කොරෝනා වසංගතය මධ්‍යයේ ශ්‍රී ලංකාවට සමූහ පිටුවහල් කිරීමක්

[පහත පලවන්නේ අප්‍රේල් 1 දා ஜேர்மனி: கொரோனா தொற்றுநோய்க்கு மத்தியில் பெருமளவானோர் இலங்கைக்கு நாடுகடத்தப்படுகின்றனர்  යන මාතෘකාවෙන් පලවූ ලිපියේ සිංහල පරිවර්තනයයි.]

මාර්තු 30 දා ඩුසේල්ඩෝෆ් සිට ශ්‍රී ලංකාවට පැමිනි කුලී ගුවන් යානයකින් දෙමල සරනාගතයන් සංඛ්‍යාවක් පිටුවහල් කරනු ලැබීය. සැබෑ පුද්ගලයන් සංඛ්‍යාව නො දන්නා නමුත් දෙමල ක්‍රියාකාරීන්ගේ කන්ඩායම්වලට අනුව 100ට අධික පුද්ගලයන් පිරිසක් මෙලෙස ගෙන එනු ලැබ තිබුනි. දැනට සැලසුම් කර ඇති සාමූහික පිටුවහල් කිරීම් මාලාවක ආරම්භය මෙය බව පෙනෙන්නට තිබේ.

“ඇක්ෂන් ටු ස්ටේ රයිට්ස්” නමැති කන්ඩායම, අප්‍රේල් මාසය තුල මතු දැක්වෙන රටවලට කරන සාමූහික සරනාගත පිටුවහල් කිරීම් පිලිබඳ ව එහි වෙබ් අඩවියේ සඳහන් කර ඇත: අසර්බයිජාන් (මාර්තු 31), පකිස්තානය, ගිනී (අප්‍රේල් 20), ටියුනීසියාව (අප්‍රේල් 21), උතුරු මැසිඩෝනියාව හා සර්බියාව (අප්‍රේල් 27), ප්‍රිස්ටිනා, කොසෝවෝ (මැයි 5). වසංගතය මධ්‍යයේ, කොරෝනා එන්නත් ඇතුලු සෞඛ්‍ය රැකවරනය පහත් අඩියක පවතින රටවලට තවත් සාමූහික පිටුවහල් කිරීම් සිදුකිරීමට ජර්මානු ආන්ඩුව රහසේ සැලසුම් කරමින් සිටී.

ෆෝසයිම්හි පැවැත්වෙන පිටුවහල් කිරීම්වලට එරෙහි විරෝධතා

රහසිගත ව හා එකාබද්ධ ව සංවිධානය කරන ලද පොලිස් මෙහෙයුමක දී, පසුගිය සති දෙක තුල ජාතික පරිමාන ව දෙමල සරනාගතයන්  දඩයම් කරනු ලැබ ඇති අතර, රැඳවුම් මධ්‍යස්ථානවල සිරකර තබනු ලැබ තිබේ. බූරන් හා ෆෝසයිම්හි බන්ධනාගාර හැරුනු විට, සරනාගතයන් රඳවා ගනු ලැබ ඇති අනෙකුත් ස්ථාන මොනවාදැයි දන ගන්නට නැත. 

සමහරුන් ඔවුන්ගේ වැඩපොලවල දී අත්අඩංගුවට ගන්නා ලද අතර, අනෙකුත් අය අල්ලා ගෙන ඇත්තේ හිමිදිරියේ තම නිවසේ සිටියදීය. තවත් සමහර අය අත්අඩංගුවට ගන්නා ලද්දේ, ඔවුන්ගේ වීසා අලුත් කිරීම සඳහා පැමිනෙන ලෙස දන්වා තිබූ, ආගමන දෙපාර්තමේන්තුවේ දී ය. ඔවුන්ගෙන් කිසිවෙකුට ජර්මනියෙන් පිටත් වන ලෙස මීට කලින් දැනුම් දීමක් කර නො තිබුනි. ඔවුන්ගෙන් බොහෝ දෙනා ජර්මනියේ වසර ගනනක් වැඩ කරමින් හා ජීවත් වෙමින් සිට ඇත. සියලු දෙනා සතුව, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ වලංගු ලිය කියවිලි තිබුනි. සමහරු කලත්‍රයන් හා දරුවන් සමග ඇවිදිමින් සිටිය හ.

මෙම සරනාගතයන් පිටුවහල් කිරීම ඔවුන්ගේ ජීවිතවලට සැබෑ තර්ජනයක් ගෙන එයි. 2009 දී ශ්‍රී ලංකාවේ 26 අවුරුදු සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු, දෙමල හා මුස්ලිම් සුලුතරයන්ට එරෙහි රාජ්‍ය පීඩන අවසන් වී නැත. මිලිටරි ඔත්තු සේවයේ නිරන්තර සාවධාන සෝදිසිය යටතේ පසුවන දෙමල ජනයා, පොලිස් ම්ලේච්ඡත්වයට හා අත්තනෝමතික ක්‍රියාවලට බඳුන් කරනු ලැබේ. අතුරුදන් වී ඇති සිවිල් වැසියන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ විරෝධතා ක්‍රමානුකූල ව අධීක්ෂනය කරමින්, ඒවායේ නායකයන්ට තර්ජන එල්ල කරනු ලැබේ.

පුද්ගලයන් 270ක් ඝාතනය කරමින් 2019 අප්‍රේල් මාසයේ පාස්කු දින එල්ල වුනු ත්‍රස්තවාදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවල පටන්, මුස්ලිම් වැසියන් දහස් ගනනක් අත්අඩංගුවට ගනු ලැබ ඇත. සමස්ත මුස්ලිම් ජනගහනය, ආන්ඩුවේ හා විරුද්ධ පක්ෂවල වර්ගවාදී චෝදනාවන්ට බඳුන් කරනු ලැබේ. කොවිඩ්-19 වෛරසය ගොදුරු වන මුස්ලිම් වැසියන්ට භූමදාන අයිතිය අහෝසි කොට, ආදාහනය කිරීමට බලකිරීම මගින්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හා අගමැති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව, මුස්ලිම්-විරෝධී ප්‍රචාර ඇවිලවූයේය.

සමාජ අර්බුදයට කම්කරුවන් හා දුගී ජනයා දක්වන ප්‍රතිරෝධය මැඩීමට, මානව හිමිකම් සංවිධාන විසින් යුද අපරාධකරුවන් ලෙස චෝදනාවට ලක් කරන කමල් ගුනරත්න හා ශවේන්ද්‍ර සිල්වා ඇතුලු විශ්‍රාමික ජනරාල්වරු ආන්ඩුවේ නායක තානාන්තරවලට පත් කරමින් රාජපක්ෂ පාලන තන්ත්‍රය සිවිල් පරිපාලනය මිලිටරීකරනය කලේ ය.

මාර්තු 22දා මෙම දෙමල සරනාගතයින් අත්අඩංගුවට ගත්තේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (යූඑන්එච්ආර්සී) ශ්‍රී ලංකාවට එරෙහි ව මානව හිමිකම් රැකීමේ නමින් යෝජනාවක් සම්මත කිරීමට ජර්මනිය මූලික ක්‍රියාකලාපයක් ඉටු කරමින් සිටියදීය. යූඑන්එච්ආර්සී රැස්වීමට යෝජනාව සකසා ඉදිරිපත් කල “ශ්‍රී ලංකාව පිලිබඳ ප්‍රමුඛ කන්ඩායමට,” ජර්මනිය සමගින් එක්සත් රාජධානිය, කැනඩාව, උතුරු මැසිඩෝනියාව, මොන්ටිනීග්‍රෝ හා මාලාවි රාජ්‍යය අයත් වේ. යෝජනාවේ මාතෘකාව වන්නේ “ශ්‍රී ලංකාව තුල සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් දිරිමත් කිරීම” යන්න යි.

ශ්‍රී ලංකාව තුල මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ “තත්ත්වය පරිහානිගත වීමට” හේතු වන වර්තමාන වර්ධනයන් පිලිබඳ ව යෝජනාව “ගැඹුරු උත්සුකතාව” පලකලේ ය. ආන්ඩුවේ වර්ගවාදී පිලිවෙත් හා ස්වාධීන අධිකරන පද්ධතියක් තහවුරු කිරීමේ අසාර්ථකත්වය යෝජනාවේ විවේචනයට බඳුන් විය.

ඉරාකය, ඇෆ්ගනිස්තානය, ලිබියාව හා සිරියාව යන රටවලට පසුගිය වසර 30 තුල කල අධිරාජ්‍යවාදී මැදිහත්වීම්වල දී, පුද්ගලයන් ලක්ෂ ගනනකගේ මරනවලට වගකීම දරන එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, කැනඩාව හා ජර්මනිය, ශ්‍රී ලංකාව තුල මානව හිමිකම්, සුලුතරයන් පීඩනයට ලක්කිරීම හෝ යුද අපරාධ සෙවීම ගනනට නො ගනිති. ඔවුන් ශ්‍රී ලංකාව පිලිබඳ යෝජනාව ලියා අනුමත කලේ, බෙයිජිනය සමග සබඳතා බිඳ දමා, චීනයට එරෙහි යුද්ධය සඳහා වන මිලිටරි සූදානම්වීම්වලට  සහභාගි වන ලෙස ජනාධිපති රාජපක්ෂට බලකිරීම පිනිස යි.

රටේ "තත්ත්වය පිරිහීම” පිලිබඳ “ගැඹුරු උත්සුකය” යෝජනාව තුල පලකරද්දී, රට පුරා දෙමල සරනාගතයින් දඩයම් කරමින් ජර්මානු පොලීසිය සැරිසැරීම යන කරුන ම, ජර්මානු අධිරාජ්‍යවාදයේ සැබෑ අවශ්‍යතා පෙන්නුම් කරයි. ඒඑෆ්ඩීයේ සංක්‍රමන-විරෝධී පිලිවෙත මුලුමනින් ක්‍රියාවට දමන ජර්මානු ආන්ඩුව, සරනාගතයන් පිලිබඳ ව නො තකයි. යෝජනාව සම්මත කිරීම ජර්මානු මිලිටරිවාදය තීව්‍ර කිරීමේ කොටසකි.

යෝජනාවට ප්‍රතිචාර වසයෙන්, 2015 දී පූර්ව ආන්ඩුව විසින් ලැයිස්තු ගත කර තිබුනු ඩයස්පෝරා කන්ඩායම් හයකට වැඩි සංඛ්‍යාවක්, ශ්‍රී ලංකාවේ ආන්ඩුව විසින් තහනම් කර ඇත. සමහර දෙමල පුද්ගලයන් ලොවපුරා ත්‍රස්තවාදීන් ලෙස ද ලැයිස්තු ගත කරනු ලැබේ. වෙබ් අඩවියක් හා යූටියුබ් නාලිකාවක් පවත්වාගෙන යමින්, “සයිබර් අවකාශය තුල එල්ටීටීඊ දෘෂ්ටිවාදය” දිරිමත් කරන්නේ ය යන චෝදනාව මත, ඊයේ (මාර්තු 30) යාපනයේ දී 35-හැවිරිදි පුද්ගලයෙක් හා 36-හැවිරිදි කාන්තාවක් අත් අඩංගුවට ගනු ලැබී ය. ලංකාවේ රාජ්‍යයට එරෙහි ව ගෙන ගිය යුද්ධයේ දී දෙමල ධනේශ්වරයේ සන්නද්ධ සංවිධානය වූයේ දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) යි.

ජනවාරියේ ඉදිරිපත් කල වාර්තාවක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිචෙල් බැචලේ මෙසේ ලීවා ය: “පලිගැනීම්වලට භාජනය කරනු ලබන පුද්ගලයන් රැකගැනීමට සහ වධ බන්ධන පැමිනවීමේ හෝ වෙනත් බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ සැබෑ අන්තරාය ගෙන එන පිටුවහල් කිරීම් වැලැක්වීම සඳහා ලාංකිකයන් සඳහා වන රැකවරන පියවරයන් විමර්ශනය කරන්න.”

පිටුවහල් කරන සරනාගතයන් මිලිටරියට භාරදී, දවස් 14ක් මිලිරිය විසින් පාලනය කෙරෙන නිරෝධායන කඳවුරකට ගෙන යනු ලබයි. බොහෝ නගරවල දී දෙමල ජාතිකයෝ පිටුවහල් කිරීමට එරෙහි ව විරෝධතා පැවැත්වූ හ. ඉරිදා හා සඳුදා ඩුසල්ඩෝෆ්, බූරන් හා ෆෝසයිම් නගරවලට එක් රැස්වූ සිය ගනනක් වන කම්කරුවෝ හා තරුනයෝ, පිටුවහල් කිරීම නවත්වන ලෙස ඉල්ලා සිටිය හ.

බූරන්හි සිරගත කරන ලද වසර 15ට අධික කාලයක් පුරා තම පිටුවහල් කිරීමට එරෙහි ව සටන් වැදී ඇති තුරයිගෙම් රජීබාන් පිලිබඳ තොරතුරු සොයා ගැනීමට ලෝසවෙඅට හැකි විය. විවාහක ඔහුට, වයස දෙකේ සිට නවය දක්වා වන ලමුන් හතර දෙනෙකු සිටී. වසර දහයකින් පසුව යලිත් ඔහුගේ ලමුන් බැලීමට අවස්ථාව ලබා දෙන්නේ ය යන කොන්දේසිය පිට ඔහු ව පිටුවහල් කරන ලදී.

ෆෝසයිම් බන්ධනාගාරයේ සිරගත කරන ලද සරනාගතයෙකු වන පෙරුමාල් එම්ට ලෝසවෙඅ වාර්තාකරු දුරකථනයෙන් කතා කලේ ය. 2009 වසරේ සිවිල් යුද්ධයේ අවසානයේ දී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරු ව 2010 අගෝස්තුවේ ස්විට්සර්ලන්තයට පැමිනි බව ඔහු කීවේ ය. එල්ටීටීඊ සැකකරුවෙකු ලෙස සලකා ඔහුගෙන් ප්‍රශ්න කොට හිංසා පමුනුවල ලදී. 2013 නොවැම්බරයේ දී පෙරලා ඔහු කොලඹට පිටුවහල් කරනු ලැබී ය. ගුවන් තොටුපොලේ දී අත්අඩංගුවට ගන්නා ලද ඔහුට යලි ඇවිදිය නො හැකි වන තෙක් හිංසා පමුනුවනු ලැබී ය. ඔහු නිදහස් කරන ලද්දේ තම පවුලේ අය මිලිටරි රහස් සේවාවට විශාල මුදලක් ගෙවීමෙන් පසුවය. 

පෙරලා යුරෝපයට පැමිනි පෙරුමාල් 2015 අවසානයේ දී ඉතාලිය හරහා ස්ටුට්ගාට් වෙත ලඟා විය. 2016 මැද දී ඔහු තම පලමු රැකියාව සොයාගත්තේ ය. අවන්හල් කිහිපයක හා පිරිසිදු කිරීමේ රැකියාවල් කිරීමෙන් පසු, පෝෂාහි තාවකාලික ඒජන්සියක් විසින් ෆෝක්ලිෆ්ට් රියැදුරෙකු ලෙස ඔහු කුලියට ගනු ලැබී ය. වැඩට ගොස් ආපසු පැමිනෙමින් සිටින විට ඔහු ව අත්අඩංගුවට ගන්නා ලදී. පෙරුමාල් ට දෙහැවිරිදි පුතෙකු සිටී.

ශාරීරික හිංසා කිරීම්වලට බඳුන් වී ඇති බව තහවුරු කරන වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කල ද රැකවරනය ඉල්ලමින් ඔහු ඉදිරිපත් කල ඉල්ලුම්පත ප්‍රතික්ෂේප කරනු ලැබී ය. ශ්‍රී ලංකාවේ සිංහල වෛද්‍යවරයෙකු මාස ගනනක් යන තෙක් ඔහුට ප්‍රතිකාර කල අතර, සහතිකයේ නිරවද්‍යතාව පෙරුමාල් පරීක්ෂා කල ජර්මානු වෛද්‍යවරයක් තහවුරු කලේ ය. 

රැකවරන සොයන්නන්ගේ අයදුම්පත් පුරුද්දක් ලෙස ප්‍රතික්ෂේප කරනු ලබන අතර, බොහෝ දෙනෙකුට නේවාසික බලපත්‍රයක් පමනක් ප්‍රදානය කරනු ලැබේ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් නීතිඥයෙකුගේ සේවය ලබා ගනිති. සමහරු නේවාසික වීසා සඳහා අයදුම් කර ඇත. අත්අඩංගුවට ගැනීම, ප්‍රශ්න කිරීම හා හිංසනයට ලක්කිරීම පිලිබඳ සංයුක්ත සාක්ෂි සම්පාදනය කල ද රැකවරන අයදුම්පතක් පිලිගැනීම  ප්‍රතික්ෂේප වේ.  අයදුම්පත පිලිබඳ තීරනය කරන සංක්‍රමනය හා සරනාගතයන් සඳහා වන මධ්‍යම කාර්යාලයේ (බීඒඑම්එෆ්) සේවකයා, පොලිස් ප්‍රශ්න කිරීමක දී මෙන් සරනාගතයා බියවද්දා, අවසානයේ දී අයදුම්පත ප්‍රතික්ෂේප කිරීමට හේතු වන පරස්පර විරෝධී ප්‍රකාශ ලබා දීමට උනන්දු කරන ආකාරයට පුහුනු කරනු ලබයි.

ඔවුන් ආසන්න මරන තර්ජනයට මුහුන දී සිටින බව ද අත්අඩංගුවට පත්වීමේ හා හිංසනයට බඳුන් වීමේ ඉඩ ඇති බව සනාථ කෙරෙන සියලු ලේඛන සමගින් සරනාගතයන් අසාධාරන ලෙස පිටමං කෙරේ. ඉමහත් වෙහෙසක් දරා රැකවරන ක්‍රියාපටිපාටියේ දී ඔවුන් අතීතයට බලපාන ලේඛන ඉදිරිපත් කරනු ලැබුව ද විශ්වාස කල නො හැකි ලෙස සලකා ඒවා බොහෝ විට ප්‍රතික්ෂේප කරනු ලැබේ.

පරිපාලන උසාවි නිගමනයක් සඳහන් කරන පරිදි: “ඊනියා වැඩ කිරීමේ තර්කවල ආධාරයෙන් ව්‍යාජ තොරතුරු සම්පාදනය කොට, පැමිනිලිකරුවා ඔහුගේ ඉල්ලීමේ භව්‍යතාව වර්ධනය කිරීමට උත්සාහ දරන බව, විනිසුරු මඩුල්ල ඒත්තු ගනී. නඩු ඇසීමට ක්ෂනික ව පෙර ගොනු කරනු ලබන ලේඛන සම්බන්ධයෙන් මෙය විශේෂයෙන් බලපායි. පරිපාලනමය ක්‍රියා පටිපාටියේ  සහ හදිසි ක්‍රියා පටිපාටියේ ඍනාත්මක ප්‍රතිඵලවලින් පසුව මේවැනි ලේඛන ‘සපයනු ලැබ’ ඇති බව පෙනේ."

මෙම අමානුෂික නඩු-නීතියේ ප්‍රතිඵලය වන්නේ, වැඩිකල් ගොස් හෝ නො ගොස් අනිවාර්යයෙන් ම පිටුවහල් කිරීමට හේතු විය හැකි පරිදි, රැකවරන අයදුම්පත් මුලුමනින් ම පාහේ ප්‍රතික්ෂේප කිරීම යි. හිංසා කිරීම, මරා දැමීම, ප්‍රචන්ඩත්වය හා දුෂ්කරතා යනාදියෙන් ගැලවීම පිනිස පලාගොස් ඇති අයවලුන් අත්අඩංගුවට පත්වීමේ හා පිටුවහල් කිරීමේ අනවරත පීඩනය යටතේ පසු වෙති. ඊයේ, එනම් 2021 මාර්තු 30 අඟහරුවාදා දෙමල සරනාගතයන් මුහුන දුන්නාක් මෙන්, වීදිවලින්, වැඩපොලෙන් හේ ඇඳෙන් ඕනෑම මොහොතක ඔවුන් පොලීසිය විසින් ඇදගෙන ඇවිත්, රිමාන්ඩ් භාරයේ තබා, මරනයේ හා කාලකන්නි බවේ තර්ජනයට ඔවුන් මුහුන දෙන රටවලට පටවා යැවීමට බඳුන් විය හැක. 

Loading