වැඩි වැටුප් ඉල්ලා ගුරුවරු කුරුනෑගල දී විරෝධතාවයේ යෙදෙති

ඉහල යන ජීවන වියදමට සරිලන වැටුප් දිනා ගැනීමට සහ කොරෝනා වසංගතය තුල තවදුරටත් ඛාදනය වන රැකියා කොන්දේසි ඉහල දමා ගැනීමට ගුරුවරුන් අතර පවතින දැවෙන අවශ්‍යතාවය පෙන්නුම් කරමින්, පසුගිය 25 දා කුරුනෑගල නගරයේ පැවති විරෝධතාවයකට වයඹ පලාතේ විවිධ ප්‍රදේශවලින් පැමිනි පන්දහසකට ආසන්න ගුරුවරු සහභාගි වී සිටියහ. 

සමහර දුරබැහැර පාසල්වල සමස්ත ගුරු මන්ඩලයම අසනීප නිවාඩු වාර්තා කොට විරෝධතාවයට සම්බන්ධ වී තිබුනි. දහවල් 1.00 ට පමන කුරුනෑගල මලියදේව පිරිමි විද්‍යාලය සමීපයේ රැස්වූ ගුරුවරු එතැන් සිට කුරුනෑගල නගර මධ්‍යය දක්වා පාගමනකින් ගමන් කලෝ ය. මසකට පෙර අනුරාධපුර නගරයේ පැවති මෙවැනිම විරෝධතාවයකට පලාතේ ගුරුවරු කිහිප දහසක් සහභාගි වූහ. 

කුරුනෑගල ගුරු විරෝධතාව

ගුරුවරුන්ගේ මෙම විරුද්ධත්වය, ලංකාවේ අවශේෂ කම්කරුවන්ගේ හා ගම්බද දිලිඳු ජනයා අතර රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව වර්ධනය වන පලල් විරුද්ධත්වයක කොටසකි. කොරෝනා වසංගතයේ අන්තරාය මධ්‍යයේ පාසල් යලි විවෘත කිරීමටත් වැටුප් හා රැකියා කප්පාදුවට එරෙහිවත් ඇමරිකා එක්සත් ජනපදයේ, යුරෝපයේ හා ජාත්‍යන්තර පරිමානව පාසල් ගුරුවරුන් සහ අනෙකුත් අධ්‍යාපන වෘත්තිකයන් අතර බලගතු සටන් ඇවිල යමින් තිබේ. 

කුරුනෑගල හා අනුරාධපුර විරෝධතා කැඳවා තිබුනේ ලංකා ගුරු සංගමය (ලංගුස) හා ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) සම්බන්ධ ලංකා ගුරු සේවා සංගමය (ලංගුසේස) ඇතුලු ගුරු-විදුහල්පති වෘත්තීය සමිති විසිනි.  

2018, 2019 වසරවල දී ද, කම්කරු පන්තිය භේද කිරීමට පාලක පන්තිය ගෙන යන වාර්ගික ප්‍රකෝපකනරයන් නො තකා දිවයින පුරා ගුරුවරු, පැවති ආන්ඩු වලට එරෙහිව ධෛර්යමත් අරගලයන්හි යෙදී ගත්හ. මෙම සමිති නව වටයක විරෝධතා කැඳවන්නේ, වත්මන් ආන්ඩුවේ බොරු පොරොන්දු හමුවේ එකී අරගල පාවා දීමෙන් වසරකට වැඩි කාලයකට පසුවයි. 

2020 වසරේ දී කොරෝනා වසංගතය මධ්‍යයේ පාසල් විවෘත කිරීමට රාජපක්ෂ ආන්ඩුව ගත් සාපරාධී පියවරට මෙම සමිති පූර්න පිටුබලය ලබා දුන්නේ වැටුප් ඇතුලු අවශේෂ ඉල්ලීම් සියල්ල යට ගසමිනි. 

ගුරුවරයෙකුගේ ආරම්භක මූලික වැටුප රුපියල් 35,000 ක් පමන වේ. රැකියා කාලය පුරා ගෙවිය යුතු නිවාස නය සහ අනෙකුත් නය සඳහා වාරික කැපී ගිය පසු බොහොමයක් ගුරුවරුන්ගේ වැටුපෙන් ඉතිරි වන මුදල සිය දරු පවුලට නිසි අයුරින් ආහාර සැපයීමටවත් ප්‍රමානවත් නොවේ. 

වැටුප්වල මූර්ත වැටුප් දිනෙන් දින පහල යමින් තිබෙන අතර ඇඳුම්, බෙහෙත් හා වෙනත් සමාජ කටයුතු  කිසිවකට වියදම් නොකර දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලකට ආහාර සඳහා පමනක් මසකට රුපියල් 27,000 ක් පමන අවශ්‍ය බව මෑත වාර්තාවක පෙන්වා දී තිබුනි. 

පසුගිය වර්ෂයේ ආහාර ද්‍රව්‍යයන්හි මිල උද්ධමනයේ නිල අගය සියයට 8ක් පමන වූ අතර, පසුගිය වසරට සාපේක්ෂ ව අර්තාපල්, පරිප්පු, හාල් මැස්සන්, වියලි මිරිස් හා සීනි වැනි ආනයනික ආහාර ද්‍රව්‍යවල මිල සියයට 10-40 පමන ප්‍රමානයකින් ඉහල ගොස් තිබේ.

සිසුන්ගෙන් පිරීගිය පන්ති කාමරවල ඉගැන්වීම් කටයුතුවල යෙදෙන හා තද බදයෙන් යුත් පොදු ප්‍රවාහන සේවාවල තෙරපෙමින් සේවයට පැමිනෙන ගුරුවරු කෝවිඩ්-19 වසංගත අවදානමට දැඩිව මුහුන දී සිටිති. 

වසංගතය හේතුවෙන් සිසුන් කාන්ඩ වශයෙන් කැඳවන තතු යටතේ ගුරුවරුන්ට දැඩි වෙහෙසක් දැරීමට සිදුවන අතර, දිගු කාලයක් පුරා මගහැරුනු විෂය කරුනු ඉගැන්වීමට පාසල් වේලාවෙන් පසුවත් සිය ශ්‍රමය වැය කිරීමට බල කෙරී ඇත. ඊනියා කාර්ය සාධනයේ නමින් ගුරුවරු මත පටවන වාර සටහන්, ව්‍යාපෘති, පාසල් පාදක ඇගයීම් වැනි විවිධ අනවශ්‍ය බර පැටවීම්වල ද කවර හෝ අඩුවක් නැත. 

ඒ තතු තුල, ලංගුස හා ලංගුසේස ඇතුලු ගුරු-විදුහල්පති වෘත්තීය සමිති මෙම නව වටයක විරෝධතා කැඳවුම් කර තිබෙන්නේ, ගුරුවරු අතර වැඩෙන විරුද්ධත්වය යලි වටයකින් අවමංගත කිරීම සඳහා ය.   

කුරුනෑගල විරෝධතාවයේ දී ගුරුවරුන් ඇමතූ ලංගුස නායක ජෝසප් ස්ටාලින්, දශක දෙකහමාරක් තිස්සේ ඔවුන් සංවිධානය කල මෙවැනි විරෝධතා හා සීමිත වර්ජනවලට අත් වූ ඉරනම පිලිබඳ වචනයක් හෝ කතා නොකල අතර, ඉදිරියේ දී “දැවැන්ත වර්ජනයකට යෑමට පැකිලෙන්නේ තැතැ” යි පුරුදු පූච්චානම් භාෂාවෙන් කියා සිටියේ ය. 

“පසුගිය අය-වැයේ දී පොරොන්දු කැඩූ අගමැති මහින්ද රාජපක්ෂට හා ආන්ඩුවේ වෙනත් ඇමතියන්ට අපි කියනවා, වහාම ප්‍රශ්න විසඳන්න. විසඳුම් නැත්නම් මොකක්ද වෙන්නේ කියලා මේ ඔලු ගෙඩි (ගුරුවරු) ගානෙන් තීරනය කරන්න” යයි ඔහු බෙරිහන් දුන්නේ ය.  

“මේ අභියෝගය කාට ද? අවුරුදු 24 ක් පුරා අපව රවටපු සෑම ආන්ඩුවකටම එරෙහිවයි” යනුවෙන් කතාව ඇරඹූ ලංගුසේස නායක මහින්ද ජයසිංහ අප්‍රියල් 06 දාට බදුල්ලේදීත් උද්ඝෝෂනයේ යෙදෙන බව ප්‍රකාශ කලේ ය. “අවසානයේ දී උත්තර නැත්නම්, වැඩවර්ජන, නැවත නැවතත් වැඩවර්ජන, එකක් නෙමේ, දහයක් කරලා හරි අපි අපේ අයිතීන් දිනනවා” යයි මොර දුන්නේය. 

ජයසිංහ යනු, දෙමල ජනතාවට එරෙහිව ගෙනගිය වර්ගවාදී යුද්ධයේ ප්‍රධාන කසකරුවෙකු වූ ජවිපෙ හි ප්‍රමුඛ නායකයෙකි. කම්කරු-පීඩිත මහජනතාවට එරෙහිව ධනපති රාජ්‍ය මර්දන යන්ත්‍රය රුදුරුම ආකාරයෙන් ශක්තිමත් කෙරුනේ ජවිපෙ හි පූර්න සහයෝගය මත ගෙනගිය මෙම ලේවැකි යුද්ධය යොදා ගනිමිනි. එපමනක් නොව, කම්කරු පන්තියට අඛන්ඩව පහර එල්ල කල අනුප්‍රාප්තික ධනපති ආන්ඩු බලයට ගෙන ඒමට ජවිපෙ පසුගිය දශක කීපය පුරා විවෘතවම සහයෝගය ලබා දුනි.

කම්කරු පන්තිය, ධනපති ආන්ඩු වලට සහ ධනපති ක්‍රමයට එරෙහි ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ලෙස බලමුලු ගැන්වීමට සපුරා එරෙහි වෘත්තීය සමිති නිලධරයේ ප්‍රමුඛ නියෝජිතයෙකු වන ස්ටාලින් ට ඇත්තේ ද කම්කරු අරගල පාවාදීමේ කුප්‍රකට වාර්තාවකි. 

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පලමු පාලන කාලය තුල ගුරුවරුන් ඇතුලු කම්කරුවන් දසදහස් ගනනක් අරගලයට පිවිසි විට, ස්ටාලින් ඇතුලු නිලධරය කැඳවූ රාජපක්ෂ “ඔබ කියන්නේ යුද්ධය නවතා ඉල්ලීම් ඉටු කරන්නද?” යනුවෙන් ප්‍රශ්න කලේය. එම තර්ජනය හමුවේ අරගලය පාවා දුන් ස්ටාලින් ඇතුලු නඩය යුද්ධය ඉදිරියට ගෙන යාමට මාවත විවර කර දුන්හ.  

ගුරු සමිති උත්සුක වන්නේ, තම දිගු කාලීන ද්‍රෝහී භූමිකාව හේතුවෙන් තමාගෙන් වඩවඩාත් ඈත්වන ගුරුවරුන් ස්වාධීනව අරගලයට පිවිසෙතැයි යන්න පිලිබඳවයි.

අනෙකුත් ක්ෂේත්‍රයන්හි කම්කරුවන්ද තම අරගලයට ඒකාග්‍ර කල හැකි , “2016 සිට රාජ්‍ය සේවයේ නව බඳවා ගැනීම්වලට අහිමි කල විශ්‍රාම වැටුප යලි ස්ථාපිත කරනු!”, “අධ්‍යාපනයට සියයට 06 ක් වෙන් කරනු!” වැනි පොදු ඉල්ලීම් මෙවර අත්හැර තිබුනි. ඒ වෙනුවට සමිතිවල ප්‍රධාන ඉල්ලීම වූයේ “වැටුප් විෂමතා ඉවත් කරන තුරු පොරොන්දු වූ අතුරු දීමනාව ලබා දෙනු!” යන්නයි. 

සමස්ත කම්කරු පන්තියේම වෛෂයික අවශ්‍යතාව ලෙස පවතින “ඉහල යන ජීවන වියදමට සරිලන වැටුපක් ලබාදෙනු!” යන ඉල්ලීමට විපරීතව, “වැටුප් විෂමතා ඉවත් කරනු!”, “අධ්‍යාපනය සංවෘත සේවාවක් කරනු!” යනුවෙන් උද්ඝෝෂනයේ යෙදෙන්නේ ගුරුවරුන්ගේ අරගලය අවශේෂ කම්කරු පන්තිය සමග ඒකාබද්ධ වීම වලක්වා හුදකලා කිරීමටයි.  

කම්කරු පන්තික අරගල තලා දැමීමේ අරමුනෙන් වර්ධනය කෙරෙමින් පැවති මිලිටරීකරනය වේගවත් කිරීම සඳහා 2019 පාස්කු බෝම්බ ප්‍රහාරය උපරිම අයුරින් යොදා ගැනීමට පාලක පන්තිය දැරූ ප්‍රයත්නයට පිටුබලය දෙමින්, 2019 මැයි මස 09,10 දිනවල පැවැත්වීමට තිබූ වර්ජනය ගුරුවරුන්ගේ අදහස් විමසීමකින් තොරව හකුලා දැමීමට ගුරු සමිති පියවර ගත්හ. එතැනින් නතර නොවුනු මෙම සමිති පාසල් හා විශ්වවිද්‍යාල තුලට හමුදා භට කන්ඩායම් යොදවන්නැයි ඉල්ලා උද්ඝෝෂනයේ නිරත වූහ. 

පාස්කු ප්‍රහාරය මුලුමනින්ම ගසා කෑ ගෝඨාභය රාජපක්ෂ, “ජාතික ආරක්ෂාව” සහතික කෙරෙන, “ශක්තිමත් හා ස්ථාවර” ආන්ඩුවක් ගොඩනගන බවට ප්‍රතිඥා දෙමින් බලයට පැමිනියේය. මිලිටරිය මත පාදක වූ ජනාධිපති ආඥාදායකත්වයක් දෙසට වේගයෙන් පියනගන  ගෝඨාභය රාජපක්ෂ 2019 දී බලයට පත්වූයේ, සෑම ක්ෂේත්‍රයකම වෘත්තීය සමිති හා ව්‍යාජ-වාම පක්ෂ ඉෂ්ඨ කල මෙම ධනේශ්වර ගැති ක්‍රියාකලාපයේ ආධාරයෙනි.  

ගැඹුරු වන ගෝලීය අර්බුදය මධ්‍යයේ ලොව පුරා අනෙකුත් ධනපති ආන්ඩු මෙන්ම, රාජපක්ෂ ආන්ඩුව මහ ව්‍යාපාරිකයන්ට සහන ප්‍රදානය කරන අතර තුරේ අර්බුදයේ මුලු බර කම්කරු පන්තිය මත පැටවීමේ පන්ති යුද්ධයක නිරතව සිටී. 

අපනයනයන් පහලයාමට, සංචාරක කර්මාන්තයේ වැටීමට හා නය ආපසු ගෙවීම් ඉහල යාමට රාජපක්ෂ ආන්ඩුව මුහුන දී සිටී. මුදල් හිඟයෙන් පෙලෙන ආන්ඩුවට නය සඳහා වාරික ගෙවීමට 2024 දක්වා වාර්ෂිකව ඩොලර් බිලියන 4.5 බැගින් අවශ්‍ය කෙරේ. 

ආන්ඩුව දියත් කර තිබෙන ආනයන සීමා කිරීම් වැනි “ජාතිකවාදී පිලිවෙත්” හේතුවෙන් අත්‍යාවශ්‍ය භාන්ඩ මිල ඉහල නගිමින් පවතී. අනෙක් පසින්, දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට 7 ටත් වැඩි අය-වැය හිඟය පහල දැමීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) රුදුරු කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දැමීමට රාජපක්ෂ බැඳී සිටී. 

ඒ අනුව මේ වසරේ අය-වැයෙන් අධ්‍යාපන හා සෞඛ්‍යය වියදම් පිලිවෙලින් රුපියල් බිලියන 40 කින් හා 29 කින් කප්පාදු කෙරුනි. මිලිටරි වියදම් බිලියන 440 දක්වා ඉහල දැමුවේ ගිය වසරට වඩා බිලියන 40 ක් වැඩි කරමිනි.  

මෙම තතු තුල, ධනපති ආන්ඩු වලට බලපෑම් යෙදීමෙන් ඉල්ලීම් දිනාගත හැකිය යනුවෙන් වෘත්තීය සමිති තොරොම්බල් කරන්නේ පූර්න ප්‍රලාපයකි. ධනපති ක්‍රමයේ පද්ධතිගත අර්බුදයෙන් නිපන් මෙම ප්‍රහාර පරාජය කල හැක්කේ ධනපති ආන්ඩුවටත් ධනපති ක්‍රමයටත් එරෙහි දේශපාලන අරගලයක් මගින් පමනි. එවන් අරගලයකින් තොරව, ලංගුසේස නායකයා කියන පරිදි වැඩවර්ජන “එකක් නෙමේ, දහයක් කලත්”  ගුරුවරුන්ගේ ඉල්ලීම් සපුරාගත නොහැක.

මෙම ලිපිය ද කියවීමට නිර්දේශ කෙරේ‍:

Loading