ඉදිරිදර්ශන

බ්‍රසීලයේ මරන 300,000 ක්: මනුෂ්‍යවර්ගයා ට එරෙහි ධනවාදී අපරාධයක්

[පහත පලවන්නේ මාර්තු 26 දින 300,000 deaths in Brazil: A capitalist crime against humanity  යන මාතෘකාවෙන් පලවූ ඉදිරිදර්ශනයේ සිංහල පරිවර්තනයයි.]

බ්‍රසීලය, බදාදා දිනයේදී (24) කොවිඩ්-19 මරන 300,000 ක දරුනු සන්ධිස්ථානය අභිබවා ගියේය. රටේ සෑම ප්‍රාන්තයකම සහ කලාපයකම, බ්‍රසීලියානු ජනතාව නිරන්තරව දකින්නේ එහි පාලක ප්‍රභූවේ සාපරාධී උදාසීනත්වයේ ප්‍රතිඵලය ලෙස සිදුවන කුරිරු ජීවිත නාස්තිය යි.

2021 වර්ෂය තුල සම්පූර්න මාස තුනක් අප තවම හමාර කර නැත, නමුත් මෙම කෙටි කාලය තුල කොවිඩ්-19 රෝගයෙන් බ්‍රසීල ජාතිකයින් 100,000 කට වැඩි පිරිසකගේ ජීවිත අහිමි වී ඇත. රෝගීන් සංඛ්‍යාව වසර ආරම්භයේ සිට ඉතා වේගයෙන් ඉහල ගොස් ඇති අතර සාමාන්‍ය දෛනික ආසාදන සංඛ්‍යාව 36,000 සිට 77,000 ටත් වැඩි අගයක් දක්වා ඉහල ගොස් තිබේ. බ්‍රහස්පතින්දා ආසාදන 100,158 ක් වාර්තා වී ඇති අතර එහි ඇත්තේ තවදුරටත් ඉහල යන නැඹුරුවකි.

මහජන සෞඛ්‍ය ආයතනයක් වන ෆියෝකෘෘස් (Fiocruz) පවසන පරිදි රට පුරා වෛරසය වේගයෙන් වර්ධනය වීම බ්‍රසීලයේ “ඉතිහාසයේ විශාලතම සෞඛ්‍ය හා රෝහල් බිඳවැටීමට” හේතු වී තිබේ. බරපතල ලෙස රෝගාතුර වූ රෝගීන් දහස් ගනනක් දැඩි සත්කාර ඒකකයේ ඇඳක් බලාපොරොත්තුවෙන් පොරොත්තු ලේඛනයේ සිටින අතර, පැරනා හි ආසන්න වශයෙන් 900 ක්, ග්‍රේටර් සාඕ පවුලෝ හි 750 ක්, මිනාස් ජෙරෙයිස් හි 700 ක්, රියෝ ද ජැනෙයිරෝ හි 500 ක්, කියාරෝ හි 500 ක්, ගොයාස් හි 400 ක් සහ තවත් සිය ගනනක් යථාලෝකයේදී බ්‍රසීලයේ සෑම ප්‍රාන්තයකම සිටිති.

ආන්ඩුව විසින් කොවිඩ්-19 වසංගතය පාලනය ආකාරයට එරෙහි විරෝධතාවයකදී, පදිංචිකරුවන් කොවිඩ්-19 වින්දිතයින් සංකේතවත් කරන මෙට්ට මත රෝස මල් තබති. (AP ඡායාරූපය / සිල්වියා ඉස්කුවර්ඩෝ)

ප්‍රතිකාර ලබා ගන්නේ කවුරුන්ද සහ මරනයට පත්වියයුත්තේ කවුරුන්ද යන්න තෝරා ගැනීමට වෛද්‍යවරුන්ට දැනටමත් බල කෙරී ඇත. එහෙත් ඔක්සිජන් ප්‍රතිකාරක (medical oxygen) සහ ශ්වසන උපකාරක පද්ධති (intubation medications) ඇතුලු රෝහල් සැපයුම් ක්ෂය වීම නිසා රෝහල් ඇඳක් ලබා ගැනීමට සමත් වූවන් පවා රැකබලා ගැනීමේ හැකියාව බරපතල ලෙස අඩපන වී තිබේ.

ඉදිරියට එන සතිවල තත්වය භයානක ය. ක්ෂනික පියවර නොගන්නේ නම්, අප්‍රේල් වන විට බ්‍රසීලය තුල දිනකට සාමාන්‍යයෙන් 4,000 ත් 5,000 ත් අතර සංඛ්‍යාවක් මිය යන බවට ෆියෝකෘෘස් හි පර්යේෂකයන් අනතුරු අඟවා තිබේ.

නමුත් බ්‍රසීලයේ ව්‍යසනය එහි ජාතික සීමාවෙන් ඔබ්බට බලපෑමක් ඇති කරයි, කොරෝනා වෛරසයට ගමන් කිරීමට විදේශ ගමන් බලපත්‍රයක් හෝ වීසා බලපත්‍රයක් අවශ්‍ය නොවේ. අසල්වැසි දකුනු ඇමරිකානු රටවලට බ්‍රසීලයේ වැඩෙන වසංගතය නිසා ඇති වන විනාශකාරී තර්ජනය ගැන බදාදා පෑන් ඇමරිකානු සෞඛ්‍ය සංවිධානය (PAHO) අනතුරු ඇඟවීය.

වෙනිසියුලාව, පේරු සහ බොලිවියාව වැනි බ්‍රසීලයේ උතුරු දෙසට මායිම්ව ඇති ප්‍රදේශවල මෑත දිනවල දී බොහෝ රෝගීන් වාර්තා වී තිබේ. බ්‍රසීලයේ දකුනු මායිමේ පිහිටි පැරගුවේ හි රෝහල් බිඳවැටීමකට මුහුන පා ඇති අතර, වසංගතයේ පලමු රැල්ල තුල සුවිශේෂී ලෙස අඩු සංඛ්‍යාවක් වාර්තා වූ උරුගුවේ හි ආසාදන හා මරන වේගයෙන් ඉහල යමින් තිබේ.

දේශසීමා පාලනයන් සහ බ්‍රසීල ජාතිකයින්ට ඇතුලුවීම සඳහා ඇති සීමාවන් සමඟ ඔවුන්ගේ ජනගහනය වෙන්කර තැබීමට මෙම රටවල ආන්ඩු දරන උත්සාහය, ආර්ථික හා සමාජ ජීවිතයේ ගැඹුරු දේශසීමා ඒකාබද්ධතාවය බරපතල ලෙස අඩපන කරයි. එපමනක් නොව, වඩාත් බෝවනසුලු බ්‍රසීලියානු P.1 COVID-19 ප්‍රභේදය බ්‍රසීලයේ රෝගීන් වේගයෙන් වැඩි වී යාමේ ප්‍රධාන සාධකය වන අතර එය දැනටමත් අසල්වැසි රටවලට මෙන්ම ලෝකයේ වෙනත් ප්‍රදේශවලටද ව්‍යාප්ත වී ඇත.

බ්‍රසීලයේ වසංගතය පැතිරීම සම්බන්ධයෙන් කිසිදු පාලනයක් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම මෙම අති දරුනු මාදිලිය වේගවත් ලෙස ප්‍රතිනිෂ්පාදනය කිරීමට පමනක් නොව, ඊටත් වඩා බෝවන හා මාරාන්තික SARS-CoV-3 නව වෛරසය වැනි අනෙකුත් කොවිඩ්-19 විකෘති උත්පාදනය සඳහා රට එලිමහන් රසායනාගාරයක් බවට පත් කරමින් සිටී.

ෆියෝකෘෘස් කොවිඩ්-19 ජානමය පරීක්ෂන ජාලයෙහි පර්යේෂකයන් විසින් මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකින් විවිධ බ්‍රසීලියානු ප්‍රාන්ත පහකින් එන SARS-CoV-2 ශ්‍රේනි 11 ක අදාල විකෘති හඳුනාගෙන ඇත. විද්‍යාඥයින් නිගමනය කරන්නේ: “මෙම සොයාගැනීම් වලට අනුව, බ්‍රසීලයේ අඛන්ඩව ව්‍යාප්ත වන SARS-CoV-2 සම්ප්‍රේෂනය නව වෛරස වංශ ජනනය කරන අතර ඒවායේ මුල් ප්‍රභේදයන් මෙන් නොව, බල රහිත කිරීම් වලට (උදාසීනකරනයට) වඩාත් ප්‍රතිරෝධී විය හැකිය.”

බ්‍රසීලයේ ෆැසිස්ට් ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ, රෝගයේ මෙම ව්‍යසනකාරී පරිනාමය මගින් බ්‍රසීලියානු හා ලෝක ජනගහනයට ඇති විය හැකි අන්තරායන් සලකනු ලබන්නේ කුරිරු අවඥාසහගත ආකල්පයකිනි. ඔහු සිය ආන්ඩුවේ මිනීමරු රංචු ප්‍රතිශක්ති ප්‍රතිපත්තියේ අවසාන ප්‍රතිවිපාක දක්වාම අඛන්ඩව ඉදිරියට යන අතර බ්‍රසීල ජාතිකයන් සමූහ මරන ගැන “කන් කෙඳිරි ගෑම” නතර කර නැවත සේවයට පැමිනෙන ලෙස ඉල්ලා සිටියි.

බොල්සොනාරෝ සටන් කරන්නේ, වෛරසය පැතිරීම, බ්‍රසීල ධනවාදයේ ආර්ථික අවශ්‍යතා සමඟ ගැටෙන කිසිදු පියවරක් නොගැනීම සහතික කිරීමට ය. තම ආඥාදායක තර්ජන යලි යලිත් තහවුරු කරමින් ඔහු අනතුරු ඇඟවූයේ, “වැඩ කිරීමට ජනතාවට ඇති අයිතිය” සහතික කිරීම සඳහා, තම ආන්ඩුව සහ හමුදාව ඕනෑම අගුලු දැමීමේ නියෝගයකට එරෙහිව “දැඩි ක්‍රියාමාර්ග” සූදානම් කරමින් සිටින බවයි.

තදබල ලෙස ආසාදිත සේවා ස්ථානවලට කම්කරුවන් ගාල් කිරීම සඳහා ඔහු සියල්ලටම වඩා විශ්වාසය තබන්නේ ජනතාව මත ඇති දැවැන්ත ආර්ථික පීඩනයන් මත යි. විරැකියාව පුපුරා යාම, ආහාර මිල ඉහල යාම සහ ආන්ඩුව විසින් හදිසි ආධාර කපා හැරීම, කම්කරු පන්තියේ සෑම කොටසකම පෙර නොවූ විරූ ආකාරයේ බලාපොරොත්තු සුන්වීමක්  සමාජගත කරයි.

ගෙටෙලියෝ වාර්ගස් පදනමේ (FGV) පර්යේෂක ඩැනියෙල් ඩියුක් පවසන පරිදි, පසුගිය වසර තුල තවත් බ්‍රසීල ජාතිකයන් මිලියන 22 ක් දරිද්‍රතාවයට ඇද වැටුනි. බ්‍රසීල ජාතිකයින් දස දෙනෙකුගෙන් තිදෙනෙකු ජීවත් වන්නේ යම් තරමක ආහාර අනාරක්ෂිතභාවයක ය. ෆැවෙලස් එක්සත් කේන්ද්‍රය (CUFA) විසින් කරන ලද මත විමසුමකට අනුව බ්‍රසීලයේ ෆැවෙලස් හි, නාගරික මධ්‍යස්ථානවල දුප්පත් කම්කරු පන්තියේ අසල්වැසි ප්‍රදේශවල පදිංචිකරුවන්ගෙන් සියයට 68 කට ආහාර සඳහා මුදල් නොමැත.

දරාගත නොහැකි ආර්ථික දුෂ්කරතා සමග එක්වූ වසංගතයේ අසීමිත දුක් වේදනාවන් බ්‍රසීලයේ සමාජ විරෝධයේ පුපුරන සුලු වර්ධනයට ඉවහල් වේ. මෑත දිනවල ගුරුවරුන්, තෙල් කම්කරුවන්, බස් රියදුරන්, ඇප් බෙදා හැරීමේ සේවකයින් (app delivery workers) සහ කම්කරු පන්තියේ අනෙකුත් කොටස් අතර වැඩ වර්ජන හා විරෝධතා පැන නැගී තිබේ. කම්කරුවන් සේවා ස්ථානවල ආරක්ෂාව, ජීවත්විය හැකි වැටුප් සහ දේශපාලන වෙනසක් ඉල්ලා සිටිති.

පහල සිට එන මෙම තර්ජනයට සංවේදී ධනවාදී ප්‍රභූ පැලැන්තියේ කොටස් බිය වන්නේ බොල්සොනාරෝගේ ප්‍රතිපත්ති සමාජ හා ආර්ථික පිපිරීමක් ඇති කරනු ඇතැයි ද, එය සමාජය කෙරෙහි ඔවුන්ගේ පන්ති ආධිපත්‍යය ප්‍රශ්න කරනු ඇතැයි ද කියා ය.

බොල්සොනාරෝ වසංගතය හැසිරවීම විවේචනය කරමින් ආර්ථික විද්‍යාඥයින් සහ ව්‍යාපාරිකයින් විසින් ලියනලද “විවෘත ලිපිය” මගින් එම ස්ථාවරය හෙලිදරව් කරන ලදී. එහි අත්සන් තැබූ අය අතර හිටපු අමාත්‍යවරුන් සහ මහ බැංකුවේ හිටපු සභාපතිවරු, බ්‍රසීලයේ විශාලතම මස් ඇසුරුම් සංස්ථාවේ ප්‍රධානියා සහ දකුනු අර්ධගෝලයේ විශාලතම මූල්‍ය සමූහය වන ඉටා බැංකු (Itaú Bank) කමිටු මන්ඩලයේ සභාපති ද වෙති. ඔවුන් එක් කලේ ව්‍යාජ වාම සමාජවාදය සහ නිදහස් පක්ෂයේ (PSOL) ආර්ථික වැඩ සටහනේ කතුවරයා විය.

“වසංගතය ෆෙඩරල් ආන්ඩුවේ කාර්යක්ෂම ක්‍රියාමාර්ගයකින් පාලනය නොවන තාක් කල්” ආර්ථික අවපාතය “ජයගත නොහැකි” බව එම ලිපියේ සඳහන් විය. නැවත නැවතත් කියන පරිදි එහි නිර්දේශය වන්නේ, සමාජ පිපිරීමක් පාලනය කිරීම සඳහා අවශ්‍ය අවම මුදල ආන්ඩුව විසින් වියදම් කලයුතු බවයි.

එහි පලමු හා කේන්ද්‍රීය ඉල්ලීම වන්නේ එන්නත් මිලදී ගැනීම හා බෙදා හැරීම වේගවත් කලයුතු බවයි. මේ දක්වා පලමු මාත්‍රාව ලැබී ඇත්තේ ජනගහනයෙන් සියයට 6 කට පමනි. “එන්නතෙහි පිරිවැය-ප්‍රතිලාභ අනුපාතය, මිලදී ගැනීම සහ එන්නත් කිරීම සඳහා වන සෑම සැබෑ වියදමකින්ම හය ගුනයකට අනුරූප වේ” යි ලිපිය කියයි. ඊලඟට, එය මුහුනු ආවරන නොමිලේ බෙදා හැරීම සහ ඒවායේ භාවිතය ආන්ඩුව විසින් දිරිමත් කිරීම වෙනුවෙන් පෙනී සිටින අතර, එය “කොවිඩ්-19 මර්දන ප්‍රතිලාභ හා සසඳන විට අඩු පිරිවැයක් දරනු ඇතැයි” සහතික කරයි.

“අගුලු දැමීමේ අවශ්‍යතාවය ඇගයීමට ලක් කල යුතු” බව ප්‍රකාශ කරන අතරම, “ආවරනය වන ක්‍රියාකාරකම්වල විෂය පථය” සහ එහි කාලසීමාව පිලිබඳව දැඩි අවධානය යොමු කරයි. “හොඳම සංකලනය වන්නේ වෛරස සම්ප්‍රේෂනය අවම කිරීම සහ ආර්ථික බලපෑම් අවම කිරීම යන කරුනු වලින් උපරිම ප්‍රතිලාභ ලබා දෙන එකකි.” මුල්‍ය ආධාර සඳහා ද එම ප්‍රමිතියම අදාල වේ, එය අල්ප විය යුතු අතර ජනගහනයේ වඩාත්ම බලපෑමට ලක් වූ අංශ කෙරෙහි පමනක් අවධානය යොමු කල යුතුය.

සාඕ පවුලෝ හි පාසල් නැවත විවෘත කිරීමේ සාපරාධී අත්දැකීම්, දහස් ගනනක් අධ්‍යාපනඥයින්ගේ හා ශිෂ්‍යයින්ගේ ආසාදන හා දුසිම් ගනන් මරන ඇති කිරීමට හේතු වූ අතර “පාසල් සාපේක්ෂව අඩු මට්ටමේ ආසාදනවලට සාක්ෂියක්” යැයි කියමින් මෙම ලිපිය පාසල් වැසීම සම්බන්ධයෙන් දරුනු ලෙස පහර දෙයි.

බොල්සොනාරෝ ට පාලක පන්තිය තුල ඇතැයි කියනු ලබන මෙම විරුද්ධත්වය සම්පූර්න වංචාවකි. යෝජිත කිසිවක්, වසංගතය ඵලදායී ලෙස පාලනය කිරීමට සහතික නොකරයි. බොල්සොනාරෝගේ ප්‍රතිපත්ති සමඟ ඇති බාහිර වෙනස්කම් ඉදිරිපත් කරන අතරම, මෙම වැඩසටහන පදනම් වී ඇත්තේ ද විද්‍යාවේ නිර්නායකයන්ට සහ ජීවිත ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාවන්ට ඇති, එම සතුරුකම මතම ය.

මෙම තීරනාත්මක වැඩපිලිවෙලම ධනේශ්වර මාධ්‍ය තුල පුලුල් ලෙස උත්සවාකාරයෙන් පිලිගනුලබන ලබන කම්කරු පක්ෂය (PT) සහ බ්‍රසීලියානු දක්ෂිනාංශයේ සාම්ප්‍රදායික පක්ෂය වන බ්‍රසීල සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (PSDB) අතර ජාතික ආන්ඩුකාරවරුන්ගේ සංසදයේ ක්‍රියාත්මක වන කුනු වූ සන්ධානය තුල දේශපාලන ප්‍රකාශනය සොයා ගනී. මෙම දේහය නියෝජනය කරන ආන්ඩුකාරවරුන් සිය ප්‍රාන්තවල සියලුම ආර්ථික කටයුතු විවෘතව තබා ඇති අතර, මිනීමරු පාසල් නැවත විවෘත කිරීම ප්‍රවර්ධනය කරති. බොල්සොනාරෝ මෙන් මුහුනු ආවරන සහ එන්නත් භාවිතා කිරීමට ඔවුන් පහර නොදෙන බව සැබෑය. ඒ වෙනස තිබියදීම, බ්‍රසීලයේ කොවිඩ්-19 ව්‍යසනය සම්බන්ධයෙන් ඔවුන් එකම සාපරාධී වගකීම දරයි.

මෙය මූලික වශයෙන්, කම්කරුවන්ට සහ සමස්තයක් වශයෙන් සමාජයට ඇති අවදානම් නොසලකා, ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා සංගතවල ආයුධ ලෙස ක්‍රියා කර ඇති වෘත්තීය සමිතිවල වැඩපිලිවෙලයි. ව්‍යාපාර හා පාසල් වැසීම සඳහා කම්කරුවන්ගේ අරගල, වෘත්තීය සමිති විසින් ක්‍රමානුකූලව කඩාකප්පල් කර තිබේ. මෙම සංවිධාන ද තම ශ්‍රේනි අතර උද්ඝෝෂනයන්ට බයාදු ලෙස ප්‍රතිචාර දක්වා ඇති අතර, “විවෘත ලිපිය” පිටුපස ඇති ධනේශ්වර පාර්ශවය මෙන්, ධනේශ්වර සූරාකෑම යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඔවුන්ගේ කම්කරුවන්ට එන්නත් ලබා දීම වේගවත් කරන ලෙස ඉල්ලා සිටිති.

වසංගතය විසින් ඇති කරන ලද ව්‍යසනයට එරෙහිව සටන් කිරීම සඳහා ස්වාධීන කම්කරු පන්තික වැඩසටහනක් අවශ්‍ය වන අතර එය රැඩිකල් ලෙස වෙනස් දිශාවකට යොමු කරයි.

මිනිස් ජීවිතවලට එරෙහිව ලාභ කිරා බැලීමේ පිරිවැය-ප්‍රතිලාභ විශ්ලේෂනයක් මත පදනම් වූ අර්ධ අගුලු දැමීමක් වෙනුවට, කම්කරු පන්තිය සමාජයට අත්‍යවශ්‍ය නොවන සියලු ක්‍රියාකාරකම් වසා දැමීමට සටන් කල යුතුය. පවත්වාගෙන යනුලබන එම ක්‍රියාකාරකම්, කම්කරුවන්ගේ පාලනය යටතේ සහ සේවකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා විද්‍යාඥයින්ගේ සහ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සහාය ඇතිව ක්‍රියාත්මක විය යුතුය. සියලු වැඩකරන පවුල් සඳහා අනාතාධාර නොව, පූර්න ආදායමක් ලබා දිය යුතුය.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම බ්‍රසීලයේ වැඩ කරන ජනතාවගේ පමනක් නොව, ලොව පුරා සිටින ඔවුන්ගේ පංති සහෝදර සහෝදරියන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා අවශ්‍ය වේ.

කෙවිඩ්-19 වසංගතයේ ගෝලීය ස්වභාවය සනාථ කරන්නේ ධනේශ්වර ජාතික රාජ්‍ය පද්ධතිය අහෝසි කිරීමේ අවශ්‍යතාවයි. කොරෝනා වෛරසය පැතිරීම නැවැත්වීම, මූල්‍ය කතිපයාධිකාරය අත්පත් කර ගැනීම සහ නිෂ්පාදන මාධ්‍යයන්හි පෞද්ගලික අයිතිය අවසන් කිරීම ඇතුලු සමාජවාදී ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සඳහා බ්‍රසීලයේ කම්කරුවන්ගේ අරගල ජාත්‍යන්තර කම්කරු පන්තියේ අරගල සමග ඒකාබද්ධ විය යුතුය. මිනිස් ජීවිත, ලාභයට වඩා ඉහලින් තබන විද්‍යාත්මකව සංවිධානාත්මක හා ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය වන ලෝක ආර්ථිකයක් සඳහා යා යුතුය.

Loading