියා සිටියේ නව අවුරුදු සමයට “නව නිර්දේශ” හඳුන්වා දෙන බව යි. “වසංගත අවදානම තව ම පහ ව ගොස් නැතැයි” පැවසූ ඔහු සිරිත් පරිදි වසංගතයෙන් අත්මිදිමේ වගකීම මහජනයාට පැවරීය.

අහඹු පීසීආර් පරීක්ෂන පහත නොහෙලා ඉදිරියටම කර ගෙන යාමේ අවශ්‍යතාවය අවධාරනය කරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහන මාර්තු 24 වැනි දා ඩේලිමිරර් පත්‍රයට මෙසේ පැවසීය: “පීසීආර් පරීක්ෂන 20 000ක් සිට 5 000ක් දක්වා පහත් වැටී තිබෙනවා. ඒ පලමු පෙල ආසාදිතයන් පහත යාම නිසා. කෙසේ නමුත් අහඹු පරීක්ෂන කිරීම වසංගතය වැඩි දුර පැතිර නොයන බවට සහතිකකිරීමට වැදගත්.”

දෛනික ආසාදිතයන්ගේ දැවැන්ත ඉහල යාමට ප්‍රතිචාරයක් වශයෙන්, ඉන්දියාව මාර්තු 25 වැනි දා සෙරම් ඉන්ස්ටිටියුට් ඔෆ් ඉන්ඩියා නිෂ්පාදනය කල ඇස්ට්‍රා සෙනකා එන්නත අපනයනය කිරීම නවතාලී ය. මෙය අඩු දියුනු රටවලට එන්නත නොමිලයේ සම්පාදනය කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය දියත් කල කොවැක්ස් වැඩපිලිවෙල අඩපන කරයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවේ අවිධිමත් එන්නත්කරන වැඩපිලිවෙල තවත් අර්බුදයට ගමන් කර ඇත.

පසුගිය වසරේ දෙසැම්බරයේ දී මහරාශ්ට්‍ර ප්‍රාන්තයෙන් අනාවරනය කර ගත් වෛරසයේ නව ප්‍රභේදයක් දැන් ඉන්දියාවේ ප්‍රාන්ත 18ක් දක්වා පැතිර ගොස් ඇත. දැනට සොයාගෙන ඇති එන්නත් මෙයට දක්වන ප්‍රතිචාරය ගැන විද්‍යාඥයෝ උත්සුක වෙති. ඉන්දියාව දැන් නැවතත් රෝගීන්ගේ දැවැන්ත ඉහල යාමක් අත්දකිමින් සිටින්නේ මෙය ද ඇතුලු නව ප්‍රභේද නිසා යයි පර්යේෂකයෝ සැක පහල කරති.

මාර්තු 26 වැනි දා ඩේලිමිරර් පුවත්පත සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශයක් මෙසේ උපුටා දැක්විය: “අපි විදේශිකයන්ගේ සාම්පල අහඹු ලෙස ගෙන පරීක්ෂා කරනවා. ශ්‍රී ලංකාවට ඇතුලු වන විදේශිකයන් සියලු දෙනාට ම පීසීආර් පරීක්ෂනයක් සිදු කරනවා. දැනට ලෝකය පුරා ම විවිධ ප්‍රභේදයන් දැක ගත හැකි අතර අපි ප්‍රවේසම් වීමට ගත හැකි සියලු පියවර ගන්නවා.”

විදේශයන්හි සිට නව ප්‍රභේදයන් පැමිනීමට අමතරව, වෛරසය දේශීය ව ව්‍යාප්තවීමේ දී ද නව ප්‍රභේදකරනයකට ඉඩ ඇත. මෙම ප්‍රභේදයන් හඳුනා ගැනීමට වෛරසයේ ව්‍යූහය සම්බන්ධයෙන් නිතර ම පර්යේෂන කිරීමට අවශ්‍ය කෙරේ. කෙසේ නමුත්, දශක ගනනාවක් පුරා අනුප්‍රාප්තික ආන්ඩු විසින් ගෙනගිය සෞඛ්‍ය කප්පාදුව හේතුවෙන් මේ සඳහා දේශීය ව පර්යේෂන පහසුකම් ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පමනි.

Loading