ජීවන වියදමට සරිලන පරිදි වැටුප් ඉහල දමා ගැනීමේ දැවෙන අවශ්‍යතාව වරාය කම්කරුවෝ පැහැදිලි කරති

පසුගිය දිනක, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවෝ, කොලඹ වරාය කම්කරුවන් මුනගැසී, ඔවුන් මුහුන දෙන සේවා සහ ජීවන කොන්දේසි පිලිබඳව සාකච්ඡා කලහ. ඔවුන්ගෙන් බහුතරයක් කියා සිටියේ” ජීවන වියදම ඉහල යාමට සරිලන වැටුප් වැඩිවීමක්” අත්‍යවශ්‍ය බවය.  

කොලඹ වරායේ වෘත්තීය සමිති විසින් පෙරදී පිලිගෙන ඇති චක්‍රලේඛයට අනුව වරාය කම්කරුවන්ගේ වැටුප් ඉහල දැමිය යුත්තේ වසර තුනෙන් තුනටය. ඒ අනුව පසුගිය ජනවාරි මාසයේදී වැටුප් වැඩිවීමක් ලැබිය යුතු වූවත් මෙතෙක් එය ලැබී නැත. මීට ප්‍රථම වැටුප් වැඩිවීමක් සිදු කෙරුනේ 2018 දීය.

එම වැටුප් වැඩි කිරීම සිදු කෙරුනේ, එවකට පැවති සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව ක්‍රියාවට දැමීමට සැලසුම් කල වරාය පුද්ගලීකරන වැඩපිලිවෙලට එරෙහිව කම්කරුවන් අතර බලගතු විරෝධයක් වැඩෙමින් පැවති තතු තුලයි. කම්කරුවන් අතර භේදයක් අවුලවා එම විරෝධය අපගමනය කරනු වස්, ශ්‍රේනි අතර සැලකියයුතු වැටුප් විෂමතාවයක් ඇති කිරීමට පාලකයෝ දැනුවත්ව පියවර ගත්හ. 

ඒ අනුව විධායක නිලධාරීන්ගේ මූලික වැටුප රු 18000කින් වැඩි කරන විට පහල ශ්‍රේනිවල කම්කරුවන්ගේ මූලික වැටුප වැඩිවූයේ රු 5000 කින් පමනි. මේවන විට වරාය කම්කරුවන්ගේ පහල ශ්‍රේනීන්හි මූලික වැටුප රු 21000 සිට රු 28000 ක් පමන වන සොච්චම් අගයකි.

කම්කරුවෙකු පැවසූ පරිදි “දීමනාවලට අමතරව අපට  අතිකාල සේවයේ යෙදීමෙන් මුදලක් ලැබුනා. ඒ නිසා තමයි අපි ජීවිතය යන්තම් ගැටගහ ගත්තෙ. වෙනත් දීමනා මූලික වැටුපට අයත් නොවන නිසා සේවය අවසානයේදී ලැබෙන අර්ථ සාධක දීමනාව පහත් මට්ටමක පවතිනවා. ඊට අමතරව අතිකාල සේවාව පසුගිය මාස වලදී කපා හැරිය නිසා මසකට රු 7000ක පමන වැටුපෙන් අඩුවීමක් සිදුවුනා. 

“පසුගිය වසරේ සිට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්හි මිල බරපතල ලෙස ඉහල ගියා. අපි ඉහල යන ජීවන වියදමට සරිලන වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටින්නේ මේ තත්වයේදී" යැයි ඔහු තව දුරටත් කියා සිටියේ ය.

ලෝසවෙඅ මාර්තු 17 වෙනිදා පෙන්වාදුන් පරිදි   “පසුගිය මාසයේ නිල වාර්ෂික ආහාර ද්‍රව්‍ය මිල උද්ධමනය සියයට 8ක් පමන වූ අතර, පසුගිය වසරට සාපේක්ෂ ව අර්තාපල් අල, පරිප්පු, හාල් මැස්සන්, වියලි මිරිස් හා සීනි වැනි ආනයනික ආහාර ද්‍රව්‍යවල මිල සියයට 10-40 පමන ප්‍රමානයකින් ඉහල ගොස් තිබේ. පසුගිය වසර ආරම්භයේ දී රුපියල් 287ක් වූ මුං ඇට කිලෝග්‍රෑමයක මිල රුපියල් 700ට පමන වැඩි වී ඇත.

“ශ්‍රී ලංකාවේ ආහාර පිසීමට අත්‍යවශ්‍ය වන කුලුබඩුවලින් බොහොමයක මිල ගනන් ද තියුනු ලෙස ඉහල ගොස් ඇත්තේ දේශීය සැපයුම ප්‍රමානවත් නො වන හෙයිනි. කහ කිලෝග්‍රෑමයක මිල පස් ගුනයකින් පමන රුපියල් 5,000ක් පමන දක්වා ඉහල ගොස් ඇත.”

පුද්ගලීකරන වැඩපිලිවෙල ඉදිරියට ගෙනයමින් ආන්ඩුව කොලඹ වරායේ බටහිර පර්යන්තය ඉන්දියානු සමාගමකට පැවරීම සම්බන්ධයෙන් වරාය කම්කරුවන් අතර වැඩී ඇති විරුද්ධත්වය මධ්‍යයේ වැටුප් වැඩි වීමද නොලැබෙන තතු යටතේ කම්කරුවෝ බලගතු ලෙස නොසන්සුන්ව සිටිති.

වෘත්තීය සමිතිවල පාවාදීම් ප්‍රයෝජනයට ගනිමින් මේ වන විට කොලඹ වරායේ සැලකිය යුතු කොටසක් පුද්ගලීකරනය කෙරී ඇත. ඒ හේතුවෙන් කොලඹ වරායේ ස්ථීර රැකියා 10000කට අධික සංඛ්‍යාවක් කපා දමා තිබේ. ඒ වෙනුවට, ඉතා දුෂ්කර සේවා කොන්දේසි හා පහල වැටුප් යටතේ මිනිස් බල කම්කරුවන් සේවයේ යොදවා ඇත. මිනිස්බල කම්කරුවන් ස්ථීර කර සෙසු කම්කරුවන්ගේ අයිතිවාසිකම් ලබා දිය යුතු බව කම්කරුවෝ බහුතරයක් කියා සිටියහ.

කම්කරුවන් අතරින් පැන නැගුනු විරෝධය හමුවේ, කොලඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියානු සමාගමකට පවරාදීම නතර කල රාජපක්ෂ ආන්ඩුව ඒ වෙනුවට බටහිර පර්යන්තය ඉන්දියානු අදානි සමාගමට පවරා දීමට කල යෝජනාවට වෘත්තීය සමිති පක්ෂ වූහ. 

කෙසේ නමුත්, වරායේ ටග් යාත්‍රා අංශයේ සේවකයෙක් කියා සිටියේ “වරාය පුද්ගලීකරනයට සියලුම කම්කරුවන් පාහේ විරුද්ධ” බවයි. “වෘත්තීය සමිති සටන පාවා දුන්නා. වරායේ කම්කරුවන් සියයට 90 ක් වගේ වෘත්තීය සමිති සිදුකරන පාවා දීම් නිසා කලකිරීලයි ඉන්නෙ.”

අපකීර්තියට පත්ව ඇති මෙම සමිති දැන් වැටුප් අරගලය වෙනුවෙන් පෙනී සිටින වගක් පෙන්නුම් කරන්නේ කම්කරුවන්ගේ ස්වාධීන අරගලයක් මතුවීම වැලැක්වීමේ අරමුනෙනි.

2018 සිට පවතින “වැටුප් විෂමතාව” ඉවත් කිරීම හා මේ වසරේ ජනවාරි සිට සියලුම තලවල සේවක වැටුප සියයට 30 කින් ඉහල නංවා ගැනීම වෙනුවෙන් මාර්තු 8 හා 12 දින වරාය වෘත්තීය සමිති 23ක් වරාය අධිකාරියේ සභාපතිවරයා සමග කල සාකච්ඡාව අසාර්ථක වූ බව, ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ ) සම්බන්ධ සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ (සලවපොසෙස) ප්‍රධාන ලේකම් නිරෝෂන ගොරකාන, මාර්තු 13 දින තම වෘත්තීය සමිති මුහුන පොත් පිටුවේ පල කල විඩියෝවක් මගින් ප්‍රකාශයට පත්කොට ඇත.

වරාය කම්කරුවෙක් ලෝසවෙඅ ට පැවසුවේ, පහල ශ්‍රේනිවල වැටුප් සියයට 20 කින් වැඩි කරන අතරේ ඉහල ශ්‍රේනි වල වැටුප් කප්පාදු කෙරෙන යෝජනාවක් ඉහත සාකච්ඡාවේදී පාලකයන් විසින් ඉදිරිපත්කොට ඇති බවයි. ඔහු මෙසේ කියා සිටියේ ය: “වරායේ කිසිදු සේවකයෙකුගේ වැටුප කපා හැරීමට අපි විරුද්ධයි.”

මේ අනුව පහල ශ්‍රේනීන්හි කම්කරුවෙකුගේ වැටුප වැඩිවන්නේ රු 4130 කින් බවත්, වැඩිවී ඇති ජීවන වියදම සමග සසඳන කල එය කිසිසේත්ම ප්‍රමානවත් නොවන බවත් ඔහු පැවසීය. කම්කරුවන්ගේ විරෝධය හේතුවෙන්, සියයට 20කින් වැටුප් වැඩිකිරීමේ යෝජනාව වෘත්තීය සමිති එම අවස්ථාවේ පිලිගෙන නැත.  

ඉහත විඩියෝ ප්‍රකාශයෙන් ගොරකාන කියා සිටියේ තම වෘත්තීය සමිතිය 2018දී තහවුරු කල වැටුප් විෂමතාවයට විරුද්ධත්වය ප්‍රකාශ කල නමුත් පාලකයන් එකඟතාවයකට නොපැමිනි බවයි. ගොරකානගේ ප්‍රකාශයට විපරීතව, සැබැවින්ම 2018 වැටුප් “විෂමතාව”තහවුරු කෙරුනේ ඔහුගේ සමිතිය ද ඇතුලත් සියලු වෘත්තීය සමිතිවල පූර්න සහයෝගයෙනි. පාලකයන් ට මෙන්ම සමිති වලට ද අවශ්‍ය වන්නේ කම්කරුවන් අතර භේද අවුලුවා ඔවුනගේ ස්වාධීන සහ ඒකාබද්ධ අරගලයක් වලකා ලීමයි.  

“වැටුප් විෂමතාව ඉවත්කරනු!” යන ඉල්ලීම වෙනුවට, “ශිෂ්ඨසම්පන්න ලෙස ජීවත්වීමට ප්‍රමානවත් වැටුප් සියලු කම්කරුවන්ට ලබාදෙනු!” යන ඉල්ලීම යටතේ කම්කරුවන් සටන් වැදිය යුතුය.

වෟත්තීය සමිති සහ වර්ගවාදී සංවිධාන එක්ව ගොඩනගා ගත්  “නැගෙනහිර පර්යන්තය බේරා ගැනීමේ ජාතික ව්‍යාපාරය” මගින්, පසුගිය පෙබරවාරි මාසයේදී, වරාය පුද්ගලීකරනයට එරෙහි සටන ඉන්දියානු විරෝධයක ගිල්වා පාවා දුන් ජවිපෙ හා එයට සම්බන්ධ සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය තවත් වෘතීය සමිති හා එක්ව, වැටුප් අරගලය ඉදිරියට ගෙනයාම පිලිබඳ සහතික දෙන්නේ එබඳු සටනක් ඉදිරියට ගෙනයාම සදහා කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීමකට පරම සතුරුවය. 

2020 අගෝස්තු මාසයේ වරාය පුද්ගලීකරනයට එරෙහිව පැනනැගි වැඩවර්ජනය, වෘත්තීය සමිති 23 හි එකමුතුව විසින්, අගමැති මහින්ද රාජපක්ෂගේ ව්‍යාජ පොරොන්දුවකට යටත්කොට පාවා දුන්න ද, එම වර්ජනයට කොලඹ වරායේ 10000 කට අධික කම්කරුවෝ, ශ්‍රේනිභේද නොතකා එක්වූහ. මෙම ද්‍රෝහී සමිති දැන් සූදානම් වන්නේ “වැටුප් විෂමතාවය” මත කම්කරුවන්ගේ එම එකමුතුව බිඳ දැමීමටය. 

කම්කරුවන් අතර බෙදීමක් ඇතිකිරීමට වෘත්තීය සමිති දරන මෙම ප්‍රයත්නයට එරෙහිවෙමින් කම්කරුවෙක් කියා සිටියේ “වරායේ පමනක් නොව ජාත්‍යන්තරවම සටනේ නියැලෙන කම්කරුවන් ඒකාබද්ධ කල යුතු” බවයි. 

කොවිඩ් 19 වසංගතයෙන් උග්‍ර කෙරුනු  ධනේශ්වර ආර්ථික අර්බුදයේ බර විවිධ කප්පාදු හරහා තම උරමත පැටවීම සඳහා, රටක් රටක් පාසා ධනපති පාලකයන් ක්‍රියාවට නංවා ඇති පිලිවෙත් වලට එරෙහිව කම්කරු පංතිය ජාත්‍යන්තර පරිමානව අරගලයට පිවිසෙමින් සිටී. ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන්ගේ වැටුප් අරගලය දිගටම ඉදිරියට යයි. රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවක වැටුප් අරගල වර්ධනය වෙමින් ඇත. වරාය කම්කරුවන් වැටුප් ඉහල දැමීම ඉල්ලා සිටින්නේ මේ තත්වයේදීය.

වරාය කම්කරුවන් ලංකාවේ සමස්ත කම්කරු පන්තියේද, ජාත්‍යන්තර කම්කරු පන්තියේ ද සහයෝගය තහවුරු කර ගනිමින් වැටුප් අරගලය ඉදිරියට ගෙනයා යුතුය. එය කල හැක්කේ ජාත්‍යන්තර වැඩපිලිවලක් යටතේ සංවිධානය වීමෙන් පමනි. වෘත්තීය සමිති මෙම වැඩපිලිවෙලට පරම ලෙසින් ම සතුරුය. තම සටන ඉදිරියට ගෙනයාම සඳහා වෘත්තීය සමිති වලින් ස්වාධීනවූ ක්‍රියාකාරී කමිටුවක් වරාය කම්කරුවන් විසින් ගොඩනගා ගැනීම අත්‍යවශ්‍ය වන්නේ එබැවිනි. 

Loading