ආන්ඩුවේ මර්දනය නොතකා තැපැල් සේවකයෝ වර්ජනය කරති

ආන්ඩුවේ මර්දනය නොතකමින්, 20,000 කට අධික තැපැල් සේවකයෝ මාර්තු 30 මධ්‍යම රාත්‍රියේ සිට 31 මධ්‍යම රාත්‍රිය දක්වා  එක්දින වර්ජනයක යෙදී ගත්හ. වැඩි වැටුප් ඇතුලු ඉල්ලීම් කීපයක් පාදක කරගත් මෙම වර්ජනයට තැපැල් සේවකයන් සහභාගිවූයේ අසනීප නිවාඩු වාර්තා කරමිනි. වර්ජනය කඩාකප්පල් කිරීමේ මර්දන පියවරක් ලෙස ආන්ඩුව අදාල  කාලය තුල  වහාම ක්‍රියාත්මක වන පරිදි තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කලේය. 

වර්ජනයේ ප්‍රතිපලයක් ලෙස කොලඹ මධ්‍යම තැපැල් හුවමාරු කාර්යාලය ඇතුලු දිවයිනේ සියලුම තැපැල් කාර්යාලවල සේවා කටයුතු මුලුමනින් ම පාහේ නතර විය. මෙම වර්ජනයේ කොටසක් ලෙස, 30 වෙනිදා දහවල්  කොලඹ මධ්‍යම තැපැල් හුවමාරුව, මහනුවර, අනුරාධපුර, ගාල්ල, මාතර ඇතුලු ප්‍රධාන නගරයන් හි තැපැල් කාර්යාල ඉදිරිපිට පිකට් උද්ඝෝෂන පැවැත්වුනි. 

තැපැල්, සේවක උද්ඝෝෂනයක් (ශ්‍රී ලංකා විදුලි සංදේශ සේවා සංගමය ෆේස්බුක් ගිනුමෙනි)

 

බඳවා ගැනීමේ පටිපාටියට අදාලව 2018 වර්ජනය  තුල දී පොරොන්දු වූ අමාත්‍ය මන්ඩල පත්‍රිකාව ක්‍රියාත්මක කිරීම ඔවුනගේ මූලික ඉල්ලීමකි. ඒ අනුව, විවෘත බඳවා ගැනීමේ දී විභාගයට අමතරව සම්මුඛ පරීක්ෂන  පවත්වා සියයට 25 ක් ලකුනු දීමේ පටිපාටිය සංශෝධනය කරන ලෙසත්, උප තැපැල් ස්ථානාධිපති තනතුරු සඳහා බඳවාගැනීමේ ක්‍රමයේ වෙනසක් නොකරන ලෙසත් ඔවුහු ඉල්ලා සිටිති. මීට අමතරව, සේවා කාල සහ අතිකාල කප්පාදුව මෙන්ම, අත්තනෝමතික මාරු කිරීම් නතර කරන ලෙස තැපැල් සේවකයෝ ඉල්ලති.   .

වර්ජනය කැඳවුම් කලේ තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමය, ජාතික තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමය, ලංකා තැපැල් සේවක සංගමය ඇතුලු තැපැල් වෘත්තීය සමිතිවල එකතුවක් වන “තැපැල් වෘත්තීය සමිති බලය” විසිනි. වෘත්තීය සමිතිවලට වර්ජනය කැඳවීමට බල කෙරී ඇත්තේ වසර 15 පමන කාලයක් තුල නොවිසඳුන මෙම වෘත්තීය ගැටලු පිලිබඳව තැපැල් සේවකයන් අතර පවතින බරපතල අසතුට හා නොසන්සුන්කම නිසාවෙනි.

තැපැල් සේවකයන්ගේ වර්ජනය, කොරෝනා වසංගතය විසින් වඩාත් ගැඹුරු කෙරී ඇති ලෝක ධනවාදයේ අර්බුදය තුල ධනේශ්වර පාලක පන්තීන්ගේ කප්පාදු පිලිවෙත්වලට සහ හාම්පුතුන් විසින් ගැඹුරුකොට ඇති ශ්‍රම සූරාකෑමට කම්කරු පන්තිය යටත් කිරීමට එරෙහිව ගෝලීයව වර්ධනය වන පන්ති අරගලයේ කොටසකි. පසුගිය දෙසතිය තුල, රාජ්‍ය අංශයේ ගුරුවරු, ලංකා විදුලිබල මන්ඩලය, ජලසම්පාදන මන්ඩලය, සෞඛ්‍යය, දුම්රිය, නිදහස් වෙලඳ කලාප සහ වතු ක්ෂේත්‍රයන්හි කම්කරුවෝ, වැටුප් සහ වෘත්තීය ඉල්ලීම් මත වර්ජන සහ විරෝධතා උද්ඝෝෂන වල නිරත වූහ. 

පසුගිය වසර 15 පුරාම , තැපැල් වෘත්තීය සමිති ක්‍රියාත්මක වී ඇත්තේ සේවකයන්ගේ අරගල, බලයේ පැවති ආන්ඩුවල බොරු පොරොන්දුවලට යටත්කොට ක්‍රමානුකුලව පාවා දීමට ය.

“ආන්ඩුව ප්‍රශ්න විසඳීමට සූදානම්  නැතිනම් සාමාන්‍ය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දැවැන්ත උද්ඝෝෂනයන් බවට පත් වෙනු ඇතැ”යි ශ්‍රී ලංකා තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමයේ ලේකම් චින්තක බන්ඩාර ආන්ඩුවට“අනතුරු අඟවා” ඇත. බන්ඩාරගේ මෙම අනතුරු ඇඟවීම ඉල්ලීම් දිනා ගැනීම සඳහා තැපැල් සේවකයන්ගේ බලගතු අරගලයක් සංවිධානය කිරීම ගැන නොවේ. එය, වෘත්තීය සමිති සමග සම්මුතියකින් සේවකයන්ට ගිල්ලවිය හැකි “විසඳුමක්” දීමට ආන්ඩුව අපොහොසත් වුවහොත් තැපැල් සේවකයන් තුල පවතින කෑකෑරෙන නොසන්සුන්කම් වෘත්තීය සමිතිවල පාලනයෙන් පිට පනිනු ඇති බවට ආන්ඩුවට කෙරුනු අනතුරු ඇඟවීමකි. වර්ජනය එක්දිනකට සීමා කිරීමේ තේරුම ද එයයි.

“2018 වර්ෂයේ, තැපැල් සේවක ඔබ සැමගේ ශක්තිය තුල ක්‍රියාත්මක කල දින 18 ක දැවැන්ත වර්ජනය මගින් බහුතර සේවකයින් විසින් දිනා ගන්නා ලද විසඳුම් යෝජනා පවා මේ දක්වා ක්‍රියාත්මක කිරීමට තැපැල් පරිපාලනය සහ දේශපාලන අධිකාරිය අසමත් වී ඇතැ” යි කියමින් සමිති නායකයන් ගසන කනපින්දම්, තැපැල් වෘත්තීය සමිති නිකුත් කල පත්‍රිකාවක අඩංගු වෙයි.

මෙම ඉල්ලීම් මතම 2018 ජුනි 11 වෙනිදා ආරම්භ කෙරී දින 16 ක් පැවති තැපැල් සේවකයන්ගේ අඛන්ඩ  වර්ජනය වෘත්තීය සමිති විසින් පාවා දෙනු ලැබුවේ කිසිදු ඉල්ලීමක් දිනා ගැනීමෙන් තොරව, එම ඉල්ලීම් ලබා දෙන බවට එවකට තැපැල් ඇමති එම්.එච්.ඒ. හලීම් සහ තැපැල්  බලධාරීන් විසින් ලබා දුන් හුදු පොරොන්දුවකට යටත් කරමිනි.  එපමනක් නොව, රාජ්‍ය අංශයේ වියදම් කප්පාදුවේ කොටසක් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව විසින් පසුගිය වසරේ ක්‍රියාවට දැමුනු තැපැල් සේවකයන්ගේ අතිකාල හා සෙනසුරාදා දින වල දීමනා කප්පාදුවට ද සමිති නායකයෝ එකඟ වුහ. 

තැපැල් සේවකයන්ගේ වෘත්තීය අයිතීන්ට එරෙහි ප්‍රහාර සහ අතිකාල හා  දීමනා කප්පාදුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් අනවා ඇති රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහකරනය හා රාජ්‍ය වියදම් කප්පාදුව ඇතුලු  කම්කරු පන්තියට එරෙහිව මුදා හැර ඇති පුලුල් ප්‍රහාරයක කොටසකි. කොරෝනා වසංගතය විසින් රාජපක්ෂ ආන්ඩුවේ ආර්ථික අර්බුදය ගැඹුරු කෙරී ඇති තතු තුල මෙම කප්පාදු  පිලිවෙත් ක්‍රියාවට දැමීම ද තීව්‍ර කරනු ලැබ ඇත.

වෘත්තීය සමිති වල නිස්සාර විරෝධතාවලින් තම ඉල්ලීම් ලැබෙතැයි තැපැල් සේවකයන් අතර විශ්වාසයක් නැත. 2018 වර්ජනය ගැන සඳහන් කරමින් හික්කඩුව තැපැල් කාර්යාලයේ සේවකයෙක් මෙසේ පැවසීය: “දින 16 ක් ඒ වර්ජනය තිබුනත් කිසිම ප්‍රශ්නයක්  විසඳා  ගැනීමට ලැබුනේ නැහැ. අද වර්ජනයෙන් වුනත් අපේ ගැටලු වලට විසඳුමක් ලැබෙයි කියල  මගේ විශ්වාසයක් නැහැ. හේතුව වෘත්තිය සමිති නායකත්වය මෙම සටන ජයග්‍රහනය තෙක් ඉදිරියට ගෙනයාදැයි බලාපොරොත්තු වෙන්න බැහැ.”

තැපැල් කාර්යාලයන්හි අවශ්‍ය තරම් සේවකයන් නොමැති බැවින් ඉසිලිය නොහැකි වැඩ කන්දරාවකට උරදියයුතු බව ඔහු පැවසීය. තම සේවය ස්ථිර කලද, තනතුරට නියමිත රාජකාරි ගැන ස්ථිර කිරීමේ ලිපියේ සඳහන් කර නොමැති නිසා නියමිත වැටුප නොලැබෙන බව පැවසූ  ඔහු, “නිවාඩු අවලංගු කරල  උද්ඝෝෂනය නතර කිරීමට ආන්ඩුව උත්සාහ කලත් එය සාර්ථක වුනේ නැහැ. කොයි ආන්ඩුව ආවත් කම්කරුවන් මුහුන දෙන්නේ එකම ප්‍රශ්නවලට” යැයි කියා සිටියේය.

Loading