ජර්මනියේ වයිසැග් (WISAG) සමූහයට එරෙහිව ගුවන්තොටුපල කම්කරුවන්ගේ අරගලයේ ඊලඟ අදියර කුමක්ද?

[පහත පලවන්නේ 2021 මාර්තු 20 දින What next in the airport workers struggle against the WISAG Group in Germany?  මාතෘකාවෙන් ලෝසවෙඅ හි ඉංග්‍රීසි බසින් පලවූ ලිපියේ පරිවර්තනයයි.]

මාර්තු 16 වන දින වීස්බාඩන් හි හෑස් ප්‍රාන්ත සභාව ඉදිරිපිට පැවති රැලියත් සමඟ, වයිසැග් (WISAG) සමූහයට එරෙහිව ගුවන්තොටුපල භූමියේ වැඩ කරන කම්කරුවන්ගේ අරගලය සන්ධිස්ථානයකට පැමින තිබේ. 

දැනට මාස තුනක් තිස්සේ කම්කරුවෝ අත්තනෝමතික ලෙස සේවයෙන් පහ කිරීම සහ වැටුප් සොරකම් කිරීමට එරෙහිව සටන් වදිමින් සිටිති. දශක ගනනාවක පලපුරුද්දක් ඇති කම්කරුවන් පලවා හැරීමටත්, ඔවුන් වෙනුවට ලාබ ශ්‍රමය යොදවා ගැනීමටත්, සියල්ලන්ගේ වැටුප් මට්ටම් පහත හෙලීමටත් වසංගතය නිදහසට කරුනක් ලෙස වයිසැග් සමූහය භාවිතා කරයි. ව්‍යාජ රූකඩ සමාගමකට තමන්ව මාරු කිරීම ප්‍රතික්ෂේප කල ගුවන් තොටුපල බස් රියදුරන්ට 2020 ඔක්තෝබර් මාසයේ සිට මුදල් ගෙවා නොමැත.

මාර්තු 16 වන දින වීස්බාඩන් හි හෑස් ප්‍රාන්ත සභාව ඉදිරිපිට දී වයිසැග් බිම් කම්කරුවන්ගේ රැලිය (ඡායාරූපය: WSWS)

මෙයට එරෙහි අරගලයේ දී, කම්කරුවන් බැටලු පැටවුන් මෙන් ඝාතනයට දක්කා ගෙන යා නොහැකි බව ගුවන් තොටුපල භූමියේ වැඩ කරන කාර්ය මන්ඩලය ඔප්පු කලහ. කම්කරුවන්ට අයිතිවාසිකම් ඇති අතර, ඔවුන් අයිතිවාසිකම් නොමැති වහලුන් බවට පත් කල හැකි යැයි විශ්වාස කරන- සමාගම අයිති විසර් පවුල වැනි - අය, වැරදියට  සිතා ගෙන සිටිති. කම්කරුවන් අධිෂ්ඨාන සහගතව  අත නොහැර සටන් වදින්නේ, වැඩ කිරීමේ අයිතිය; සාධාරන වැටුප් හා සුරක්ෂිත සේවා කොන්දේසි සඳහා ඇති අයිතිය මෙන්ම මූලික අයිතිවාසිකමක් වන බැවිනි.

WISAG කම්කරුවන් අවම වශයෙන් රැස්වීම් සහ පෙලපාලි 10 ක් පවත්වා ඇති අතර, ෆ්‍රැන්ක්ෆර්ට් ගුවන්තොටුපලේ 1වන පර්යන්තයෙහි දින අටක උපවාසයක් සිදුකර ඇත. ඉතා මෑතකදී ඔවුහු පසුගිය මාර්තු 16දා වීස්බාඩන් ප්‍රාන්ත සභාව ඉදිරිපිට පා ගමනින් ගියහ. කම්කරුවෝ ඔවුන් වෙනුවෙන් ඇඟිල්ලක්වත් නොඑසවූ, ඔවුන්ව සේවයෙන් පහ කිරීම ගැන පවා නොදැනුවත්, වර්ඩි වෘත්තීය සමිතියෙන්  ඉල්ලා අස් වූ අතර,  ඒ වෙනුවට කුඩා ආංශික අයිජීඑල් සමිතියට බැඳුනාහ .

කෙසේවෙතත්, අයිජීඑල් වර්ඩිට වඩා වෙනස් ඉදිරිදර්ශනයක් ඉදිරිපත් නොකරන බව වීස්බාඩන් හිදී පැහැදිලි විය. ගුවන්තොටුපලේ ඇති වූ දරුනු තත්වයන්ට වගකිව යුතු වූ එම දේශපාලන පක්ෂවලම නියෝජිතයින්ට සාකච්ඡාවේ ආධිපත්‍යය දැරීමට අයිජීඑල් ඉඩ දුන්හ. මයික්‍රෆෝනය එක් දේශපාලනඥයෙකුගේ සිට තවත් දේශපාලනඥයෙකු දක්වා අතිනත මාරු විය. ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදීන් (සීඩීයූ), සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් (එස්පීඩී), නිදහස් ප්‍රජාතන්ත්‍රවාදීන් (එෆ්ඩීපී) සහ වාම පක්ෂය කම්කරුවන්ගේ පිටට සංකේතාත්මකව හා සැබෑ වශයෙන් තට්ටු කරමින් සහ කුහක ලෙස කිඹුල් කඳුලු සලමින් ඔවුන්හට තම තමන්ගේ පක්ෂවල “සහයෝගිතාවය” ප්‍රකාශ කලහ. 

කම්කරුවෝ මෙම උපවාස කාලය තුල ගුවන්තොටුපලේදී අත්සන් 1,000 ක් එකතු කරමින්, හඳුනන්නවුන්, සගයන් සහ පසුකර යන්නන් සමඟ සාකච්ඡා දහස් ගනනක් පවත්වා ඇත. සීඩීයූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉස්මයිල් ටිපි මෙම අත්සන් රැගෙන ගොස්, හෑස් ප්‍රාන්ත සභාවේ සභාපති මෙන්ම ඔහුගේ සීඩීයූ පක්ෂ සගයා වන බොරිස් රයින් වෙත ප්‍රාන්ත පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ දී භාර දුන්නේය. ඉන්පසුව ඒවා අතුරුදන් වූයේ කුමන ලාච්චුවක  හෝ කුමන කුනුකූඩයකදැයි නොදනී. කෙසේ වෙතත් මෙම ලියවිල්ල නිසා පාර්ලිමේන්තු සම්මන්ත්‍රන සාකච්ඡාවේ විනාඩියකටවත් බාධා සිදු නොවීය.

සීඩීයූ, එෆ්ඩීපී, හරිතයන්, එස්පීඩී සහ වාම පක්ෂයේ දේශපාලනඥයින් අතට ගුවන් තොටුපල කම්කරුවන්ගේ ඉරනම බාර දෙන බව වීස්බාඩන් හිදී අයිජීඑල් සමිතිය පෙන්වා දුන්නේය. සමාජ කාලකන්නිභාවය, සමූහ සේවයෙන් පහ කිරීම් සහ දේශපාලන දකුනට මාරුවීම සඳහා වගකිව යුතු එම පක්ෂ, කොරොනා වෛරස් වසංගතය මධ්‍යයේ ආර්ථිකය විවෘත කිරීමේ ඔවුන්ගේ ප්‍රතිපත්තිය මගින් ධනවතුන්ගේ ලාභය සදහා දස දහස් සංඛ්‍යාත කම්කරුවන්ගේ ජීවිත බිලි දීම සම්බන්ධයෙන් ද වගකිව යුතුය.

ජර්මනියේ ධනවත්ම ව්‍යාපාරික පවුල් 300 න් එකක් වන විසර් පවුල මෙම සියලු පක්ෂ සමඟ සමීපව බැඳී ඇත. දශක ගනනාවක් තිස්සේ වයිසැග් සමූහය, ෆ්‍රැන්ක්ෆර්ට් වෙලඳ ප්‍රදර්ශනය, ගුවන් තොටුපල, බැංකු කුලුනු සහ පොදු ස්ථානවල පහසුකම් කලමනාකරනය සහ ආරක්ෂාව යන දෙකම සංවිධානය කර ඇත. ක්ලවුස් විසර් තම පක්ෂය වන එස්පීඩීයට නොමසුරුව මුදල් පරිත්‍යාග කරනවා පමනක් නොව, දේපල වෙලඳාම් ව්‍යාපෘති රාශියකට ඔහු දායක වන්නේ මිලියන ගනනිනි.

ෆ්‍රැන්ක්ෆර්ටර්  අල්ගමයින සයිටං ( Frankfurter Allgemeine Zeitung), ෆ්‍රැන්ක්ෆර්ටර් රුන්ඩ්ෂාවු (Frankfurter Rundschau), හෙසෙන්ෂාවු (Hessenschau) වැනි මාධ්‍යයන්ට WISAG සමූහයට එරෙහි කාර්මික ක්‍රියාමාර්ගය හුදකලා කිරීමට හැකි වූයේ මන්ද යන්නත්, අවසන් වූ විට පමනක් උපවාසය පිලිබඳ වාර්තා කලේ ඇයිද යන්නත් මෙයින් පැහැදිලි කෙරේ.

වයිසැග් කම්කරුවන් නැවත නැවතත් ප්‍රකාශ කලේ, “අපි කිසි විටෙකත් (සටන) අත් නොහරිමු” යනුවෙනි. නමුත් අධිෂ්ඨානය පමනක් ප්‍රමානවත් නොවේ. කම්කරුවන් සිටින්නේ සන්ධිස්ථානයක වන අතර ඔවුන් තීරනය ගත  යුතුය. අයිජීඑල් විසින් යෝජනා කරන මාර්ගය පැහැදිලිව දැකගත හැකිය. අයිජීඑල් ධනේශ්වර දේශපාලනඥයින්ට සහ ප්‍රධාන වෘත්තීය සමිතිවලට ආයාචනා කරයි. ඊලඟට, ෆ්‍රැන්ක්ෆර්ට්හි වර්ඩි මූලස්ථානය ඉදිරිපිට, එනම්   සියලු තැන් අතරින්, කම්කරුවන් ඉල්ලා අස්වූ සමිතිය ඉදිරිපිටම රැලියක් සැලසුම් කර ඇත. 

මේ මාවත කම්කරුවන්ව නාසයෙන් ඇදගෙන වට වංගුවල ගෙන යාමට මෙහෙය වීමකි. “එක්ව අපි ශක්තිමත්ය” යන සටන් පාඨය හිස් වාක්‍ය  ඛන්ඩයක්ව, අවසානයේ “සැවොම තනිවම මිය යත්” බවට පත්වේ. 

ඒ වෙනුවට, කම්කරුවන් තමන්ගේ එකම සමීප සගයින් වන ෆ්‍රැන්ක්ෆර්ට්, බර්ලින්, හැම්බර්ග් ආදී සියලු වයිසැග් ශාඛාවලද, සෙසු ගුවන්තොටුපලවලද කම්කරුවන්ට මෙන්ම නිෂ්පාදන කම්කරුවන් සහ දැනට විරෝධතා වැඩ වර්ජනවල නිරතව සිටින මෝටර් රථ කම්කරුවන් වෙතද යොමු විය යුතුය. සෑම තැනකම කම්කරුවන් එකම ගැටලු වලට මුහුන දී සිටිති. ඔවුන්ගේ අයිතිවාසිකම් ඉතා දරුනු ලෙස පහර දීමට ලක්ව ඇත.

වයිසැග්G යනු හුදකලා සිද්ධියක් නොවන අතර ඊට විපරීතව, වයිසැග් සමූහයේ කුරිරු ක්‍රියා, නව ව්‍යාපාර ආකෘතියයි. ගුවන්තොටුපල මෙහෙයුම්කරු ෆ්‍රැපෝට්, ලුෆ්තන්සා, එයාර් බස් සහ විශාල නිෂ්පාදන සමාගම් ද විශාල දොට්ට දැමීම් සැලසුම් කරමින් සිටිත්. රොසෙල්ෂයිම් හි ගුවන්තොටුපලේ සිට කිලෝමීටර කිහිපයක් ඈතින් එහි ප්‍රධාන බලාගාරය පිහිටා ඇති ඔපල්වර්ක්  මෝටර් රථ නිෂ්පාදකයාද රැකියා විනාශ කරමින්, සමාගම් විශ්‍රාම වැටුප් කපා හරිමින්, තාවකාලික සේවකයින් බඳවා ගනිමින් හා පහ කරමින් සිටියි. 

ලොව පුරා ඇති සංගත සහ බැංකු කම්කරුවන්ගේ වියදමෙන් හා කම්කරුවන්ගේ කර මත දිගු කාලීනව සුපෝෂනය කල  ප්‍රතිව්‍යූහගත කිරීමේ සැලසුම් පටවා ලාභ ලැබීම සඳහා ක්‍රියාත්මක වේ. දැනටමත් මිලියන 2.7 ක් මරනයට ගොදුරු වී ඇති රංචු ප්‍රතිශක්තීකරන ප්‍රතිපත්ති සියලු ආන්ඩු නිර්දය ලෙස ක්‍රියාත්මක කරයි. ලෝක බැංකු ඇස්තමේන්තුවකට අනුව, මේ දක්වා වසංගතයෙන් මිලියන 120 ක පමන ජනතාවගේ ජීවනෝපාය අහිමි වී ඇති අතර බැංකු හා සංගත විසින් බිලියන සිය ගනනක් පසෙකට දමා ඇත.

පශ්චාත් යුද  “සමාජ වෙලඳපොල ආර්ථිකය” බංකොලොත් ය. ජර්මනියේ “සේවක නියෝජනය” පිලිබඳ බොහෝ පාරට්ටු කල සම-නීර්න ආකෘතිය, වෘත්තීය සමිති නිලධරයන් සහ වැඩ මන්ඩල,  අධීක්ෂන මන්ඩල අධිපතිවරුන් සහ සංගතවල කනිෂ්ඨ හවුල්කරුවන් බවට පරිවර්තනය කර ඇත. කම්කරුවන්ගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තවදුරටත් ධනවාදී ආර්ථිකයේ ලාභ සඳහා වන තල්ලුවට අනුකූල නොවේ. වයිසැග් හි දී මෙන් අද දින කම්කරුවෝ සිය අයිතිවාසිකම් ආරක්ෂා කරන විට, සමාගම්, දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති වලින් යුත් උරෙනුර පැහැර සිටින සේනාවකට මුහුන දී සිටිත්.

හුදු සංකේතාත්මක විරෝධතා පමනක් නොව යමක් සැබවින්ම සාක්ෂාත් කර ගැනීමට කැමති කම්කරුවන් වෘත්තීය සමිතිවලින් ස්වාධීනව ක්‍රියාකාරී කමිටු ලෙස සංවිධානය විය යුතුය. ඔවුන් අයිජීඑල් හි බංකොලොත් හිඟමනෙන් මිදී අනෙකුත් සේවා ස්ථානවල සේවක සගයන්ගේ කමිටු සමඟ සම්බන්ධ වී කාර්මික ක්‍රියාමාර්ගය වර්ධනය කර පුලුල් කල යුතුය.

ක්‍රියාකාරී කමිටු කතිපයාධිකාරීන්ගේ අත්තනෝමතික ප්‍රහාරයන්ට නිරාවරනය වන සියලු දෙනා ආරක්ෂා කර රැක ගත  යුතුය. යුරෝපීය-පුලුල් මහා වැඩ වර්ජනයක් සූදානම් කිරීම සඳහා ඔවුන් යුරෝපය පුරා ගුවන් තොටුපලවල් හා සම්බන්ධ විය යුතුය. රැකියා සහ වැටුප් ආරක්ෂා කර ගැනීමට  ඇති එකම ක්‍රමය මෙයයි. දැනටමත්, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තා වලට අනුව, බොහෝ කම්කරුවන්ගේ මුලපිරීම්, වර්ජිත වයිසැග් කම්කරුවන් සමඟ සහයෝගීතාවය පෙන්නුම් කර ඇත.

ඕනෑම බැරෑරුම් අරගලයක් අනිවාර්යයෙන්ම කම්කරුවන් ධනේශ්වර ක්‍රමය හා එහි පක්ෂ සමඟ ගැටුමකට ගෙන එයි. එබැවින් සොට්ටියලිෂ්ටිෂ ග්ලයිෂ්හයිට් පාටයි (එස්ජීපී, සමාජවාදී සමානතා පක්ෂය) වැඩකරන ජනතාවගේ අවශ්‍යතාවලට අනුකූල සමාජයේ විප්ලවීය පරිවර්තනයක් අරමුනු කරගත් සමාජවාදී වැඩපිලිවෙලකින් කම්කරුවන් සන්නද්ධ කරයි. මහා සංගත අත්පත් කර ගෙන කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට පත් නොකර කිසිදු සමාජ ගැටලුවක් විසඳිය නොහැකිය. ෆෙඩරල් මැතිවරනයේදී සමාජවාදී සමානතා පක්ෂය සටන් වදින ඉදිරිදර්ශනය මෙයයි. 

Loading