වසංගතය පාලනය වී ඇතැයි මවාපාමින් ආන්ඩුව රටපුරා සියලුම පාසල් විවෘත කරයි

කොවිඩ්-19 වසංගතයේ ජාතික අපිකේන්ද්‍රය වන බස්නාහිර පලාතේ පාසල් තුල මෙතෙක් ක්‍රියාත්මක වූ ක්‍රමවේදය වන ශ්‍රේනි කීපයක සිසුන් පමනක් පාසලට කැඳවීම අත් හරිමින්, ආන්ඩුව අද එම පාසල්වල සියලුම ශ්‍රේනි විවෘත කලේය. පසුගිය වසරේ වැඩිමනත් කාලයක්, බස්නාහිර පලාතට අයත් ගම්පහ, කොලඹ හා කලුතර දිස්ත්‍රික්ක සියල්ලේම පාසල් වසා තැබුනු අතර මේ වසරේ මාර්තු 15 දා එම දිස්ත්‍රික්කයන්හි 5, 11 හා 13 යන ශ්‍රේනි සඳහා පමනක් පාසල් විවෘත කෙරුනි. ආන්ඩුවේ නව පියවර අනුව දිවයිනෙහි සමස්ත පාසල් පද්ධතියේ සෑම ශ්‍රේනියකම සිසුන් අදදින සිට පාසලට පැමිනිය යුතුය. 

පාසල් පැමිනීමේ දී සිසුහු තදබදයට මුහුන දෙති

 අධ්‍යාපන අමාත්‍යංශය මෙම තීරනය ගෙන ඇත්තේ රට තුල වසංගතය “පාලනය කොට” ඇති බවට ආන්ඩුව නිර්මානය කොට ඇති ව්‍යාජයට මුවා වෙමිනි. නමුත් යතාර්ථය මෙම ව්‍යාජයට හාත්පසින් වෙනස්ය: ආන්ඩුව, රෝගයේ ව්‍යසනකාරී ව්‍යාප්තිය වසන් කිරීම සඳහා, දෛනික පීසීආර් පරීක්ෂන සංඛ්‍යාව 5000 කට ආසන්න වන පරිදි දැවැන්ත පරිමානයෙන් කප්පාදු කර ඇති තත්වයේදී පවා දිනකට 300 ක පමන ආසාදිතයන් දිවයිනේ විවිධ පලාත් වලින් හඳුනා ගනිමින් පවතී. 

කොලඹ සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් 500 ට ආසන්න රෝගීන් පසුගිය සතියේ සොයා ගැනුනි. ලංකාවේ ප්‍රමුඛ වසංගත විද්‍යාඥයෙකු වන, සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ අධ්‍යක්ෂ රවි රන්නන්-එලිය එය විශ්ලේෂනය කරමින් කියා සිටියේ, වෛරසය “අඛන්ඩව සහ පුලුල්ව පැතිරෙන බවට එය සාක්ෂියක්” බවයි. ඒ සමගම දෛනිකව සිදු කෙරෙන පරීක්ෂන සංඛ්‍යාව කෙතරම් “අප්‍රමානවත්” ද යන්න ඉන් පිලිබිඹු වන බවත් ඔහු පෙන්වා දුන්නේය.

වඩාත් උත්ප්‍රාසාත්මක වන්නේ, බස්නාහිර පලාතේ පාසල්වල කලින් පැවති සීමා ඉවත්කොට සියලුම ශ්‍රේනි විවෘත කල අද දිනයේම, යාපනය අධ්‍යාපන කලාපයේ සියලු පාසල් සතියකට වසා දැමීමට සිදු වීමයි. පසුගිය සතියේ යාපනය නගරය ආශ්‍රිත කොවිඩ්-19 ආසාදිතයන් 18 දෙනෙකු හමුවීමෙන් පසු කෙරුනු පරීක්ෂන වලින් පසු, යාපනය සතිපොල සහ නගරය ආශ්‍රිත ප්‍රදේශ ගනනාවක් වසා දැමුනි. යාපනයේ පාසල් වසා දැමුනේ එයට සමගාමීව ය. 

පාසල් තුල සිසුන් සහ ගුරුවරුන් අතරින් ආසාදිතයන් හමුවීම දිවයිනේ විවිධ පලාත් වලින් දෛනිකව වාර්තාවේ. මාධ්‍ය වාර්තාවන්ට අනුව,

* ලුනුගම්වෙහෙර, අඟුනකොලවැව ප්‍රාථමික විදුහලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හය දෙනකුට කොරෝනා ආසාදනය වී ඇත.

* වීරකැටිය නගරයේ ආසාදිතයන් 15 ක් හඳුනා ගැනීමෙන් පසු නගරය ආශ්‍රිත පාසල් හතරක් වසා දමා තිබේ.

* ගාල්ල ප්‍රදේශයේ විදුහල්පතිවරු යුවලක් ආසාදිතබව පසුගිය සතියේ වාර්තා විය. 

මීට අමතරව තලාව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් 8 දෙනෙකු ඇතුලු 28 කට වෛරසය වැලඳී ඇති බව තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කපිල දිසානායක පැවසූ බව ලංකාදීප පුවත්පත වාර්තා කලේය. මේ හේතුවෙන් සභාවේ කටයුතු තාවකාලිකව නතර කර ඇති බව ද වාර්තාවෙන් කියවෙයි. 

ඒ සමගම ඉහත ස්ථාන වලින් හඳුනාගත් ආශ්‍රිතයන් සිය ගනනක් නිරෝධායනයට යොමුකොට ඇතිබව ද සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

නිල සංඛ්‍යා ‌ලේඛන වලට අනුව, අද උදෑසන වන විට රටේ සමස්ත රෝගීන් සහ මරන සංඛ්‍යාව  පිලිවෙලින් 92,088 ක් හා 5,61 ක් වෙයි. 

කෙසේ නමුත්, ඉහත වාර්තා මගින්මත් පැහැදිලි කෙරෙන්නේ යතාර්ථය නිල සංඛ්‍යා ලේඛන මගින් පෙන්නුම් කෙරෙන තත්වයට වඩා දරුනු බවයි. 

රාජපක්ෂ ආන්ඩුව අදදින සියලු පාසල් විවෘත කලේ එලෙස වසංගතය දිවයින පුරා ව්‍යාප්ත වෙමින් පැවතියදී සහ නව වෛරස ප්‍රභේද හේතුවෙන් වසංගතයේ ගෝලීය පැතිරීම දැවැන්ත පරිමානයෙන් වේගවත් කෙරී බිහිසුනු මට්ටම් වලට වර්ධනය වී ඇති තතු තුලයි. 

ඒ අනුව, දිනකට මිනිසුන් 10,000කට ආසන්න සංඛ්‍යාවක් මිය යමින් සිටින අතර, ආසාදනය කෙරෙන නව රෝගීන් සංඛ්‍යාවේ දින හතක සාමාන්‍යය මිලියන භාගයක් කරා ලඟා වෙමින් තිබේ. එය පසුගිය මාසයට සාපේක්ෂව සියයට 40ක වර්ධනයකි. දැන් ව්‍යසනයේ කේන්ද්‍රස්ථානය වන බ්‍රසීලයේ දිනකට මරන 3,000කට වඩා සිදු වේ. 

වෛරසයේ නව ප්‍රභේද හේතුවෙන්, නාගරික පැල්පත්වාසී දිලිඳු ජනයාගේ මරන හා ආසාදිතයන්ගේ ගනන් නිල වාර්තාවලට ඇතුලත් නොවන අසල්වැසි ඉන්දියාවේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව, පසුගිය මාසයේ තුන් ගුනයකින් ඉහල ගොස් තිබේ. මෙම නව ප්‍රභේද ලංකාව තුල දැනටමත් සොයා ගෙන ඇත. 

අනෙක් වැදගත් කරුන වන්නේ, ලොවපුරා සිසුන්, ගුරුවරුන් සහ දෙමාපියන් මිලියන සංඛ්‍යාතව ආශ්‍රිතයන් කරවන පාසල් විවෘතකර තැබීම වසංගත ව්‍යාප්තියේ ප්‍රධානතම කාරකයක් වීමයි. ඇමරිකාවේ සහ යුරෝපයේ වසංගත ව්‍යාප්තියේ වේගවත් නැග්මට පාසල් විවෘතකර තැබීම ප්‍රධානතම හේතුවක් වී ඇතිබව විද්‍යාඥයෝ නැවත නැවතත් පෙන්වා දෙති. පාසල් සහ අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන වසා දැමීම වසංගතය පාලනය කිරීමේ අනිවාර්ය පියවරක් වියයුතුයැයි ඔවුන් කියා සිටින්නේ එබැවිනි.

මෙම සියලු කරුනු විද්‍යාත්මකව අනාවරනය වී පැවතියදී, ලොව ධනවත්ම රට වන ඇමරිකාවේ සිට ලංකාව දක්වා වන සියලු රටවල ධනපති පාලකයන් එම කරුනු මුලුමනින්ම නොතකා පාසල් සහ අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන විවෘත කර තැබීමට පියවර ගන්නේ ඇයි?

පිලිතුර ඉතා සරලය: ධනපති සමාජ ක්‍රමයේදී මූලික වන්නේ මිනිස් ජීවිත නොව ලාභය යි. මහධනපතියන්ගේ ලාභෝත්පාදනය අඛන්ඩව ඉදිරියට ගෙන යාමට නම් අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන විවෘතව පැවතිය යුතුයි. පාසල් විවෘත කර තැබෙන්නේ, දරුවන් නිවෙස්වල රැඳී සිටීම හේතුවෙන් රැකියාවේ නිරත වීමට ඇති කෙරෙන බාධාවන් ඉවත්කොට කම්කරුවන් වැඩට ගෙන්වා ගැනීමේ සාපරාධී අරමුනෙනි. 

අනෙක් අතට, වසංගතය මධ්‍යයේ සියලු සමාජ-ආර්ථික කටයුතු පවත්වාගෙන යාමේ “නව සාමාන්‍ය” පිලිවෙත තහවුරු කිරීම සඳහා පාසල්  විවෘතකර තැබීම අත්‍යවශ්‍ය වෙයි. 

රාජපක්ෂ ආන්ඩුව ආරම්භයේ සිටම උත්සාහ කලේ වසංගතයේ ව්‍යසනකාරී ව්‍යාප්තිය මහජනතාවගෙන් වසන් කොට ධනපති ලාභ වෙනුවෙන් ආර්ථිකය විවෘත කොට පවත්වාගෙන යාමටයි. වසංගතය පාලනය කිරීම සඳහා එහි ව්‍යාප්තිය පිලිබඳ සංයුක්ත චිත්‍රයක් අත්‍යවශ්‍ය වන බවත්, දැවැන්ත පරිමානයෙන් පීසීආර් පරීක්ෂන පැවැත්වීම එහි අනිවාර්යය අංගයක් වියයුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය දිගින් දිගටම අවධාරනය කලේය. මුලසිටම එය සාපරාධී ලෙස ප්‍රතික්ෂේප කල ආන්ඩුව, දෛනික පරීක්ෂන සංඛ්‍යාව 10,000 වැනි ඉතා සීමිත අගයක් දක්වා වැඩි කලේ පසුගිය ඔක්තෝබරයේ “බ්‍රැන්ඩික්ස් පොකුර” පුපුරා යාමත් සමගයි.  

“පීසිආර් පරීක්ෂන වලට එරෙහිව ශ්‍රී ලංකාවේ පහත වැටෙන කොවිඩ්-19 ආසාදිත සංඛ්‍යාව: වක්‍ර දෙකක කතාවක්” යනුවෙන් ඉකොනමි නෙක්ස්ට් වෙබ් අඩවිය 2021 මාර්තු 26 පලකල ලිපියේ අන්තර්ගත ප්‍රස්ථාරයෙන්  ආන්ඩුව පරීක්ෂන සංඛ්‍යාව පාලනය කර ඇති ආකාරය මනාව පිලිබිඹු වෙයි. පරීක්ෂන සංඛ්‍යාවට අනුරූපව හඳුනා ගැනෙන ආසාදිතයන් සංඛ්‍යාව දෝලනය වන ආකාරය ඉන් පැහැදිලිව පෙන්නුම් කෙරෙයි. 

මෙතෙක් සිදුකල පරීක්ෂාවන්ගෙන් අතිමහත් බහුතරය සිදු කෙරුනේ පලමුපෙල ආශ්‍රිතයන් සම්බන්ධයෙන් බවත් පරීක්ෂන සංඛ්‍යාව පහත වැටීමට හේතුව “පලමු පෙල ආශ්‍රිතයන් අඩුවීම” නිසා බවත් ආන්ඩුව පවසයි. මින් වැදගත් කරුනු දෙකක් පැහැදිලි වෙයි. ඉන් පලමුවැන්න නම් ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කල මහා පරිමාන අහඹු පරීක්ෂන ක්‍රමවේදය ආන්ඩුව ආරම්භයේ සිටම මුලුමනින්ම නොතකා හැර ඇති බවයි. ආශ්‍රිතයන් අඩු වේ නම් ඉන් ලැබෙන වාසිය අහඹු පරීක්ෂන වැඩි කිරීම සඳහා යොදා ගැනීමට ආන්ඩුව කිසිසේත් සූදානම් නොමැති බව අනෙක් කරුනයි.

පරීක්ෂන සංඛ්‍යාව දැනුවත්ව පහත හෙලා වසංගතය මනාව පාලනය කෙරී ඇති බවට ආන්ඩුව සහ ධනපති මාධ්‍ය ගෙනයන පච ප්‍රචාරය හේතුවෙන් වැඩෙන ව්‍යසනකාරී තත්වය පිලිබඳව මහජනතාව අතර යම් ලිහිල් ආකල්පයක් වර්ධනය වීමේ ප්‍රතිඵලයක් ලෙස අද දින බස්නාහිර පලාතේ පාසල් වල ලමුන්ගේ පැමිනීම යම් සැලකියයුතු අගයක පැවතින.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) නායකත්වය දෙන ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කමිටුව වර්ධනය වන මෙම අන්තරායකාරී තත්වයට එරෙහිව වසංගතය ඇතුලු කම්කරු පන්තියේ අනෙකුත් ප්‍රශ්න ජය ගැනීමේ ලා ස්වාධීන දේශපාලන පිලිවෙතකට සටන් වැදීමේ තීරනාත්මකභාවය සම්බන්ධව ප්‍රදේශ කිහිපයකම ගුරුවරු සමග සාකච්ඡාවක නිරත විය. 

පාසල් ආරම්භ වන්නේ “සියලු සෞඛ්‍යය ආරක්ෂාව යටතේ” යයි අධ්‍යාපන ඇමති ජී.එල්. පීරිස් කල ප්‍රකාශයට විපරීතව, බස්නාහිර පලාතේ යම් ආකාරයක සම්පත් ඇති පාසල් කීපයක හැර බහුතරයක් පාසල්වල සමාජ දුරස්ථකරනය සහ දෑත් පිරිසිදු කිරීම වැනි ක්‍රමවේද කිසිවක් ක්‍රියාත්මක නොවන බව ගුරුවරු කීප දෙනෙක්ම පැවසූහ. සමහර පාසල්වල විදුහල්පතිවරුන්, තම පුද්ගලික වියදමෙන් විෂබීජහාරක සපයා ගන්නා ලෙස සිසුන් දිරිමත් කරන බව ඔවුහු කියා සිටියහ.

රටේ වැඩිම ජනගහනය සහිත බස්නාහිර පලාතේ, ශිෂ්‍ය ජනගහනය ද උපරිම වේ. බහුතරයක් ශිෂ්‍යයන්ට මෙන්ම ගුරුවරුන්ට ද  අධික තද බදයෙන් යුත් පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමට සිදුවන බැවින් ‌මෙම “සෞඛ්‍යාරක්ෂන” ක්‍රමවේද කිසිවක් ප්‍රායෝගිකව පිලිපැදිය නොහැක. 

බස්නාහිර පලාතේ පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් ලෝසවෙඅ ට පැවසුවේ, පාසල් විවෘත කිරීම විශාල අන්තරායක් බව සහ ඒ තත්වය තුල පාසල පවත්වාගෙන යන්නේ කෙසේ ද යන්න ගැන තමා කම්පා වී සිටින බව ය. “මේ යන විදිහට මිනිස්සු මැරෙන්න ගනී. ඇස් බැඳලා වලකට තල්ලු කරනවා වගේ වැඩක් මේක. නව සාමාන්‍ය ක්‍රියාවට දාන්න ආන්ඩුව දත කනවා” යයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලේ ය. 

සිසුන් 6,000 ක් පමන සිටින කොලඹ ප්‍රධාන ජාතික පාසලක ගුරුවරියක් වන ජානකී, 29 දා පාසල් විවෘත කිරීමට දැඩි ලෙස විරෝධය පල කරමින් කියා සිටියේ “ඇමරිකාව වගේ රටවල කරන දේම දැන් මෙහෙත් ක්‍රියාවට දාලා තියෙන” බවයි. “වෙනදා වැටුප් කපනවා, දීමනා කපනවා, දැන් ඒ සියලු ප්‍රහාර සමග අපේ ජීවිතය පරදුවට තැබීම විදිහටම ප්‍රහාරය ඇවිල්ලා තියෙනවා”. 

ලංකාවේ ගුරු-විදුහල්පති වෘත්තීය සමිති ආන්ඩුවේ “නව සාමාන්‍යයට” ගුරුවරු යටත් කිරීමට පූර්න සහයෝගය දී ඇති බව ඇය පෙන්වූවාය: “ලංකා ගුරු සංගමයේ ජෝසප් ස්ටාලින් මාධ්‍යය අමතල කිවුවෙ පාසල් විවෘත කරනවට විරුද්ධ නෑ කියල. මේ විනාශයට සහාය දෙන ගමන් ස්ටාලින් බොරු ඉල්ලීමකුත් ආන්ඩුවට ඉදිරිපත් කලා, සෑම ශිෂ්‍යයෙකුටම ප්‍රමිතිගත මුව වැසුම් ලබා දෙන්න කියල.”

බස්නාහිර පලාතේ පාසල් විවෘත කිරීම සම්බන්ධව නිකුත් කර ඇති නවතම චක්‍රලේඛයට අනුව, පන්ති කාමරයේ සිසුන් 15 කට සීමා කොට ඛාන්ඩ වශයෙන් කැඳවීම සහ පාසලක් ආශ්‍රිතව රෝගීන් හමු වන්නේ නම් ඒ සඳහා පියවර ගැනීම වැනි දෑ නම් කර තිබේ. ඒ පිලිබඳව අදහස් දක්වමින් තවත් ගුරුවරියක් මෙසේ පැවසුවාය: “ලමයි 45 ක් ඉන්න පන්තිය තුනට බෙදල, එක් සතියකට එක් ඛාන්ඩය බැගින් ගෙන්වල උගන්වන්නෙ කොහොමද? ලමයා සහ ගුරුවරයා හමුවෙන්නේ සති දෙකකට පස්සෙ.”

වසංගතය සැබැවින්ම පාලනය කරන තෙක් පාසල් වසා තබා, සියලු සිසුන්ට අන්තර්ජාල සහ පරිගනක පහසුකම් වහා ලබා දෙමින් ඔන්ලයින් අධ්‍යාපනය ප්‍රවර්ධනය කලයුතු බවට සසප සහ ලෝසවෙඅ ඉදිරිපත් කරන වැඩපිලිවෙලට ඇය පූර්න එකඟත්වය පල කලාය.      

සමාගම්වල ලාභ, ජාතිකවාදය හා භූ-දේශපාලන ආතතීන් හේතුවෙන් කිසිදු සැලස්මකින් තොරව ඉදිරියට යන එන්නත්කරනය වසංගතයේ ව්‍යාප්ති වේගයට බෙහෙවින් පිටුපසින් ගාටන බව ද, තම ප්‍රතිගාමී දේශපාලන න්‍යාය පත්‍රයට ගැලපෙන පරිදි විද්‍යාව පවා විකෘති කරමින් ඇමරිකාවේ බයිඩන් පාලනාධිකාරිය පාසල් විවෘත කිරීමේ පෙරමුන ගෙන ඇති බව ද ක්‍රියාකාරී කමිටුවේ සාමාජිකයෝ පෙන්වා දුන්හ. 

රාජපක්ෂ ආන්ඩුව අනුයන්නේ, ඇමරිකාවේ බයිඩන්, බ්‍රසීලයේ බොන්සෙනාරෝ, බ්‍රිතාන්‍යයේ ජොන්සන් හා ඉන්දියාවේ මෝදි දක්වා පාලක පන්තීන් අනුයන, වසංගතයට මහජනයා බිලිදී ධනපති ලාභ ආරක්ෂා කරදෙන “නව සාමාන්‍යයේ” මාරක පිලිවෙතමයි. ලංකාවේත් ජාත්‍යන්තරවත් සියලු ධනපති ආන්ඩු මෙම  ජන ඝාතක පිලිවෙත් ක්‍රියාවට නගා ඇත්තේ, ධනපති මාධ්‍ය, ව්‍යාජ-වාම පක්ෂ හා වෘත්තීය සමිතිවල පූර්න සහාය යටතේ ය. 

Loading